අරුණි ශපීරෝ‍ වෙතින්

රජයක් නැතුව පාලු ද? -ක්‍රිෂ්ණ රාමනායක විසිනි

Posted in Uncategorized by arunishapiro on ජූනි 28, 2015

මොකක්ද මේ රජයේ නියාමනය

නිදහස් වෙළදපොල සංකල්පයට එරෙහිව අවි අමෝරා ගන්නා බොහොමයක් දෙනා මෙම නියාමනය යන්නට අප දක්වන විරෝධය ඊට පාදක කරගනිති. භූමිතෙල් ගෑවුනු සේ දඟලන බොහෝ දෙනා නිකරුනේ වල්ගය පාගා ගත්තද අප කියන්නේ කුමක්ද යන්න ගැන විවේකීව කල්පනා කරන්නට ඔවුන් උත්සාහයක් ගන්නා බවක් කිසිවිටෙක නොපෙනේ. නියාමන යනු කිසියම් පාලනයක් යන අරුතයි. පුද්ගලයන්ගේ සහ සමාජයේ ක්‍රියාපාලනය සඳහා රජයක් විවිධ ක්‍රම යොදාගෙන පාලනය නැත්නම් නියාමනය කරනු ලබයි. නීති රීති, රෙගුලාසි, අණ පනත්, නියෝග, සහ චක්‍රලේඛන යනාදිය හරහා ලිඛිතව සම්මත කරගන්නා නියාමන උපමාන යාමනය, අනතුරැව පොලිසි සහ උසාවි වැනි වෙනත් රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක කිරීම ද, දඩ සහ දඩුවම් දීම් වැනි ක්‍රියා හරහා මට්ටු කිරීම් ද පවත්වාගෙන යයි. මෙන්න මෙයයි රාජ්‍ය නියාමනය යන්නෙන් සරලවම අදහස් වෙන්නේ.

වෙළඳපොලක හැසිරීම

වෙළඳපොලක් නියාමනය කරන්නට රජයට බැහැ. මන්ද වෙළඳපොල යනු මිල දී ගන්නන් සහ විකුණනන්නන් අතර ඇති ඍජු සබඳතාවක් නිසා.

මට ඇති අවශ්‍යතාවයන් දන්නේ මා පමණි.

මගේ කැමැත්ත දන්නේ මම පමණි.

මගේ ආශාව දන්නේ මම පමණි.

කොටින්ම මගේ හැඟීම් මගේ සමීපතයන් පවා නොදන්නා විටෙක බොහෝ දුරින් ඇති රජයක් දැනගන්නේ කෙසේද?

මගේ අවශ්‍යතාවය මට බාහිරින් ඇති ආයතනයක් විසින් පාලනය කිරීම තුල මා දැඩි අසාධාරණයකට ලක්වේ. එය මගේ අතෘප්තියට හේතුවක් වන අතර ආතතියක් නිර්මාණය කරයි. මට අවශ්‍ය දේ වෙනුවට පිටින් පවතින ආයතනයක් තුලින් වෙන නියාමනයකින් බලකෙරෙන දෙයක් ගැනීමට මට සිදුවීම මගෙ සතුට සහ නිදහස විනාශ කරනවා පමණක් නොව නාස්තියක් සහ අපතේ යැවීමක්ද සිදු කරයි. මන්ද මට අවශ්‍යතාව ඇත්තේ ඒ අය දෙන දේ නොවන නිසාය.

මෙය මා කන්නේ පාන් ද? බත් ද? යන්නේ සිට ඉගෙන ගන්නේ ද? ව්‍යාපාර කරන්නේද? විවාහ වන්නේ කවදා ද? විවාහ වන්නේ සමලිංගිකයකු සමඟ ද? අරක්කු බොනව ද? සිගරැට් බොනව ද? ගංජ බොනව ද? අක්කර 1000 ක් ගන්න පුලුවන් ද? ආගමක් අදහනව ද නැද්ද ……. ආදී විවිධ ක්ෂේත්‍රයන් සහ විෂයයන් රාශියක් පුරා දිවෙයි.

කෙසේ නමුත් මේ සියල්ල පාලනය කරන්න රජයක් පැවතිය යුතුයි යන්නයි රාජ්‍ය නියාමනය වෙනුවෙන් පෙනී සිටින අයගේ මූලික අදහස. රජයක් නොමැති විටෙක මේවා පාලනයකින් තොරව සිදුවී සමාජය විනාශයෙන් විනාශයට යන බවත් අවසානයේ සියල්ල විනාශ වී මහත් නස්පැත්තියක් සිද්ධ වෙන බවත් මොවුන් දරණ අදහසයි. එම නිසා රජය වහාම මැදිහත්වී මේ ව්‍යසන වලින් මිනිසා මුදවා ගන්නා පුන්‍ය කටයුත්තට වැඩි වැඩියෙන් දායක වන මෙන් එකහඬින් ඒ සියලු දෙනා ඉල්ලා සිටිති.

තනි මිනිසා සිය අවශ්‍යතා තනිවම සපුරා ගන්නට බැරි ඉතාමත් අසරණ සත්වයෙකු බැවින් අතිවිශාල වැය බරක් දරා ශක්තිමත් රජයක් පිහිටවමු. එමගින් මිනිසාගේ ජීවිතය, කැමැත්ත, වුවමනාවන් වැනි සියල්ල රජය මගින් පාලනය වන්නට ඉඩ දෙමු. මොකද අපිට මොකවත් කරගන්න බැරි අසරණයන් නිසාවෙන් යන්න රාජ්‍ය මැදිහත්වීම් ඉල්ලා සිටින අයගේ මතයයි.

සම්ප්‍රදායන් සහ චාරිත්‍ර

අපි සම්ප්‍රදායන් හදාගන්නෙ අපි හුරු පුරුදු සංස්කෘතියට සාපේක්ෂවය. චාරිත්‍ර ද එසේමය. ඒවා රජයක් මගින් හෝ නීති මගින් සම්මත කරගන්නා බවක් දැකිය නොහැක. සමහර විට වැඩවසම් යුගය තුල රජය විසින් බලය යොදා යම් සම්ප්‍රදායක් සමාජය මත පටවන්න අවකාශ තිබුන ද වර්තමානය තුල වැඩවසම් නශ්ටාවශේෂ කෙතරම් තිබුනත් එවැනි නීති මගින් චාරිත්‍ර හෝ සම්ප්‍රදායන් බලහත්කාරයෙන් ඇති කරන බවක් පෙනෙන්නට නැත. එසේ කලත් ඒවා වැඩිකල් නොගොස්ම භාවිතයෙන් තොරව අකාමකා වී යයි. මේ නිසා සම්ප්‍රදායන් සහ චාරිත්‍ර මිනිස්සු ස්වේඡාවෙන් ජන සමාජය තුල ගොඩනඟා ගත් ඒවා බව කීම සදොස් නොවේ.

ගෝත්‍රික සමාජයක සහ අන්තවාදී සමාජයක හැරුනු විට, සාමාන්‍ය ජන සමාජයක දී සම්ප්‍රදායන් සහ චාරිත්‍ර දැකිය හැක්කේ සම්මතයන් ලෙසටය. ඇතැම්හු ඒවා කඩති. සමහරු අකුරටම පිළිපදිති.

කෙසේ නමුත් ගලක් නොවන සංස්කෘතිය තුල මෙම සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වල සමහර අංග හැලෙමින් ද, අලුතින් අංග එකතුවෙමින් ද විකාශණය වේ. මෙය ස්වභාවික තත්ත්වයකි. මේ සම්ප්‍රදායන් සහ චාරිත්‍ර හරහා අදාල ජන සමාජය වැය බරක් නොදරයි. පාලකයන් හරහා නියාමනයක් නොකරයි. කොටින්ම ඒ සියල්ල ස්වේච්ඡාවෙන් පවත්වාගෙ යන්නා වූ සම්මතයන්ය. සීමාවන්ය.

මගුල් කෑම

කිසියම් ජනසමාජයක සංස්කෘතියක වැදගත්ම අංගයක් නම් ආවාහ විවාහ සම්ප්‍රදායන් සහ ඒ හා බැඳුනු චාරිත්‍රයන්ය. ලංකාවේ විවාහ චාරිත්‍ර අද ඉස්සර ඒවාට වඩා බොහෝ සෙයින් වෙනස්ය. කාලෙන් කාලෙට ඒවාට යම් යම් අංග එකතු කරගත් අතර පැරණි සමහර අංග ක්‍රමයෙන් හැලී ගියේය. රජය මගින් නීතියකින් සම්මත කර ඇති පොතේ ලියන කසාදයට වඩා විවාහයක උත්කර්ෂවත් අංගය වන්නේ පෝරුවට නැඟීම හා සම්බන්ධ චාරිත්‍රයන්ය. ඥාතීන් මිතුරන් එන්නේ එදාටය. මනාල යුවල සිහින මවන්නේ ලස්සන වෙඩින් එකක් ගැන මිස ලස්සනට පොතේ අත්සන් කිරීමක් ගැන නොවේ.

මළ ගෙරදක සුදු අඳින්නේ ද මෙසේමය. ඒ සඳහා කිසි තැනක නීතියක් නැත. සුදු ඇඳ නාවොත් එළවන අවමගුල් මම නම් දැක නැත.

සම්ප්‍රදායන් සහ චාරිත්‍ර, නීති වලට වඩා බොහෝ සෙයින් ශක්තිමත්ය. පොතේ අත්සන් නැතුව ඉස්සර ලස්සනට දීග කෑව අපේ සීයල ආච්චිලා බොහොමයකි. ඔය පොතේ අස්සන නැතුවට අපි උඹලට වඩා හොඳට හිටිය!! එවැනි අය කියනවා සමහර විට ඔබ ද අසා ඇතුවාට සැක නැත.

මා ඉහතින් සම්ප්‍රදායන් සහ චාරිත්‍ර ගැන කතා කලේ දියුණු මිනිසා තම සංස්කෘතිය මතින් යම් යම් සීමා මායිම් ස්වේච්ඡාවෙන්ම සලකුනු කරගැනීමට සමත් බව පෙන්වා දීමටයි. මෙම සංස්කෘතිමය තත්ත්වයන් ශිෂ්ටත්වයේ තමන් ඉන්නා තැන අනුව වෙනස් බව වෙනම කතාවකි. කෙසේ නමුත් අතිවිශාල වැය බරක් දරාගෙන පාලකයන් විටින් විට පත්කරගෙන තමන්ගේ ජන ජීවිතය රජයක් මගින් පවත්වාගෙන නොයන විටත් සම්ප්‍රදායන් සහ චාරිත්‍ර තුලින් ද නියාමනයක් සිද්ධ වෙන බව පැහැදිලි කරගත යුතුව ඇත.

සම්ප්‍රදායන් එහෙම උනාට වෙළඳපොලට එහෙම බෑ!!!

විවාහ සහ අවමංගල අවස්ථාවල දී රජයේ නීති නැතුව ලස්සනට වැඩ කෙරුනට වෙළඳපොලක් තුල එහෙම වෙන්නෙ නෑ. වෙළඳපොලක් තුල දී වෙළෙන්ඳන් විසින් මිනිස්සු හිතුමතේ ගසා කනව!! හිතූ හිතූ ගනන් කියනව ඒ නිසා රජය දැඩි විදිහට මැදිහත් වීමක් අවශයයි. මෙය සුලබ තර්කයකි. බලන්න ලංකාවේ පුද්ගලික බස් සේවය. මගීන්ට සලකන්නෙ බල්ලො වගේ. රූට මිනිස්සු නැති හින්ද බස් දුවන්නෙ නෑ!! ඔන්න පුද්ගලික අංශයෙ රඟේ පේනව නේද? මේ තවත් එවැනි සුලභ තර්කයකි. ලංකවේ ඖෂධ මාෆියාව කෙතරම් බියකරු ද? ඒ අය තමයි මිල තීරණය කරල තියෙන්නෙ. කීය කිව්වත් අපි ගන්න ඕනෑ… නෑ නෑ රජය මේව නියාමනය කල යුතුමයි!!! මැදිහත් විය යුතුමයි!!

පොඩි ටොෆියක් කමුද ?

අපි ටොෆිය වගේ කුඩාම වෙළඳ භාණ්ඩක් අරගෙන මේ කියන කතාව ඇත්තද බලමු. ලංකාවේ ටොෆි සදහා පාලන මිලක් නැත. අවම මිලක් නැත. රජය මා දන්නා තරමින් කිසිම විශේෂ නීතියක්ද පනවා නැත.

එසේම රජය ටොෆි නිපදවන්නේද නැත. ඒ තියා ටොෆියේ ප්‍රමිති සහතිකයක් වත් දවටනක දක්නට නැත. (සමහර විට නිෂ්පාදනය කරන කොම්පැණිය යම් සහතිකයක් ගන්නට ඇත.) කෙසේ නමුත් ටොෆි සඳහා රජය නියාමයක් නැති තරම්ය කිවොත් ඔබ එකඟ වේයැයි මම සිතමි.

2015 වන මේ වසරේ සාමාන්‍ය ටොෆියක මිල රු. 1 කි. රු. 3 ක් වැනි මිලකට අලෙවි කරන ඩෙල්ටා ටොෆි ද වෙළඳපොලේ ඇත. කෙසේ නමුත් කිසිම ටොෆියක් තුල කලුකඩ මිලක් හෝ අසාධාරණ මිලක් ඇතැයි මට නම් දැකිය නොහැක. ලංකාවේ ටොෆි හදන කොම්පැණි රාශියක් ඇති අතර ඒ කිසිවෙකුත් මිල ඉහල දමා ගැනීමට වඩා එකිනෙකා අතර තරඟකාරීත්වය තුල විකුණා ගැනීමේ තරඟයකට නම් මුහුණ පා සිටින බවයි දැකිය හැක්කේ. සමහර විට කොම්පැණි මේ තරඟකාරීත්වයට සාප කරනවා විය හැක. එක් අයෙක් පමණක් සිටියේ නම් අපට ටොෆියක් කන්න සිදුවන්නේ කොම්පැණිය නියම කරන මිලටය. එවිට එම මිල කෙසේවත් රු. 1 ක් නම් නොවන බව පමණක් මම දනිමි. රජය ටොෆිය සඳහා පාලන මිලක් හෝ අවම මිලක් යොදා නිෂ්පාදනය නියාමනය කරන්නට ගියා යැයි සිතන්න. තරඟකාරීත්වය නැතිවී යන එවැනි තත්වයක් තුල වෙළඳපොල තුල කුමන තත්වයක් අපට දැක ගත හැකිවේද? එසේ කිරීම තුල පාරිභෝගිකයන් වන අප ලබන වාසිය කුමක්ද?

රජයේ මත්පැන් නියාමය

ලංකාවේ රජය පාර්ලිමේන්තු අණපනත් හරහා සුරාබදු දෙපාර්තමේන්තුව, පොලිසිය, උසාවිය යනාදිය තුලින් මත්පැන් දැඩි නියාමනයකට ලක් කර තිබේ. ඊට අමතරව ආගම් සහ සංස්කෘතිය මුවාවෙන් ද මෙම නියාමනයන් කරගෙන යනු ලබයි.

ලොව අපරාධ අඩුම රටවල් 10 ගතහොත් එම රටවල මෙසේ දැඩි නියාමනයක් මත්පැන් වලට නැති බව අපට දැකිය හැක. ඒ විතරක් නොව ඇතැම් රටවල මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය සඳහා ඇති නීති ද ක්‍රමයෙන් ලිහිල් කරන බවක් ද දැකිය හැක. ලංකාවේ අපරාධ හා මත්පැන් අතර සමීප සබදතාවක් තියෙන බව සත්‍යයකි. නමුත් පෙර කී රටවල් හා සැසැඳීමේ දී මෙය මත්පැන් නිසාම ඇතිවන තත්ත්වයක් නොවන බවත් ඊට වෙනත් හේතු රාශියක් බලපාන බවත් පැහැදිලිය.

කෙසේ නමුත් ඒ ගැන කතාකරන්න මේ අවස්ථාව නොවේ.

දහවල් කාලයේ බාර් විවෘත ව ඇත. බීමට ඇබ්බැහිවූවන් හැර දවල් බාර් වලට ගොස් බොන අය බහුලව දැකිය නොහැක. බාර් විවෘතව තබන වෙලාව තුලත් බොන අය වගේම නොබොන අයටත් මිලදී ගැනීමේ හැකියාව ඇත්නම් නොබොන අය බාර් විවෘත කලා කියල අමුතුවෙන් ඒවාට යන බවක් අපට නොපෙනේ. එසේනම් මේ නියාමනය යනු කුමක් ද? බලපත් ලබාදීම රජය තම හිතවතුන්ට පමණක් දෙයි. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු හරහා විශාල ලෙස මානව හා භෞතික සම්පත් ප්‍රමාණයක් නාස්ති කර දමනු ලබයි. ආගමික හා සංස්කෘතික සටන් පාඨ යොදා ගනිමින් දේශපාලනය තුල අමද්‍යප වීර කතා කයි කතන්දර කියා බලය තියාගන්නත් බලය ලබාගන්නත් මතට තිත වැනි ව්‍යාජ වහසිබස් දොඩනු ලබයි.

දියුණු රටවල සමහර සුපර්මාකට්වලත් මත්පැන් අලෙවි කරයි. පුද්ගලයන්ගේ කැමැත්ත මත ඒවා පාවිච්චියට නිදහස ඇත. යමෙකුට කරදරයක් කිරීම වැනි ප්‍රශ්ණයක දී හෝ බීමත්ව රිය පැදවීම වැනි පොදු නීති උල්ලංඝනයක් හැරැනු විට වෙනත් නීතිමය ගැටලු නැත. පෝයට බාර් වැහීම නිසා කලුකඩයට වැඩි මිලක් පිදීම වැනි කරදර එම රටවලදී සිද්ධ නොවේ. දෙපාර්තමේන්තු පවත්වාගෙන යාමට හෝ දේශපාලන වහසි බස් වලට මත්පැන් සාධකයක් නොවේ.

මත්පැන් විකිණීමට සාමාන්‍ය ලෙසට ඉඩ නොදීම, බාර් වැහීම, ඊට නියමිත වෙලාවක් දීම, යනාදිය තුල සිදුවන්නේ පුද්ගල නිදහස විනාශ වීම හැර අන් දෙයක් නොවේ. නමුත් දේශපාලකයන්ට බලය ලබාගන්න සටන් පාඨ කපටි ලෙස හදාගන්න නම් ඒවා කදිම වස්තුබීජයන්ය. බාර් සාමාන්‍ය සුපර්මාකට් වලටත් පවත්වාගෙන යන්න ඉඩදීම, එය විවෘතව තබන වෙලාව ව්‍යාපාරිකයාට තීරණය කරන්න ඉඩ දීම, රජයේ නීති මගින් යම් යම් දිනවල වසා තැබීම, වැනි නියාමනය තුල බොන එක නැවැත්විය හැක්කේ බලහත්කාරීවය. මෙම මැදිහත්වීම කපටි වංචනික දේශපාලනික උවමනාවකි. රජය බදු උපයාගන්නා ප්‍රධාන මාර්ගයක් වන මත්පැන්වල යම් විදිහකින් බදු ඉවත්කල හොත් මිල සැලකිය යුතු ලෙසකින් පහළ යයි.

යම්කිසි විදියකින් මත්පැන් වල රාජ්‍ය නියාමනය ඉවත්කිරීම, රජයේ මැදිහත් විමට කැමති අය සැලුම් වෙවුලුම් ගන්නා කරුණකි. මන්ද මිනිස්සු බීමට ඇබ්බැහි වෙලා, ගෝරි දාල මරාගෙන, ගෙවල් වල නැති ප්‍රශ්න දාගෙන, පවුල් විනාශ කරගනී, වැනි කරුණු රාශියක් ඔවුන් අපට පෙන්වා දෙයි. යළිත් මම ඔබේ අවධානය අපරාධ අඩු රටවල මත්පැන් වලට ඇති ලිහිල් බව ගැන එහිදී පෙන්වා දෙමි. විවෘතව තියෙන වෙලාවකත් මිල දී ගන්නේ කැමති අය පමණක් නම් නියාමනය නැති විටෙක අකමැති අය බොන්න පුරුදු වෙයි යන බිය තර්කානුකූල හේතුවක් නොවේ.

ටොෆි සහ මත්පැන් වගේම මගුල් ගෙවල් වැනි සම්ප්‍රදායන් උදාහරණ ලෙසට ගෙන කතා කලේ රජයේ නියාමන ගැන තිබෙන මිත්‍යාව නිරාවරණය කරගැනීමට පමණි. මෙහි දී අප සමස්ත ආර්ථික ක්‍රියාවලිය එකිනෙකට බැඳුන දම්වැලක්ය යන්න සිහි තබා ගැනීම අතිශය වැදගත්ය. මන්ද එකක් දෙකක් එසේ කිරීම තුලින් වෙළඳපොල ක්‍රියාවලිය නිදහස් වේ යැයි සමහරු වරදවා වටහා ගන්නා බවක් පෙනේ. ඒ නිසා මෙම සුළු උදාහරණ පුලුල් ලෙස කතිකාවකට ප්‍රවේශයක් පමනි.

රජයේ නියාමනයට ගෙවන්නේ කවුද??

නියාමය කාර්ය ඉටුකිරීමට රජයක් පවත්වාගෙන යා යුතු වන්නේ සහ පවත්වාගෙන යන්නේ මහජනතාවය. මෙය පවත්වාගෙන යන්නට වැය බර දරන්නේ ද මහජනතාවය.

පරිප්පු ඇටේ සිට පිටරටින් ගෙන්වන වාහනය දක්වා සකල විධ භාණ්ඩ වලට අයකරන බදු සහ ව්‍යාපාරිකයන් උපයන දෙයට අයකරන බදු සේම විවිධාකාර ලෙසට මහජනයා මත පටවන ලද බදු දඩ ආදියෙන් මෙම වැය ප්‍රතිපූරණය කරගනී.

කිසි විටෙකත් දේශපාලඥයන් සිය සාක්කු වලින් මේ කටයුතු එකක් වත් නොකරන බව තරයේ සිහිතබා ගැනීම වැදගත්ය.

එම නිසා රජය යනු ජනතාවගේ බදු මුදලින් ජනතාවට ජනතාව විසින්ම නාස්ලනුව දමාගන්නා අරුම පුදුම විකාරයක්ය. ඌ මට ගහනව මට ඌ ගහනව වගේය.

ඉහතින් දැක්වූ එක් උදාහරණයක් වන ටොෆි කතාව තුල අප දැක්කේ එය රජය නියාමනය නොකල නමුදු මිල ඉල්ලුම සැපයුම තුලින් තුලනය වී පවතින බවය. එසේම මත්පැන් නියාමනය රජය විසින් කරන නමුත් එය එවැනි නියාමනයක් නිසා පුද්ගලික නිදහස අහිමිවීම හා අධික මිලක් නියම වීම හොර සහ අහිතකර මත්පැන් ඇතිවීම වැනි දෙයක් හැරුනු විට අමුතු යමක් ඉන් නොවන බවත් දකිමු. අනෙක් අතට මංගල සහ අවමංගල වැනි භාර දූර අවස්ථා දියුණු ශිෂ්ටාචාරවත් මිනිසා සිය සංස්කාතිය තුල ස්වේඡ්චාවෙන්ම සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වාරිත්‍ර තුලින් තමන් කැමති විදිහට නිදහසේ එම අවශ්‍යතා ඉටුකරගන්නා ආකාරයත් අප දකිමු.

අනවශ්‍ය දේ කොතෙක් නම් රජය කරත් ද?

අපි විමසිය යුත්තේ ඉහත උදාහරණ සේම සමාජය තුල සහ ආර්ථිකය තුල රජයක් විසින් තවත් කොතරම් නම් අනවශ්‍ය කාර්යයන් ඉටු කරනු ඇද්ද යන්නයි. පුද්ගලික නිදහසට වල කපමින් සංස්කෘතිකව දියුණු සමාජයීව ජීවත්වන ඒකීය මිනිසාට තම කැමැත්ත මත රජයේ අනවශ්‍ය මැදිහත් වීම් නැතිව තව කොතෙක් නම් කාර්යයන් ආර්ථිකය තුල, රට තුල, මෙම රජයන් විසින් කරනු ඇද්ද?? කප්පරක් බදු ගහමින් බඩු මිල අහස උසට යවමින් අපටම කරගත හැකි සහ පාලනය කරගත හැකි කොච්චරක් දේවල් අපි රජයට බාර දී කරගන්නේ ද යන්න අපිම විමසිය යුතුයි. මන්ද එවැනි රජයක් තුල ඉන්නා කිසිදු දේශපාලනඥයෙක් ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් මේ කිසිවක් නොකරන අතර ඒ සියල්ල මිනිස්සු උපයන දේ කොල්ලකෑමෙන් ඊට බදු යන සරුවපිත්තල නම් යොදමින් කරන දේවල් නිසාය.

රජයක් අනවශ්‍යමද?

මෙම මාතෘකාව ද නිදහස් වෙළඳපොල සංකල්පයට හා ඒකීය පුද්ගල නිදහස ගැන කතාකරන විට මෙන්ම රාජ්‍ය නියාමයට විරුද්ධව එය අසාර්ථක යැයි කරන කතා බහේදී බොහෝ දෙනෙක් වලිගෙ පාගා ගන්නා මාතෘකාවකි.

රජයක් රහිත එනම් අරාජිකත්වය!! (Anarchism) යන අර්ථයෙන් අප කියන දේත් පටලවා ගනු ලැබීමයි. අරාජික තත්ත්වයේ පවතින රටක් අද ලොව තුල අපට ජීවමානව දැක ගත නොහැක. එය අනාගතයේ ඇතිවිය හැකි හෝ නොහැකි විය හැක. එය අනාගත මිනිසා විසින් බිහිකර ගන්නේ නම් බිහිකරගත්තාවේ. අද අපිට එතෙක් කල හැක්කේ එය ගැන සිහින මැවීමක් සහ කල්පිතයන් ගොඩ නඟා ගැනීම පමණි.

නමුත් අප මේ කතා කරන්නේ එවැනි අරාජික (ඇනාකි) තත්ත්වයක් නොවේ. අප කතා කරන්නේ ලොව දැනටමත් දියුණු බොහොමයක් රටවල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ක්‍රමය ගැනය. එම රටවල් පුද්ගලික ව්‍යවසායකත්වයට ඉඩ දෙමින් ලබා ඇති දියුණුව අනෙක් අතට රාජ්‍ය අංශයේ නියාමනය හේතුවෙන් අවුල් කරගන්නා බවක් තිබෙන බව ඇත්තය. නමුත් එම රටවල් ලොව දිළිඳු රටවලට සාපේක්ෂව ලබා ඇති ආර්ථික දියුණුව, පුද්ගලික නිදහස, ඉහළ ජීවන තත්ත්වය, වැනි දෑ සසඳා බැලීමේ දී අප.. ඒ ඇයි?? කොහොමද එහෙම දියුණු උනේ?? වැනි ප්‍රශ්න අපෙන්ම අසා ගෙන ඊට හේතු විවේකීව සොයා ගත යුතුය. ඇත්තෙන්ම මේ කෙටි සටහන එවැනි අලුතෙන් සිතීමට උත්තේජකයක් ද වේ.

අවමය කාර්යක්ෂම වෙන විට විශාලත්වය අකාර්යක්ෂමයට පාර කපයි

අප තේරුම් ගත යුතු මූලික සත්‍යයක් පවති. එනම් මිනිසුන් විවිධය යන්නයි!! එකම පවුලේ අය වුවත් එකිනෙකාට වෙනස්ය. කොටින්ම මගේ අවශ්‍යතා දන්නේ මම පමණක් වන අතර එය මගෙ ජීවිතයේ සමීපතමයා පවා සමහර විට නොදනී. එසේ නම් මට අවශ්‍ය දේ රජයක්!! වැනි සංස්ථාවක් කෙසේ දනිත් ද? මෙන්න මෙය අති මූලික කරුණකි. මම රෑට කන්නෙ පාන් ද බත් ද? අරක්කු බොනව ද නැද්ද? උසස් පෙළ කරනව ද, කොණ්ඩෙ කපන්න ඉගෙන ගන්නව ද? විවාහ වෙන්නේ විරුද්ධ ලිංගික අයෙක් සමඟ ද නැද්ද? මෙවැනි පුද්ගලික කාරණාවල සිට රටේ පාරවල් හැදීම දක්වා විශාල පරාසයක් තුල මෙය විහිදේ. බස් එකක් පාරට දානව ද නැද්ද? කොපමණ මුදලක් ඉතුරු කරනව ද? අක්කර 100 ක් ගන්නව ද? පිරටින් අල ගෙනත් ලංකාවෙ අඩුවට විකුනල ලාබයක් ගන්නව ද? අවන්හලක් රෑ එලිවෙන කල් පවත්වගෙන යනවද නැද්ද? යනාදී විවිධ අංශ වලට මෙම කාරණාව අදාල කර ගත හැක.

කෙසේ නමුත් ඉහත කතාකල කරුණු නිදහස් මිනිසුන් ලෙස අපටම තීරණය කරගත හැකිව තිබෙන විටෙක අපගේ අවශ්‍යතා නොදන්නන රජයක් ඊට මැදිහත් වී කරන කාර්යය අපව අතෘප්තියට පත්කිරීම සේම විශාල නාස්තියක් ද සිදු කරයි. මන්ද එය අපේ අවශ්‍යතාව නොවන නිසාය. කෙසේ නමුත් රජයක් අති විශාල ලෙස පවත්වාගෙන යෑම යනු අපි කරමත මහා ගලක් පටවාගෙන සිටිනවා වැනි දෙයකි. අපගේ පුද්ගලික ජීවිතයේ සිට වෙළඳපොල තුල අපගේ අවශ්‍යතාවන් මත අපටම කර ගත හැකි බොහෝ කාර්යයන් අපට කරගන්නට ඉඩ නොදී රජය මැදට පැන කරන්නට යාම කෙතරම් විකාරයක් ද? මෙය හුදෙක් විකාරයක් පමණක් නොවන්නේ ඊට, එනම් රජයට ගෙවන්නේ, අපි වීමෙනි. අහස උසට බඩු මිල ඉහල යන්නේ ද, සමාජය තුල විරැකියාව, දුප්පත්කම, අසහනය වැනි බොහොමයක් ප්‍රශ්ණ වලට මුල අපේ ප්‍රශ්ණ පිට අය විසඳන්නට යාම නිසා ඇතිවෙන ඒවා බව කිව යුතුයි.

ආර්ථිකය සහ ජන ජීවිතය තුල රජය අනවශ්‍ය ලෙස කරන මැදිහත්වීම් නිසා එය ඇතුලින්ම දුර්වලවීමක් සිදුවේ. එනම් ජාතික ආරක්ෂාව වැනි රජය අවධානයක් යොමු කළ යුතු දෙය වෙනුවට, ආප්පයක පාලන මිලක් ඇති කිරීමත් රජය වගකීමක් කරගන්න නිසාය. ඒ නිසා අවම රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම තුල රජය විසින් කල යුතු කාර්යයන් මොනවාද යන්න පැහැදිලිව නිශ්චය කරගත හැකි අතර, ඒ තුලින් එම අදාල දේවල් ඉතා කාර්යක්ෂමව ඉටුකිරීමට ද රජයට හැකියාව ඇත.

දොඩම් ගොඩම බදාගැනීම

රජය මගින් සියල්ල නියාමනය කිරීම අකාර්යක්ෂමතාවයේ මාවතයි. වෙළඳපොලක පැවැත්ම පවතින්නේ පාරිභෝගිකයා සහ විකුනන්නා අතර සම්බන්ධතාවය තුලයි. එම සම්බන්ධතාව දුරස් වන තරමට දෙදෙනාමටම සැබෑ අවශ්‍යතාවය කුමක්දැයි සොයා ගැනීමට නොහැක.

ලාභ පාඩු වැනි දේ ගැන දැන ගැනීමට නම් වෙළඳපොලට සක්‍රියව සම්බන්ධ විය යුතුය. නමුත් රජයක් පාර්ලිමේන්තුව, අමාත්‍යාංශ, නිලධාරීන්, වැනි හැට හුට හමාරක් ආයතන හරහා වෙළඳපොලක් නියාමය කිරීම කෙතරම් විහිලු සහගත ද? වෙළඳපොලින් තීරණය විය යුතු දේවල් සඳහා රජය මැදිහත් වීම යනු රජයෙන් සිදුවිය යුතු ජාතික ආරක්ෂාව වැනි කාර්යන් ද දුර්වල කිරීමට හේතු වන බැව් අපි ඉහත සඳහන් කලෙමු.

රජයක් අනවශ්‍ය ලෙස කරන මෙම මැදිහත් වීම් වල අනිටු විපාක රාශියක් ඇතිවන ආකාරය අපට දැක ගත හැක. රජයක් නඩත්තු කරනුයේ මහජන බදු මුදලින් නිසා අතිවිශාල රාජ්‍ය යාන්ත්‍රණයක් යනු නිසැකවම අහස උසට බඩු මිල යවන යාන්ත්‍රණයකි. පුද්ගල මිනිස් අවශ්‍යතා පිළිබඳව හෝ වෙළඳපොල හැසිරීම ගැන හෝ කල් ඇතිව දැනගැනීමේ හැකියාවක් රජයට නැත. ඒ නිසාම අනෙක් අතට අඳුරේ අතපත ගාන අන්ධයෙක් සේ නීති මඟින්, රෙගුලාසි මඟින්, තම පැවැත්මට ඔක්සිජන් සපයන මහජනයාගේම පුද්ගලික නිදහසට වල කපයි. තමාට අදාල කාර්යයන් පසෙක තිබිය දී, පුද්ගලයන්ට වෙළඳපොල මඟින් ස්වේච්ඡාවෙන් කදිමට විසඳා ගැනීමට හැකි කාර්යයන්ට රජයක් මැදිහත් වීම නිසා, තමාගෙන් ඉටුවිය යුතු නියමිත කාර්යන් ද අසාර්ථක කරගනී.

දොඩම් ගොඩ බදාගත්තම වෙන්නෙ එකක්වත් හරියට අල්ල ගන්න බැරි වීමයි.

රජයෙන් නීති දමා ගැනීම

“මම නම් කියන්නේ ඕවට දෙන්න ඕනැ අරාබියෙ වගේ දඩුවම්!!” මෙය සුලභව ඇසෙන කතාවකි. නමුත් ගැටලුව නම් අරාබියේ අපරාධ අඩුවක් නැති බවත් එවැනි දඬුවම් නැති, නිදහස ඇති රටවල අපරාධ අඩු බවත්ය. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කලාම හොරකම් අඩු වෙයි කියල හිතන රටක එවැනි විහිලු නීති ගැන කතා කරන්න ගියොත් ඉවරකරගන්න බැරි තරම් උදාහරණ සොයාගත හැක.

කෙසේ නමුත් නීති මඟින් ආරක්ෂා විය යුත්තේ පුද්ගලික අයිතියයි. නීතිය දැඩි ලෙස අවධානය යොමු කල යුතු තැන එය නොවෙද්දී, පුද්ගලික නිදහස විනාශ වේ.

මට රෑ 12 ට සුපර්මාකට් එකට ගිහින් මත්පැන් බෝතලයක් ගන්න තියෙන පුද්ගලික නිදහස ගැන සොයන්න, අල්ලන්න, දඩ දඬුවම් දෙන්න යන නීතිය, මට කොළඹ නුවර පාරේ බස් පර්මිට් එකක් මිලදී ගැනීම දෙන නීතිය, මේවා පාලනය කර ඇත. නමුත් එම නීති නිසා බස් පර්මිට් එකක් සඳහා සේ ම මත්පැන් බෝතලය සඳහා ද මට කලුකඩ මිලක් ගෙවීමට සිදුවෙන බව සමාජය දත්ත ද නීතිය නොදනී. මම ලබන ලාභයෙන් වෙනත් දෙයක් මිල දී ගෙන ආර්ථික දම්වැලට තවත් ශක්තියක් වීම ද මින් වැලකී යයි. ඔය ආකාරයට නීති මඟින් ආර්ථික දම්වැලේ පුරුක් එකින් එක ගලවා දමන අයුරුත් නිදහස කප්පාදු කරගන්නා ආකාරයත් ගැන උදාහරණ කියා නිම කල නොහැක.

මත්පැන් බී වෙරිමර ගාතේ කිසිවෙකුට කරන පහර දීම නීතිය මගින් පාලනය ප්‍රතික්ෂේප නොකරමු. එයින් සිදුව ඇත්තේ මම වෙනත් පුද්ගලික නිදහසක් උල්ලංඝනය කිරීමයි.

මම බස් රථයක් පාරට දැමීම තුලින් තවත් එවැනි අයෙක්ට ඇති අයිතියට පිහියක් පෙන්වා තර්ජනය කර ඊට ඉඩ නොදේ නම්, අන්න එතැනට නීතිය මැදිහත් වී එම පුද්ගලයාට ද ඊට ඇති අයිතිය ආරක්ෂා කල යුතුය.

අපිට ලස්සනට මගුල් ගෙවල් ගන්න පුලුවන්. වැදගත් විදිහට අවමංගල්‍යයන් චාරිත්‍රානුකූලව ඉටු කරන්න පුලුවන්. හැබැයි මත්පැන් බෝතලයක් විකුනන්නත්, කාටවත් කරදරයක් නැතිව ප්‍රවාහනය විකුනන්නත් දැනීමක් නෑ. ඒ හින්ද රජය නීතිය මගින් ඒක බාරගත යුතුයි.

බස් එක ගන්න සල්ලිත් අපේ. දුවන්නෙත් අපේ සල්ලි වලින්. යන්නෙත් අපිට කැමැත්තෙන් මුදල් දෙන මිනිස්සු. බස් එකේ අවශ්‍යතාව තියෙන්නෙත් ඒ මිනිස්සුන්ට. නමුත් මිනිස්සු දන්නෙ නෑ බස් කොහොම ද පාරේ දුවවන්නෙ කියල. ඒ හින්ද පාර්ලිමේන්තුවෙන් සම්මත කල නීතියකට අනුව අමාත්‍යාංශ, කොමිෂන් සභා හරහා උසාවි, පොලිසී මැදිහත්ව වහ වහා නීති මඟින් මේවා පාලනය විය යුතුයි යන්න තීරණය වේ.

බස් ගාස්තු තවත් අඩුකරන්න පුලුවන් ඇති හැකියාව නැති කරමින් අති විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් ඇතිකරයි. ඇමතිල, උප ඇමතිල, නිලධාරීන් ලබන වාහන වරප්‍රසාද රාශියක් මඟින් බස් සේවය පාලනය කරයි. අවසානයේ පර්මිට් කලුකඩ මිලක් වෙන අතර බස් ගාස්තු ද ඉහල යයි. සේවය පහළ යයි. තරඟකාරීත්වයක් වෙනුවට මාෆියාවක් ලෙසට පත්වන එම කර්මාන්තය මගීන්ව බල්ලට දාල රෑ 7 න් පස්සේ ධාවනයත් නවතා දමයි. ඔන්න නියාමනයක මහිමය!! මෙතන කිසි විටෙක තරඟකාරීත්වයක් නෑ. විවෘත බවක් නෑ. මෙතන රජය විසින් නීතිය මාර්ගයෙන් කරන්නේ මිනිස් අවශ්‍යතා පාලනය කරන නියාමනයක් මිසක් ඊට නිදහසේ තුලනය වන්නට ඉඩ දීමක් නොවේ. ටොෆි නිෂ්පාදනයේ දී ස්වයංව සිදුවන නියාමනය බස් කර්මාන්තය තුල සිදු නොවන්නේ යැයි කුමන තර්කයකින් ඔප්පු කල හැකිද??

අවම රාජ්‍ය අංශයක්, උපරිම පුද්ගල නිදහසක්

අප මෙහිදී ඉතා කෙටියෙන් විමසා බලන ලද අදහස් පුලුල් සංවාදයකට බඳුන් කිරීම හා අධ්‍යයනය කිරීම තුල පමණක් මෙම කාරණා පිලිබඳ ඇති වියවුල් සහ ගැටලු ලිහා ගත හැකි වෙතැයි විශ්වාස කරමු. මෙහි දී මූලිකවම රාජ්‍ය අංශය විසින් ජනයාගේ කරමත නැඟ, ඔවුන්ගේ බදු මුදලින් ඔවුන්ව පාලනය කිරීමේ දී ජනතාව ගොනාට අන්දවා ඇති ආකාරය පමණක් කෙටියෙන් පැහැදිලි කලෙමු.

රජයක් මැදිහත් වෙන්නේ නැතුව මොකුත් බැහැ යන්න ලොව පුරා බලවත්ව පැතිර ඇති මිත්‍යාවකි!! ඒ වෙනුවට අපි මෙසේ කියමු. රජයක් නැතුව හුඟක් දේ පුලුවන්!!!!

13 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූනි 28, 2015 at 9:49 පෙ.ව.

    කුංකුනාවෙ හාමුදුරුවො කිව්වයි කියන කවිය දන්නවද ? //පුරාණ රාජ යුගය තවම අවසන්ව නැත. මහජනයුගය පැමිණීමට තව කල් තිබේ// කියල ආනන්ද කුමාරස්වාමි මධ්‍යකාලීන සිහල කලා හි ලිව්වෙ 19 සියවසේ අග භාගයෙදි. 21 වන සියවසේ මුල භාගයෙදි වුනත් එය නැවතත් ලියා තබන්න වෙලා.

    • arunishapiro said, on ජූනි 28, 2015 at 11:22 පෙ.ව.

      mppgunasinghe,

      ඒ කවිය අහලා නැහැ. කතාව ඇත්ත. මහජන යුගය තවම ළාබාලයි. එය කුමක්දැයි හරිහැටියකට පහදා ගන්න ඉඩක් ලැබුනේ නැහැ බොහෝ රටවල් වල ජනතාවට.

      • mppgunasinghe said, on ජූනි 29, 2015 at 12:57 පෙ.ව.

        //අනේ කූඹිය නේ- තොපටත් රජෙක් ඉන්නේ – අපට නැත ඉන්නේ – ඉන් නිසාවද අපි තැවෙන්නේ- රජෙක් ලැබුණෝතින් – කැවුම් කිරිබත් කන්නම් – දවුල් බෙර ගන්නම් – පෙරහර කරන්නම් – සාදු නාදෙන් ගිගුම් දෙන්නම් //
        මේ උග්ගල් අලුත්නුවර පැරැන්නකු වෙතින් අසන්නට ලැබුණ කංකුණාවෙ හාමුදුරුවන්ගේ යයි පැවසෙන කවිය. මේ කවියම වදන්වල හා අකුරුවල මඳ වෙනස් කම් සහිතව මෑතදී පළව ඇති සිංහල පාසල් පෙළ පොත් සහ වෙනත් පොත් පත් වල ද දක්නට ලැබේ. කංකුණාවේ හාමදුරුවන්ගේ නමද ඇතැම් විටක කුංකුණාවේ හාමදුරුවෝ ලෙස සඳහන් වන අවස්ථා ද ඇත.

  2. balasooriya lansakara said, on ජූනි 28, 2015 at 10:58 පෙ.ව.

    ස්තුතියි, ඔබ කියන කරුණු ඔක්කොම සත්‍යය, නමුත් මේවා කරන්න පටන් ගන්නේ කවුද. මොන පලකයාද,දෑනට පාලනයට එන්න හෑකියෑයි සිතෙන කිසිම පාලකයෙක් මේ අයුරින් ක්‍රියා කරයි කියලා හිතන්න බෑ.උදාහරනයකට බලන්න ලන්කාවේ පොහොර සහනාදාරය.කෘතීම පොහොර වෑඩි වෙලා පොලොව විස වෙලා,වතුර විස වෙලා(ග්ල්යිපොසේට්).මිනිස්සු වකුගඩු නරක්වෙලා මෑරෙනවා,නමුත් කිසිම පාලකයෙක්වත්, උගතුන් කියන අයවත් මේ ගෑන ප්‍රතිපලයක් එන විදිහේ සාකච්චාවකට එන්නේ නෑ. අනෙක් අතට රජයම වි මිලදිගෙන ටික කාලයක් ගබඩාවල තියාගන ඉදලා අඩු මිලට පෞද්ගලික මුදලාලිලාට දෙනවා.

    • arunishapiro said, on ජූනි 28, 2015 at 11:31 පෙ.ව.

      balasooriya lansakara,

      මම උත්තර දෙන්නම්, සටහන ක්‍රිෂ්ණගේ වුනාට.

      පාලකයන් ක්‍රියා කරන්නේ ජනතාව ඉල්ලා සිටින පරිදියි. වෙළඳපොලක් වගේ හනිකට අවශ්‍යතා පිරිමසන්න ආණ්ඩුවක ඉන්න දේශපාලනඥයන්ට බැහැ. ඒත්, රටක ජනතාව තමන් ඉල්ලන දේවල් වෙනස් කරද්දී ඒවා දෙන්න දේශපාලකයන් ඉදිරිපත් වෙනවා, නැත්නම් බලය දිනා ගන්නෙ කොහොම ද?

      ජනතාව ඉල්ලා සිටිනවා නම් ආණ්ඩුවේ මැදිහත්වීම් අඩු කරන්න කියල එවිට එයත් සිද්ධ වෙනවා.

      ඉතින් ඒ නිසා මේවා පටන් ගන්න ඕනෑ ජනතාව නියෝජනය කරන තම තමන් විසින්මයි.

  3. Uditha Meegahathenna said, on ජූනි 28, 2015 at 11:30 පෙ.ව.

    ක්‍රිෂ්ණගේ මහන්සියට මල් මිටක් සහ වැදගත් වැඩේ හොස්ට් කලාට අරුණිට ටැංකිව්….😉

  4. krishramanayaka71 said, on ජූනි 29, 2015 at 11:10 පෙ.ව.

    මා ලියූ සටහනක් …අඩුපාඩු පවතින්න ඇති නමුත් අරුනි මහත්මිය.( අරුනි අක්කා ) තම බ්ලොග් එකේ දැමීම ගැන පළමුව ඇයට මගේ ගෞරවය පිරිනමමි….ස්තූතියි…!!! අරුනි අක්කා…….!!..එසේම ඔබ විසින් සිංහලෙන් තබන මේ අනගි සටහන්…වල වටිනාකම තේරුම් ගන්න නිදහස් මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවේවායි අවංකවම පතමි ..ඔබට ජය !!!

  5. Asanka Sandakelum said, on ජූලි 1, 2015 at 3:34 පෙ.ව.

    ප්‍රශ්න දෙකක් පන නැගුන ,
    1.මොනවද ඉතා ඉහලින් ඔය තත්වය ඇති රටවල් ? (අයිස්ලන්තය ,නොර්වීගියානු රටවල් ..?)
    2. ලංකාවට අවශ්‍ය කුමන මට්ටමක්ද ? ඔය ලිබටෙරියානු රටවල් වල සමාජය එයට සුදුසු පරිදි අකසිල තියෙනවා .. නමුත් ලංකික සමාජය ???

    • arunishapiro said, on ජූලි 1, 2015 at 5:37 ප.ව.

      Asanka Sandakelum,

      1. රජය විසින් නිදහස කුමක්දැයි නොදන්නා අයගේ නිදහස පවා ආරක්ෂා කරදෙන රටක් හැටියට ඉහළින්ම ඇත්තේ හොංකොං තමයි. ඒත් දැන් චීනයේ පාලනය යටතට වැටී ඇති නිසා එහි තත්වය වෙනසකට භාජනය වෙමින් පවතින බව පසුගිය දිනවල හොංකොං හි පැවති හර්තාල් වලින් පෙනුන. අයිස්ලන්තය, නවසීලන්තය වැනි රටවල් හොඳ උදාහරණ. ඒත් නෝර්වේ සහ ස්වීඩන් වැනි නෝර්ඩික් රටවල් හොඳ උදාහරණ නොවේ. ඒවායේ ආණ්ඩු විසින් කරන ලද මැදිහත්වීම් නිසා සිද්ධ වී ඇති ආර්ථික සහ සමාජීය හානිය ගැන ළඟ දී ම ලියන්නම්.

      2. “අකසිල” වචනයේ අර්ථය කුමක් ද?

      මම දකිනවා ගොඩක් දෙනා ලංකාවේ ජීවත්වන මිනිසා ලෝකෙ වෙන කිසිම රටක නැති, හරි අරැම පුදුම සතෙක් හැටියට සලකන හැටි.😀

      රටක සංස්කෘතිය, අධ්‍යාපනය සහ දේශපාලන බලපෑම් යනාදිය අනුව වෙනස් වෙන්නේ මිනිස් ස්වභාවය නෙමෙයි, මිනිස් හැදියාවයි. හැමදාම දුප්පත් රටවල් ලෙසින් සමහර රටවල් හිරවෙලා ඉන්නේ ඒවායේ මිනිසුන් හැදියාවෙන් වැඩවසම් චින්තනයක හිරවෙලා ඉන්න නිසයි.

      ඉහත mppgunasinghe සටහන් කළ කංකුණාවේ හාමුදුරැවන්ගේ කවියේ //අනේ කූඹිය නේ- තොපටත් රජෙක් ඉන්නේ// කියද්දී ඇත්තටම කූඹියන්ට රජෙක් -නායකයෙක් නැහැ. රුජිනක් කියල හිටියට ඇයට සිද්ධ වෙලා තියෙන්නෙ කූඹි ගුලේ ඉන්න හැම කූඹියෙක්ම ප්‍රසූත කරන වැඩේ පමණයි.

      නමුත් කවිය පෙන්වන සත්‍යය, එනම් ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව නායකයෙකු -රජෙකු සෙවීම ඇත්තයි. ඒ රටේ ආණ්ඩුව යටතේ නොමිලේ බෙදන ලද අධ්‍යාපනයෙන් දායාද වූ හැදියාව.

      ලංකාවේ අයට බුදුදහම ක්‍රි. පූ. 250 දී පමණ ලැබුනත්, එහි ඇති ධර්මය ඕනෑම සාමාන්‍ය වැසියෙකුට ඉගෙන ගන්නට ලැබෙන පරිද්දෙන් ක්‍රමානුකූලව හැදෙන්නේ බ්‍රිතාන්‍ය/ජර්මන් සුද්දන් පාලි භාෂාව හදාරන්නට පටන් ගත්තට පස්සෙ සුද්දන්ගේ භාෂා වලින් මුලින් ලියැවිලා ඊට පසුව සිංහලට ඇවිත්. ඉතින් අවුරුදු ගණනාවක් සිංහල බෞද්ධ හැදියාව සැකසෙන්නේ ගෞතම බුදුන් වදාල enlightenment කුමක්දැයි අනුව නොවේ. ලංකාවේ බෞද්ධයන් හිමිකම් කියන අනගි ධර්මයක් ඔවුන් පරිහරණය කරන්න තවමත් දන්නේ නැහැ. එවැනි හිමිකමක් නොලැබුණු යුරෝපීයයන්, බුද්ධි විචාර යුගය (Age of Enlightenment) කියල පහුකරන කාල වකවාණුව 1620 සිට 1780 ගණන් දක්වා තිබුණ එකක්. එයත් ඒ හා සමගාමීව ගිය කාර්මික විප්ලවයත් රැසියන් අධිරාජ්‍යයට සහ පසුව එන සෝවියට් රැසියාව, චීන කොමියුනිස්ට් රාජ්‍යයට සහමුලින් මඟහැරැන. දුප්පත් රටවල් වෙලා තියෙන්නෙ ඒවායේ එල්ලුන රටවල්. දුප්පත් රටවල වැසියන්ට නොමිලේ බෙදූ අධ්‍යාපනයෙන් බුද්ධ විචාර යුගයේ අදහස් කිසිදා අහන්න ලැබුනේ නැහැ.

      නමුත්, වර්තමානයේ දී අපිට විකල්ප මාර්ග වලින් (මේ බ්ලොග් වැනි) නොමිලේ බෙදන ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට දක්කා ගෙන යන්නට සකස් කරලා තියෙන අධ්‍යාපනයෙන් මඟහරින දේවල් කියා දෙන්නට ඉඩක් ලැබිල තියෙනව.

      ඉතින්, ලංකාවේ ඉන්නේ ලෝකයේ වෙන කිසිම තැනක නැති අරුම පුදුම මිනිසෙක් නොවන නිසා, මිනිසාගේ ස්වභාවික ස්වභාවය වූ තම උන්නතිය සොයා යෑමට කැප වී වෙහෙසීම ගැන විශ්වාසයක් තියල, අපි හැකි ආකාරයන් වලින් ආර්ථික සහ සමාජීය දියුණුවක් කරා යන හැටි කියල දෙන්න උත්සාහ කරනව.

      අපේ උත්සාහය සමාජයක් හදන්න නෙමෙයි. ආණ්ඩුවක් වෙනස් කරන්න නෙමෙයි. නායකත්වයක් හොයන්න නෙමෙයි. අපේ උත්සාහය දීර්ඝ කාලීන සමෘද්ධියක් ලැබෙන්නේ කෙසේදැයි සහ ආචාර ධාර්මික වූ ජීවිතය කුමක්දැයි දැන ගන්නට සහ ඒ දැනුම අනුව තමන්ගේ හැදියාව වෙනස් කරගන්න කැමත්තෙන් එන ඒකීය පුද්ගලයාට ඒ දැනුම ලබාගන්න උදව් වෙන්නයි.

      එක එක මිනිසෙක් තම තම දැනුම වඩවා ගනිද්දී නායකත්වයක් සොයා යෑම වෙනුවට දේශපාලනඥයන් වෙතින් ඉල්ලා සිටිය යුත්තේ “අපේ පාඩුවේ ඉන්න දෙන්න” යැයි ඔවුන් අවබෝධ කරගන්නවා. එවිට දේශපාලනඥයන් වෙතින් සහනාධාර, විශේෂ වරප්‍රසාද ඉල්ලන එකත් නතර කරනවා.

      ලොව ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක පාලන බලය ලබන්නට නම් එහි බහුතරයක් මිනිස්සු ඉල්ලන දේ දෙන්නට පොරොන්දු වෙන්නට සිද්ධ වේ. අපි පෙනී ඉන්නේ, අනිත් අයට පහදා දෙන්නට වෙහෙසෙන්නේ, වැඩිපුර අය විසින් සිය දේශපාලනඥයන් වෙතින් ඉල්ලා සිටිය යුත්තේ “අපේ පාඩුවේ ඉන්න දෙන්න” වීම යුක්ති සහගත, සාධාරණ සහ ආචාර ධාර්මික වූ එකම ඉල්ලීම බවත් එයම පමණක් නිවැරදි වෙන බවත් කෙසේදැයි කියායි.

      හැබැයි, අපිට පුළුවන් පැහැදිලි කරන්න විතරයි. තවකෙක් වෙනුවෙන් අවබෝධ කරන්න අපිට බැහැ!!! ලංකාවේ මිනිසුන්ට එය අවබෝධ වීම පටන් ගෙන. මේ සටහන ලියූ ක්‍රිෂ්ණ සෑහෙන අවබෝධයක් ඉතා සුලු කාලයකින් ලබාගත්තු අයෙක්. කොතරම් වේගයකින් ඒ අවබෝධය රටපුරා පැතිර යන්නේ ද අනුව රටේ දියුණුව කොතරම් වේගයකින් සිද්ධ වේවිදැයි තීරණය වෙනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: