අරුණි ශපීරෝ‍ වෙතින්

දරැවන් 669 ක් බේරාගත් වීර පුරැෂයා මිය යයි

Posted in Uncategorized by arunishapiro on ජූලි 2, 2015

800px-Nicholas_Winton_in_Prague

මෙය ලෝර්න්ස් රීඩ් විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද සටහන ඇසුරිනි.

මෙය හවුලේ ලියන (මට පුද්ගලිකව දෙවතාවක් හමු වී කතාබහ කරන්නට අවස්ථාව ලැබුණු) ලෝර්න්ස් රීඩ් මහතා පහුගිය මැයි මාසයේ දී මේ වීරයා යළි හමුවීය. 2015 මැයි 19 වැනිදා මේ කතාවේ වීරයා සිය 106 වැනි උපන්දිනය සැමරීය. 2015 ජූලි 1 වැනිදා ඔහු මිය ගියේය.

සත්‍යම වූ වීරයෙක් තමන් එවැන්නෙක් හැටියට හිතන්නේ නැත. තමන් එවැන්නෙක් යැයි දැන්වීම් දමන්නේ නැත. කීර්තිය හෝ වස්තු සම්පත් ලබාගැනීම සඳහා, තමන් වීරයෙක් වෙන ක්‍රියා කටයුතු වල යෙදෙන්නේ නැත. යම් ගැටළුවක් තමනට නිරාකරණය කරන්නට හැකියාව ඇතැයි සිතෙන්නේ නම් ආණ්ඩුවක් විසින් එය කරන තෙක් බලාගෙන සිටින්නේ ද නැත.

1938 සිසිරයේ දී බොහෝ යුරෝපීයයන්ව සෑහීමකට පත්වී සිටින තත්වයකට නලවන ලද්දේ බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් චේම්බලේන් විසිනි. සැප්තැම්බර් අග මියුනික් හි දී චෙකොස්ලෝවැකියාවෙන් විසාල කොටසක් දීමෙන් චේම්බලේන් විසින් ඇඩොල්ෆ් හිට්ලර්ව සංසුන් කර ඇතැයි මේ අය සිතූහ. 1940 දී බලයට පත්වෙන වින්ස්ටන් චර්චිල් එය විශ්වාස කළේ නැත. එය විශ්වාස කළේ නැති අය අතර අපේ කතාවේ වීරයා, එවක 29 හැවිරිදි ලන්ඩනයේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙකු වූ නිකලස් වින්ටන් ද විය.

පෙර වසර කිහිපයේ දී ජර්මනියට ව්‍යාපාර කටයුතු සඳහා බොහෝ වතාවක් ගිය වින්ටන් යුදෙව්වන් අත් අඩංගුවට ගන්නා හැටි, පීඩාවන්ට ගොදුරැ වෙන හැටි සහ ගුටිබැට කන හැටි දුටුවෙකි. 1938 නොවැම්බර් 9 වැනිදා ක්‍රිස්ටල්නාහ්ක්ට් යැයි සුපතල සිද්ධියේ දී නාට්සි මැරවරයන් ජර්මනිය පුරා යුදෙව්වර මරණයට පත් කරමින් යුදෙව් සිනෙගෝග, ගෙවල් සහ ව්‍යාපාර විනාශ කළහ. එයින් හිට්ලර්ගේ අභිප්‍රායන් මැනවින් දිස්විය. යුදෙව් සරණගාතයන් දහස් ගණනින් ජර්මනිය හැර දමා, එවිට නාට්සි විසින් අධිවාසයට නොගත් චෙකොස්ලෝවැකියාවට, විශේෂයෙන්ම ප්‍රාග් වෙතට පළා ගියහ. සීතල හේමන්තයේ මැද ඔවුන් සිටියේ යාන්තමින් අටවා ගත් කටුක තත්වයන් පැවති සරණාගත කඳවුරු වලයි.

යහළුවෙක් සමඟ වසර අවසානයේ දී ස්විට්ස්සර්ලන්තයට ස්කි (හිම කඳු වලින් පහතට වේගයෙන් බහින ක්‍රීඩාව) ට්‍රිප් එකක් යන්නට වින්ටන් සූදානමින් සිටියේය. නමුත් යාළුවා ඔහුට ප්‍රාග් වලට එන්නැයි ආරාධනා කළේය. මොකද ඔහුට ‘කඩිනමින් පෙන්වන්නට අවශ්‍ය දැයක්’ තිබෙන බව කියමිනි. එය සරණාගතයන් හමුවේ තිබි ප්‍රශ්නයයි.

වින්ටන් දුටුවේ ප්‍රාග් අසල කඳවුරැ වල සීතලේ හැහෙමින් සිටින අනාථ සහ දෙමව්පියන්ව අත් අඩංගුවට ගනිද්දී අවතැන් වූ දරැවන්වයි. ජීවිතය පුරා රටේ පදිංචිකරැවන් සහ පුරවැසියන්ව සිටි ඒ කඳවුරු වල සිටි වැඩිහිටියන් තමනට කුමක් වුවත් ඒ දරැවන්ව හෝ බේරාගන්නා ලෙස ඉල්ලා සිටියහ. ඒ රටත්, සෙසු යුරෝපයත් අල්ලා ගන්නා තෙක් නාට්සි නවතින්නේ නැතැයි වින්ටන් සේ ම ඒ අයටත් දැනී තිබුණි. චෙකොස්ලෝවැකියාවේ ඉතිරියත් නාට්සි අල්ලා ගත්තොත් තමනට කුමක් වේදැයි ඔවුන් ඔවුන් සිතමින් සිටිය දී මේ යහපත් මිනිසාට ඒ ගැන යමක් කරන්නට සිත් පහළ විය.

මෙසේ සිර වී සිටින මේ තරම් පවුල් සංඛ්‍යාවක් සඳහා තනි විදේශිකයෙකුට කරන්නට දෙයක් නැතැයි සිතීම පහසු දැයකි. තත්වය නොසලකා හැර තමන්ගේ සුව පහසු ජීවිතයට නැවත පිවිසෙමින් ස්විට්සර්ලන්තයේ සංචාරයට යන්නට වින්ටන්ට හැකියාව තිබිණ. ඔහු මුහුණ පෑ තත්වය හමුවේ වෙනත් බොහොමයක් දෙනා අහක බලාගෙන වෙනතක යනු ඇත. “අපේ කාලයේ පවතින සාමය” ගැන කතාබහ තිබුණ ද එය අවසන් කරන ඔරලෝසුවේ කණිසම වදින බව වින්ටන් දැන සිටියේය. උදව් කරන්නට නම් එය හනිකට කළ යුතුව තිබිණ. ඊ ළඟට ඔහු ගත් පියවර නිසා නාට්සි සිර කඳවුරැ වල දී නියත මරණ වලට මුහුණ නොදී දරැවන් 669 ක් ගලවා ගන්නට හැකියාව ලැබිණ.

ඒ දරැවන්ව බාරගන්නා රටකට ඔවුන් ආරක්ෂිතව ගෙන ඒම පහසු කාර්යයක් නොවීය. ලන්ඩනයට යන ඔහු ලෝකයේ විවිධ රටවල ආණ්ඩු වලට ලිපි ලියන්නට පටන් ගත්තේය. ඇමෙරිකාව ද ඇතුළුව ඒ හැම රටක්ම පාහේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරද්දී මහා බ්‍රිතාන්‍ය සහ ස්වීඩනය ඔවුන්ව බාරගන්නට කැමැත්ත පළ කළහ. ඔහුගේ මව ද ඇතුළුව උදව් කරන්නට කැමති පිරිසක් ඔහු රැස් කරගත්තේය.

ප්‍රාග් හි සිටි ලන්ඩන් කණ්ඩායමේ සහායකයා ට්‍රෙවර් චැඩ්වික් නැමති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. පිටත් කරන්න හදන දරැවන්ගේ තොරතුරැ ඔවුන්ගේ දෙමව්පියන් වෙතින් එකතු කරගෙන වින්ටන්ට යැවීම ඔහුගේ කාර්යය විය. වින්ටන් කළේ ඒ දරැවන්ව බලා කියා ගන්නට කැමති නිවහන් සෙවීමයි. ඔහුගේ ලැයිස්තු වල පන්දාහක් දරැවන් සිටින ලදි. ගෙවීමක් අය නොකර බ්‍රිතාන්‍ය පුවත්පත් හදාගන්නට කැමති දෙමව්පියන් අවශ්‍ය යැයි කියූ වින්ටන්ගේ දැන්වීම් පළ කරන ලදි. දරැවන් කොටසකට ප්‍රමාණවත් තරමින් නිවහන් සොයාගත හැකි වූ විට වින්ටන් ඊට අවශ්‍ය ලියකියැවිලි බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළේය. ඒ දරැවන්ව බ්‍රිතාන්‍යයට ගෙන ඒමට දුම්රිය සහ නැව් ගමන් සංවිධානයට චැඩ්වික්ට සහාය දුන්නේය.

ඒ මෙහෙයුම සඳහ අරමුදල් හොයාගැනීම ද කළේ ඔහුගේ ප්‍රධානත්වයෙනි. වියදම් අතර බ්‍රිතාන්‍ය රජය විසින් ආපසු යවන්නට අවශ්‍ය වන අනාගත වියදම යැයි කියමින් අය කරන ලද පවුම් 50 ක් ද විය. එහෙත් 1939 වසන්තය හා ගිම්හානය ගෙවී යද්දී අවදානම පහ වී දරැවන්ව ආපසු යවත හැකි වේ යන අපේක්ෂාවත් නැති වී ගියේය.

හිතාගත නොහැකි වූවක් සිතේ මවා ගන්න: ප්‍රාග් හි දුම්රිය නැවතුම්පොලක්. වේදනාවෙන් පෙළුන දෙමව්පියන් සහ ඥාතීන් විසින් දරැවන්ව දුම්රියට නංවන හැටි. ඒ බොහොමයකගේ අවසන් සමුගැනීම් වෙන හැටි. පිරිමි සහ ගැහැණු දරැවන් අතර වයස අවුරැදු පහකට අඩු අය බෙහෙවින් සිටියහ. අවිනිශ්චිත අනාගතයක් වෙතට ඇදෙන දුම් දමමින් ඉදිරියට යන දුම්රිය කවළු වලින් ඔවුන් එළියට මුහුණු දමන හැටි. තම පවුල් සමඟ නැවත ඔවුන් එක්වේදැයි කිසිවෙක් නොදත් හැටි.

‘වින්ටන්ගේ දරැවන්’ අතර පළමු 20 ප්‍රාග් වලින් පිට වෙන්නේ 1939 මාර්තු 14 වැනිදායි. හිට්ලර්ගේ හමුදාව ඊ ළඟ දවසේ මුළු චෙකොස්ලෝවැකියාවම අල්ලා ගත්තහ. ඒත් ස්වේච්ඡාවෙන් මේ මෙහෙයුමේ යෙදන ලද්දවුන් සිය වැඩ කරගෙන ගියහ. සමහර අවස්ථාවල දී ඔවුන් දරැවන්ව ජර්මන් අය අතරින් සඟවාගෙන යන්නට හොර ලියකියැවිලි ද හදාගත්තහ. සැප්තැම්බර් 1 වැනිදා දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වෙද්දී, දුම්රිය මාර්ගයෙන් ගිය විවිධ කණ්ඩායම් අටක් විසින් රටෙන් දරුවන් 669 ක් පිටකරගෙන තිබුණහ. තුන්වැනි කණ්ඩායමේ තවත් දරැවන් 250 ක් පිටවෙන්නට හිටියත්, එය ඔවුන් විසින් බලාපොරොත්තු වූ විශාලතම සංඛ්‍යාවයි, එහෙත් යුද්ධය ආරම්භයත් සමඟ නාට්සීන් සියළු පිටත්වීම් නවතා දැමූහ. වසර හයකට පසු මිත්‍ර පාක්ෂිකයන් ජය සමරද්දී ඒ දරැවන් කිසිවෙක් ජීවතුන් අතර සිටියේ නැත. දෙමව්පියන් අතර ද ඉතිරිව හිටියේ ඛේදනීය වූ සොච්චමකි.

ඒ බේරාගත් දරැවන් අතරින් අයෙකු වූ වේරා ගිසින් දක්වන අන්දමට “සරණාගත කඳවුරැ වලට දැමූ චෙක් යුදෙව් දරැවන් 15,000 දෙනාගෙන් දිවි ගලවා ගත්තේ අතලොස්සක් පමණි. මගේ පරම්පරාවේ චෙක් යුදෙව් දරැවන් අතරින් වැඩි කොටසක් බේරා ගත්තේ වින්ටන් විසිනි.”

වේරාගේ කතාව විශේෂයෙන් හදට දැනෙන්නකි. 1939 ජූනි 30 වැනිදා වින්ටන්ගේ දරැවන් ප්‍රවාහනය කළ පස්වැනි දුම්රිය මෙහෙයුමෙන් ඇය එන්නේ වයස අවුරැදු 10 දී ය. නමවැනි දුම්රියෙන් එන්නට නියමිත වූ ඇයගේ ඥාතීන් දෙදෙනෙක් නිදහස ලබන්නට සමත් නොවූහ. ඇයගේ මව පිටුවහල් කරන ලද බර්ගන්-බෙල්සන් සිරකඳවුර මුදවා ගැනීමෙන් දින දෙකකට පසුව ඇයගේ මව ටයිෆස් බෝවෙන රෝගය වැළඳී මිය ගියාය. 1944 දෙසැම්බරයේ නාට්සි විසින් පෙරගමන් යද්දී ඇයගේ පියාට වෙඩි තබා මරා දමන ලදි. නිකලස් වින්ටන් නොවන්නට තමන්ගේ ඉරණම කුමක් වේද යන්න ගැන වේරාට සැකයක් නොවීය.

ඔහු එය කළේ මන්ද? එයින් ලැබෙනවා යැයි සිතූ ප්‍රශංසා අරබයා නොවේ. ශතක බාගයක් පුරා සිය සාර්ථක මෙහෙයුම් ගැන ඔහු කිසිම කෙනෙකුට නොකීමෙන් එය පැහැදිලි වෙයි. 1988 දී ඔවුන්ගේ නිවසේ වහළ අසල කාමරයක් සුද්ද කරද්දී ඔහුගේ භාර්යාවට එහි වූ වාර්තා සහ පින්තූර ඇලවූ පොතක් රුගත් පුස් බැඳුන පෙට්ටියක් හමුවිණ. එහි වූයේ ඔහුගේ මෙහෙයුමට හවුල් වූවන් විසින් එකතු කරන ලද ලියකියැවිලි සහ චෙක් දරැවන්ගේ පින්තූරයි. මහජනතාවට වින්ටන්ගේ කතන්දරය අහන්නට ලැබෙන්නේ ඉන් අනතුරැවයි. එතෙක් කාලයක් පුරා දරැවන් සහ ඔවුන්ගේ පවුල් වල අය ඒ ජීවිත බේරාගන්නට මූලික වූ “ඉටුදෙවියා” කවුදැයි කියා දැන සිටියේ නැත.

2006 දී නිකලස් සහ ඔහු විසින් බේරාගත් වේරා සමඟ නිකලස්ගේ නිවහනේ දී මේ සටහන ලියන අය හමුවූහ. අනිත් හැමෝම මඟ හරිද්දී ඒ අභියෝගය ඔහු බාරගත්තේ මන්දැයි ඔවුන් නිකලස් වෙතින් විමසීය. නිකලස් එවිට 97 වියැතිය. එහෙත් ඔහුගේ පෙනුමත්, ඔහු කතාබහත් ඊට වඩා අඩු වයසේ අයෙක් මෙනි. මේ අයව සතුටින් පිළිගත් ඔහු විසිත්ත කාමරය මැදින් වත්තේ පිටුපසට ගොස් ඔවුන් සඳහා නැවුම් මල්බෙරි කැඩීය. ඔහු ඒ වයසේ දී ද සිය නිවහන අසල වත්ත බලා කියා ගන්නා ලදි.

මේ නිහඬ මනුස්සයෙකි. එක්තරා ආකාරයකට ඔහු මතක් කරන්නේ ඇරිස්ටෝටල්ගේ මහඟු මිනිසා (නිකමාකියන් ආචාර ධර්ම වල සඳහන්) ය. ඇරිස්ටෝටල් කියූවේ හොඳ-ආත්මයක් ඇති මිනිසා වාසි ලබන්නට ලැජ්ජා වන්නේය කියායි. එසේම ඔහු ලැබුනාට වඩා වැඩියෙන් ආපසු ගෙවන බවයි. නිකලස් වෙතින් ආඩම්බර කතා ඇහෙන්නේ නැත. ඔහු කළ දැයට විශේෂ වැදගත්කමක් දී ඔහු කතා නොකරයි. අභියෝගය බාර ගත්තේ මන්දැයි යන්නට, “එය තමයි කළ යුතුව තිබුනු දැය ඒ නිසා මම හිතුව මට උදව් කරන්න පුළුවන් කියල,” ඔහු යමක් පැහැදිලි කරන විලාසෙන් කියන ලදි. එය හොඳක් නිසා පමණින් හොඳක් කරන පුද්ගලයෙකු වෙත ආකර්ශනය වීම අයෙකුට වළක්වාගත නොහැකි වූවක් යැයි මේ සටහන ලියන ඔවුන් සටහන් තබති.

“හොඳේ බලය” (The Power of Good) නම් මේ කතාව අලලා නිර්මාණය වූ, ජාත්‍යන්තර එමි සම්මානයක් දිනාගත් වාර්තා චිත්‍රපටියේ චෙක් නිෂ්පාදක මටෙජ් මිනැක්ට නිකලස් කියන්නේ ඒ ගැන නිහඬව සිටියේ එය ඔහුගේ ජීවිතයේ කුඩා අංගයක් වූ නිසා කියායි. ඔහු කොටස් වෙළඳපොල සේවය කරමින් සිටිය දී, මෙහෙයුම පැවති කාලය මාස අටකි. එය ඔහුගේ විවාහයට පෙරතුව සිද්ධ වූවකි. ඒත් ඔවුනට මේ උත්තරයෙන් ද සෑහීමකට පත්විය නොහැකි විණ. ඔවුන් ඒ ගැන තවත් හාරා ඇවිස්සූහ.

“යුද්ධය පටන් ගෙන ප්‍රවාහනය ඇණ හිටියාම, මම ක්ෂණිකව රාජකීය ගුවන් හමුදාවට ගියා. එතැන මම වසර පහක් හිටිය. සාමය උදාවෙද්දී මම වයස 35 ක පිරිමියෙක් හැටියට රට පුරා ගිහින් කොල්ලො කෙල්ලො හොයන්නෙ කොහොම ද?” යැයි නිකලස් විමසා ඇත. යුද්ධය අවසන දී නිකලස් වින්ටන් සිය ජීවිතය යළි අරඹන කටයුතු වලින් කාර්ය බහුල විය. වසර හයකට පෙර ජීවිත බේරාගන්නට කරන ලද කටයුත්ත දැන් අවසන් වූවකි. ඔහු සිතූ පමණින් ඒ දරැවන් ආපහු ඔවුන්ගේ දේශයට නැවත ගොසිනි (සමහර අය එසේ යන ලදි). “ඔවුන් කොහේ හිටියත් ආරක්ෂිතව සහ රුකවරණය යටතේ ඉන්නවා ඇතැයි සිතන්නට මට හොඳ හේතුවක් තිබුණ,” යැයි ඔහු කියන ලදි. ඒ දරැවන් අතර දොස්තරවරැ, හෙදියන්, ගුරැවරු, සංගීතඥයන්, කලාකරැවන්, ගත්කරැවන්, ගුවන් නියමුවන්, විද්‍යාඥයන්, ඉංජිනේරැවන්, ව්‍යවසායකයන් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සාමාජිකයෙක් ද වෙයි. 2009 දී ඔවුන්ගේ, ඔවුන්ගේ දරැවන් සහ මුනුපුරැන්, මී මුනුපුරන් සංඛ්‍යාව පනස්දාහක් පමණ වෙති.

මෑත කාලීන සම්මුඛ සාකච්ඡා වල දී පෙනෙන්නේ මේ වැඩිහිටියන් වූ “වින්ටන් දරැවන්ට” ඔවුන්ව බේරාගත් අය ගැන දැඩි අගය කිරීමක් පමණක් නොව, තම තමන්ගේ ජීවිත ඉහළ ලෙසින් හා පරිපූර්ණ ලෙසින් ගෙවන්නට ද ළැදියාවක් ඇති බවයි. ඔවුන් බොහොම දෙනක් අනිත් අයට උදව් කිරීම තමන්ට උදව් කරන ලද ලන්ඩන් කොටස් වෙළඳපොල තැරැව්කරැවාට කරන ගෞරවයක් ලෙස සැලකූහ. “ජීවිතය කොතරම් වටිනවා ද යන්න අපිට අවබෝධයක් තියෙනව,” වේරා මේ සටහන ලියන ලද අයට කියන්නේ, “අපේ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ මතකය සදා පවතින්නට ද අපි අනිත් අයට උදව් කරනවා,” කියායි.

බ්‍රිතාන්‍යයට පැමිණ වසර ගණනාවකට පසු වේරා තමන්ව හදා ගන්නට ගත් තාත්තා වෙතින් විමසා ඇත්තේ, “ඇයි මාව තෝරාගත්තේ?” කියායි. ඔහුගේ පිළිතුර ඒ 669 දෙනාට නිවහන් සැපයූ අයගේ චිත්තාවේගයන් මනාවට පිළිබිඹු කරයි: “මම දැන සිටියා මට ලෝකය බේරාගන්නට බැරි බව. මම දැන සිටියා මට යුද්ධය නවත්වන්නට බැරි බව. ඒත් මම දැන සිටියා මට එක මිනිස් ආත්මයක් බේරාගන්නට හැකි බව.”

නිකලස් වින්ටන් කොතරම් නිහතමානීදැයි කිවහොත් ඔහු කොතරම් සුවිශේෂී දැයි අනිත් අයට කියන්නට සිද්ධ වෙන්නේ ඔහු එය එපා කියද්දීය. ඔහුව දැන හඳුනාගත් අනෙක් “වින්ටන් දරැවන්” ලෙසින්, වේරා නිතර පාහේ තම ජීවිතය රැකුනේ ඔහු නිසා බව ඔහුට මතක් කරයි.

අනෙක් අය වින්ටන්ට මතක් කරන්නේ මෙයයි: “ඔබ බේරාගත්තේ දරැවන් 669 ක් පමණක් නොවේ. ඔබේ කතන්දරය ඔසවා තබන්නේ ජීවිත අනතුරක පැවතිය දී ආදරණීය උදව්වක් දීමේ ආචාර ධාර්මික ව්‍යක්තභාවයයි. කවදා හෝ දිනයක, කවදා හෝ තැනක, සමහර විට තවත් මිනිහෙක් හෝ ගැහැණියක්, මෙවැනි වූ තත්වයකට මුහුණ දෙනවිට, ඔබේ උදාහරණය මතක් වෙලා ඔවුන් එවැනි අනගි වැඩක් කරාවි. මේ නිසයි මේ කතාව ලෝකය දැනගත යුත්තේ. ඒ නිසයි ඔබ එසේ හිතුවේ නැතත් අපි ඔබව වීරයෙක් හැටියට සලකන්නේ.”

1988 දී බ්‍රිතාන්‍ය පුරා පෙන්වන ලද “එයයි ජීවිතය” (That’s Life) නම් වූ රෑපවාහිනි වැඩසටහනක් වින්ටන්ගේ කතාව ප්‍රසිද්ධ කර ඔහුගේ ‘දරැවන්’ බොහොමයක් හා ප්‍රථම වතාවට හමුවන්නට ඔහුට අවස්ථාව පාදා දුනි. ඒ අය ඔහුව නිතර හමුවන්නට ආහ. ලියුම් කියුම් මගින් සබඳතා පවත්වන ලදි. ඔහුගේ බිරිඳ වූ ග්‍රෙටේ අභාවයට පත් වූ පසු ඔවුන් ඔහුගේ තනිකම මැකූහ. නිකලස්ගේ නිවසට සැතපුම් කිහිපයක් ඈත වාසය කරන වේරා ඔහු බලන්නට නිතර ගියේය. “නිකලස් වින්ටන් සහ බේරාගත් පරම්පරාව: එක ජීවිතයක් බේරා, ලෝකය බේරා ගැනීම,” නමින් ඇය සම්පූර්ණ කතාව ලියන්නට සහාය වූවාය.

ඔහු නොසෙවූ නම්බුනාම ආණ්ඩු විසින් ප්‍රදානය කර ඇත. 1999 දී එලිසබෙත් රුජින, එඩින්බර්ග් ආදිපාද සහ චාල්ස් කුමරා වැනි කුඩා කල්ලියක් පමණක් ලබා ඇති සම්මාන ද ඔහුට පිරිනැමී ඇත. රුජින විසින් නයිට් පදවියක් ද, ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් ඔහුගේ “නිර්භීතකම සහ කරැණාව” පසසා ලියුමක් ද යවා ඇත. වේරාගේ පොත සමඟ “මගේ සියළු ආදරණීයයන්” (All My Loved Ones) සහ “හොඳේ බලය” (The Power of Good) යන වාර්තා චිත්‍රපටි සෙමන් ලොව වටා පැතිර යයි.

ප්‍රචණ්ඩත්වය සහ කෲරත්වයෙන් බැට කන ලෝකයක, දශක දහයකට පමණ පෙර කරන ලද නිකලස් වින්ටන්ගේ පරාර්ථකාමී ක්‍රියාවන් අපි සියල්ලන්ටම බලාපොරොත්තු සපයන්නකි. “දුෂ්ටත්වය රජයන්නට අවශ්‍ය වනුයේ හොඳ මිනිසුන් කිසිවක් නොකර සිටීම පමණයි,” යැයි එඩ්මන්ඩ් බර්ක් වරක් කියා ඇත. අප අතරේ නිකලස් වින්ටන් වැනි මිනිසුන් සහ ගැහැණුන් සිටිනවා යැයි දැන ගැනීම, එවැනි ඉඳුරාම ශිෂ්ට වූ මිනිසෙක් දුෂ්ටත්වය ජයගත්තා යන්න දැනීම භාග්‍යයකි.

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on ජූලි 4, 2015 at 11:18 ප.ව.

    වීරයා යනු..තමන්ට ලාභයක් නොපතා අවංකවම ජීවිතයද නොතකා අනුන්ගේ සැපත වෙනුවෙන් වෙහෙසක් නිර්භීතව ගත්ත වූවෙක්ය !! ඒක සනාථ කරන්න මේ වින්ටන් වීරයාගේ කතාව හොඳටම ඇති. …!! ලංකාවේ හුඟක් අය වීරයො කියල අඳුනන්නෙ තමන් වෙනුවෙන් අනුන්ගෙ දේවල් වැය කරන අය වීම කෙතරම් අභාග්‍යක්ද ?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: