අරුණි ශපීරෝ‍ වෙතින්

සෙනඟ කුලියට සපයන කොම්පැණිය

Posted in Uncategorized by arunishapiro on ජූනි 16, 2015

බාගෙට ලියා තිබුණ සටහනක් සම්පූර්ණ කොට පළ කරන්න හිතුනෙ ලංකාවේ පටන්ගෙන ඇතැයි කියැවෙන ආයතනයක් ගැන අහන්න ලැබුන නිසයි. ආණ්ඩුවට බලපෑම් කරන්න හැකියාව ලබා දෙන හෙවත් “ලොබියින්ග්” වෑයම් කරන ආයතන හැටියට එවැන්නක් මෙතෙක් ලංකාවේ නොතිබුනාට එහෙම වෑයම් ඕනෑ තරම් ලංකා ඉතිහාසයේ හැමදාම තිබුණ.

නියාමනය, යාමනය වගේ වචන මාර්ගයෙන් නිදහස් පුද්ගලයන්ගේ තෝරාගැනීම් මැද්දට පනින රාජ්‍ය මැදිහත්වීම් සාධාරණීය කරන අයට මේවා නැතිවම බැරි ආයතන.

පාරිභෝගිකයා කැමැත්තෙන් දෙන රැපියල දිනාගැනීම පිණිස තරඟ කරන්නට අපොහොසත් අය තමයි ලොබියින්ග් වලට කැමති. එනම් රටේ මිලියන විසි ගණනකගේ චන්දයෙන් තමන් ජයග්‍රහණයක් ලබනවා දැයි සොයා බලන්නට ඇති පසුබෑමයි. නිදහස් වෙළඳපොල ප්‍රිය කරනවා වෙනුවට විශාල කොම්පැණි වලට බලය වැඩියෙන් පවරන මෙවැනි ලොබියින්ග් ආයතන වලින් සිද්ධ වෙන්නේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ පොකැට්ටු වලට වැඩියෙන් මුදල් පිරවීමයි.

යම් ව්‍යාපාරිකයෙක්, වෙළඳපොල පවතින නිදහස් තරඟයක දී නොව රාජ්‍ය වරප්‍රසාදයන් තුලින් තම ලාබ සොයා ගන්නට අපේක්ෂා කරන්නේ ද, එහි දී ඔහු වෙළඳපොල ව්‍යවසායකයෙක් නොවන්නේය. ඔහු දේශපාලන ව්‍යවසායකයෙකි.

නමුත් මේ සටහන දේශපාලන ව්‍යවසායකත්වය ගැන නොවේ. එය වෙන දවසක.

මේ සටහන කුලියට සෙනඟ සපයන ඇමෙරිකන් කොම්පැණියක් ගැනයි.

අයෙකුගේ ප්‍රාර්ථනාව සුප්‍රසිද්ධ අයෙක් ලෙසින් සෙනඟක් මැද වැජඹීම අනුන්ට පෙන්වීම ද? මුදලක් ගෙව්වොත් මෙම කොම්පැණිය එය ඉෂ්ට කර දෙති.

ඔවුන්ගේ අඩවියේ ඇති උදාහරණ වලින් කිහිපයක් මෙසේය:
සොෆ්ට්වෙයා ආරක්ෂාව සපයන එතරම් විශාල නොවූ කොම්පැණියක් සැන් ෆ්‍රැන්සිස්කෝ හි තාක්ෂණික සම්මන්ත්‍රණයක දී තමනට අවධානයක් ලබාගැනීමට මේ කුලියට සෙනඟ සපයන කොම්පැණියේ සහාය ලබාගෙන ඇත. එහි දී ඔවුනට අවශ්‍ය වූයේ සම්මන්ත්‍රණයේ දී තමන්ගේ වෙළඳ ලාංඡනය හැමෝටම දකින්නට අවස්ථාවක් පෑදීමයි. ඒත් සම්මන්ත්‍රණයට දක්වන වෙළඳ අනුග්‍රහය සඳහා වැඩි වියදමක් ගෙවන්නට ඔවුන් අකමැති වූහ. ඒ වෙනුවට ඔවුන් සම්මන්ත්‍රණයට සෙනඟ එන ගුවන් තොටුපලේ දී ඒ අය පිළිගන්නට දවස් තුනක් පුරා සෑම පර්යන්තයක දී ම කොම්පැණියේ වෙළඳ ලාංඡනය අතැතිව සිටගෙන සිටින, හොඳින් හැඳ පැළඳ ගත්තවුන්ව මෙම සෙනඟ කුලියට සපයන කොම්පැණියේ සේවයෙන් ලබාගත්හ. සම්මන්ත්‍රණයේ වෙළඳ අනුග්‍රහය සපයන වැයට වඩා දහයෙන් එකකටත් අඩු වැයකින් ඔවුන් තම කොම්පැණිය ගැන දැනුවත් කළහ.

අලුත් වොඩ්කා බ්‍රෑන්ඩ් එකක් ප්‍රසිද්ධ කරන්නට ද මෙම සෙනඟ කුලියට සපයන කොම්පැණිය සිය සේවය විකුණන ලදි. වොඩ්කා වර්ගයේ නිර්මාතෘවරයාව සුප්‍රසිද්ධ ජනප්‍රිය අයෙක් සේ දක්වන්නට ඔවුන් මයාමි සහ ලොස් ඇන්ජලීස් නගර වල නයිට් ක්ලබ් වල සාද පැවැත්වූහ. ඔහු ඒ සාද වලට එද්දී පාපරාට්සි ලෙසින් ඔහුව වට කරගන්නට නළුවන් යෙදවූහ. දෙවැනියට ඔවුන් කරන ලද්දේ වොඩ්කා විකුණන අභියෝගයන්ට මුහුණ පාන නව ව්‍යවසායකයන් හැටියට නිරෑපිකාවන් යොදා යූටියුබ් නිර්මාණයයි. එයින් ඔහුගේ වොඩ්කා බ්‍රෑන්ඩ් එකේ අලෙවිය අනෙකුත් නයිට් ක්ලබ් අතර ද පැතිර යන ලදි.

කුමන විදේශීය ආණ්ඩුව දැයි සඳහන් නැතත්, (නිව් යෝර්ක් නගරයේ පැවැත්වෙන) එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වෙද්දී (මෙය 2012 ආරම්භ වූ කොම්පැණියකි) තම රටේ අලුතින් පත් වූ නායකයාට ධනාත්මක පිළිබිඹුවක් ලබාගන්නට එරටේ ආණ්ඩුව මෙම කොම්පැණියෙන් සෙනඟක් ලබාගෙන ඇත.

යමක් ප්‍රිය කරන අය වැඩියෙන් සිටින නිසා පමණින් ඊට කැමැත්ත පළ කරන්නට හෝ එය මිල දී ගන්නට පෙළඹෙන පිරිසක් ලොව සිටිති. නමුත් ඇමෙරිකාවේ ද මෙවැනි ආයතන එකක් පමණක් තිබීමෙන් පෙනී යන්නේ ඒ පිරිස එතරම් විශාල සංඛ්‍යාවක් නොවේ යැයි කියා ද, නැත්නම් මෙහෙ ශ්‍රමයට ලැබෙන වේතන ඉහළ යැයි කියා ද?!!!!

ශ්‍රමයට ලැබෙන වේතන ඉහළ යද්දී, ප්‍රවාහනය දුන් පමණින්, බත් පැකට් එකක් හෝ මත්පැන් බෝතලයක් දුන් පමණින් දේශපාලන රැස්වීම් සඳහා සෙනඟ අද්දවා ගැනීමට හැකියාව අනාගත ලංකාවේ දී ද දුෂ්කර වෙනු ඇත් ද?

එවිට මෙසේ සෙනඟ කුලියට සපයන ආයතන බිහිවේවි ද?!!!

එහෙත් මතක තබාගත යුත්තක් වන්නේ මෙම කොම්පැණිය නිදහස් වෙළඳපොලක තරඟ කරන්නක් බවයි. එය වෙළඳපොල ව්‍යවසායකත්වයක් මිසෙක දේශපාලන ව්‍යවසායකත්වයක් නොවේ. එනම් ඔවුන්ගේ වැය ආණ්ඩුවේ පනතකින් සම්මත වූ සහනාධාර මඟින් ගෙවෙන්නේ නැත. එවැනි කොම්පැණියක් පටන් ගන්නට කිසිවෙකුට තහනමක් නැත. සලාක ක්‍රමයකින් අවසර ගත යුතු නැත. ලාබ උපයා ගැනීමත් අලාබ දරා ගැනීමත් ඔවුන්ගේ අවදානමයි. වෙනත් කිසිම කුසලතාවයක් නොමැතිව සෙනඟ අතරින් එකෙක් ලෙසින් නියෝජනය කරන්නාගේ ද වේතනය තීරණය වෙන්නේ රටේ වෙනත් රස්සාවන්ට ලැබෙන එනම් අනෙකුත් අයගේ ශ්‍රමයට ලැබෙන වේතන අනුවයි.

රික් සැන්ටෝරම් නැමති 2016 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වෙන්නා විසින් පසුගිය දා අයෝවා හි පැවැත්වූ ජනහමුවකට පැමිණෙන ලද්දේ එක් අයෙකු පමණකි. පසුව තවත් තිදෙනෙකු ඊට එකතු වී ඇත. ඉතින් සෙනඟ සපයන කොම්පැණියක් රටේ තිබි පමණින් එහි සේවය ලබා ගැනීමට හැමෝටම නොහැකියි.

කුලියට අඬන්න අවමඟුල් සඳහා ගිය අය එදා ලංකාවේ පමණක් නොව මෑතක් වන තුරැ ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ ද සිටියහ. ඉතින් කුලියට සෙනඟ සැපයීම ලොව අලුත් දෙයක් නොවේ.

මේ යුගය අතිශය ප්‍රදර්ශනකාමීයි! යනුවෙන් රාවය පත්‍රයේ වූ සිරස්තලයක් දුටිමි. එහෙත් මිනිස් ස්වභාවය මේ යුගයේ දී අමුතු ලෙසකින් වෙනස් වී නැත. ශ්‍රමයට ලැබෙන වැටුප් වලින් ජීවිතය පවත්වා ගැනීම එන්න එන්නම පහසු වෙද්දී, එදා වැඩවසම් දරළයන් අතරින් යම් පිරිසක් කෙසේ හැසිරැනේ ද, අදත් සමාජයේ යම් පිරිසක් එසේම හැසිරෙති.

එසේම එදා වගේම අදත් තවත් පිරිසක් වෙනස් ලෙසකින් කටයුතු කරති. කැමැත්තෙන් සොයාගෙන එන අයට තම වැයෙන් පිරිනමනවා මිසෙක තම අරමුණ ඉටු කරගන්නට ලොබියින්ග් පිණිස දේශපාලනඥයෙකුගේ පසුම්බිය පුරවා එයින් තම බරපැණ සෙසු සමාජය ලවා ගෙවා ගන්නට මේ පිරිස උත්සාහ නොකරති.

ලෝකයේ එන්න එන්නම ජීවිතය පහසුවෙන් පවත්වාගන්නට ලැබෙන්නේ මේ දෙවැනියට කියූ පිරිස සිටින නිසයි. ඔවුන් එසේ කටයුතු කරන බැවිනි.

තමන්ගේ පොත මෙච්චරක් අය කියෙව්වා ඒ නිසා කියවන්න එන්න හෝ තමන්ගේ වෙබ් අඩවියට මෙච්චරක් පිරිසක් පැමිණෙනවා ඒ නිසා එකතුවෙන්න යැයි නොකියන හැදියාවත් වෙනස් නොවන මිනිස් ස්වභාවයකි!!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: