අරුණි ශපීරෝ‍ වෙතින්

මැරියෙල් බෝට් ලිෆ්ට්: බෝට්ටු වලින් චන්දය දැමීම

Posted in Uncategorized by arunishapiro on ජූනි 30, 2015

KenCCC

මිනිසෙක් යම් දේශයක උපන් බැවින් ඒ දේශයට කඹුරන වහලෙක් කරගැනීමට නීතිමය අයිතියක් එම දේශයේ දේශපාලකයන්ට ලැබෙන්නේ කුමන යුක්ති සහගත සාධාරණත්වයක් සහ කුමන ආචාර ධාර්මික පද්ධතියක් යටතේ ද?!!!

මෑතක දී ඔස්ට්‍රේලියාවට ලංකාවෙන් ඇදුන බෝට්ටු ජනතාව නවත්වන්නට රටවල් දෙකේම ආණ්ඩු එකතු වී නීති පනත් සහ දඬුවම් පැනවූහ. ජූනි 16 වැනිදා අපට අහන්නට ලැබුනේ ඔස්ට්‍රේලියාවේ නිලධාරීන් විසින් ඔස්ට්‍රේයාවේ මුහුදෙන් සරණාගත බෝට්ටු ඉවත් කරගන්නට ඉන්දුනීසියන් බෝට්ටු වලින් හොරෙන් මිනිස්සු ප්‍රවාහනය කරනවුන්ට අල්ලස් දුන් බවයි. තහනම් නීති ගෙනැවිත් දඬුවම් පැන වූ පමණින් කැමැත්තක් සොයා යන මිනිසා නවතන්නට හැකියාව ඇතැයි සිතීම ආණ්ඩු යළි යළිත් කරන වැරද්දකි. ඒ අසාධාරණ ප්‍රතිපත්ති සහ නීති නිසාම කළුකඩය, නීති කඩන ජනතාව, ප්‍රචණ්ඩත්වය හා අල්ලස් දූෂණ අරමුණු නොකළ ප්‍රතිවිපාක හැටියට එළිබහින බවත් ආණ්ඩු විසින් යළි යළිත් අමතක කර දමති.

බෝට්ටු ඒම නවතා දැමීම ඔස්ට්‍රේලියාවටත්, ඉන්දුනීසියාවටත්, ඒ වගේම මීට වඩා හොඳ ලෝකයක් දකින්නට කැමති සියල්ලන්ටම හොඳ යැයි මේ සිද්ධිය හමුවේ ඔස්ට්‍රේලියන් අගමැති ටෝනි ඇබට් කීය. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ඉතිහාසයම එය එසේ නොවේ යැයි ඔප්පු කර ඇති බව චන්දයෙන් රස්සාව ආරක්ෂා කරගන්නට සිද්ධ වූ දේශපාලනඥයෙකුට අමතක වීම පුදුමයක් නොවේ.

බහුතරය කරන වැරැද්ද ඔස්ට්‍රේලියාවේ නිලධාරීන් අල්ලස් ගන්නා ඵලවිපාකය පමණක් දැකීමයි. නීතිමය අවසරයකින් රට වාසස්ථානය කරගත් ඔස්ට්‍රේලියන් වැසියන්ට මුහුණ දෙන්නට සිද්ධ වන සමාජ සුබ සාධන අර්බූදයක් මේ නිසා ඇතිවීමට හැකියාව ගැන ඔවුන් තැති ගැනීම මෙහි දකින්නට නොහැකි කොටසයි. එනම්, තම ජීවිත සමෘද්ධිමත් වෙන්නේ එයම සොයා එන පීඩිතයන් පළවා හැරීමට එකතු වීමෙන් යන මුලාව මෙහි දකින්නට නොහැකි කොටසයි.

පහතින් වූ පරිවර්තනයේ ඉංග්‍රීසි සටහන මෙතැනින් කියැවිය හැකියි. මවිසින් එහි අමුණන සබැඳි මේ අඩවියෙනි.

ජනතාවට කකුල් වලින් චන්දය දෙන්නට ඉඩ දුන්නාම නිදහස හැම විටම ජයගන්නවා ඇතැයි කියැවේ. ඒ ඔවුන්, සෑම විටම විශාල ප්‍රමාණ වලින්, ක්‍රෑර පාලනයන් ඇති තැන් වලින් අයින් වී සාමානුපාතිකව නිදහස ඇති තැන් වලට ඇදෙන නිසයි.

1980 අප්‍රේල් 20 වැනිදා ෆිඩෙල් කැස්ත්‍රෝ දැනුම් දුන්නේ මැරියෙල් තොටුපල නගරයෙන් ඕනෑම කියුබන් වැසියෙකුට දඬුවම් නොවිඳ රටෙන් පිට වී යා හැකියි කියායි.

කැස්ත්‍රෝගේ පාලනයට දැක්වූ ද්වේශය පැහැදිලිව පිළිබිඹු කරමින් කියුබන් වැසියන් බෝට්ටු වලින් චන්දය ප්‍රකාශ කළහ. ලක්ෂයකට වැඩියෙන් අටවා ගත් අබලන් බෝට්ටු වලින් සිද්ධ වූ මුහුදු තරණය ‘මැරියෙල් බෝට් ලිෆ්ට්’ නමින් ඉතිහාසයට එකතු විය.

මයාමි හි විසූ ඇමෙරිකන් අය තම ඥාතීන් හා හිතවතුන් සමඟ යළි එකතු වෙන්නට තමන්ට හැකි සෑම බෝට්ටුවකම නැඟී සමුද්‍රසන්ධිය හරහා එහාට යන්නට පටන් ගත්හ. සුළී සුළං, මුහුදේ අව්වට නිරාවරණය වීම, මුහුදු කොල්ලකාරයන් සහ මෝරැන් නොතකා, කරකියාගත නොහැකි වූ සරණාගතයන් නැව් ගමනකට සුදුසු දැයි නොසොයා, පාවෙන කුමන හෝ දැයකට ගොඩ වැදුණහ. මන්ද ඒ අවදානම් වලට වඩා අගයක් නිදහස තුල ඇතැයි ඔවුන් සැලකූ නිසයි.

නිදහස් ප්‍රතිමාවේ පරමාර්ශයන්ට එකඟව ඇමෙරිකන් ආණ්ඩුවේ ජීමි කාටර් මුලින්ම ක්‍රියා කළේ මේ සරණාගතයන් සාදරයෙන් පිළිගැනීමටයි. පිටවෙන්නට බලාගෙන සිටි අයට සුරක්ෂිත ප්‍රවාහනය සපයන්නට ඇමෙරිකන් වෙරළබඩ හමුදාව මැරියෙල් තොටුපලට ගියේ නැත. එහෙත් මහ මුහුදේ අසරණ වූවන් බොහොමයක් බේරාගන්නට ඇමෙරිකන් හමුදාව අනගි සේවයක් සැපයීය.

කැස්ත්‍රෝ රෙජිමයේ කොමියුනිස්ට් ආඥාදායකත්වයේ කෲරත්වයට, බලහත්කාරයෙන් පනවන ලද ආර්ථික පීඩිත තත්වයට, නිදහස් භාෂණය සහ සිවිල් නිදහස් අහිමිය ගැන ඒ වෙද්දී ඇමෙරිකන් රජය වසර 20 ක් තිස්සේ කියුබාවට සම්බාධක පනවා තිබුණි. කැස්ත්‍රෝ මරා දමන්නටත් බලයෙන් පහ කරන්නටත් ඇමෙරිකන් ආණ්ඩුව යත්න දරා තිබුණි. ඉතින් ඇයි එහෙනම් කියුබාව හැර දමා එන අයව පිළිගන්නට ඇමෙරිකන් අය අකමැති වෙන්නේ මන්ද?

හැඟීම් වෙනස් වුනේ කටකතාවක් පැතිර යාම නිසයි. සිරගෙවල් සහ මානසික රෝහල් වලින් සමාජයට “අහිතකර” වූවන්ව කැස්ත්‍රෝ විසින් මුදාහැර ඇතැයි ද ඇමෙරිකාවට එවන්නේ ඔවුන්ව යැයි ද, එය කැස්ත්‍රෝගේ උපායක් යැයි අහන්නට ලැබිණ. මැතිවරණ වසරක දී, ජීමී කාටර් විසින් කැස්ත්‍රෝ හා එකඟතාවයට පැමිණියේ මේ චාරයක් නැතිව, අවුල් ලෙසකින් මහා ජන ගංඟාවක් පිට වී යන දොර නැවතත් වසා දමන්නටයි.

කියුබන් ජාතිකයන් දරීද්‍රතාවයන් හා පීඩිත බවින් එහිම තබා ගන්නට කාටර්ගේ සහාය කැස්ත්‍රෝට දිනාගත හැකිවිය. මුලින් සරණාගතයන් මුහුණ පෑ කරදරය කැස්ත්‍රෝගේ මුරකරැවන්ගෙන් පළා යාම පමණකි. දැන් ඔවුනට කාටර්ගේ මුරකරැවන්ගෙන් ද බේරි යන්නට සිද්ධ විණ. මුරකරැවා හිටගෙන සිටින්නේ දේශ මායිමේ කොයි පැත්තේ දැයි සැලකීමක් නැතිව, දෙපැත්තේම සිටින මුරකරැවන් ඔහුව තියාගන්නවා ද, නැත්නම් ආපසු යවනවා ද, යන්නෙන් ඔහුගේ නිදහස අහිමි කරන්නට තීරණය කරන ලද්දවුන් විය.

ඒත් ඉතින්, පැන යන සිරකරැවන් සහ මානසික ලෙඩ්ඩු වෙතින් ඇමෙරිකාව ආරක්ෂා කිරීම හොඳ දෙයක් නොවේ ද? එවක දී මුළු කියුබාවම සිරගෙයක් වූ කාරණය පැත්තකට දමා, ඒ කැස්ත්‍රෝගේ සිරබන්ධනයේ සිටි “අපරාධකරුවන්” ගැන කුමක් කියමු ද? ඔවුන් ඇමෙරිකාවට අනතුරක් නොකරාවි ද?

කල්පනා කර බලන්න, කැස්ත්‍රෝගේ හිරගෙදරක ලගින්නට සිද්ධ වෙන අපරාධකරැවෙක් ගැන. අවසරපතක් නැතිව ආහාර නිෂ්පාදනය හෝ විකිණීම ආර්ථික අපරාධකරැවෙක් වීමයි. සමලිංගික බව අපගාමික අපරාධකරැවෙක් වීමයි. Jehovah’s Witness හෝ Seventh Day Adventist යන ආගමික නිකායක් අදහන්නා සමාජයෙන් නෙරපන ලද්දෙක් වීමයි.

අපරාධ ඉතිහාසයක් ඇතැයි සැකයෙන් අත් අඩංගුවට ගැනුන ලද අයගෙන් 2% කට අඩුවෙන් පිරිසකට ප්‍රචණ්ඩත්ව වාර්තාවක් තිබිණ. කැස්ත්‍රෝගේ බූට් සපත්තුවට යට වී දිවි ගෙවීම සියළු පීඩිත සරණාගතයන්ට නියම කරනවා වෙනුවට මේ ගැන යමක් කරත හැකි විය යුතුව තිබිණ. කොමියුනිස්ට් සිරගෙවල් හි සිටින බොහෝ ජනතාව ප්‍රචණ්ඩ අපරාධකරැවන් නොවෙති. සිරබාරයේ වූයේ ඒකීය පුද්ගල අයිතීන් රජය විසින් පාගා දමන ලද අයයි.

1989 දී බර්ලිනයේ යකඩ තිරය කඩාවැටෙද්දී එහි සරණාගතයන් සඳහා එවැනිම ක්‍රියා මාර්ගයක් අනුගමනය කළා නම් යැයි හිතන්න. නැගෙනහිර ජර්මනියේ සිරකරැවන් ජර්මනියට මුදවා හැරීම අවදානම් වැඩි යැයි කියා ජර්මන් චාන්සලර්වරයා වූ හෙල්මුට් කොල් බිය වූවා නම්, එහෙම නම් බර්ලින් තාප්පය නැවතත් ශක්තිමත් වී අද දක්වා තිබෙනු ඇත.

ශක්තිමත් ලෙසකින් කොමියුනිස්ට් කියුබන් රෙජිමයක් තවමත් ඇත්තේ ඒ නිසයි. ඇමෙරිකන් ජනතාව සහ ඔවුන්ගේ දේශපාලන නායකත්වය සරණගාතයන්ට බිය වී කැරිබියන් හි යකඩ තිරය -ඇමෙරිකාව සහ කියුබාව යන දෙකම බලා කියා ගන්නා සිමෙන්ති බදාම ඇති මුහුදු තාප්පය- කඩා හැලෙද්දි එය පිළිගන්නට අසමත් වූ බැවිනි.

***

ඉහත කොටස ලියූ කෙන් ස්කූලන්ඩ් විසින් Open Borders: Trade, Migration, Entrepreneurship & Prosperity මැයෙන් පවත්වන දේශනය ලංකාවේ වාසය කරන ඔබට අහන්නට අවස්ථාවක් පාදා දෙන්නේ ශ්‍රී ලංකා බැස්ටියාට් සංගමය විසිනි. කොළඹ 2 හි අංක 50, නවම් මාවතේ පිහිටන The Ceylon Chamber of Commerce හි දී, ජූලි 9 වැනිදා සවස 6 සිට 8 දක්වා එය පැවැත්වේ. ශ්‍රී ලංකා බැස්ටියාට් සංගමයේ ප්‍රථම ප්‍රකාශනය වන “නිදහසේ අර්ථ ශාස්ත්‍රය” නම් සිංහල පරිවර්තනය ද එදින ගාස්තුවක් නොගෙවා ඔබට ලබාගත හැකියි.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූනි 30, 2015 at 7:06 පෙ.ව.

    //කොළඹ 2 හි අංක 50, නවම් මාවතේ පිහිටන The Ceylon Chamber of Commerce හි දී, ජූලි 9 වැනිදා සවස 6 සිට 8 දක්වා එය පැවැත්වේ. ශ්‍රී ලංකා බැස්ටියාට් සංගමයේ ප්‍රථම ප්‍රකාශනය වන “නිදහසේ අර්ථ ශාස්ත්‍රය” නම් සිංහල පරිවර්තනය ද එදින ගාස්තුවක් නොගෙවා ඔබට ලබාගත හැකියි.//
    මහඟු අවස්ථාවක් සේ සලකමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: