අරුණි ශපීරෝ‍ වෙතින්

මරණය අබියස …

Posted in Uncategorized by arunishapiro on ජූනි 2, 2015

Marilyn

නැන්දම්මා ගැන මගේ අඩවියේ සඳහන් අවස්ථා සහ එකතු කර ඇති ඇයගේ ඡායාරෑප බොහොමයකි. ඇමෙරිකාවේ මැද ඉපිද, වසර 92 ක් පිරෙන තෙක් එයම වාසස්ථානය කරගත් ඇය සිය දිවියේ බහුතර කාලය පුවත්පත් කලාවේදිනියකගේ ඇසකින් දුටු තැනැත්තියක් වූවාය.

මිඩ්වෙස්ට් නොහොත් රටේ මැද වාසය කරන ඇමෙරිකන් ජනතාව පැවැත්මෙන් කාරැණික, හැදියාවෙන් ආචාරශීලී, කතාබහේ දී පැහැදිලි උච්චාරණයෙන් යුතු වූවන් යැයි සාමාන්‍ය මතයයි. එම පොදු මතය සිය ජීවිතය පුරාම තහවුරැ කළ ඇය ඇමෙරිකාවට ගොඩ වැදුනු බහුතර සංක්‍රමණික ජනකොට්ඨාශය ලෙස සැලකෙන ජර්මන් ජාතියට නෑකම් කීවාය.

එහෙත් පසුගිය දා ඇය අපට කියා සිටියේ දැන් හිටියා හොඳටම ඇති කියායි. වයස්ගත බව විනා වෙන කියන්නට ලෙඩක් දුකක් ඇයට තිබුනේ නැත. එදා යකඩ යතුරැලියනයක් මත පුවත්පත් වාර්තා ලියන්නට කෙටූ ඒත් අද මහළු වියේ ආතරයිටිස් වලට ඉලිප්පුණු ඇඟිලි වලට වතුර කෝප්පය තනිවම අල්ලා ගැනීම දැඩි වෙහෙසකි.

එකම දරැවා ලෙසින් දෙමව්පියන් සමඟ ගෙවූ සුන්දර ළමා කාලයෙන් තොරතුරු බිඳක් හමු වූ හැම අවස්ථාවක දී ම ඇය සිය දරැ මුනුබුරැ මිනිබිරියන් 35 දෙනා සමඟ බෙදාගත්තීය. උදේ පාන්දර නැඟිට සෙල්ලම් කරන්නට යනු පිණිස ඇය කකුලේ පටියක් ගැටගහාගෙන, සිය මිතුරියට එය ඇද තමන් අවදි කරන්නට හැකිවන සේ අනෙක් කොණ ජනේලයන් එළියට දමා නිදාගත්තියකි.

ඒ අසල්වැසි මිතුරිය ඇයගේ ජීවිත කාලය පුරාම දුකසැප බෙදාගන්නට හවුල් වූ ඇයගේ හොඳම මිතුරියයි.

පාසැලේ ඉහළම ලකුණු ගත් ශිෂ්‍යාව වූ නැන්දම්මා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරැව පත්තර කන්තෝරැවක රැකියාව පටන් ගත්තාය. සිකුරාදා සවස වැඩ අවසන් වී අර හොඳම මිතුරිය සමඟ දුම්රියට නැඟ, ඉන්දියානාපොලිස් සිට නිව්යෝර්ක් වෙත රෑ පුරා ගමන් කර සති අන්තය එහි ගෙවා සඳුදා ආපසු වැඩට යන විනෝදකාමී ජීවිත ගෙවූහ.

ඇය උදේ කෑමට එතරම් කැමැති අයෙක් නොවේ. සදහටම දෑස් පියා ගන්නට පෙර ඇයට උදෑසන කෑම ගන්න යැයි පෙරත්ත කළ සාත්තු සේවකයාට ඇය කියා සිටියේ සිය ජීවිතයෙන් තවත් කතාවකි. මම උදේ කෑම සතුටින් කෑවේ ජීවිතයේ එකම එක දවසක පමණයි. ඒ ක්ලාක් ගේබල් එක්ක. ඇය ක්ලාක් ගේබල් හා උදේ ආහාරය ගත් ආකාරය සවිස්තරව පවසද්දී සාත්තු සේවකයා ඇය මහළු වියේ විලම්බීතයක් දොඩවන කාන්තාවක් යැයි සිතුවා වෙන්නටත් පුළුවන්. ඒත් නැන්දම්මා සහ ක්ලාක් ගේබල් පුවත්පත් සම්මුඛ සාකච්ඡාව පත්තරයක පළ වී ඇති සාක්ෂියකි.

මරණය අබියස තම ජීවිතයෙන් බිඳක් එසේ ඇය බෙදාගත්තීය. වසර 92 ක් දිවි ගෙවා ඇත්නම් කියන්නට දෑ කොතරම් ඇත් ද?

මමත් ඇයත් කතන්දර පොත් හුවමාරැ කරගෙන කියවන්නට ගජ හපනුන් වීමු. ඇයගේ සිත තදින් ඇදී ගිය අලුත් නවකතා ලේඛිකාවන් දෙදෙනෙක්, අයිරිශ් ජාතික මේව් බින්චි සහ මිට්ෆර්ඩ් පොත් මාලාව ලියූ ඇමෙරිකන් ජැන් කැරොන් යන දෙදෙනාව ඇයට හඳුන්වා දෙන්නට මට හැකියාව ලැබීම නිසා අප දෙදෙනාට වඩාත් සමීප වන්නට හැකියාව ලැබිණ. මහගෙදර යන හැම විටෙකම, මා කැමති පළතුරක් සහ මා කැමති පොතක් වරදින්නේ නැතිව ඉදිරිපත් කරන්නට ඇය සමත් වූවාය.

වයෝවෘද්ධ බැවින් අබලන් වූ සිරැර හැර වෙන කිසිත් ලෙඩක් සොයාගත නොහැකිව වෛද්‍යවරයා ඇයට පොටෑසියම් පෙති නියම කර තිබුණි. සාත්තු සේවිකාවන් ඇය ලවා ඒවා ගිල්ලවන්නට ගත් උත්සාහයන් අසාර්ථක වූහ. මේ ජීවිතයේ කෙළවරට පැමිණ තමන් මරණය අබියස ඉන්නා බව දත් ඇය ඒවා තරයේම ප්‍රතික්ෂේප කළාය. එහෙනම් ඉතින් කෙසෙල් ගෙඩියක් වත් කන්න යැයි ඇයට නර්ස් නෝනා කියද්දී, “එයා කවදාවත් කෙසෙල් ගෙඩි කන්න කැමති කෙනෙක් නොවේ, ඇයි ඉතින් දැන් කන්න අවශ්‍ය” යැයි කට පියාගෙන ඉන්න පුරැද්දක් නැති මට කියැවිණ. ඇස් වසාගෙන සිටි නැන්දම්මාගේ මුවේ සිනාවක් ඇඳිණ. ඒ ඇය වෙතින් මා දැකි අවසන් සිනාවයි.

ඇයට රෝහලේ කෑම වෙනුවට පිටතින් වෙනත් දෙයක් ගෙනෙන්නට අපි සූදානම් වෙද්දී, මහත්තයා යනවා ද නැත්නම් මා යනවාදැයි අපි තීරණය කරද්දී මව් සෙනෙහස මරණය අබියස දී වුවත් එලෙසින්ම පවතින බැව් විදහා පාමින් ඇය ඔය දෙන්නම එකට ගිහින් අරන් එන්න යැයි කීවේ දවස පුරාම ඇය අසල සිටි අපි දෙන්නාටත් එවිට විරාමයක් සහ යමක් කන්න අවස්ථාවක් ලැබෙන බව දත් නිසා බව අපිට වැටහුනේ අවන්හලට ගොඩවැදුනාට පසුවයි.

අපේ අතින් කැවූ සුප් හැඳි දෙක තුනකින් පසුව කෑම බීම ප්‍රතික්ෂේප කළ ඇය දෙනෙත් පියා ගන්නා බව තමන් බලන්නට පැමිණි සැමට පැහැදිලිවම කියා සිටියාය. අවසන් දවස් කිහිපය තෙක්ම විටෙන් විට ගිලිහී ගියත් ඇයගේ මතකය අපේ මතකයන්ට වඩා තීක්ෂණ විය. රේස් කාර් තරඟකරැවාගේ නම සිහි කරගන්නට නොහැකි වුවත් ඔහු කවුදැයි අපට සොයාගත හැකි විසිපැණ අහන්නට ඇය සමත් වූවාය.

මම හොඳ ද නරක ද කියල මම දන්නෑ. ඒත් මම දන්න තරමින් හොඳට ඉන්න මම වගබලාගත්තා යැයි ඇය තම වැඩිමහල් පුතුට කීවේ මිනිසත් බවේ දී අපිට කළ හැකි වැදගත්ම කාර්යය එයැයි අපිටත් මතක් කරදෙන්නට මෙනි. ඇය මට හඳුනාගන්නට ලැබුණු සුවිශේෂී මිනිසුන් අතරින් එක්කෙනෙකි. මගේ හෘදය සාක්ෂිය මුමුණන දැයට සවන් දෙන්නට නොබියව ඉදිරිපත්වීමට ධෛර්යයක් ඇය අවසන් ගමන් ගිය ආකාරය සිහිකරන සෑම අවස්ථාවක දීම මට ලැබෙනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

“නෑගම් පැමිණ ආපසු නොයන නැන්දම්මා නම් හෘදය සාක්ෂියයි,” -එච්. එල්. මෙන්කන්

19 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූනි 2, 2015 at 10:20 පෙ.ව.

    //“නෑගම් පැමිණ ආපසු නොයන නැන්දම්මා නම් හෘදය සාක්ෂියයි,” -එච්. එල්. මෙන්කන්// ලිපයේ මුළු සාරයම මේ වදන් කීපය තුළින් ගම්‍ය වෙනවා. මා අදහස් කරන්නේ ඔබ පරිවර්තනය කර ඇති ආකාරයේ ඇති වටිනාකමත් සමගයි

  2. විචාරක Wicharaka said, on ජූනි 2, 2015 at 11:39 පෙ.ව.

    මට පෙනෙන්නේ ඇය ඔසරියක් අඳින්නට තරම් සරල නිහතමානී මනසකින් යුත් කාන්තාවක් බවය. ඇය සර්වකාලීන සර්වදේශික කාන්තාවක බවද පෙනෙයි. ඇයට මෝක්ෂ සුවය අත්වේවා!

  3. rasikologist said, on ජූනි 2, 2015 at 6:02 ප.ව.

    අපටත් කවදාක හෝ අප යන්නට යන දවසේ ඒ විදියට සැනසිල්ලේ යන්නට ඇත්නම් හොඳයි.
    RiP

  4. ravi said, on ජූනි 3, 2015 at 7:07 පෙ.ව.

    අරුණිගෙ නැන්දම්මා වගේ අය ඇත්තටම ඇවිදින ඉතිහාස පොත්. ඔවුන් තම අත්දැකීම් අකුරු කලානම් ……:(

    මම හොඳ ද නරක ද කියල මම දන්නෑ. ඒත් මම දන්න තරමින් හොඳට ඉන්න මම වගබලාගත්තා යැයි ඇය තම වැඩිමහල් පුතුට කීවේ මිනිසත් බවේ දී අපිට කළ හැකි වැදගත්ම කාර්යය එයැයි අපිටත් මතක් කරදෙන්නට මෙනි. ඇය මට හඳුනාගන්නට ලැබුණු සුවිශේෂී මිනිසුන් අතරින් එක්කෙනෙකි. මගේ හෘදය සාක්ෂිය මුමුණන දැයට සවන් දෙන්නට නොබියව ඉදිරිපත්වීමට ධෛර්යයක් ඇය අවසන් ගමන් ගිය ආකාරය සිහිකරන සෑම අවස්ථාවක දීම මට ලැබෙනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

    මේ කොටස හරිම අපූරුයි. ඇගේ ජීවිතයේ සාරාංශයක් සහ ඇගෙන් උගත යුතුදේ සම්පිණ්ඩනයක් මේ ඡේදයෙ ගැබ් වෙලා තියෙනව.🙂

  5. දුමී said, on ජූනි 4, 2015 at 5:30 පෙ.ව.

    අරුණි ලියලා තියෙන වචනයක් වචනයක් ගාණේ අරුණිත්, අරුණිගේ නැන්දම්මත් අතර පවතින ආදරය සහ සැබඳිය මොනවට පැහැදිලි වෙනවා. බුදු දහමේ හැටියට අපි වාසනාවන්ත මරණයක් කියන්නේ මෙන්නේ මේ විදිහට පරිකල්පනාවෙන්, මරණයට කිසිදු බියක් නොමැතිව සැනසිල්ලේ තමන්ගේ අවසන් සුසුම් පොද වාතලයට එක් කරන එකටයි. බෞද්ධයෝ විදිහට අපි සැමගේම ප්‍රාර්ථනයත් ඒකමයි.

    අරුණිගේ ආදරණීය දෙවනි අම්මාට ඇය පතනා අයුරකින් මෝක්ෂය උදාවේවා කියලා පතන්නම්….!

  6. balasooriya lansakara said, on ජූනි 5, 2015 at 8:53 පෙ.ව.

    අරුනිගේ නෑන්දම්මාගේ විස්තර වලින් අපේ ජීවිත වලටත් ආදේශ කරගන්න ගොඩාක් වෑදගත් දේ තියනවා. ස්තුතියි.

  7. රාජ් said, on ජූනි 9, 2015 at 1:30 පෙ.ව.

    කණගාටුයි.කොහොම උනත් නැන්දම්මා වාසනාවන්තයි, අන්තිම මොහොත දක්වා පියවි සිහියෙන් ඉන්න ලැබීම ගැන හිතුවම.

  8. Uditha Meegahathenna said, on ජූනි 9, 2015 at 6:40 පෙ.ව.

    පරක්කු වෙලා දැක්කේ …..මරණින් මතු ඇය පැතු දේවල්ම අයට ලැබේවා. සාතිෂය සංවේගය අරුණි

  9. thurul said, on ජූනි 14, 2015 at 9:47 ප.ව.

    Thank you Dear Aruni for sharing with us the greatness of your mother in law /Mother in Heart. It is a tribute to her and you let her live long in hearts. Good on her and you all..
    (do not know how to print in singhala)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: