අරුණි ශපීරෝ‍ වෙතින්

ස්කුවෙයාර් ඇප්

Posted in Uncategorized by arunishapiro on ජූනි 26, 2015

squarepic

“ස්කුවෙයාරින් අප්” යන පදවහරේ අර්ථය ණය තුරැස් පියවා දැමීමයි. මේ සටහන “ස්කුවෙයාර්, ඉන්ක්.” නමින් වූ තවත් නිදහස් වෙළඳපොලක ඉඩකඩක් සොයාගත් පාරිභෝගිකයාට මහත් සේවයක් සලසන ඇමෙරිකන් කොම්පැණියක් ගැනයි.

1976 ඉපදුන ජැක් ඩෝර්සි, විවෘත මූලාශ්‍ර මෘදුකාංග (open source software) ගැන උනන්දුවක් ඇතිකර ගන්නේ වයස 13 දී ය. විවිධ වූ ඉල්ලුම් සඳහා සැපයුම් යැවෙන මාර්ග මනා සේ සැකසීමට මේ ගැටවරයා වෙහෙසීය.

මේ dispatch logistics අංශයේ ගැටළු කොපමණක් විසඳා ගන්නට සහාය විවෘත මූලාශ්‍ර මෘදුකාංග වලින් ලැබුනාදැයි කිවහොත්, වර්තමානයේ අපේ පළාතේ පුද්ගලික කොම්පැණියක් මාසයකට ඩොලර් මිලියන 3 ක් පමණ ලාබයක් ලබන්නට සමත් වෙයි. ඒ නිෂ්පාදනය වැඩිකර හෝ පාරිභෝගිකයන්ට සපයන මිල වැඩිකර නොව තනිකරම ඔවුන්ගේ ප්‍රවාහන පද්ධතියේ ඩිස්පැච් ලොජිස්ටික්ස් කාර්යක්ෂම කිරීමෙනි.

ඩෝර්සි විසින් එදා නිර්මාණය කරන ලද මෘදුකාංග තවමත් බොහෝ ටැක්සි සේවා කොම්පැණි විසින් භාවිතා වෙන බව විකිපීඩියාව සටහන් තබයි.

ජැක් ඩෝර්සි, ට්විටර් හි සම-නිර්මාතෘවරයා ද වෙයි. ඒ ඔහු නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ දී ඉගෙන ගනිද්දී පහළ වූ අදහසක් අනුවයි.

2000 දී කැලිෆෝර්නියාවට යන ඔහු තම පළපුරැදුකම් හා නිර්මාණශීලී දැනුම තුලින් ඩිස්පැච් සේවා සඳහා කොම්පැණියක් පටන් ගත්තේය.

1965 දී ඉපදුන ජිම් මැක්ලෙවි වාසය කළේ ද ජැක් ඩෝර්සි වාසය කළ නගරයේමයි. 1984 දී ෆ්‍රෙෂෙක් හැටියට අර්ථ ශාස්ත්‍රය හදාරමින් සිටි ඔහු සිය පංති වලින් එකක් වූ කොම්පියුටර් ප්‍රෝගැමින් සඳහා තිබි අත්පොත වෙනුවට අලුත් අත්පොතක් ලිවීය.

නර්තනය උපාධියට හදාරමින් සිටි මගේ දියණියට 2010 දී පරිගණක පංතියක් අනිවාර්ය විණ. පංතියට ගිය පළමු දවසේ ලැබුණු “එසයින්මන්ට්” එක එම සති අන්තයේ දී ඇය නිම කර ඊ ළඟ පංතියේ දී බාර දෙනවිට ගුරැවරිය ඇයට දැනුම් දී ඇත්තේ ඒ සම්පූර්ණ පාඨමාලාව සඳහා වූ එසයින්මන්ට් සියල්ලම බවයි!!! බොහෝ විශ්ව විද්‍යාලයන් සැමදාම සිටිනුයේ සැබෑ ලෝකයෙන් ඉතා පිටුපසකිනි.

අත්පොතේ සාර්ථකත්වයෙන් පසු තවත් පොතක් ලියන්නට යැයි ප්‍රකාශකයෙක් වෙතින් ආරාධනයක් ජිම් මැක්ලෙවිට ලැබිණ. වයස 19 දී ජිම් මැක්ලෙවි ලියූ දෙවැනි පොත බෙස්ට් සෙලර් ලැයිස්තුවට එකතු විණ. තුන්වැනි වසර ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි ගෙවන ඔහු සිය ප්‍රාන්තයේ වූ විශ්ව විද්‍යාලයෙන්ම අර්ථ ශාස්ත්‍රය සහ පරිගණක විද්‍යාව උපාධියක් හිමිකර ගත්තේය.

උපාධියෙන් පසුව හේ IBM ආයතනයේ බාහිර විද්‍යාඥයෙක් හැටියට සේවය පටන් ගති. ඒ රස්සාව සමඟින් ඔහු වීදුරු පුම්බා නිර්මාණ හදන උපදේශකයෙක් හැටියට අමතර රස්සාවක ද නියැළිණ. එයට අමතරව සීඩී තැටි තැන්පත් කරන්නට කැබිනට් හදන කොම්පැණියක් ද හේ පටන් ගත්තේය. ඔහු අත්හදා බලන්නට ආරම්භ කරන ලද ව්‍යවසායකත්ව උත්සාහයන් බොහොමයකි. නමුත් ඒ සියල්ලම වීදුරැ පුම්බන සහ පරිගණක ක්ෂේත්‍රයන් හා සම්බන්ධයි.

බඩුවක් මිල දී ගන්නට සල්ලි මුදල් රැගෙන යාම හැමදාම කරදරකාරී කටයුත්තකි. ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් වලින් ලැබෙන සේවය ඒ කරදර මඳක් අවම කිරීමයි. එහෙත් ඒවා සපයන කොම්පැණි විසින් සහ බැංකු මඟින් දෙන කරදර, ඒවා භාවිතයේ පහසුව තරමටම සමබර වන තත්වයක් වර්තමානයේ පැන නැඟී ඇත්තේ රාජ්‍ය මැදිහත්වීම් වැඩිවීම නිසයි.

සුළු වෙළඳාමක් කරගෙන යන ව්‍යාපාරිකයෙකුට ක්‍රෙඩිට් කාඩ් පහසුකම් සැපයීම ලාබදායක නොවිණ. සැඟවෙන ගාස්තු තිබීම එහි මූලික ගැටළුවයි.

තමන් ඉදිරියේ ඇති අසතුටුදායක තත්වයක් මඟහරවා ගැනීමට තමන් විසින් කටයුතු කිරීම නිදහස් මිනිස් ස්වභාවය බව “මිනිස් ක්‍රියාකාරකම්” (Human Action) පොතෙන් ලුඩ්විග් වොන් මීසස් පෙන්වා දී තිබිණ.

වීදුරු පුම්බා නිමකරන ලද පයිප්ප කරාම ඇතුළු ආම්පන්න රාශියක් ඩොලර් දාහකට විකුණාගත අවස්ථාවක් ජිම් මැක්ලෙවිට අහිමි වූයේ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් නොතිබීම නිසයි. ඒ ගැන සිය ගමේ හිතවතෙක් වූ ජැක් ඩෝර්සිට කියද්දී ඔවුන්ට පහළ වූ අදහස නම් බැංකු සහ ක්‍රෙඩිට් කාඩ් කොම්පැණි මාෆියාවට හසු නොවී පහසුවෙන් සහ විනිවිදතාවයෙන් යුතු මුදල් ගෙවීම් ක්‍රමයක් නිර්මාණයයි.

2009 දී කොම්පැණිය ආරම්භ කරන ජැක් ඩෝර්සි සමඟ එක්වෙන ජිම් මැක්ලෙවි විසින් 2010 දී ඔවුන් ප්‍රථම ඇප් එක සහ සේවය වෙළඳපොලට ඉදිරිපත් කළහ.

නර්තනය හදාරා නැටුම් පාසැලක් පටන් ගත් මගේ දියණියට ඕනෑම වර්ගයකින් යුතු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල් අය කරගැනීමටත්, තම ඉපැයුම් වල වාර්තා ලොව කොතැනක සිටිය ද ක්ෂණයෙන් සොයා බැලීමටත් හැකියාව එයින් පෑදුණි. අතරමැදියන් රාශියක් බැහැර කරදැමීමෙන් කාර්යක්ෂමතාවය වැඩිකරගෙන තම ව්‍යාපාරය පිහිටන ස්ථානයේ දී පමණක් නොව ප්‍රදර්ශන ශාලාවක දී හෝ සංදර්ශනයක් පවත්වන උද්‍යානයක දී පවා ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයන්ට ලබාදීමට අවස්ථාව එයින් පෑදිණ.

යමක් මිල දී ගත් පසුව කඩදාසි රිසිට් පතක් දීමත් මෙහි දී අවශ්‍ය නැත. පෑනක් නොව ඇඟිල්ලෙන් අත්සන තබා, ඊමේලයකින් හෝ ක්ෂණික පණිවුඩයකින් රිසිට් පත ක්ෂණයෙන් දිය හැකියි. විකුණන්නාට සහ මිල දී ගන්නාට යන දෙදෙනාටම පොත් තැබීමට යන කාලය මෙහි දී මහත් ලෙසකින් ඉතිරි වීමෙන් ඒ කාලය සහ ඊට යන වැය තම ව්‍යාපාරය දියුණු කිරීමට යොදාගත හැකියි.

කැමැත්තෙන් කරන ගණුදෙනු වලට ඇති අවහිර ඉවත් කරගැනීමට වෙහෙසීම ස්වභාවික වූ මිනිස් ස්වභාවයයි. එහෙත් බහුතර ලෝක වාසීන් මුලාවී සිටින්නේ මිනිසා කැමැත්තෙන් කරන ගණුදෙනු වල යම් කුහකත්වයක් ඇතැයි කියන, එහෙත් ඒ කුහකත්වය කුමක්දැයි පැහැදිලි කරන්නට සැමදා අසමත් වූ “විද්වතුන්” යැයි කියාගත්තවුන්ටය.

අදට වඩා හොඳින් වූ හෙට දවසක් බලාපොරොත්තු වෙන මිනිසා, තමන් හමුවේ අද පවතින ගැටළු නිරාකරණයට වෙහෙසක් ගනියි. “විද්වතුන්” පොරොන්දු වෙන “හෙට නොමිලේ ලැබෙන බියර්” අපේක්ෂාවෙන් මුලාවී සිටින අය තමන් වෙහෙසෙනවා වෙනුවට, තමන් ඉදිරියේ වූ ගැටළු නිරාකරණය නොව, තමන් මුහුණ දිය තරඟය ජයගන්නට අනුන්ව පීඩිතයන් කරන්නට රාජ්‍ය මැදිහත්වීමක් ඉල්ලති.

රටක් සංවර්ධනය වෙන්නේ ඇප් හදන්නට ඇති දක්ෂකම මත නොවේ. ඒ ඇප් වලින් මුදල් උපයන්නට, එනම් කැමැත්තෙන් මිල දී ගන්නට එන භාණ්ඩයක් හෝ සේවාවක් සපයන, තම වෙළඳපොල තරඟය තම දක්ෂතාවයෙන් ජයගන්නට වෙහෙසන අය, රටක සිටීම නිසයි. වර්තමාන පැරීසියේ මෙන් ඌබර් ටැක්සි රියැදුරන් එළවන්නට පාරේ වාහන වල ජනේල කඩන හා ඒවා ගිනි තියන වැනි ක්‍රියාකාරකම් වලින්, මැදිහත්වීම් නීතියක සහායෙන් හෝ රාජ්‍ය සහනාධාර වලින් තම පඩිය ලබාගන්නට වෙර දරන අය වැඩිවීමෙන් රටක සංවර්ධනයක් සිද්ධ නොවේ.

3 Responses

Subscribe to comments with RSS.

  1. Rohan Dhananjaya said, on ජූනි 27, 2015 at 12:17 පෙ.ව.

    අපේ රටෙත් මේවගේ දක්ෂයො ගොඩක් ඉන්නවා. ගැටලුව තියෙන්නෙ ඒ අය කරපු නව නිපැයුම නිපදවාගෙන යන්න මූලික ප්‍රාග්ධනයක් හොයාගන්න බැරි වීමයි. ඒ හින්දා කරන නිර්මාණ වලට සම්මාන දෙන එකට අමතරව ඒ නිපැයුම් නිපදවන්න අදාල පහසුකම් දුන්නොත් අපේ රටෙන් පිට රටට යන පේට්න් බලපත්‍ර ටිකයි බුද්ධි ගලනයයි අඩු වේවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: