අරුණි ශපීරෝ‍ වෙතින්

ඉරිදා මැතිවරණයේ දී ග්‍රෙක්සිට් සිදුවේවි ද?

Posted in Uncategorized by arunishapiro on ජූලි 4, 2015

ග්‍රීසිය විසින් පවත්වන මහජන මත විමසුම් 1920 තරම් ඈත කාලයක දී ද ලෝක අවධානය දිනාගන්නට සමත් වූහ. එදා ග්‍රීක චන්දදායකයාව කැඳවුනේ යුද්ධය සහ සාමය අතරින් එකක් තෝරාගන්නට කියායි.

පළමු කොන්ස්තන්තීන් රජු සහ අගමැතිවරයා වූ එලෙෆ්තෙරියෝස් වෙනිසේලොස් අතර රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන ආරවුල් උග්‍ර වී තිබිණ. පළමු ලෝක යුද්ධයට මිත්‍ර පාක්ෂිකයන් හා එකතුව ග්‍රීසිය යා යුතු යැයි වෙනිසේලෝස්ගේ මතය විය. ජර්මනියට හිතවාදී රජුගේ මතය වූයේ අපක්ෂපාතීව සිටීමයි. රජු වෙනිසේලොස්ව අස් කළේය. එයින් බිහිවූයේ එකිනෙකාට විරැද්ධ වූ දේශපාලන පැති දෙකක් බිහිවීමයි.

මිත්‍ර පාක්ෂිකයන් සමඟ එකතුවෙන වෙනිසේලොස් ඔවුන්ගේ හමුදා රටට ඇතුල්වීමට එක පැත්තකින් අවසර දෙද්දී අනෙක් පැත්තෙන් ජර්මන්-බුල්ගේරියන් හමුදාවකට රජු යටත් විය. දෙදෙනා අතර වියවුල හැරැනේ සිවිල් යුද්ධයකටයි.

පළමු කොන්ස්තන්තීන් රටින් පිට වී ගිය පසු ඔහුගේ දෙවැනි පුත් ඇලෙක්සැන්ඩර් රජකමට පත්විය. එහෙත් ඔහු අකල් මරණයකට ගොදුරැ වූ නිසාත්, මැතිවරණ නොමැති, ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු වලට ඉඩ නොදුන් කාලය වසර පහකට ආසන්න වෙද්දී, ඔක්තෝබරයේ පවත්වන්නට යෙදුනු මැතිවරණය නොවැම්බර් 1 වෙනිදාට යෙදිණ.

තුර්කිය සමඟ දශකයක් පමණ පැවති යුද්ධ වලින් පීඩා විඳි ජනතාව එක්සත් විරැද්ධ පක්ෂයේ සාම පොරොන්දුවට කැමැත්ත දුන්හ. වෙනිසේලෝස් පහසුවෙන් දිනනවා යැයි සිතූ මැතිවරණයේ දී ඔහුට පක්ෂ පරාජයක් පමණක් නොව ඔහුගේ ආසනය පවා අහිමි විය. ඔහු ග්‍රීසිය හැරදමා ප්‍රංශයේ පදිංචියට ගියේය.

2015 ජූලි 5 පැවත්වෙන ජනවිමසුමේ දී ග්‍රීක ණය බේරාගැනීමේ කොන්දේසි වලට කැමැත්ත පළකරමින් ජනතාව “ඔව්” යැයි චන්දය ප්‍රකාශ කළහොත් සිය මුදල් ඇමති තනතුරෙන් ඉල්ලා අස්වෙන බව කියා සිටින්නේ යානිස් වරැෆාකිස් විසිනි. ඔහු රට හැර දමා යන්නේ නැතිලු.

ග්‍රීක රජයට අවශ්‍ය ඔවුනට මුදල් ණයට දෙන යුරෝපීයයන්ගේ රාජ්‍ය වැය අඩු කරන ප්‍රතිපත්ති වලට එකඟ නොවී එහෙත් මුදල් ණයට ලබාගැනීමටයි. ඒ ගැන පැවැත්වූ සියළු සාකච්ඡා නැවතුනේ ඔවුනට එකඟතාවයකට එන්නට නොහැකි වූ නිසයි. දැන් මහජන මත විමසුමකින් ග්‍රීසියේ පාලකයන් ඉල්ලා සිටින්නේ ඒවාට එකඟ වෙන්නේ නැහැ යුරෝපයෙන් අයින් වෙනවා කියා චන්දය දෙන්නට කියායි.

මෙය යුරෝපීය යුනියනයෙන් ග්‍රීසිය අයින් වෙන නොහොත් “ග්‍රෙක්සිට්” සඳහා තබන මුල් පියවර හැටියට සැලකේ.

ග්‍රීසියට රාජ්‍ය සුබ සාධන සහ සමාජ සේවා වැඩ සටහන් සඳහා නෝරේවේ මෙන් වියදම් කරන්නට තෙල් සම්පත් හෝ සැලකිය යුතු ස්වභාවික සම්පත් නැත.

ග්‍රීසිය යුරෝපයේ ඉහළම විරැකියා මට්ටම ඇති රටයි. ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් රටේ පාලන බලය අල්ලා ගන්නට කැමති අය විසින් රාජ්‍ය අංශයේ සේවයට ජනතාව බඳවා ගැනීම ක්‍රමයෙන් වැඩි කරද්දී, පුද්ගලික අංශය හෙවත් ඒ වැඩ සටහන් වල වැය දරන අය ක්‍රමයෙන් අඩු වී ගියේය. ඉතින් විදේශ ණය සහ අධික පොලී ගෙවන පොරොන්දු වලින් නිකුත් කළ බැඳුම්කර වලින් රට ඇදගෙන යන්නට ඔවුන්ට සිද්ධ විය. රාජ්‍ය අංශයේ වැය එන්න එන්නම වැඩිවුනත් රාජ්‍ය අංශයේ රැකියා අඩු කළහොත් සහ රාජ්‍ය අංශය සපයන සමාජ සේවා අඩු කළහොත්, ප්‍රජාතන්ත්‍රවාදී චන්ද බලයෙන් පාලනය අල්ලා ගන්නට හැකියාව නැත.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ලොකුම දුර්වලතාවය හැටියට මුලින්ම සටහන් කළේ ඇමෙරිකාවට පැමිණි ප්‍රංශ ජාතික ඇලෙක්සිස් ඩ ටොක්විල් විසිනි. “මහජනතාවට මහජනතාවගේම සල්ලි වලින් අල්ලස් දෙන්නට හැකියාව කොංග්‍රසය විසින් සොයා ගන්නා දිනය තෙක් ඇමෙරිකන් ජනරජය පැවතේවි,” යැයි ඔහු ලියා තැබුවේය.

ඉතින් කාලාන්තරයක් තිස්සේ ජනතාව පත් කරගත්තේ ආර්ථිකය වැඩ කරන ආකාරයට පටහැනි වුවත්, කළින් සිටියවුන් කිසිවෙකුට බැරි වුනත්, තමන් සුබ සාධන නැති නොකරන බව කියන සහ රාජ්‍ය අංශයේ රස්සාවන් නැති නොකරන පොරොන්දු දුන් පාලකයන් වූහ.

ණයකරැවන් හා එකඟතාවයට එන්නට බැරි වෙද්දී ඉරිදා මැතිවරණය තෙක්, බැංකු වසා දමා, ATM මැෂින් වලින් එළියට ගත හැකි මුදල් ප්‍රමාණයන් සීමා කර, රටෙන් පිටට මුදල් යැවීම නවතා දමා, ග්‍රීක ආණ්ඩුව මුල්‍ය පාලනයන් පැනවූහ.

එහෙත් ලුඩ්විග් වොන් මීසස් පෙන්වා දුන් සත්‍යයක් මෙහි දී දකින්නට හැකියාව ලැබිණ. මිනිසා යනු අදට වඩා හොඳ හෙට දවසක් සොයන්නට ක්‍රියාකාරකම් වල නියැළෙන්නකි. ජර්මන් බිට්කොයින් වෙළඳපොලේ බිට්කොයින් වලින් ගණුදෙනු කරන්නට ග්‍රීක වැසියන් දහ ගුණයකින් වැඩි වීමක් මේ කාලය තුල දී දකින්නට ලැබී ඇත. ලෝකයේ තෙවැනි විශාලතම බිට්කොයින් ගණුදෙනු පවත්වන බිට්ස්ටෑම්ප් හි සති දහයේ සාමාන්‍යය 79% කින් ඉහළ ගිහින් ඇත්තේ ග්‍රීසියෙන් ලැබුණු ඇණවුම් නිසාවෙනි.

ඇමෙරිකන් ඩොලර් 235-234 අතර මුදලකට පැවති බිට්කොයින් මේ තත්වය හමුවේ දී 260 ක් දක්වා ඉහළ යන ලදි.

ග්‍රීසියේ නික්ම යාමත් සමඟින් යුරෝවට ඇතිවෙන බලපෑම් හමුවේ ඉතාලිය, ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි තවත් එවැනිම විසල් රාජ්‍ය පවත්වාගෙන යන ණය බරින් සිටින රටවල වැසියන් ද බිට්කොයින් වලට තම මුදල් මාරැ කරන්නට පටන් ගෙන ඇත.

මෙයට කළින් සයිප්‍රසයේ බැංකු අර්බූදය හමුවේ ද බිට්කොයින් අගය ඉහළ ගියේය. ඒ බැංකු අර්බූදය හටගත් විට යුරෝපීය මධ්‍යම බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සයිප්‍රසයේ බැංකු මුදල් මහත් ප්‍රමාණයක් අහිමි වෙන ගණුදෙනුවක් යෝජනා කරන ලදි. එයින් තැතිගත් ජනතාව බැංකු වලින් තම මුදල් එළියට ගන්නට යුහුසුළු වෙද්දී සයිප්‍රසයේ ආණ්ඩුව කළේ ජනතාවට ඔවුන්ගේම මුදල් පාවිච්චියට එරෙහිව මුල්‍ය නියාමන පැනවීමයි. ඒ මුල්‍ය නියාමන පසුගිය අප්‍රේල් මාසයේ ඉවත් කරන තෙක්, වසර දෙකකට ආසන්න කාලයක් පැනවී තිබිණ.

බිට්කොයින් වලින් කියන්නේ අනාගතයේ දී මුදල් කුමන ස්වරෑපයක් ගන්නේදැයි කියායි. ඩිජිටල් ආකාරයක් ගන්නා මෙය ඒකීය පුද්ගලත්වයකින්, පුද්ගලික ලෙසකින්, ගෝලීය බවකින් මෙන්ම නිදහස් වූ තත්වයකින් පැවතීම ඉල්ලුමක් පිරිමසන සැපයුමක් ද?

බැංකු නිවාඩු දිනවල ඔබේ මුදල් වලින් ආදායම උපයන බැංකු, වෙන කෙනෙකුට යවද්දී සහ චෙක්පතක් ලියද්දී කීයක් හරි කපාගන්න, ඉක්මණින් ගිණුමෙන් අයින් කරගත්ත ද අනෙකාට යවන්න දින ගණනාවක් ගන්න, බැංකු වේලාවට පමණක් වැඩ කරන්නට සිද්ධ වෙන, දාහක් සීමා බාධක හමුවේ, ඒවායෙන් අයින් වෙන්නට හිතන්නට හැකි මිනිසා මාර්ග සොයා ගැනීම පුදුමයක් ද?

සෙසු රටවල මෙන්ම ලංකාවේ බහුතරයක් ද මිල විසින් දක්වන අගය කුමක්දැයි නොදනිති. “ඔබේ දරැවාට ධනවතෙකු වීමට උගන්වන්න එපා. සතුටින් ජීවත්වන්න උගන්වන්න. එවිට ඔහු වැඩිහිටියෙකු වූ කල යම් දෙයක මිල නොව අගය හොඳින් වටහා ගනු ඇත,” යන්න කිසිත් විචාරයෙන් තොරව කැමැත්තෙන් බාරගනිති.

මුදල් නිසා මුදල් එකතු කරන චාල්ස් ඩිකන්ස් ලියූ ස්කෲජ් වැනි චරිත සත්‍ය ලෝකයේ අහම්බෙන් දකින්නට ලැබෙන්නකි. අපි බහුතරයක් දෙනා මුදල් උපයන්නේ ඒවා දී ඒ වෙනුවට ලබාගත හැකි වෙනත් දැයකට මාරැ කරගන්නටයි. ධනවතුන් වෙන්නේ මිල විසින් පෙන්වන අගය වටහා ගත හැකි අයයි. මිල විසින් පෙන්වන අගය ලබාගන්නට යොදාගන්නා මුදල් යනු තෝරාගැනීමේ නිදහස පෑදීම හෙවත් සතුටින් ජීවත්වීමට අවස්ථාවක් පෑදීමයි.

සමහර විට මුදල් වල අනාගතය ‘පරණ සල්ලි’ සහ ‘ඩිජිටල් සල්ලි’ අතර නොවනු ඇත. එය ඩිජිටල් සල්ලි අතර නිදහස් තෝරාගැනීම් සහ නියමාන සහ පිරික්සුම් අතර කුමක් ද වැඩියෙන්ම පරිපූර්ණ ලෙසකට ප්‍රදානය වෙන්නේ යන්න අනුව ලැබෙන තෝරාගැනීම විය හැකියි.

3 Responses

Subscribe to comments with RSS.

  1. ChaaN said, on දෙසැම්බර් 23, 2015 at 4:25 පෙ.ව.

    ල0කාවෙ ආන්ඩුත් ග්‍රීසියෙ ඒවා වගේ තමා නේද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: