අරුණි ශපීරෝ‍ වෙතින්

විදේශීය ආණ්ඩුවලට සේවය කරන තින්ක් ටෑන්ක් ලැකියන්

Posted in Uncategorized by arunishapiro on ජූනි 18, 2015

ලැකීස් (lackeys) යන වහර එන්නේ රදළ පවුලක් නියෝජනය වෙන පාට සහ ලාංඡන වලින් නිල ඇඳුම් හැඳගත් ඒ පවුලට සේවය කරන අතවැසියන් හඳුන්වන්නට යොදා ගත් වචනයෙනි. මේ සේවකයන් ස්වාමියාගේ කැමැත්ත කුමක්වේද එය ඉටුකරන අයයි.

දීර්ඝ කාලයක් පුරා විද්වතුන් යැයි සැලකෙන පිරිස ලොව ගෞරවයට පාත්‍ර වූයේ සමාජයේ ඉහළම අගැයුම් සහ සත්‍යය ආරක්ෂා කරන්නට කැප වී සිටි අය හැටියටයි. නමුත් වොෂිංටන් ඩීසී හි දී ඔවුන් සේවය කරන්නේ ලිවියතනය ආරක්ෂා කරන්නට ඉදිරිපත් වී ඇති ප්‍රෙටෝරියන් මුරකරැවන් හැටියට බව කියන්නේ ද ඔස්ට්‍රියන් සඟරාවට ලිපියක් සපයන ජේම්ස් බොවාඩ් විසිනි. මේ සටහන ඔහුගේ එම ලිපිය ඇසුරිනි.

ප්‍රෙටෝරියන් මුරකරැවන් යනු රෝම ජනරාල්වරැන්ගේ ආරක්ෂක මුර බලකාය හැඳින්වීමට යොදා ගැනුනකින් පසුව රෝම එම්ප්‍රදෝරැවන්ට සිටි ආරක්ෂක මුර බලකාය හැඳින්වීමට යොදා ගත්තයි.

වර්තමානයේ දී වොෂිංටන් ඩීසී හි විද්වතුන් සැපසේ රජයන්නේ ඔවුන් විසින් සපයන හානිකර ප්‍රතිපත්ති වල පිහිටෙනි. වොෂිංටන් අගනගරය පිහිටන කොළොම්බියා දිස්ත්‍රික්කයේ (එය ප්‍රාන්තයක් නොවේ) ඇමෙරිකාවේ අනෙක් කිසිම පළාතකට වඩා 120 ගුණයකින් වැඩියෙන් දේශපාලන විද්‍යාඥයන් වාසය කරති.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට (එහෙම කිව්වට එය තමයි මෙහි විදේශ අමාත්‍යාංශය) උපදෙස් සපයන අපේ පොළොන්නරැවේ කොල්ලා, මේ කියන ගොඩටම වැටෙනවා යයි මම සලකන විද්වත් දේශපාලන විද්‍යාඥ රාජ්‍ය තාන්ත්‍රිකයා, වාසය කරන්නේ කොළොම්බියා දිස්ත්‍රික්ක මායිමෙන් එහා පැත්තෙ තියන වර්ජිනියාවේ. ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති හදන්න සිංහල කොල්ලොත් දායක වෙනවා කියල දන්නෙ මේ අඩවිය කියවන අය!!!

“යහපත් පාලනය” සඳහා වැඩ කරනවා වෙනුවට 3,200 කට අධික සංඛ්‍යාවකින් යුතු මේ පිරිස රාජ්‍ය බලය විසල් කරන්නට අත දෙති. ඔවුන් අගනගරයට ඇදෙන්නේ ආණ්ඩුව මෙල්ල කරන්නට නොව අනෙකුත් ඇමෙරිකන් ජනතාව මෙල්ල කරන්නට බලය දේශපාලනඥයන් අතට ලබාදෙන්නටයි. පොදු මතය වනාහි දේශපාලනඥයා යනු දුෂ්ට ධනවතා මෙල්ල කරමින් අහිංසක ජනතා හිතසුව පිණිස කටයුතු කරන්නෙක් බවයි. නමුත් ආණ්ඩුව විසල් වී බලතල වැඩිවෙද්දී සත්‍යයෙන් සිද්ධ වෙන්නේ දේශපාලනඥයා විසින් දුෂ්ට ධනවතුන් ළං කරගෙන අහිංසක ජනතාව මැඬවීමයි.

දේශපාලනඥයන්ට සහාය දෙන මේ විද්වතුන් ඔවුන් රිසි ප්‍රතිපත්ති නිදහසට වඩා අගයෙන් යුතු යැයි තරයේ විශ්වාස කරති. ඔවුන් ආණ්ඩුවේ වැඩ සටහන් දියත් කරන්නට අත දෙන්නේ ඔවුනට පහළින් ඉන්නා අයට පමණක් ඒවා පිළිපදින්නට සිද්ධ වෙන ආකාරයටයි.

ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වැඩි වූ තරමටම වොෂිංටනයේ තින්ක් ටෑන්ක් යැයි සැලකෙන ආයතන ද වර්ධනය වී ඇත. වර්තමානයේ දී රටේ ඉතාමත් කුඩා භූමි ප්‍රමාණයකින් යුතු වූ වොෂිංටන් හි දළ වශයෙන් තින්ක් ටෑන්ක් 400 ක් පමණ ඇතැයි ලිපිය සඳහන් කරයි.

මේ තින්ක් ටෑන්ක් කරන්නේ මොනවා ද? දේශපාලනඥයන්ට “බලය සඳහා මුදල් කාසි” සපයන යන්ත්‍ර ලෙසින් ක්‍රියාකිරීමයි.

2005 දී ප්‍රජාතන්ත්‍රවාදයන්ගේ ආරක්ෂාව පිණිස වූ පදනමේ සභාපති ක්ලිෆඩ් මේ විසින් මෙසේ කියා ඇත: “තින්ක් ටෑන්ක් වල කාර්ය භාරය දේශපාලන ප්‍රාග්ධනයක් නිර්මාණයයි. එය වැය කිරීම දේශපාලනඥයාගේ කාර්ය භාරයයි.” ක්ලිෆඩ් මේ සභාපති වූ තින්ක් ටෑන්ක් එක ප්‍රශංසා කරන්නේ මුස්ලිම් රටවල් වලට බෝම්බ දමන්නට පක්ෂපාතී වූ දේශපාලනඥයන්වයි.

පුවත්පත්කලාවේදීන් ඉඳහිටෙක ඔවුන්ගේ ගැඹුරැ නින්දෙන් අවදිව වැදගත් යමක් වාර්තා කරති. පසුගිය දා කෙන් සිල්වර්ස්ටයින් සිය වාර්තාවේ මෙසේ ලියුවේය: “වර්ජිනියා හි පිහිටන තින්ක් ටෑන්ක් එකක් වූ ලෙක්සින්ග්ටන් ආයතනයට ඔවුන් අකමැත්ත දැක්වූ අවි වැඩ සටහනක් කිසිදා හමු වී නොමැත. එය පුදුමයක් නොවේ. මන්ද, එයට ලැබෙන අරමුදල් වලින් බහුතර ප්‍රමාණයක් -2010 දී මිලියන $2.5 ක්- ලැබුනේ බොයිං, ලොක්හීඩ් සහ නොත්‍රොප් ගෘමාන් වැනි ආරක්ෂක කර්මාන්තයේ දැවැන්තයන් වෙතිනි.”

සමහර තින්ක් ටෑන්ක් යනු දේශපාලන මෙහෙයුම් සඟවන්නට යොදාගත් ආවරණ වෙති. වොෂිංටනයේ වැඩියෙන්ම බලවත් ලොබියිස්ට් හැටියට හැඳින්වෙන ජැක් ඒබ්‍රමොෆ්, තමන්ගේ ප්‍රියතම කටයුතු වලට සල්ලි බෙදාගන්නට, ඔහු විසින් නිර්මාණය කරන ලද තින්ක් ටෑන්ක් එකක් වූ ඇමෙරිකන් ඉන්ටනැෂනල් සෙන්ටර් හි මුලසුනට පත් කරගන්නා ලද්දේ වයසට ගිය මුහුදු වෙරළේ දිවිගලවා ගන්නෙකු ලෙසින් සේවය කළ තැනැත්තෙකි. ඒබ්‍රමොෆ්ගේ අනෙකුත් කටයුතු නිසා ඔහු ෆෙඩරල් බන්ධනාගාරයට නියම වෙන තෙක් ඒ තින්ක් ටෑන්ක් එක සරැවට පැවතිණ.

සෞඛ්‍ය සේවා වෙනසකට භාජනය කිරීම උදෙසා වූ කේන්ද්‍රය නිව්ට් ගින්ග්‍රිජ්ගේ තින්ක් ටෑන්ක් උත්සාහය විය. ඔවුන් සෞඛ්‍ය සේවා සපයන සමාගම් සහ වෙනත් ඒ කර්මාන්තයේ වූ වෙනත් ආයතන වලින් මිලියන $37 ක් ලබාගත්හ. ගින්ග්‍රිජ්ගේ ජනාධිපති වෑයම සාර්ථක නොවීමත් සමඟ එයත් බංකොළොත් විය. ඔහු සිය කතා පැවැත්වීමේ දී ප්‍රශංසා කරනු ලද්දේ තින්ක් ටෑන්ක් එකට අරමුදල් සපයන අයගේ ප්‍රතිපත්තීන්ය. එහෙත් එයට අරමුදල් සපයන්නේ කවුදැයි කීම නොකරන ලදි.

රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන විදේශීය කුමන්ත්‍රණ ඇතැයි ලංකාවෙන් නිතර අහන්නට ලැබේ. එවැනි විදේශ අත පෙවීම් වලට ඇමෙරිකාවත් ඉලක්ක වේ. මේ කියන්නේ ලංකාවේ ආණ්ඩුවක් හොඳ ප්‍රතිචාරයක් උදෙසා වොෂිංටන් දේශපාලනඥයන්ට සල්ලි දුන් අවස්ථාව ගැන නොවේ!!!! නෝර්වේ රජය විසින් ඩොලර් මිලියන 5 ක් ගෝලීය සංවර්ධන කේන්ද්‍රයට තෑගි කර ඇත්තේ වොෂිංටන් ලවා විදේශ ආධාර වැය වැඩිකර ගන්නටයි. කටාර් රජයෙන් බෲකින්ස් ආයතනයට හොඳ මුදල් අරමුදලක් පිරිනැමී ඇත්තේ කටාර් රජය දීප්තිමත් ලෙසකින් ජාත්‍යන්තර මාධ්‍යයන් තුල, විශේෂයෙන්ම ඇමෙරිකාවේ මාධ්‍ය තුල, පිළිබිඹු කිරීම සඳහායි. 2011 දී දූෂිත මැතිවරණයකින් පසු කසකාස්තාන් රජය විසින් තින්ක් ටෑන්ක් දෙකක් පෝෂණය කරන ලදි: ආරක්ෂාව සහ ජාත්‍යන්තර අධ්‍යයන සඳහා කේන්ද්‍රය ඉන් එකක් වූ අතර අනෙක නව ප්‍රජාතන්ත්‍රවාදයන් සඳහා වූ ආයතනයයි. ද අත්ලාන්තික් කවුන්සිලය යනු තවත් වොෂිංටන් හි ප්‍රමුඛස්ථානය ගන්නා තින්ක් ටෑන්ක් එකකි. ඔවුන් මුදල් ලබන්නේ සවුදි අරාබියෙන්, බහරේන්, එමයිරේට්ස් සහ නේටෝ වෙතිනි.

කළින් සටහනේ කියූ කුලියට සෙනඟ සපයන කොම්පැණිය මෙන් මේ සමහර තින්ක් ටෑන්ක් විසින් දේශපාලන උද්ඝෝෂණ පවත්වනවා හැරෙන්නට කරන වැඩි යමක් නැත. මධ්‍යතනය යුගයේ රජවරැන් ඕනෑම සුළු හේතුවක් අල්ලා ගෙන අසල්වැසි රටක යුද්ධ කරන්නට ගියා මෙන්, වර්තමානයේ දී දේශපාලනඥයන් පුරවැසියන්ගේ ජීවිත තව තවත් ආක්‍රමණය කරන්නට අවස්ථා පාදා ගැනීම නොනවත්වාම කරගෙන යති. මධ්‍යතන රජවාසල ඇමතිවරැන් මෙන් ඔවුන්ගේ ස්වාමියන්ගේ ප්‍රචණ්ඩත්වයට දෙවියන්ගේ -අඩුම වශයෙන් සමාජ විද්‍යාවේ- ආශීර්වාදය ලැබෙනවා යැයි කියන්නට වර්තමානයේ දී විද්වතුන් අඩු නැතිව සිටිති.

ලෙවියතනයට විද්වත්මය නීත්‍යානුකූල බවක සේයාවක් ලබාදෙන්නේ මේ තින්ක් ටෑන්ක් මාර්ගයෙනි. බහුලව ඇති මෙවැනි ආයතන තිබීමෙන් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අය සිටීමෙන්, වොෂිංටනයේ ප්‍රතිපත්ති දුවන්නේ අදහස් වලින් යැයි මායාවක් දිස්කරයි. නමුත් බොහෝවිට, මේ අදහස් යනු බලය හඹා යෑම සාධාරණීය කරන සරල ප්‍රයෝගයන් වෙති.

විද්වත් අදහසක් හැටියට හුවා දක්වමින් මුලාවකින් රට රවටන ලද මහා විගඩම පසුගිය ද හෙළිදරව් කරන ලද්දේ ඒ විද්වතා විසින්මයි. MIT හි අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ ජොනතන් ගෘබර් ඩොලර් 297,000 ක ෆෙඩරල් කොන්ත්‍රාත්තුවක් ලබන ලද්දේ ඔබාමා සෞඛ්‍ය පනත අගයන්නටයි. 2009 දී ඔහු තම “කළු පෙට්ටිය” නම් මෘදුකාංග යොදාගෙන ඇත්තේ ඒ නීති සම්පාදනයට කැමැත්ත දක්වන අය වැඩි යැයි උලුප්පා පෙන්වන්නට දත්ත වෙනස් කිරීමටයි. 2013 පැවති අර්ථ ශාස්ත්‍රඥයන්ගේ සම්මන්ත්‍රණයක දී ගෘබර් පවසන ලද්දේ “ඇමෙරිකන් චන්දදායකයා මෝඩයෙක් නිසා” මහජනතාව රවටන්නට ඔබාමා ආණ්ඩුවට සිද්ධ වූ බවයි. කොතරම් දෙනක් එදා මගේ මේ අඩවියේ දී මම ඔබාමා සෞඛ්‍ය පනතට විරැද්ධ වෙද්දී, මා දුෂ්ට යැයි සිතුවා ද?!!!!

දේශපාලනඥයන් සතු බලග්‍රහණය වැඩි වෙද්දී, ආණ්ඩුව ගැන බොරැ කීම ලාබදායක වෙයි. දාස භාවයට යන පාර ලියූ හයෙක් විසින් “වැඩියෙන්ම දුෂ්ට වූවන් ඉහළටම එන්න සමත් වෙන්නේ ඇයි” යන්න මෙසේ පෙන්වා දුන්නේ මෙසේය: ආණ්ඩුවක බලය වැඩි වෙද්දී “නරක දේවල් කරන්නට සූදානමින් සිටීම යනු ප්‍රමෝෂන්ස් ලබාගත හැකි මාර්ගය වෙයි.”

ආණ්ඩුව විසල් වෙද්දී, විද්වතුන් යැයි කියාගන්නවුන් අතර වැඩියෙන් ප්‍රසාදය හිමිකරගන්නේ දෙකට තුනට නැවී නායකත්වයේ කැමැත්තට වැඳ වැටෙන්නට සූදානම් අයටයි. සම්මාන, පදක්කම් හා ගරැ නම්බු හිමිවන්නේ ඒ අයටයි.

5 Responses

Subscribe to comments with RSS.

  1. Pra Jay said, on ජූනි 19, 2015 at 12:24 පෙ.ව.

    ප්‍රේටෝරියන් ගාඩ්ල අන්තිමටම අධිරාජ්‍යයන් පහ කරන්නන් හා තනන්නන් වුනානෙ .🙂

  2. mppgunasinghe said, on ජූනි 19, 2015 at 12:25 පෙ.ව.

    මෙහෙ අය lackeys ලා වෙනුවට යොදා ගන්නා වචනය “කඹුරන්නා” යන්න විය හැකියයි සිතෙනවා. “ඌ අහවලාට කඹුරන එකා” නේ. “උන් අහවලාට කඹුරන එව්වො නේ” කියන වදන් දැනුත් sugv හදාරන ගම්මානයේ ඇසෙනවා.

    • arunishapiro said, on ජූනි 19, 2015 at 6:56 පෙ.ව.

      mppgunasinghe,

      ඔබ නිවැරදියි. මෙවැනි විද්වත් අය පිළිගන්නේ නැති වුනාට, ඒ අය හිතන්නේ ඔවුන් උපදේශකයන් කියල ඒත් ඇත්තෙන්ම ඔවුන් “කඹුරන එව්වො” තමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: