අරුණි ශපීරෝ‍ වෙතින්

පොදු බවේ බීහත්ස්‍යයෙන් ගැලවෙන්න නම් …

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2015

20150425_FBP001_2

මෙය පරිවර්තනයේ අවසන් කොටසයි. පරිවර්තනය කරන ලද මුල් කොටස් කියැවීමෙන් පසු කියවන්නේ නම් සමහර විට මෙහි වැදගත් අදහස් මොනවාදැයි අවබෝධ කරගන්නට පහසු වනු ඇත.

බලාත්කාරය යනු බොහෝ ලිබරල්වාදීන්ට [මේ කියන්නේ සම්භව්‍ය ලිබරල් අය නොවෙයි] දැන් කැත වචනයක් වී තිබේ. ඒත් එය හැමදාම එසේ විය යුතු නැත. අකුරු හතරේ කුණුහරැප වගේම, මෙහි ඇති කිළිටි ගතිය ද ආලෝකයට ලක් කිරීමෙන්, එය නැවත නැවතත්, සමාව අයදින්නේ හෝ ලැජ්ජාවට පත් නොවී කීමෙන්, පිරිසිදු කරගත හැකියි. බොහෝ දෙනෙකුට බලාත්කාරය යන වචනයෙන් අර්ථ දැක්වෙන්නේ දුරස්ථ සහ වගකීමෙන් තොර නිලධාරියෙක් හිතුමතයේ කරන ලද තීරණයකි. එහෙත් එය අවශ්‍ය ලෙසින්ම එහි අර්ථයේ කොටසක් නොවේ. මම නිර්දේශ කරන එකම බලාත්කාරය අන්‍යෝන්‍ය බලාත්කාරයයි. එහි බලපෑමට ගොදුරැ වෙන බහුතර ජනතාව විසින් කැමැත්තෙන්ම එකඟ වූ බලාත්කාරයටයි.

බලාත්කාරයට අපි අන්‍යෝන්‍ය කැමැත්තෙන්ම එකඟ වූවා යැයි කියද්දී අපි එය සතුටින් බාරගැනීම අවශ්‍ය නොවේ. අපි එය සතුටින් බාරගත්තා යැයි මවා පෑමක් කරන්නට ද අවශ්‍ය නැත. බදු වලට කැමති කවුද? අපි සියල්ලන්ම ඒ ගැන මැසිවිලි කියමු. අනිවාර්ය බදු අපි පිළිගන්නේ ස්වේච්ඡාවෙන් බදු ගෙවීම සිද්ධ වුවොත් හෘදය සාක්ෂිය නැතිවුන්ට වාසි නිසයි. පොදු බවේ බීහත්ස්‍යයන් වලින් ගැලවෙන්නට අපි මැසිවිලි නඟමින් බදු එකතුවට සහ වෙනත් බලාත්කාරකම් සඳහා ආයතන පිහිටුවා ගනිමු.

පොදු බවට ඇති විකල්පය වැඩියෙන් ප්‍රිය කිරීමට එය සර්ව සම්පූර්ණ විය යුතු නැත. ඉඩකඩම් සහ අනෙකුත් භෞතික භාණ්ඩ සමඟ, අප තෝරාගෙන ඇති විකල්පය යනු නීතිමය උරැමය සමඟ බැඳී පවතින පුද්ගලික දේපල සංස්ථාවයි. මේ ක්‍රමය සර්වසම්පූර්ණ ලෙසින් යුක්ති සහගත ද? ජානවිද්‍යා අංශයෙන් පුහුණු වූ ජීවවිද්‍යාඥයෙක් හැටියට මම එය එසේ නැතැයි කියමි. මට පෙනෙන විදියට, ඒකීය පුද්ගලයන්ගේ උරැමයේ විවිධත්වයන් තිබෙන්නට නම්, නීතිමය අයිතිය පිරිපුන් ආකාරයෙන් ජීවවිද්‍යාත්මක උරැමය සමඟින් සහසම්බන්ධයකින් පැවතිය යුතුයි. දේපල බාරකරැවන් වීමට ජීවවිද්‍යාත්මකව වැඩියෙන් සුදුසු වූවන් එහෙනම් දේපල සහ බලයේ නීතිමය උරුමක්කාරයන් හැටියට වැඩියෙන් පත්විය යුතුයි. එහෙත් අපේ නීතිමය උරැමයේ ගැබ්ව පවතින “තාත්තා වගේ පුතා” යන ධර්මය ජාන ප්‍රතිසංයෝජන විසින් එන්න එන්නම විහිළුවට ලක් කරයි. මෝඩයෙකුට මිලියන ගණනක උරැමයක් සහ තම වස්තුව ආරක්ෂා කරගන්නට භාරකාර අරමුදලක් ලබාගත හැකියි. පුද්ගලික දේපල සහ උරැමය එකතු වූ අපේ නීතිමය පද්ධතිය අසාධාරණ යැයි අපි පිළිගන්නෙමු. ඒත් අපි එය දැනට බාරගන්නේ, වෙනත් අයෙකු ඊට වඩා වැඩියෙන් හොඳ ක්‍රමයක් සොයාගෙන ඇතැයි අපිට විශ්වාස නැති නිසයි. පොදු බවේ විකල්පයට යෑම සලකා බලන්නට බියජනක වූවකි. සම්පූර්ණ විනාශයට වඩා අයුක්තිය හොඳයි.

ප්‍රතිසංස්කරණ සහ පවතින ක්‍රමය අතර ගැටුම තුල දී දකින්නට හැකි එක අමුත්තක් නම් එය දෙබිඩි විදියකින් නොසැලකිලිමත් ලෙසට පාලනය වීම. ප්‍රතිසංස්කරණ පිළිවෙතක් ඉදිරිපත් කරද්දී, එය බොහෝවිට ප්‍රතික්ෂේප වෙන්නේ එහි ප්‍රතිවාදීන් ජයග්‍රාහී ලෙසට එහි වැරැද්දක් සොයාගන්නා නිසයි. කින්ග්ස්ලි ඩේවිස් පෙන්වා දුන් පරිදි, පවතින ක්‍රමය අගයන අය සමහර අවස්ථා වල දී කියන්නේ ඒකමතික එකඟතාවයක් නොමැත්තේ නම් කිසිත් ප්‍රතිසංස්කරණයක් කළ නොහැකියි කියායි. මෙය ඵෛතිහාසික දත්ත වලට පටහැනි වූවකි. මට දැකිය හැකි තරමට, යෝජනා කරන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප වෙන්නේ නොසිතා කරන අභ්‍යුපගමනයන් දෙකක් හේතුවෙනි: (i) පවතින ක්‍රමය හොඳයි කීම (ii) අපේ තෝරාගැනීම ඇත්තේ ප්‍රතිසංස්කරණය සහ කිසිත් නොකර සිටිම යන දෙක අතර පමණක් යැයි සිතීම. යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණය අසම්පූර්ණ නම්, අපි පරිපූර්ණ යෝජනාවක් ලැබෙන තුරු කිසිත් නොකළ යුතුයි යන පිළිගැනීමෙන් සිටිමු.

ඒත් අපිට කිසිම විටෙක කිසිවක් නොකර සිටිය නොහැකියි. අපි වසර දහස් ගණනක් පුරා කරන ලද්දේ ක්‍රියාවන් වෙති. එයින් දුෂ්ටත්වයන් ඵල දැරීය. පවතින ක්‍රමය ක්‍රියාව යැයි අපි හඳුනාගත් විට, එවිට අපට යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණයක සොයාගත හැකි වාසි විමසා එම ප්‍රතිසංස්කරණයේ වාසි අවාසි මෙසේ වේ යැයි කියන අනාවැකි සමඟ සංසන්දනය කර බැලිය හැකියි. අත්දැකීම් නොමැතිවීම ගැන අපිට එහි දී හැකි පමණට අවතක්සෙරුවට ලක් කළ හැකියි. එවැනි සංසන්දනාත්මක පදනමක් අනුව, පරිපූර්ණ ක්‍රමයක් පමණක් ඉවසිය හැකි යැයි කියන, ක්‍රියාවට නැඟිය නොහැකියි කියන්නේ හිර වී නොසිට අපිට විචාර බුද්ධියෙන් තීරණයකට එළඹෙන හැකියාව ලැබේ.

අත්‍යාවශ්‍ය බව හඳුනාගැනීම

මිනිසාගේ ජනගහණ ගැටළුව පිළිබඳ වූ මේ විශ්ලේෂණයේ සරල සම්පිණ්ඩය මෙය විය හැකියි: පොදු බව, කුමන ආකාරයකින් හෝ යුක්ති සහගත කළ හැකි නම්, එය යුක්ති සහගත වෙන්නේ අඩු ජනගහණ ඝනත්ව කොන්දේසි තුල දී පමණකි. ජනගහණය වැඩිවෙද්දී, එක එක අංගයන් අනුව පොදු බව අත්හරින්නට සිද්ධ වී ඇත.

මුලින්ම අපි ආහාර එකතු කිරීමේ පොදු බව අත්හැර දමන ලදි. ගොවිපල වටා වැටවල් ගසා, දඩයමට, මසුන් මැරීමට සහ තණබිම් වලට සීමාවන් පනවා ගත්තෙමු. මේ අවහිර කරන ලද සීමාවන් ලෝකය පුරා තවමත් සම්පූර්ණයෙන් සිද්ධ වී නැත.

යම් පසුකාලයක දී අපි දුටුවේ අපවිත්‍ර දෑ විසිකරන තැනක් හැටියට පොදු බව භාවිතය ද අත්හැර දැමිය යුතු බවයි. බටහිර ලෝකයේ ගෘහාශ්‍රිත අපවිත්‍ර දෑ පහ කිරීමේ බාධක පැනවී තිබීම ප්‍රථුල ලෙසින් බාරගන්නා ලද තහනමකි. රථවාහන, කම්හල්, කෘමිනාශක ඉසීම,පොහොර දැමීම, පරමාණු ඉන්ධන ඉදි කිරීම් වැනි පොදු ස්ථාන වලට සිද්ධ වෙන දූෂණය වසා දමන්නට අපි තවමත් වෙහෙසෙමු.

සතුට උපදවන පොදු කටයුතු වල ඇති දුෂ්ටත්වය හඳුනාගැනීම ගැන අප සිටින්නේ ඊටත් ඈත ඉතා කළල අවධියකයි. මහජන මාර්ගයෙන් ශබ්ද තරංග පැතිරවීම ගැන කිසිත් බාධාවන් නැති තරම්ය. සාප්පු යන මහජනතාවට ඔවුන්ගේ කැමැත්තක් නොමැතිව අමනෝඥ සංගීතයෙන් බැට එල්ල වේ. පනස්දාහක් ජනතාවට කරදර කරමින් එක් අයෙක් රටේ එක පැත්තක සිට අනෙක් පැත්තට පැය තුනක් ඉක්මණින් ගෙන යන්නට අපේ ආණ්ඩුව බිලියන ගණන් ඩොලර් ගෙවයි. දැන්වීම්කරැවන් විසින් රේඩියෝ තරංග මඩ කරති, රෑපවාහිනිය නැරඹීම දූෂණය කරති. සතුට උපදවන කටයුතු වල පොදු බව නීති විරෝධී කිරීමෙන් අපි ඉන්නේ ඉතා ඈතකයි. සතුට යම් ආකාරයක පවක්, සහ වේදනාවක් නිසා (එනම්, දැන්වීම් මඟින් කරන දූෂණය) සද්ගුණයක ලක්ෂණයක් හැටියට දැකීම අපට පියුරිටන් සම්භවයෙන් දායාද වූ හැදියාවක් ද?

පොදු බව වසා දමන්නට ගෙනෙන සෑම නව ඇසිරීමක්ම කාගේ හෝ අයෙකුගේ පුද්ගලික නිදහස කප්පාදු කරන්නකි. ඈත අතීතයේ කරන ලද කප්පාදුවන් පිළිගැනීමට පාත්‍ර වී ඇත්තේ ඒ අහිමියක් ගැන පැමිණිලි කරන්නට වර්තමානයේ කිසිවෙක් නැති නිසයි. අපි තරයේ විරැද්ධ වෙන්නේ කප්පාදුවට ගෙනෙන නව යෝජනා වලටයි. “අයිතීන්” සහ “නිදහස” යන හඬගෑම් හැම අතින් අහන්නට ලැබේ. ඒත් “නිදහස” යනු කුමක් අර්ථ වෙන්නක් ද? මංකොල්ලයට එරෙහිව මිනිසුන් විසින් එකිනෙකාගේ කැමැත්තෙන් නීති සම්මතයට එකඟ වෙද්දී, මිනිස් වර්ගයා වැඩියෙන් නිදහස් වෙනවා මිසෙක ඔවුන් අතර නිදහස අඩු වී නොයයි. පොදු බවේ තර්කය තුල හිර වූ ඒකීය පුද්ගලයන්ට ඇත්තේ සර්ව විනාශයක් ගෙනෙන නිදහස පමණයි. එහෙත් අන්‍යෝන්‍ය බලාත්කාරයේ අවශ්‍යතාවය දකින්නට පටන් ගත් විට වෙනත් අරමුණු සොයා යන්නට ඔවුන් නිදහස් වෙති. මම විශ්වාස කරන විදියට “නිදහස යනු අවශ්‍යතාවය හඳුනාගැනීමයි,” කියා ඇත්තේ හෙගල් විසිනි.

අවශ්‍යතාවයේ වැදගත්ම අංගය, දැන් අපි හඳුනාගත යුතු වූව නම්, පොදු බව තුල දරැවන් වැදීම අත්හැර දැමීමේ අවශ්‍යතාවයයි. අධිජනගහණයේ දොම්නස් තත්වයෙන් අපි ගලවා ගන්නට තාක්ෂණික විසඳුමක් නැත. දරැවන් හැදීමේ නිදහස අප සියල්ලන්ගේම විනාශය කැඳවනු ඇත. මේ අවස්ථාවේ දී දුෂ්කර තීරණ ගැනීම මගහැරීම සඳහා අපි බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ හෘදය සාක්ෂියෙන් ඉල්ලා සිටින්න යන්නට සහ වගකිව යුතු දෙමව්පියන් යන්නට ජනප්‍රියත්වයක් ලබා දීමටයි. මේ පෙළඹීමට යටපත් කරගත යුතුයි. මන්ද, ස්වාධීන ලෙසින් කටයුතු කරන හෘදය සාක්ෂිය ඉල්ලා සිටිය දී, කෙටි කාලීනව සංකාව උපදවා, අන්තිමේ දී සියළු හෘදය සාක්ෂිය අතුරැදහන් වී යනු ඇත.

වැඩියෙන් වටිනා නිදහස් තත්වයන් සහ අපි ආරක්ෂා කරගෙන පවත්වාගෙන යෑම සඳහා ඇති එකම ක්‍රමය, දරැවන් බෝ කිරීමට ඇති නිදහස අත්හැර දැමීමයි. එය ඉක්මණින් කළ යුතුයි. “නිදහස යනු අවශ්‍යතාවය හඳුනාගැනීමයි.” වර්ගයා බෝ කිරීමේ නිදහස අත්හැරීමේ අවශ්‍යතාවය සියල්ලන්ටම පැහැදිලි කර දීම අධ්‍යාපනයේ කාර්යය භාරයයි. එයින් පමණක් අපිට පොදු බවේ ශෝකාන්තයේ මේ අංගය නවතා දැමිය හැකියි.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on මැයි 23, 2015 at 8:51 පෙ.ව.

    මුළු ලිපි පෙළම ගොඩක් වටිනවා ඔබට ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: