අරුණි ශපීරෝ‍ වෙතින්

වසර 800 ක් ගෙවන සැබෑ යහපාලන ප්‍රඥප්තිය

Posted in Uncategorized by arunishapiro on ජූනි 15, 2015

2015 ජූනි 15 වැනි දිනය යනු මැග්නා කාර්ටා නොහොත් “ශ්‍රේෂ්ඨ ප්‍රඥප්තිය” අත්සන් තැබීම සිහි කරන දිනයයි. 1215 දී බලගතු රදළයන් පිරිසක් ඉංග්‍රීසි රජු ලවා එය අත්සන් කරවූහ. එම මිනිස් නිදහස පෑදෙන ප්‍රඥප්තියට මූලික වූයේ ඊට වසර 26 කට පෙර, 1189 සැප්තැම්බර් 3 වැනිදා රනිමීඩ් හි රිචඩ් නොහොත් “ද ලයන්හාට්” නොහොත් “සිංහ හදවත ඇත්තා” එංගලන්තයේ රජු හැටියට ඔටුනු පැළඳීමයි.

ඔහු ඔටුනු පැළඳ ඊ ළඟ වසර 10 ගෙවුයේ රටෙන් පිටතයි. මැද පෙරදිග දේශයන්හි කෲසේඩ වල සටන් වැදි හෙතෙම අනතුරැව ප්‍රංශයේ ඉඩම් සඳහා එංගලන්තයේ අයිතිය කියා පාන්නට නෝමන්ඩියේ සටන් වැදුණි.

යුද්ධ කිසිවිටෙක රටවැසියන්ට ලාබදායක නොවෙති. ඔහුගේ කෲසේඩ සඳහා වියහියදම් දරන්නට ඔටුනු පැළඳි පළමු වසරේ දී ම හේ “සැලඩින් බද්ද” හා වෙනත් බදු පැනවීය. එයින් රටවැසියාගේ බදු බර 50% කින් ඉහළ යන ලදි. ඉඩම් හිමිකරැවන්ට වැඩියෙන් බදු බර පැටවී විවාහයට අවසර සඳහා සහ උරැමයෙන් ලැබෙන ධනවස්තු සඳහා ද බදු පැනවිණ.

1192 දී රිචඩ් ජෙරැසේලමේ සිට ආපහු සිය මව්බිම කරා ගමන් කරමින් සිටිය දී ඔහුව ශුද්ධ රෝමානු එම්ප්‍රදෝරැවා වූ හයවැනි හෙන්රි විසින් පැහැරගෙන කප්පම ගෙවන තෙක් ජර්මනියේ රඳවා ගැනිණ. “රජෙකුගේ කප්පම,” (a king’s ransom) යන පදවහරේ මූලාරම්භය එතැනින්, රටවැසියා ලවා මුදල් ගෙවා රජු ගලවා ගැනීමට සිද්ධ වූ නිසා හටගත්තකි.

රිචඩ්ගේ මව වූ ඇකිටේන්හි එලිනෝර් විසින් ආණ්ඩුවේ සිටි ඇයගේ හිතවත් පාක්ෂිකයන් සමඟ ආණ්ඩුවෙන් ඒ මුදල එකතු කරගන්නට කටයුතු කරන ලදි.

“මැග්නා කාර්ටා: ශ්‍රේෂ්ඨ ප්‍රඥප්තියක නිර්මාණය සහ ලෙගසිය” නමින් පොතක් 2014 දී ලියන ඩෑන් ජෝන්ස් එහි මෙසේ සටහන් තබයි: “ඔවුන් එකතු වී යුරෝපයේ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග වලින් කටයුතු කළහ. රජු අල්ලාගත්තවුන්ගේ ඉල්ලීම් පරිදි නැව් සහ ප්‍රාණ ඇපකරැවන් සොයාගත්හ. ආදායම් සහ චංචල දේපල සඳහා 25% ක බද්දක් පැනවූහ. එංගලන්තයේ සිස්ටර්සියින් තාපාසාරමයන් වලින් සම්පූර්ණ වසරක වූල් ප්‍රමාණයක් රජයට පවරා ගත්හ. රිචඩ්ගේ පුද්ගලික ඉල්ලීමක් අනුව නිදහස් වූ පසු ආපසු දෙන බවට පොරොන්දුවක් මත එංගලන්තයේ පල්ලි සතු “සම්පූර්ණ රත්තරන් සහ රිදී” යවන්නට කැමති කරවා ගත්හ.”

කප්පම ගෙවූ පසු රිචඩ් නැවත එංගලන්තයට පැමිණියේය. එහෙත් සති කිහිපයකින් ඔහු තවත් යුද්ධයක් සඳහා ප්‍රංශයට පිටත් වී ගියේය. යුද වල දී ලද තුවාලයකින් මිය ප්‍රංශයේ දී 1199 දී මිය ගියේය.

ඔටුන්න මාරැ වුනේ රිචඩ්ගේ සහෝදරයා වූ ජෝන්ටයි.

රිචඩ්ගේ ක්‍රියා කලාපයෙන් කිසිත් ඉගෙන නොගත් ජෝන් විසින් කරන කටයුතු රිචඩ් පරදවා යයි. ඔහුත් සිය පාලන සමයේ වැඩි කාලයක් ගෙවන්නේ ප්‍රංශය විසින් අල්ලා ගත් ඉඩම් යළි ආපහු ගැනීමට යුද්ධ කටයුතු වල නිරත වීමටයි.

අශ්ව කරත්ත හෝ අශ්වයන් අවශ්‍ය වූ විට, නැතහොත් ඔහුගේ හමුදා කාණ්ඩයන් සඳහා ආහාර අවශ්‍ය වූ විට, ජෝන් කරන ලද්දේ පුද්ගලික අයිතියෙන් යුතු ඒ දේවල් තමන් යටතට ගැනීමයි. තමන් යටතට ගන්නේ කුමන කොන්දේසි අනුව ද යන්න ගත්තාට පසුව කියන්නම් කියමින් ඔහු සිය වැසියන්ට චණ්ඩිපාට් දැමීය.

වෙළෙන්ඳන් නගරයෙන් නගරයට ගමන් ගනිද්දී ඔවුන් සතු සල්ලි මුදල් තම උවමනාව අනුව හිතුමතයේ සහ අනුකම්පා විරහිතව ලබාගන්නා ලදි. පාලමක් ඉදි කරන්නට අවශ්‍ය වූවාම අනිවාර්ය ශ්‍රමය නියම කරන ලදි.

අයියා මල්ලි දෙන්නාගෙන් පීඩිත වූ එංගලන්තයේ රදළයන් හා සාමාන්‍ය වැසියන් එකතු වී සහාය පළ කරමින් ධෛර්යක් වඩවා ගත්තේ 1215 දී ජෝන්ට දැන් ඇති යැයි කියන්නටයි.

ශ්‍රේෂ්ඨ ප්‍රඥප්තියට ජෝන් ලවා අත්සන් කරවාගත් පොරොන්දු අතර කිහිපයක් මෙසේය:

අපේ දේශයේ පොදු උපදේශකයන් අතින් පමණක් හැරෙන්නට අනිවාර්ය හමුදා සේවය වෙනුවට බද්දක් ගෙවීම හෝ වෙනත් බද්දක් පැනවීමක් සිද්ධ නොවේ.

භූමිය හා ජල මාර්ග ඇතුළු ලන්ඩන් නගරයට එහි පැවති පැරණි නිදහස සහ නිදහස් චාරිත්‍ර සියල්ල ලැබේ. ඒ හැරෙන්නට, අනෙකුත් සියළු නගරයන්ට, පේරැ කොට්ඨාශයන්ට, ටවුන් සහ නැව් තොටුපළ වලට ඔවුන්ට අහිමි වූ නිදහස සහ නිදහස් චාරිත්‍ර යළි පැවරෙයි.

චාරිත්‍රයෙන් සහ අයිතියෙන් කළ යුතු වූවා හැරෙන්නට කිසිම නගරයකට හෝ කිසිම මිනිසෙකුට ගංඟා හරහා පාලම් ඉදිකරන්නට බලහත්කාරයෙන් නියම වෙන්නේ නැත.

විකුණන්නා කැමැත්තෙන්ම කල් දමන්නට ඉදිරිපත් වෙන්නේ නම් මිසෙක, කිසිම ෂෙරිෆ් කෙනෙක් හෝ රාජකීය නිලධාරියෙකු විසින් තිරිඟු හෝ වෙනත් චංචල දේපල කිසිම මිනිසෙකු වෙතින් එවෙලෙහිම කරන ගෙවීමක් නොමැතිව ලබාගනු නොමැත.

නිදහස් මිනිසෙකුගෙන් කැමැත්තක් නොමැතිව, කිසිම ෂෙරිෆ් කෙනෙක් හෝ රාජකීය නිලධාරියෙක් විසින් තවත් අයෙකුගේ අශ්වයන් හෝ අශ්ව කරත්ත ලබාගනු නොමැත.

භූමියේ හෝ ජල මාර්ග වලින් ඕනෑම වෙළෙන්ඳෙකුට බියක් නැතිව කරදරයක් සිද්ධ නොවී, වෙළඳාම සඳහා, නීති විරෝධී මුදල් පැහැරගැනීම් නැතිව, පැරණි සහ නීතිමය චාරිත්‍ර අනුව එංගලන්තයට ඇතුල් වී සහ පිට වී යා හැකියි.

කිසිවෙකුගේ හෝ ඉඩම්, මාලිගා, ඔහුගේ අයිතීන් හෝ නිදහස, ඔහුගේ සමාජ මට්ටමේ අනෙකුත් අයගේ නීත්‍යානුකූල විනිශ්චයකට පටහැනිව පැහැර ගෙන ඇත්නම්, ඒවා වහාම යළි ආපහු ඔහුට පැවරෙනු ඇත.

අපේ රාජධානියේ මිනිසුන්ට සහ ඔවුන්ගේ උරැමක්කාරයන්ට, සියළු දේවල් වල දී සහ සියළු තැන් වල දී, දින නියමයක් නොමැතිව, ඉහත කියන නිදහස් තත්වයන්, අයිතීන් සම්පූර්ණයෙන් සහ පරිපූර්ණ ලෙසින් ලබා දී, එසේම ඉංග්‍රීසි පල්ලිය ද නිදහස් කරනු ඇතැයි, අපේ කැමැත්ත සහ දැඩි සේ කරන ඉල්ලීම වේ.

රජු ලවා එවැන්නකට අත්සන් කරවා ගන්නට ලැබීම මිනිස් නිදහසේ අතිශය වැදගත් තීරණාත්මක මොහොතක් හැටියට සැලකේ.

එම ශ්‍රේෂ්ඨ ප්‍රඥප්තියෙන් පසු යාන්තමින් දශකයක් ගෙවී යද්දී එංගලන්තයේ පළමුවැනි එඩ්වර්ඩ් සහ ඔහුගේ පුත් දෙවැනි එඩ්වර්ඩ් අතින් බැට කන ලද ස්කොට් රදළයන් 1320 දී තවත් නිදහසේ ඉතිහාසයට වැදගත්කමක් එකතු කරන සම්මුතියක් නිකුත් කරන ලදහ. එය ‘ආබ්‍රෝත් හි ප්‍රකාශනය’ (Declaration of Arbroath) යැයි හැඳින්වේ. ඔටුනු පැළැන්ඳාගේ වගකීම වනාහී පාලනය වෙන්නා වූ අයගේ අවසරයෙන් කටයුතු කිරීමත්, ඔහු එසේ නොකරන්නේ ද ඔහුව ඉවත් කිරීම පාලනය වෙන අයගේ වගකීමත් බව එයින් ඔව්හු සම්මුතියකට එළඹුනහ.

“අපි සටන් වදින්නේ නම්බුනාම හෝ කීර්තියට හෝ ධනවස්තු වලට නොවේ,” ඔවුන් කියා සිටියහ, “නමුත් නිදහස පමණක්ම වෙනුවෙනි, එය කිසිම හොඳ මිනිසෙකු විසින් තම ජීවිතයෙන් පමණක් අත්හරින්නකි.”

මට හමුවන්නට ලැබුණු මා අගයන මිනිසුන් අතරින් අයෙක් වූ ලෝරන්ස් ඩබ්. රීඩ් විසින් ලියන ලද What Led to the Magna Carta? War and Taxes සටහන ඇසුරිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: