අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාවේ ආයුධ අයිතිය උන්මාදයක් යැයි දැකීම

Posted in Uncategorized by arunishapiro on ජූනි 29, 2015

twoways

ඇමෙරිකාවේ නීති විරෝධී තුවක්කුවක් පත්තු වෙන සෑම අවස්ථාවක දී ම මෙහෙ කිහිප දෙනෙකුට සහ සෙසු ලෝකයේ බහුතරයකට උවමනා රටේ නීතිමය ලෙසින් අයිතිය ඇති තුවක්කු ඇමෙරිකන් වැසියාට අහිමි කරන්නටයි. ඒ සඳහා නන් විධ බොරැ ප්‍රචාර ගෙන යෑමට ඔවුන් ගජ හපනුන් වෙන්නේ ඇමෙරිකන්කාරයා නිදහස් මිනිසෙක් ලෙසින් ගත කරන ජීවිතයට, නැත්නම් අනුන්ට කිසිත් කරදරයක් නොවී සතුටින් සිටින මිනිසුන් දකිද්දී ඇතිවන ද්වේෂය නිසා මිසෙක වෙන කුමක් නිසා දැයි අහන්නට සිත්වේ.

හිතාමතා කරන බොරැ ප්‍රචාරය අලුත් වැඩක් නොවේ. එයට ගජ හපනුන් වූයේ සෝවියට් රැසියාවයි. ඒ සඳහාම පිහිටුවා ගත් දෙපාර්තමේන්තුවකින් ඇමෙරිකන් විරෝධී බොරැ ප්‍රචාර -dezinformatsiya ඔවුන් බෙදූහ. ඒඩ්ස් රෝගය බිහිවූයේ “වර්ගවාදී බෝම්බයක්” හදන්නට කරන ලද තෝරාගත් කළු වැසියන් මරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් නිසා යැයි පතුරැවා හැරීම එවැන්නකි!!! ඉතින් කාලයක් යද්දී එරට බංකොළොත්වීම පුදුමයක් ද?!!!

චාල්ස්ටන් මිනීමැරැම හමුවේ ජනාධිපති ඔබාමා ඇමෙරිකන් තුවක්කු ප්‍රචණ්ඩත්වය ගැන බොරැ කීවේය. ඒත්, 2004 දී විවාහය පිරිමියෙකුත් ගැහැණියකත් අතර පමණක් සිද්ධ විය යුත්තක් යැයි කියමින්, 2015 වෙද්දී සමලිංගික අය අතර විවාහයන්ට නීතිමය අවසරය උත්සවශ්‍රීයෙන් සමරන දේශපාලනයෙන් වාසි ලබන්නෙක්, එවැනි මහජන ප්‍රකාශන කීම සාමාන්‍යයකි.

නමුත් සත්‍ය පරිසිද්ධි (facts) ජනාධිපතිවරයාට වුව ද වෙනස් කළ නොහැකි වූවකි.

2011 දී නෝර්වේ ජාතික ඇන්ඩර්ස් බෙහ්රින් බ්‍රෙයිවික්, තුවක්කුවකින් මිනිස් ජීවිත 67 ක් අහිමි කර 110 ක් තුවාල කරන ලදි. වෙනත් තැනක ඔහු තැබූ බෝම්බයෙන් මිනිස් ජීවිත 8 ක් අහිමි විය.

2011 දී නෙදර්ලන්තයේ මිනිස් ජීවිත හයක් අහිමි කර, 17 කට තුවාල පමුණුවන ලද්දේ වෙළඳ සංකීර්ණයකට කඩා වැදුනු රයිෆල් තුවක්කුවක් අතැති 24 වියැති තරැණයෙකි. අනතුරැව ඔහු  සියදිවිනසා ගති.

2011 දී බෙල්ජියමේ ලියේජ් නගරයේ 33 වියැති පිරිමියෙක් ග්‍රෙනේඩ් විසි කරමින් රයිෆල් තුවක්කුවකින් සෙන්ට්-ලැම්බර්ට් චතුරශ්‍රයේ මිනිස් ජීවිත 6 ක් අහිමි කර 125 කට තුවාල පමුණුවන ලදි. එදින ඔහු තම නිවසේ දී ගැහැණියක් ද මරා දමන ලද අතර සමූලඝාතනය අවසන දී රිවොල්වරයකින් සියදිවිනසා ගති.

ඉහත සිද්ධිය වූ දිනයේ දී ම ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ මිනිස් ජීවිත දෙකක් අහිමි කර තිදෙනෙකුට තුවාල පමුණුවා, තවත් සියදිවිනසා ගැනීමක් ද සිද්ධ විය.

2010 දී ස්ලෝවැකියාවේ අහිකුණ්ඪිකයන් 7 ක් වෙඩිතබා මරා 17 කට තුවාල පමුණුවා අනතුරැව පොලීසියෙන් වෙඩි තැබූ පසු තමනට වෙඩිතබා ගත් සියදිවිනසා ගැනීමක් සිද්ධ විය. මොහු අසල්වැසියෙකුගේ නිවසක වූ පස් දෙනෙකුගෙන් යුතු පවුලක් මරා දමා, ඒ පවුලේම තවත් අයෙක්ව නිවසෙන් පිටත දී මරා දමා ඉන්පසුව මහපාරේ අයට වෙඩි තබමින්, සදළුතලයන්හි විසූ අයටත් වෙඩි තැබුවෙකි.

2010 දී බ්‍රිතාන්‍යයේ වයස 52 ක ටැක්සි රියැදුරෙක් කම්බ්‍රියා නගරයෙහි තුවක්කුවකින් මිනිස් ජීවිත 12 ක් අහිමි කර, 11 කට තුවාල පමුණුවා සියදිවිනසා ගති. 1987 දී හන්ගර්ෆෝර්ඩ් සමූලඝාතනයේ තුවක්කුවකින් වෙඩි තබා මිනිස් ජීවිත 16 ක් අහිමි කරන ලද ඝාතකයා තම මව ද මරා තමන් ද සියදිවිනසා ගති. 1996 දී ස්කොට්ලන්තයේ ස්ටයර්ලින් අසල තුවක්කුවකින් ළදරැ පාසැලක දරැවන් 16 ක් සහ ගුරැවරයෙක් ද මැරෑ ඝාතකයා එයින්ම සියදිවිනසා ගන්නා ලදි.

2009 දී ජර්මනියේ විනෙන්ඩන් පාසැලේ දී සහ අසල වූ රථ වාහන විකුණන තැනක දී 17 වියැති තරැණයෙක් 15 ක් මිනිස් ජීවිත අහිමි කළේ තුවක්කුවකින් වෙඩි තැබීමෙනි. අනතුරැව ඔහු ද සියදිවිනසා ගති. තවත් 9 ක් ඒ සිද්ධියේ දී තුවාල ලැබූහ.

2008 දී ෆින්ලන්තයේ වෘත්තීය අධ්‍යාපනය සපයන පාසැලක දී තුවක්කුවකින් වෙඩි තබා මිනිස් ජීවිත 10 ක් අහිමිකර අනතුරැව ඔහු ද සියදිවිනසා ගති.

2007 දී ෆින්ලන්තයේ පාසැලක 18 හැවිරිදි තරැණයෙක් තුවක්කුවකින් වෙඩි තබා මිනිස් ජිවිත 8 ක් අහිමි කර අනතුරැව ඔහු ද සියදිවිනසා ගති.

2002 දී ජර්මනියේ අර්ෆර්ට් හි පාසැලක 19 වියැති පාසැලෙන් නෙරපන ලද සිසුවෙක් විසින් තුවක්කුවකින් වෙඩි තබා මිනිස් ජීවිත 16 ක් ඝාතනය කර තමන් ද සියදිවිනසා ගති.

ඒ සිද්ධීන් වූයේ එම රටවල තුවක්කු අයිතිය දැඩි සේ රෙගුලාසිකරණය වී තිබිය දී ම ය. ‘මිනීමැරැම් නීතිවිරෝධී කරන්න’ යැයි ඉල්ලන මුග්ධ ලෙසකින්, නීතිමය තුවක්කු අයිතිය අහිමි කිරීම අපරාධකරැවන් අඩුකරත හැකි ක්‍රමය යැයි මේ අය සිතති.

එසේම සමහර රටවල් මනුෂ්‍ය ඝාතන පිළිබඳ දත්ත වාර්තා කරන්නේ වෙනස් ක්‍රමයකට. උදා: එංගලන්තය සහ වේල්ස් හි “වරදකරැවෙක් යැයි විනිශ්චයක් නොවූ, ආත්ම ආරක්ෂාව හෝ වෙනත් හේතුවක් නිසා පුද්ගලයාව නීතිමය විභාගයකට ලක් නොවෙද්දී, ඒ හා සම්බන්ධ මනුෂ්‍ය ඝාතනය වාර්තාවන්ට ඇතුල් කිරීම සිද්ධ නොවේ.” ඉහත වෙනත් හේතුවක් යන්න ඉතා වැදගත්. මන්ද, එංගලන්තයේ ද්වේෂය මුල් කරගත් ප්‍රචණ්ඩත්වයක් ද නැද්ද තීරණය කිරීම අපූරැ නීතියක් බවට පත්ව තිබෙන බැවිනි.

ඇමෙරිකාවේ වාසය කරන මහා ජනගහණය සැලකිල්ලට ගෙන ඇමෙරිකාව හා සංසන්දනාත්මක දත්ත විමසද්දී, අවබෝධයට හැකියවුන්ට පෙනී යන්නේ යුරෝපීය රටවල් බොහොමයක මහජන සමූල ඝාතන වල දී ඉහළ මරණ මට්ටමක් දැකිය හැකි බවයි. මෑතක් වනතෙක් සමවාර්ගික වූ රටවල් දැන් කෙමෙන් බහුවාර්ගික වෙද්දී තව දුරටත් සමාජවාදී ප්‍රතිපත්ති පවත්වාගෙන යන්නේ ද ඉන් අසහනයට පත් වන තරැණ අය වෙතින් සිද්ධ වෙන අහිතකර මෙවැනි ප්‍රතිඵලයන් ඒ රටවල් තුලින් අනාගතයේ දී වැඩියෙන් දකින්නට ලැබෙනු ඇත. මේවා පැහැදිලි කරන්නට පුළුවන. ඒත් අවබෝධය තමන් විසින් ලද යුත්තකි!!!!

2009 සිට මේ දක්වා සලකා බලද්දී තුවක්කු වලින් මහජනතාවට වෙඩි තබා මරන ලද ඉහළම මරණ මට්ටමක් ඇත්තේ නෝර්වේ රාජ්‍යයට බව ඉහත සබැඳිය පෙන්වා දෙයි. මැසඩෝනියාව, සර්බියා, ස්ලෝවැකියා, ෆින්ලන්ඩ්, බෙල්ජියම්, චෙක් ජනරජය, යනාදියට අනතුරැව ඇමෙරිකාව එන්නේ 8 වැනි ස්ථානයටයි. එයට පසුව එන්නේ ඔස්ට්‍රියාවයි.

එහෙත් ඒ යුරෝපීය රටවල් නොදැක්කා සේ, තුවක්කු උන්මාදයක් ඇතැයි කියන්නට ඇමෙරිකාව පමණක් හැම විටම ඉලක්ක කරගන්නේ සතුටින් ගෙවෙන ඇමෙරිකන් ජන ජීවිතය ගැන ද්වේෂයෙන් දිවි ගෙවනා අයට ඇති දොම්නස් තත්වයක් මිසක් වෙන කුමන හේතුවක් නිසා දැයි සිතාගත නොහැකියි!!!!

5 Responses

Subscribe to comments with RSS.

  1. රජ් said, on ජූනි 29, 2015 at 6:11 පෙ.ව.

    ඇමෙරිකාවෙ වාර්තා?

    හැබැයි ඉතිං කෙනෙකුට මැරීමක් කරන්න ඕන නං තුවක්කුව හොයාගන්නව ලයිසන් ඇති හෝ නැති.

    • arunishapiro said, on ජූනි 29, 2015 at 6:22 පෙ.ව.

      රාජ්,

      සබැඳියක් ඇමුණුවේ crime prevention research center වෙතින්. එය ඇමෙරිකන් ආණ්ඩුවේ ආයතනයක් නොවේ. එසේම ඔවුන් තුවක්කු හෝ මූණිස්සම් නිපදවන සමාගම් වෙතින් හෝ ජාතික රයිෆල් ඇසෝසියේෂන් NRA වැනි සංවිධාන වලින් අරමුදල් බාරගන්නා අය ද නොවේ. මේවාට දෙන දානපතියන්ගේ විස්තර මෙරටේ දී ඕනෑම වැසියෙකුට පහසුවෙන් සොයාගත හැකි වූවකි.

      තුවක්කු අයිතියේ නිදහස ආරක්ෂාවට පරිත්‍යාග කරන පුද්ගලයන් මෙන්ම එය පාලනයට පරිත්‍යාගයන් කරන්නේ කුමන එද්දලයන්දැයි සොයා ගැනීම ද අවශ්‍ය අයට පහසු වූවකි.

      මිනිසෙක්ට තව මිනිසෙක් මරන්න ඕන නම් තුවක්කුවක්ම අවශ්‍ය නැහැ.

  2. krishramanayaka71 said, on ජූනි 29, 2015 at 11:04 පෙ.ව.

    මවගේ තුවක්කුවෙන් පාසලකට පැන ලමුන් මරාදැමුවා මතකයි. මා දන්න හැටියට වසර 10 කට පසුවයි එවැනි ඝාතනයක් එම ප්‍රෙද්ශයෙන් වාර්තා වෙන්නෙ….!!

    • arunishapiro said, on ජූනි 29, 2015 at 12:07 ප.ව.

      krishramanayaka71,

      ඔබ කියන්නේ කනෙටිකට් ප්‍රාන්තයේ සැන්ඩි හුක් ළදරැ පාසැලේ සිද්ධිය ගැන ද?

      ලංකාව වගේ 1.26 ක ගුණයකින් විශාල වූ දකුණු කැරලයිනා ප්‍රාන්තයේ චාල්ස්ටන් නගරයෙන් මීට පෙර සිද්ධ වූ මෙවැනි (පල්ලියට කඩාපැන කරන ලද) සමූලඝාතනයක් වාර්තා වෙන්නෙ නැහැ. සිද්ධිය වූ චාල්ස්ටන් නගරයෙන් සැතපුම් 100 ක පමණ දුරින් වූ බ්ලැක්ස්විල් නගරයේ 1995 දී වයස 16 පාසැල් සිසුවෙක් එක ගුරැවරයෙකුට මැරෙන්නට වෙඩි තබා, තවත් ගුරැවරයෙකුට වෙඩි තැබීමෙන් තුවාල කර අනතුරැව සියදිවිනසා ගත්තා.

      එම ප්‍රාන්තයේ වෙනත් පැත්තක පැට්‍රික් බුරිස් නැමැති අපරාධකරැවා මිනිස් ඝාතන 5 ක් කර ඇති බවට සාක්ෂි තිබෙනවා.

      ඊට කළින් කාලයක සිද්ධ වෙන මහජන සමූහ ඝාතනයක් අහන්න අපිට 1876 හම්බර්ග් සමූලඝාතනය දක්වා යන්න වෙනවා.

      1868 දී මිනිස්සු තුන්දෙනෙක් බෙන්ජමින් රැන්ඩොල්ෆ් නම් කළු ජාතික ආගමික පූජකවරයෙක්ව ප්‍රාන්ත සෙනෙට් ආසනයක් දිනාගත්තු නිසා මරා දාලා තියනවා.

      සංසන්දනය කරලා බලන්න, 1868 සිට 2015 දක්වා දේශපාලන සහ වර්ගවාදී මරාගැනීම් ලංකාවේ කොච්චර වුනා ද?!!!! ඒත් අපි කියන්නෙ ලංකාව බෞද්ධ අවිහිංසාවාදී රටක්, ආයුධ උන්මාදයක් නැති රටක් කියලනෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: