අරුණි ශපීරෝ‍ වෙතින්

සිංහල පත්‍රකලාවේදීන්ට අභියෝගයක්!!!!

Posted in Uncategorized by arunishapiro on මැයි 29, 2015

Money

ගැරට් හාඩින්ගේ පොදු බවේ ශෝකාන්තය ගැන සංවාදයක් වෙන තැනක පටන් ගෙන එතැනම නැවතිණ. සමාජවාදීන් උසුළු විසුළු සහ පුද්ගලික පහර දෙන්නට විනා තමන් අල්ලාගත් මතවාදය තහවුරැ කරන න්‍යාය සපයන්නට අසමත් වෙති. එය පුදුමයක් නොවේ. සමාජවාදය යනු පරාර්ථකාමය විකුණමින් එහි විරැද්ධ පැත්තෙන් බඩ වඩා ගැනීමක නියැළීමයි.

“හාඩින්ගේ තීසිසය ධනේශ්වර විරෝධීන් විසින් නොව ඔස්ට්‍රොම් වැනි ධනේශ්වර ක්‍රමයේම චින්තකයන් හරහා දැවැන්ත ලෙස අභියෝගයට ලක් කොට පරාජය කොට තිබේ.” -පාඨකයෙක් ලියන ලද්දකි.

ඔස්ට්‍රොම් විසින් ගැරට් හාඩින්ව පරාජය කළා ද?

එලිනෝර් ඔස්ට්‍රොම් මේ අඩවිය කියවන අයට අමුත්තියක් නොවේ. ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය අමතක නොකර සිය අර්ථ ශාස්ත්‍රමය පර්යේෂණ කටයුතු වල යෙදෙන අය අතර ඇයත් සිටියාය.

ඇය තර්ක කරන ලද්දේ පොදු සම්පත් නියම ආකාරයෙන් කළමනාකරණයට දන්නේ ඒවාට සමීපයෙන් සිටින අය බවයි. ඇයට අනුව ඛේදාන්තය හටගන්නේ බාහිර පිරිස් විසින් තම බලය (දේශපාලනිකව, ආර්ථිකව හෝ සමාජීය ලෙසින්) පුද්ගලික වාසියක් සඳහා පාවිච්චි කරද්දීයි. මහජනතාව වෙතින් නැඟී එන වෑයම් සඳහා ඇය විශේෂයෙන් සහාය දුන්නේ එවැනි අධ්‍යයන රාශියකින් විමසා බලා ඔවුන්ගේ වෑයම් වලින් ලැබෙන ඵලදායී තත්වයන් සවිස්තරව පැහැදිලි කරමිනි. ඒකීය පුද්ගලයන් සහ යම් කණ්ඩායමකින් සහායක් නොලැබෙද්දී ආණ්ඩුවේ මැදිහත්වීම් කාර්යක්ෂම නොවන බව ඇය පෙන්වා දුන්නාය.

එය ගැරට් හාඩින්ගේ පොදු බවේ ශෝකාන්තයෙන් කියැවෙන අදහස් විවේචනයක් නොවේ. එහි වැදගත් කරැණු, හාඩින් විසින්ම නිරාකරණය කරගත නොහැකි බව පෙන්වා දුන් අංගයන් තවත් පැහැදිලි කිරීමකි.

1994 දී ගැරට් හාඩින් විසින් තමන් 1968 දී ලියපු රචනාවේ මාතෘකාව හැටියට “නිසි පාලනයෙන් නොයුතු පොදු බවේ ශෝකාන්තය” (The Tragedy of the Unmanaged Commons) යැයි ලිව්වා නම් වැඩියෙන් නිවැරදි බව සඳහන් කරයි.

එහෙත් “නිසි පාලනය” වැනි වචනයක් ගැවිච්ච ගමන් එය ආණ්ඩුවක් නැත්නම් නගර සභාවක් නැත්නම් ගම්මුලාදෑනියෙක් හෝ විසින් කළ යුතු නියාමන යැයි සිතන්නට අද බහුතර ලෝකවාසීන් හුරැ වී සිටිති.

එහි දී බහුතර ලෝකවාසීන් අමතක කරන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු බොහොමයක් මෙන්ම තම ජීවිත කාලය පුරා කරන කටයුතු බොහොමය ද නිසි පාලනයකින් ගෙන යන්නට සාර්ථකව දත් එකම පුද්ගලයා තමන් බවයි. තවත් විදියකට කිව්වොත්, සම්පතට සමීපයෙන්ම ඉන්නා අය නිසි පාලනය කුමක්දැයි දනියි.

එක පැත්තක් පමණක් ප්‍රදානයට සිංහල පත්‍රකලාවේදීන් ගජ හපනුන් වෙති. බටහිර කුමන්ත්‍රණ, ඇමෙරිකන් අධිරාජ්‍යවාදය, ඇමෙරිකන් හමුදා බලය යනාදියෙන් ප්‍රවෘත්ති, විවේචන, කතිකා ලංකාවේ සිංහලයාට සිංහලෙන් පුවත්පත් පටන් ගත් දා පටන් නොකඩවා කියවන්නට ලැබුණකි.

ලංකාවේ නොමිලේ බෙදන නිදහස් නොවන අධ්‍යාපන මාෆියාව තුල ද මෙයාකාර හැදියාවක්ම දැකිය හැකියි. උසස් අධ්‍යාපනය පිණිස බටහිර රටවල් හොයමින් ඇදී එන “විද්වතුන්” කියා ගත්තුවුන් පවා “ලංකාවට ගැලපෙන විදියට” ප්‍රදානය අවශ්‍ය යැයි මතයක එල්බ සිටිති. ඒ ගැලපෙන ආකාරය නම් හැමදාම සිතන ශෛලියටම හරියන අදහස් පැතිරවීමයි.

මේ සටහන විද්වතුන්ට එල්ල කරන අභියෝගයක් නොවේ!!! ඒක වෙන දවසක.

මෙය සිංහලෙන් ලියන පුවත්පත් කලාවේදීන්ටයි.

ආර්ථිකයක් නංවාලන්නට හැකියාව ඇත්තේ, එනම් කන්න හොයන මිනිසාට තම කුස පුරවා ගන්නත්, අඳින්න හොයන මිනිසාට තම විලිවසා ගන්නට හැකියාවත්, රෝගාබාධ වලින් දුක් විඳින්නාට එයින් ගොඩඑන ක්‍රමයත් යනාදී වශයෙන් මිනිසුන් සොයා යන දේවල් ඒ මිනිසුන්ට ණය බරින් මිරිකෙන්නට නොවී පහසුවෙන් ලැබෙන්නේ, කුමන ක්‍රමයකින් ද?

කුණාටු, සුළි සුළං සහ ගංවතුර ගලන ලෝක ස්වභාවය එසේ හැමදාම පැවති නිසත්, අනෙකුත් අයට කළින් තම සුවසෙත සහ අනතුරැව තම සමීපතයන්ගේ සුවසෙත මිනිස් ස්වභාවය එසේ හැමදාම පැවති නිසත්, ගැරට් හාඩින් පෙන්වා දුන් ලෙසට පොදු යහපත වෙනුවෙන් කියා විකල් අදහස් වලින් මිනිස් මනස ලැජ්ජාවට පත් කරද්දී අහිමි වී යන්නේ හෘදය සාක්ෂියක් ඇති මිනිසුන් වෙති. ඉතිරි වෙන්නේ කැලෑවේ නීතියයි.

කලකට ඉහත දී ඇමෙරිකාවේ වැරදි සටහන් කරද්දී රාවය පුවත්පත එහි වැදගත්ම කොටස, එනම් එහෙම වැරදි කරන එද්දලවාදීන්ගේ නම් ලැයිස්තුව තිබූ අවසානය නොමැතිව හරියට සියළුම ඇමෙරිකන් ව්‍යාපාරික ප්‍රජාව එවැනි වැරදි කරන සෙයකින් සටහන බෙදන ලදි.

ඉතින් මෑතක දී සිංගප්පූරැවේ මිය ගිය ලී ක්වාන් යූ නම් ධනවාදී පාලකයාගේ වැරදි සටහන් කරද්දී එය බෙදාගත් අය බොහොමයක් වූහ. දිනමිණ පත්‍රය ද එය බෙදන ලදි.

නමුත් දිගින් දිගටම ලියන වාමාංශික ලෝකයේ වැරදි එකකුදු හෝ සිංහලෙන් කියවන්නා වෙතින් වසන් කර තබන්නේ ඇයි යන්න සිංහලෙන් කියවන්නා උදෙසා ලියන සිංහල පත්‍රකලාවේදීන් වෙතින් අහන්නට කැමැත්තෙමි.

උගෝ චැවේස් බලයට එද්දී සමාජයක් බේරාගන්නට එන අපූර්ව නායකත්වයක් වෙනෙසුවෙලා ජනතාවට ලැබීම ගැන අතිශය වර්ණනා සිංහල පුවත්පත් වලින් පැතිර පැවතීම අන්තර්ජාලයෙන් දැනටත් සොයාගත හැකියි. එහෙත් ඔහුගේ පරාර්ථකාමයෙන් නැහැවුණු, හැරෙන්නට බැරි ලෙසකින් ගෙනෙන ලද සමාජවාදීන් හැමදාම මෙසේ කළ යුතු යැයි පෙනී සිටින නියාමන වලින් පිරී ගිය වෙනෙසියුලාව අනතුරැව චැවේස්ගේ ප්‍රතිපත්ති ඉදිරියටම ගෙන යන්න කැප වී සිටින මධූරෝ අතින් ඉටු වෙද්දී රටේ ව්‍යවහාර මුදල වන බොලිවාර් බංකොළොත්ව කඩා වැටෙද්දී ඒ සම්බන්ධයෙන් සිංහලෙන් ලියන එක වචනයක් හෝ කියවන්නට නැත්තේ ඇයි?

මළපහ කර පස්ස පිහිදා ගන්නට භාවිතා කරන ටොයිලට් පේපර් එක රටේ සල්ලි කොළේට වඩා අගයෙන් වැඩි වී ඇත!!!!! එය සත්‍යය කරැණකි. නමුත් එවැන්නක් සඳහන් කරන අයෙක්ව, ඇමෙරිකාවේ අපි පස්ස පිහිදන්නේ ටොයිලට් පේපර් වලින් වැනි නොකී දේවල් කියූ ලෙසින් ලේබල් කර හාස්‍යයට ලක් කිරීම ඉතා පහසු වූවකි. මන්ද, පරාර්ථකාමයේ නාමයෙන් ගෙනා ප්‍රතිපත්ති වලින් මහත් හානියක් සිද්ධ වී ඇත්තේ මන්දැයි වාමාංශික අර්ථ ශාස්ත්‍ර විග්‍රහයකින් කරන්න බැරි දෙයක් නිසයි!!!

ඉතින් මෙතෙක් ලංකා ඉතිහාසයේ හැමදාම කළා මෙන්, සිංහල පත්‍රකලාවේදීන් වෙනෙසියුලාවේ උග්‍ර වී ඇති ඛේදවාචනීය තත්වය නුදුටු ලෙසින් නිහඬව සිටිති.

වෙනෙසියුලාවේ බොලිවාර් බංකොළොත්ය. එහි වාර්ෂික උද්ධමන අනුපාතිකයන් වේගයෙන් ඉහළට ඇදෙමින් පවතියි. පසුගිය සතියේ එහි වාර්ෂික උද්ධමන අනුපාතිකය 500% සීමාව පසු කර යන ලදි. දැන් එය ඇත්තේ 510% ක් ලෙසයි.

නිදහස් වෙළඳපොල, එනම් හැරෙන්නට බැරි ලෙස නියාමන පිරෙද්දී ඊට ඉඩක් පවතින තැන් බිහිවෙන්නේ කළුකඩ තුලින් නිසා, කළුකඩ දත්ත වලින් සත්‍ය උද්ධමනය මැනිය හැකියි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය සහ කේටෝ ඉන්ස්ටිටියුට් එකතුව කරගෙන යන “ව්‍යසනයට ගොදුරැ වූ මුදල් ගැන හදාරන ව්‍යාපෘතිය” මේ කළුකඩ හුවමාරැ අනුපාතික දත්ත අධ්‍යයනය කරන ලදි. වෙනෙසියුලාවේ වාර්ෂික උද්ධමනය 510% ක් යැයි ඇස්තමේන්තු කර ඇත්තේ, එය ලොව ඉහළම අනුපාතිකය බව පෙන්වමින්, දෙවැනියට ඇත්තේ 84% කින් පවතින යුද්ධයෙන් බැටකන සිරියාවේ බව දක්වයි.

වෙනෙසියුලාව මෙසේ හැමදාම උද්ධමන අනුපාතික වලින් දුක්විඳ නැත. 1950 සිට 1970 දක්වා එහි වාර්ෂික උද්ධමන අනුපාතිකය තනි අංක වල පැවතියකි. 1980 තෙක් අංක දෙකක සාමාන්‍යයක් පවා අත්විඳ නැත. සෙසු ලතින් ඇමෙරිකන් රටවල් වලට වඩා ඉහළින් එහි සාමාන්‍ය උද්ධමනය නැඟ යන්නේ 1990 ගණන් වලින් පසුවයි.

මුදල් යනු මුදල් පලියට ගොඩගසා ගන්නා දෙයක් නොවේ. එය අවශ්‍ය වෙන්නේ ජීවිතයට උවමනා වෙනත් දේවල් තමනට තනිවම හදාගැනීමට නොහැකි නිසයි. අවශ්‍ය හා කැමති දේවල් පහසුවෙන් ලබාගැනීමට ඇති තරම් ඉඩකඩ පවතිද්දී මුදල් පසුපස යෑමේ නොහොත් ඊට වැඩියෙන් වෙහෙසීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. මුදලට කඹුරන වහලුන් බිහිවෙන්නේ මුදල් උපයාගන්නට හැකියාව නැතිකර දැමීමෙනි.

“සමාජවාදයේ දී කඩ රාක්ක හිස් ය. මහජනතාව සතුටින් සිටිති. ධනවාදයේ දී කඩ රාක්ක පිරී ඇත. මහජනතාව අසතුටින් සිටිති,” මෙවැනි මුලාවන් සිංහලෙන් තව කොපමණ කාලයක් බෙදනවා ද?

එහෙම නැත්නම් වෙනෙසියුලාවේ මිනිස්සු අද මෝටර් සයිකල් පවා හොරකම් කරමින් ඒවා කොටස් විකුණා බඩගින්න නිවාගන්නට, බෙහෙත් මිල දී ගන්නට, වස්ත්‍ර සොයාගන්නට, ටොයිලට් පේපර් ගන්නට තරම් දීන වී ඇත්තේ මන්දැයි, නැතහොත් ඇස් පනා පිටම පොදු බවේ ශෝකාන්තය කෙසේ දිග හැරෙන්නේ දැයි කියා සිංහලෙන් කියවන අය වෙනුවෙන් වාර්තා කරන්න කුමන පත්‍රකලාවේදීයෙක් නිර්භීත වේවි ද?!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: