අරුණි ශපීරෝ‍ වෙතින්

වසවිෂ පිරි මැගී නූඩ්ල්ස්!!!!

Posted in Uncategorized by arunishapiro on ජූලි 6, 2015

ඉන්දියන්කාරයන්ට “වසවිෂ පිරි ක්ෂණික නූඩ්ල්ස්” විකුණන්නට ගියේ නෙස්ලේ ඉන්දියා සමාගමයි. උත්තර් ප්‍රදේශ් හි ආහාර-ආරක්ෂාව ගැන විපරම් කරන ඒජන්සිය විසින් ඒ නූඩ්ල්ස් වල අහිතකර මාත්‍රා මට්ටම් වලින් ඊයම් (led) ඇතැයි කියා සිටියහ. නෙස්ලේ ඉන්දියා කියා සිටියේ ඒවා මිනිස් ආහාරයට අහිතකර නැතැයි කියායි.

පිටරට සමාගම් බොරැ කියමින් දේශීය ජනතාව රවටන්නට නිති සූදානම් බව පෝසත් රටවල ජනතාව නොදත්තාට දුප්පත් රටවල සියල්ලන්ම පාහේ සැකයක් නැතිව දන්නවා නේද?!!!

එහෙත් දුප්පත් රටවල ජනතාව දේශීය නිෂ්පාදන තිබිය දී පිටරට ඒවා වැඩි වැඩියෙන් මිල දී ගනිති.

ඉතින්, ඇයි එහෙනම් ඉන්දියාවේ ආහාර ආරක්ෂාව සහ ප්‍රමිති අධිකාරිය (FSSAI) ජූනි 5 වැනිදා තහනම පනවන්නට පැය කිහිපයකට මත්තෙන් නෙස්ලේ ඉන්දියා සමාගම කැමැත්තෙන්ම කඩ රාක්ක වලින් මැගී නූඩ්ල්ස් ඉවත් කරගත්තේ?!!!

එපමණක් නොව ක්ෂණික නූඩ්ල්ස් නිපදවන යුනිලීවර් වැනි තරඟකරුවන් ඔවුන්ගේ ක්ෂණික නූඩ්ල්ස් ද ලහිලහියේ කඩ රාක්ක වලින් ඉවත් කර ගත්තේ ඇයි?!!!

පාරිභෝගිකයා සතුටු කරන්නට නෙස්ලේ ඉන්දියා විසින් මේ වෙද්දී ටොන් 17,000 ක මැගී නූඩ්ල්ස් තොග පුච්චා දමා ඇත. ජූනි 30 වැනිදා බොම්බේ ඉහළ උසාවිය තීන්දු කළේ රට ඇතුලත විකිණීම තව දුරටත් තහනම් වූවත් මැගී ක්ෂණික නූඩ්ල්ස් පිටරට පැටවීමට අවසර දෙන බවයි!!!

ජූනි 5 වැනිදා ඉන්දියාව තහනම් කළ මැගී නූඩ්ල්ස් ආනයනය කළ සිංගප්පූරැව තමන් ගෙන්වන ලද නූඩ්ල්ස් වල ඊයම් මාත්‍රා මට්ටම් සොයා බැලූහ. එරටේ ආහාර ප්‍රමිති ඒජන්සිය විසින් ඒවා ආහාරයට සුදුසු යැයි තීරණය කළ පසු ජූනි 8 වැනිදා නැවත ගෙන්වන්නට අවසර දුන්හ. හොංකොං ද නැවත නෙස්ලේ ඉන්දියා මැගී නූඩ්ල්ස් තම රටේ විකිණීමට අවසර දුන්හ. ජූලි 1 වැනිදා ඉන්දියාවෙන් ගෙන්වන ලද මැගී නූඩ්ල්ස් පරීක්ෂා කළ බ්‍රිතාන්‍යයේ ආහාර ප්‍රමිති ඒජන්සිය ද කියා සිටියේ එහි ඇති ඊයම් අන්තර්ගතය යුරෝපීය යුනියනයේ අවසරය ලැබෙන මාත්‍රා වලට අනුව පවතින නිසා ආහාරයට ගැනීමට සුරක්ෂිත බවයි.

ඒ සෙවීම් තුලින් පෙනී යන්නේ ඉන්දියාවේ කරන ලද පර්යේෂණ දෝෂ සහගත වූ බවයි. එහෙත් ඉන්දීය පර්යේෂණ ආයතනය හෝ උසාවිය තවමත් එය පිළිගෙන නැත.

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශේෂඥ, විශ්‍රාම ලත්, සත්‍ය ප්‍රකාශ් විසින් ඉන්දීය ආණ්ඩුවට අනතුරැ හඟවා ඇත්තේ රජයේ ආහාර විද්‍යාගාර යනු සාමාන්‍ය විභාගයන් පවත්වන්නට පවා නොහැකි තත්වයක පවතින ඒවා බවයි. එය සත්‍ය ප්‍රකාශ් විසින් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් ද?

කූටෝපකාරී ලාබ උපයන බහුජාතික සමාගම්, ආහාර යැයි කියා වසවිෂ විකුණනවා යැයි ජනතාව උසිගැන්වීම ඉතා පහසු කටයුත්තකි. හිතට සමීප කතා අහන්නට කවුරැත් කැමතියි. නමුත් තම රටේ නොමිලේ අධ්‍යාපනය ලබන පාසැල් දරැවන්ට දිවා ආහාරයට කිරි සපයද්දී ඒවාට ග්ලූකෝස්, එළවළු තෙල් හෝ සමහර අවස්ථා වල දී රෙදි සෝදන කුඩු පවා එකතු කරන හැටි රටවැසියනට හෙළි කිරීම අපහසු වූවකි. මන්ද ඒ පිටුපස රාජ්‍ය වරප්‍රසාද ලබන අය සිටින නිසයි.

වෙන කිසිම රටකට වැඩියෙන් මන්දපෝෂිත දරැවන් සිටින්නේ ඉන්දියාවේ යැයි වාර්තාවක් ඉදිරිපත් වෙන්නේ එක්සත් ජාතීන් සහ ඉන්දීය ආණ්ඩුවේ සහායෙනි. ඉන්දීය ප්‍රාන්ත සහ පළාත් 36 කින් 20 ක ගවයන් මැරීම තහනම් වූවකි. මේ වසරේ මාර්තු මාසයේ සිට ගවමස් ළඟ තබාගැනීම ද නිතී විරෝධී වූවක් හැටියට මහාරාෂ්ත්‍රයේ නීතිගත වී ඇත. දුප්පත් හා හරියට කන්න නැති දරැවන් සිටින මධ්‍ය ප්‍රදේශ් හි මහ ඇමතිවරයා පාසැලේ බෙදන දිවා ආහාරයේ බිත්තරය තහනම් කළේ ගොඩක් අය එය මාංශ කෑමක් හැටියට සලකනවා කියායි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරැවන් සිටි යුගයක ලංකාවේ පාසැල් වලත් දිවා ආහාරයක් නොමිලේ බෙදන්නට යෝජනාවක් කතාබහට ලක්විය. එහි දී ඒ සඳහා බිත්තරයක් යෝජනා විය.

නමුත් බිත්තරයක් බෙදන කොන්ත්‍රාත්තු ලැබෙන අයට එයින් කොටසක් වෙන්කර ගන්නට හෝ ඒ වෙනුවට ආදේශක එකතු කරන්නට අවස්ථාව පෑදෙන්නේ නැත.

බිත්තර බෙදන යෝජනාව පැත්තකට දැමුණි. බිස්කට් බෙදන ලදි.

කෙසේ වෙතත් ඉන්දියාවේ දරැවන් අතර අඩු පෝෂණ මට්ටම් වැඩියෙන් දකින්නට ලැබීමත් සහ ඉන්දියාවේ වැසියන් බහුතරය එළිමහනේ අශූචි දැමීමත් අතර සහසම්බන්ධයක් ඇතැයි ඉහත සඳහන් කළ වාර්තාව කියයි. එයත් විජාතික බලවේග වලින් සිද්ධ වෙන හානියක් යැයි කියන්නට ක්‍රමයක් ඔවුන් සොයා ගනීවි ද?!!!!

“ද ඉකොනොමිස්ට්” සඟරාවේ ලිපි; Instant Karma, Ravenous for reform, Of secrecy and stunting සහ අන්තර්ජාලයේ එම අඩවිය ඇසුරෙනි.

15 Responses

Subscribe to comments with RSS.

  1. sandaruwan said, on ජූලි 7, 2015 at 8:00 පෙ.ව.

    කොහොම වුනත් මේ නූඩ්ල්ස් ගැන හොදක් නම් අහල නෑ මම.කාලයක් කතාවක් ගියා මේවයි පිලිකාකාරක තියෙනවා කියල.කෝකටත් අපි දැනුවත් වෙලා ඉන්න එක හොදයි.

  2. lankika Sithuwili said, on ජූලි 7, 2015 at 12:06 ප.ව.

    අරුණි,

    ඔබ කියන්න උත්සහකරන දෙය නිදහස් වෙළදාම තුලින් මෙලොව මිනිසුන් ගේ ජිවන තත්වය උසස් වන බවයි, බහු ජාතික සමාගම් ඉතා උසස් අයුරින්
    තම වගකීම් ඉටුකරන බවයි.

    කරුණා කර මෙය බලන්න https://www.youtube.com/watch?v=41n3mDoVbvk
    මෙහි සදහන් වන්නේ Thalidomide මහින් අංග විකල වූ දරුවන් ගැනයි, මෙම බහුජාතික සමාගමට වරද පිළිගැනීමට වසර 50 ක් ගතවී ඇත
    එනම් 2012 දී ඔවුන් පවසන්නේ “They issued a statement saying that it has taken them a 50 years to come forward to say anything because they were shocked ” අවුරුදු 50 මෙය පිලි ගැනීමට ගතවී ඇත්තේ මෙම සමගම කම්පනයට පත්වී ඇති නිසාලු !

    කොපමණ අපුරුද?

    හාස්‍යට කරුණ නම් නව සොයගනිමකින් තව ලෙඩකට මෙය බෙහෙතක්ලු, මේ හි වරදක් ඇත්නම් තව අවුරුදු 50 ඔබට අඩුපාඩු දැනගත හැකි වනු ඇති !

    • arunishapiro said, on ජූලි 7, 2015 at 4:05 ප.ව.

      lankika Sithuwili,

      බහු ජාතික සමාගම්වල වගකීමක් ගැන මම කතා කරල නැහැ. ඒ ගැන කතා කළා නම් මම කියන්නේ ඔවුන්ගේ වගකීම ඇත්තේ ලාබ ඉපැයීම සඳහා බවයි. ලාබ උපයනු පිණිස වෙහෙසෙද්දී අතුරැ ඵලයක් හැටියටයි ඉතා උසස් භාණ්ඩ පාරිභෝගිකයාට ලැබෙන්නේ. අතුරැ ඵලයක් හැටියට අදට වඩා ඉහළ අගයක් ඇති භාණ්ඩ හෙට පාරිභෝගිකයාට නොලැබෙන්නේ ද, එවිට ඔවුන්ගේ වගකීම වූ ලාබ උපයන්නට ඔවුන් අසමත් වීම නිසා ඒ බහු ජාතික සමාගම් වලට තව දුරටත් බහු ජාතික සමාගම් හැටියට කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

      ‘තැලිඩොමයිඩ් දරැවන්’ උදාහරණයට ගෙන වසරකට ජීවිත දස දහස් ගණනක් බේරාගන්නා බෙහෙත් ඖෂධ රෝගීයාට අහිමි කිරීමේ ක්‍රියාපිළිවෙත ඔබ සාධනය කරන්නේ කුමන ආචාර ධර්මයක් තුලින් ද?

      ආණ්ඩුවක ඖෂධ අනුමත කරන ආයතනය මිනිස්සු මැරෙන, දරැවන් අංගවිකල වෙන බෙහෙතක් විකුණන්න ඉඩ දුන්නට පස්සේ මිනිස්සු මැරෙන්න පටන් ගත්තොත්, දරැවන් අංග විකල වෙන්න පටන් ගත්තොත්, පත්තර වල අන්තර්ජාලයේ පිංතූර එක්ක ඒවා වැටෙන්න පටන් ගත්තම මිනිස්සු කාට ද බනින්නේ? මෙහෙ නම් ආණ්ඩුවේ ඖෂධ අනුමත කරන ආයතනයට. ලංකාවේ නම් බහුජාතික සමාගමට.

      බහුජාතික සමාගමක් බෙහෙත් නිපැද වූයේ නැත්නම්,සහ ආණ්ඩුවක් විසින් මිනිස් දිවි ගලවා ගන්නට හැකි බෙහෙතක් අනුමත නොකළම සිද්ධ වෙන්නේ කුමක් ද? හෘදයාබාධ, පිළිකා සහ ඒ බෙහෙතෙන් ගලවා ගත හැකි රෝග වලින් මිනිස්සු මිය යද්දී කවුද ඒ ගැන කතා කරන්න ඉන්නේ? ඒවා දකින්න බැරි දේවල් නිසා කවුරැත් ඒ ගැන කතා කරන්නේ නෑ!!!

      වෙනත් රටවල දස දහස් ගණනින් ජීවිත බේරාගන්න බෙහෙත් අනුමතයට තවත් රටක් අවසර නොදෙන නිසා හෝ අවසර දීම පරක්කු කරපු නිසා වසරක් කාලය ඇතුලත මිය යන සංඛ්‍යාව ගණන් හදන්නේ කවුද?

      මිනිස් ජීවිත රකින්නට නොව තම රස්සාව රකින්නට කරන නියාමන වලට යන වියදම් නිසා බහු ජාතික සමාගම් බෙහෙත් නිෂ්පාදනයෙන් අයින් වුනාම, ඖෂධ වෙළඳපොලේ අඩු වුනාම, ඒ නිසා සැපයුම අඩු වී තිබෙන ඒවාට ගිනි ගණන් වැය වෙද්දී මිනිස්සු හුරැ වී ඉන්නේ බහුජාතික සමාගම් වලට බනින්න මිසක් නියාමන ගෙනෙන අයට වරදක් කියන්න නොවේ.

      ලෝකයේ වෙනත් තැනක ඔබේ ජීවිතය බේරාගත හැකි බෙහෙතක් තියෙද්දී තමන්ගේ රටේ නීතියක් නිසා තමන්ට ඒ බෙහෙත පාවිච්චියට අවසරයක් නැහැයි කියන අයිතිය ඔබ පවරන්නේ කාට ද?

      හාස්‍යයට කරැණ නම් තැලමයිඩ් වෙළඳපොලට නිකුත් වූයේ 1950 ගණන් අග සහ එය ඉවත් කරගත්තේ 1961 දී වීම බැහැර ලා එය වෙළඳපොලෙන් ඉවත් වූයේ ආණ්ඩුවක නියාමනය නිසා නොවන බවත් බැහැර ලා කතා කිරීමයි.

      1964 දී ඊශ්‍රායෙල් වෛද්‍යවරයෙක් තැලිඩොමයිඩ් භාවිතා කරන්නේ ලාදුරැ රෝගීන්ට සහනය සඳහා. නිදාගන්න හෝ නොහැකිව වේදනාවෙන් සිටින ලාදුරු රෝගියෙක් වෙතින් අහන්න ඕනෑ බෙහෙතක් තියනවා හැබැයි තහනම් නිසා ඔබට නිදාගන්නවත් සහනයක් දෙන්න බැහැ කියල මොකද තහනම් වෙලා තියෙන්නේ? කියල වේදනාවෙන් පෙළෙන රෝගීයා ඇහැව්වම කියන්න ඕන වැරදිලාවත් ගැබිණියක් බෙහෙත අරගෙන එයාට බිහිවෙන දරැවා අංගවිකල වීමේ අවදානම තියෙන නිසා රටේ හැමෝටම තැලිඩොමයිඩ් තහනම් කරනවා ද කියල. 1965 සිට ලාදුරැ රෝගය සඳහා බ්‍රසීලයේ තැලිඩොමයිඩ් භාවිතා වෙනවා. තිබෙන වරද හැරෙන්නට වෙන වරදක් දැන් අවුරුදු 50 ක් වෙලානේ, හොයාගෙන නැහැ. තිබෙන වරද, ගැබිණියන් එය ගැනීම නිසා අංගවිකල දරැවන් බිහිවීම දකින්නට ලැබෙන්නේ ද, රටේ දුප්පත්ම අය අතර. ඒ අයට තමයි ඕනෑම දෙයක අඩුපාඩු දැනගත හැකියාව අඩුම අය. ඒ අය තමයි මේ නියාමන වැඩි වැඩියෙන් සිද්ධ වෙද්දී වැඩි වැඩියෙන් දුක් විඳින්නේ. ඔව්, හැබෑවටම තහනම් පනවා දිවිගලවා ගත හැකි යැයි සිතීම කොපමණ අපූරැ ද?!!!!!

      • lankika Sithuwili said, on ජූලි 10, 2015 at 4:19 පෙ.ව.

        අරුණි,

        ඔබ ඉතා සරල දෙයක් පටලවා බොහෝ දුර ගෙනයනවා.
        මා කියන දෙය ඉතා සරලයි “තැලිඩොමයිඩ්” මහින් ගර්බනි මව්වරුන්ගේ දරුවන් අංගවිකල වනබව
        අදාල සමාගම දැන සිටියදීත් (වසර 40 පමණ ඉහත ) ඔවුන් එය පිලි නොගැනීමෙන්
        විවිද නිදහසට කරුණු ඉදිරිපත් කිරීමයි.

        මෙහිදී අදාළ සමාගම කොතරම් වංක ලෙස හැසිරී ඇත්දැයි තේරුම් ගැනීමට ඔබට නොහැකිවී ඇත..

        ලෝකප්‍රසිද්ද Journal of the American Medical Association (JAMA) අනුව
        (http://articles.mercola.com/sites/articles/archive/2000/07/30/doctors-death-part-one.aspx )
        ඇමරිකාවේ විශාලම තුන්වැනි ඝාතකයා නම් දොස්තර වරුයි ! සිදුවන මුළු මරණ ගණන 225,000
        මෙහිදී වසරකට 106000 මියයන්ගේ ඔබ සදහන් කල අනගි ගෙහෙත් වලිනුයි !

        මෙය තේරුම් ගතහැකි තව උදාහරණයක් නම් http://visual.ly/worlds-healthiest-countries?view=true
        ලොව සවුක්‍යසම්පන්න රටවල් අතර එක්සත් ජනපදය සිටින්නේ 32නි ස්ථානයෙ . ලොව වැඩිම පහසුකම් ඇති රටේ
        මිනිසුන් ලෙඩුන් උනේ කොහොමද ? ඔබ කියන අනගි බෙහෙත් වලින් ඇති වැඩේ කුමක්ද ?

        • arunishapiro said, on ජූලි 10, 2015 at 2:09 ප.ව.

          lankika Sithuwili,

          ඔබේ නොදන්නාකම ඉමහත් නිසාත්, තතු පෙන්වා දුන්නත් මොළය පොඩ්ඩක් භාවිතයට ගෙන තමන් විසින් වැඩිදුර විමසා වැඩිදුර කල්පනා කර බලන්නට අකමැති උද්ධච්ච බව නිසාත්, ඉතාමත් සරල දෙයක් පටලවා ගෙන දුක්විඳින මහත් ජනතාවක් තවත් අසරණ කරන්නට උත්සාහයක යෙදෙන්නේ ඔබ.

          “සියළු ද්‍රව්‍යයන් (substances) වනාහි වසවිෂ (poison) වෙති; වසවිෂක් නොමැති වූ කිසිවක් නැත,” යන පැරසෙල්සස් Paracelsus කියමන වසවිෂ ගැන කතාබහ කරන්නට යන ඕනෑම අයෙක් දැන සිටිය යුත්තකි.

          වසවිෂ ගැන මූලික විද්‍යා දැනුමක් තියන අයෙක් යනු නිවැරදි මාත්‍රාව (dose) අනුව යම් ද්‍රව්‍යයක් ප්‍රතිකාරයක් වෙනවා ද නැතන්ම් එය වසවිෂක් ද යන්න තීරණය වෙන බව දන්නා අයෙකි. තමන් නොදන්නවා නම් සබැඳියෙන් ගොස් ඒවා කියවා දැනුවත් වෙන්න. එහෙම උත්සාහයක් නොගෙන දිගින් දිගටම නොදන්නා දේවල් ගැන දන්නවා ලෙසින් කතාබහට ගිහින් තම නොදැනුවත්කම ලෝකයට ප්‍රදර්ශනය කරන්න එපා.

          බෙහෙත් ගන්නේ යම් රෝගයකින් පීඩා විඳින ලෙඩ්ඩු මිසක් නිරෝගි මිනිස්සු නෙමෙයි. යම් රෝගියෙක් බෙහෙතක් ගන්නේ එයා අත්විඳින පීඩාවට වඩා ශරීරයට දෙන ද්‍රව්‍යයෙන් සහනදායී අස්වැසීමක් ලැබේවි යැයි බලාපොරොත්තුවෙන්. සමහර ගැබිණියන් මුල් කාලයේ දී හැදෙන nausea තත්වයන් වල දී කොතරම් පීඩා විඳිනවාදැයි දත්ත සහ විස්තර සොයා බලන්න.

          1953 දී ගැබිණියන්ට හැදෙන වමනය ගතිය නවත්වන්නට කියා තැලිඩොමයිඩ් නිර්මාණය වෙන්නේ ජර්මනියේ Grünenthal Group. එය මුලින්ම භාවිතයට අවසරය ලැබෙන්නේ එක්සත් රාජධානියේ (UK) අයට. මුල් වතාවට අංග විකල දරැවන් එය භාවිතා කරන ගැබිණියන්ට උපදින බව දැනගන්නේ 1961 දී විලියම් මැක්බ්‍රයිඩ් නම් ඔස්ට්‍රේලියන් වෛද්‍යවරයා වෛද්‍ය සඟරාවකින් ඒ ගැන වාර්තා කරන නිසයි.

          1953 සිට එය වෙළඳපොලේ විකුණුවේ එය භාවිතයෙන් උපත්තියෙන් අංගවිකල දරැවන් බිහිවෙන බව දැන සිටිය නිසා නොවේ.

          1961 දී Grünenthal Group විසින් අංගවිකල දරැවන් බිහිවෙන බව දැනගත්තාම එය වෙළඳපොලෙන් අයින් කරනවා. එය වංක හැසිරීමක් ද?!!!

          අංගවිකල උප්පත්තියන් Teratology ගැන හැදෑරීම, ඒවා ලබා උපන් ඉරණම කියල සැලකෙන ලෝකය නිමා කරමින් එම විද්‍යාවේ පියා ලෙස අද හැඳින්වෙන Dr. Josef Warkany ගැන කියවන්න. ඉරණම නිසා නොව වෙන හේතු නිසා අංගවිකලත්වය බිහිවෙනවා යැයි ඔප්පු කරන්නට ඔහු මුල් වරට සමත් වෙන්නේ 1948 දී.

          එම දැනුම නිසයි අංගවිකල ළමයි බිහිවීම වළක්වා ගන්නට ලෝකයේ මුල් වතාවට දැනුම බිහිවෙන්නේ.

          1962 අප්‍රේල් වල දී Dr. Josef Warkany පවා මේ තැලිඩෝමයිඩ් නිසා අංගවිකල දරැවන් ඉපෙදනවා යන්න පර්යේෂණ දිහා බලා පිළිගත්තේ නැහැ. මොකද, මීයන් අරගෙන කරන ලද පර්යේෂණ වලින් අංගවිකල පැටව් ලැබීම සාමාන්‍යයක් හැටියට දකින්නට ලැබුනේ නැහැ. එසේම තැලිඩොමයිඩ් භාවිතා කළ සමහර ගැබිණියන්ට අංගවිකල නොවූ සාමාන්‍ය දරැවන් ලැබීමත් ඔවුන් දැක්ක.

          නමුත් මේ තැලිඩොමයිඩ් සිද්ධිය නිසාම වෛද්‍යවරැන් සහ විද්‍යාඥයන් බෙහෙත් නිර්මාණයේ දී වසවිෂ සොයා බැලීමට සත්ව විශේෂයන් දෙකක් (එකක් මී වර්ගයක් නොවන) යොදාගෙන පර්යේෂණ පැවැත්විය යුතුයි යන නව ප්‍රවේශයටත් එළඹුනා.

          මෙම සිද්ධියේ දී වෛද්‍ය විද්‍යාවට තවත් නව දැනුමක් එකතු වෙනව. එනම් අලුත් බෙහෙතක් නිර්මාණයේ දී, සහ දරැවන් වදන්නට සැරසෙන අය ගන්නා බෙහෙත් වල දී, වසවිෂ පිළිබඳව හදාරන අය විසින් ඒ බෙහෙත (ද්‍රව්‍යය) කොතරම් කාලයක් භාවිතා කරනවා (exposure) ද යන්නත් සැලකිල්ලට ගත යුතුයි යන්න.

          ඒවා ගැන මුල් අධ්‍යයන සිද්ධ වෙන්නේ W. Lenz, E. Nowack වැනි අය වෙතින්.

          ඉතින් ඉස්සෙල්ලා දැනුම අඩු නිසා ඔබ බහුජාතික සමාගම් වලට අවලාද කියල ඊට පස්සේ වෛද්‍යවරැන්ටත් අවලාද කියන්න පටන් ගන්නවා.

          ඕනෑම සඟරාවක ලිපියක් පළ වූ පමණින් එහි සියල්ල සත්‍යයන් ඔප්පු කරන ලද්දක් සේ සලකන්නේ ද මොළය පොඩ්ඩක් උදව්වට ගන්න කම්මැලියෝ!!!!! හැමෝම දන්න දෙයක්නේ ඇමෙරිකාවේ මිනිස්සු වැඩියෙන්ම මැරෙන්නේ මෙහෙ නීත්‍යානුකූල තුවක්කු අයිතිය තියෙන හින්ද කියල!!!! මේක අනුව හෘදයාබාධ පළමු වැන්න, දෙවැන්න පිළිකා, තුන්වැන්න වෛද්‍යවරැ!!!😀

          සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ නියාමන වෙනුවෙන් ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවා දමමින්, වෛද්‍යවරැ ඇමෙරිකාවේ ලොකුම ඝාතකයා යැයි කියන, ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවය බාල යැයි කියන, Dr. Barbara Starfield ඇමෙරිකාවට විතරක් නෙමෙයි මුළු ලෝකයටම ගෙනෙන විසඳුම කුමක් ද? සෞඛ්‍ය සේවය වෙනුවෙන් රාජ්‍ය බලය වැඩි කිරීමයි.

          තතු විමසන්න කැමති කෙනෙක්ට පුළුවන් ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවා කර්මාන්තයේ කොතරම් නිදහස් වෙළඳපොලක් ඇත්දැයි සොයා බලන්න. ඇමෙරිකන් වෛද්‍ය සම්මේලනයට (American Medical Association) යනු ශතකයක් පුරා ආණ්ඩුවේ ඒකාධිකාරයක් පැවරී ඇති ආයතනයක්. වෛද්‍යවරැන්ගේ වේතන ඉහළින් තියාගන්න වෛද්‍යවරයෙක් හැටියට සේවය කරන සංඛ්‍යාව පාලනය කරන්නට බලය ලැබී තියෙන ආයතනයක් වෙද්දී ඒක නිදහස් වෙළඳපොලක් නෙමෙයි කියල වටහා ගන්න පුළුවන් ද?

          හොඳ බෙහෙත් කොම්පැණි මොනවා ද නරක බෙහෙත් කොම්පැණි මොනවා ද කියල තෝරාගන්න වගේම හොඳ වෛද්‍යවරැ කවුරැන් ද නරක වෛද්‍යවරැ කවුරැන් ද යන්නත් තීරණය කරන්න ඒකාධිකාරයක් රජය අතට අරගෙන, ඊට පස්සේ රටේ හොඳ සෞඛ්‍ය සේවයක් නැහැ, රටේ වෛද්‍යවරැ වැඩියෙන්ම මිනීමරන අය යැයි කියන Dr. Barbara Strarfiled ගෙනෙන විසඳුම කුමක් ද? ආණ්ඩුව බෙදන සර්ව සෞඛ්‍ය සේවාවක්!!!!

          මිනිසාගේ ප්‍රගතිය සිද්ධ වෙන්නේ අනගි මිනිස් වෑයම් වලින්ම බිහිවෙන නව දැනුම එකතු කරගෙන ජීවිතය යහපත් කරගන්නා ආකාරය අනුවයි.

          • lankika Sithuwili said, on ජූලි 10, 2015 at 5:09 ප.ව.

            අරුණි,

            මෙයට අනුව ලොව වැඩිම බෙහෙත් පාවිච්චි කරන රට වන්නේ ඇමරිකාවයි.
            http://www.pbs.org/newshour/updates/americans-spend-much-pharmaceuticals/
            එහෙව් ඇමරිකාව ලෝකයේ සවුක්ය මට්ටම අනුව පවතින්නේ 33 වැනි ස්ථානයෙයි. මගේ ප්‍රශ්නය මෙපමණ නවින බෙහෙත් ලබගනත් මෙහෙම උනේ අයි ?
            මෙහි මතක තබා ගත යුත්තේ දිලිදුකම නිසා බොහෝ දෙනාට බෙහෙත් සිමා කිරීම ඇමරිකාවේ සිදුඋනත් සමස්තයක් ලෙස වැඩිම බෙහෙත් පරිබෝජනය කරන රට වන්නේ ඇමරිකාවයි.

            //Overall, Americans use more medicines than people in other developed countries. They rank first for their use of antipsychotics as well as drugs for dementia, respiratory problems and rheumatoid arthritis. This is partly explained by medical needs: The burden of disease in the U.S. — as measured in “years of life lost” — is higher than in many OECD countries for the most common forms of heart disease, chronic obstructive pulmonary diseases, diabetes, and Alzheimer’s. Several factors may explain this, including high levels of obesity and high rates of diagnosis.

            //

            But if Americans take more pharmaceuticals, they also pay more for them. Prices in the U.S. for brand-name patented drugs are 50 to 60 percent higher than in France and twice as high as in the United Kingdom or Australia. That’s because in many countries, government agencies essentially regulate the prices of medicines and set limits to the amount they will reimburse; they may only agree to pay for a drug if they feel that the price is justified by the therapeutic benefits. This centralized approach can also give them more bargaining power over drug makers.//

            ඔබේ දෙවැනි තර්කයත් බිදවැටෙන්නේ ඇමරිකාවට සාපේක්ෂව අනෙක් රටවල වැඩි වෙලදපොල පාලනයක් එම රටවල රජයවල් කිරීම නිසා අඩුමිලට බෙහෙත් එම රටවල ජනතාවට ලබා ගතහැකි වීමයි.

            • arunishapiro said, on ජූලි 12, 2015 at 11:49 පෙ.ව.

              lankika Sithuwili,

              ඔබ දක්වන්නේ මගේ තර්කය තවත් තහවුරැ කරන කරැණු පමණි. ලොව වැඩිම බෙහෙත් පාවිච්චි කරන රට යැයි කියද්දී බෙහෙත් නැතිව වෙන රටවල මිය යන අය ගැන නොසලකා හදන වාර්තාවල අඩුපාඩු ගැන මෙතැනින් කියවන්න:
              Ranking the U.S. Health-Care System

              බෙහෙත් සඳහා වැඩියෙන් වියදම් වෙන්නේ රජයේ මැදිහත්වීම නිසාම යන්න අවබෝධයට මෙය කියවන්න: Why We Spend Too Much

              Twenty Myths About National Health Insurance

              කැනඩාවේ වැසියන්ට සර්ව සෞඛ්‍ය පහසුකම් නියාමන කරන ධනවත් සමාජවාදී මන්ත්‍රී බෙලින්ඩා ස්ට්‍රොනැක්, කුවෙබෙක් හි අගමැති රොබට් බරෑසා, ඩැනී විලියම්ස් වැනි අය තම රටේ අනිත් වැසියන්ට කරන්නට බැරි වුනාට ඇමෙරිකාවට ඇවිත් සැත්කම් සහ ප්‍රතිකාර ලබාගනිති. නිව් ෆවුන්ලන්ඩ් අගමැති ඩැනී විලියම්ස් කියන්නේ “ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය පහසුකම් මා වෙනුවෙන් ලබාගත හැකි මගේ අයිතිය මම දේශපාලනය කරනවා කියල අයින් කළේ නැහැ,” කියායි. කැනඩාවේ සර්ව සෞඛ්‍ය පහසුකම් බෙදන පෝලිමේ ඉන්නෙ නැතිව මෙහෙ ඇවිත් කළින් වැඩේ කරගෙන යෑමේ කිසි වරදක් මෙවැනි පාලකයන් සහ ඔවුන්ට ආවඩන අයත් නොදැකීම ඛේදවාචකයකි.

              සවුදියේ රජු.

              මහින්ද රාජපක්ෂත් ප්‍රතිකාර ගන්න ඇමෙරිකාවට ආවලු නේද?

              මෙහෙ බෙහෙත් පාවිච්චියයි සැත්කම් හා ප්‍රතිකාර ගණන් හදද්දී මේ එන අයවත් ගණන් කරනවා ද?????!!!!

              • lankika Sithuwili said, on ජූලි 12, 2015 at 1:47 ප.ව.

                අරුණි,

                ඔබ මෙහිදී සදහන් කරන්නේ නොමිලේ ලබාදෙන සෞඛ්‍ය පහසුකම් පිලිබදව, මාත් පිලිගන්නව නොමිලේ ලබාදීමේදී ප්‍රමාද සිදුවන බව (සැපයුමට වඩා වැඩි ඉල්ලුමක් ඇතිවීම ) නමුත් මා කියන්නේ නියාමනය නිසා බෙහෙත් වල මිල අඩුවන බවයි.

                //Prices in the U.S. for brand-name patented drugs are 50 to 60 percent higher than in France and twice as high as in the United Kingdom or Australia. That’s because in many countries, government agencies essentially regulate the prices of medicines and set limits to the amount they will reimburse; they may only agree to pay for a drug if they feel that the price is justified by the therapeutic benefits. This centralized approach can also give them more bargaining power over drug makers //

                කියවෙන්නේ ඇමරිකාවේ 50% සිට 60% දක්වාත් ප්‍රංශයට වඩා වැඩි වී ඇත්තේ වාණිජ සමාගම ඉල්ලන මිල ඇමරිකානු රජය ගෙවන නිසා !!
                අනෙක් රටවල සිදුවන්නේ ඔවුන් වාණිජ සමාගමට ලබාදියයුතු මිල තීරණය කරන්නේ එම රටවල රජයනුයි, එතකොට වාණිජ සමගම ඊට වැඩි මිලක් ඉල්ලුවොත් ඔවුන්ට් වෙළදපොල නැතිවීමයි සිදුවන්නේ. !!

                ඔබ සදහන් කරන නිදහස් වෙළදාම නිසා ඇමරිකාවට ඉදිරියේ ඉතා දුෂ්කර තත්වයකට මුහුණදීමට සිදුවනු ඇති. මම ඔබට උදාහරණයක් දෙන්නම් මෙය ඇමරිකාවේ සිටින මගේ ගනුදෙනු කරුවකු පැවසු දෙයක්. දිනක් ඔහුගේ කකුලේ ඇගිල්ලක දිලීර ආසාදනයක් සිදුවී ඇත මෙය දොස්තර වරයකුට පෙන්වූ විට
                ඔහුට කරීම් ස්වල්පයක් දමා ආවරණය කිරීමට අයකරන ලද ගාස්තුව $250 !! මෙවැනි දෙය ගැන කිව හැක්කේ කුමක්ද?

                මතක තියා ගන්න මිලමුදල් තිබෙන පුද්ගලයන් තමයි වැඩිපුර දැනුවත් වන්නේ (සල්ලිකාර මෝඩයන් සිටියහැකියි )
                මෙනිසා ඔවුන් මෙම වාණිජ සමාගම් නිපදවන බෙහෙත් පරිහරණය අවමයි.

                තවද මෙම වාණිජ සමාගම් මුලිකවී සිදුකරන මාද්‍ය හැසිරවීම නිසා ඔවුන් කියන්න උත්සහගන්නේ වැළක්විය හැකි බෝවනරෝග ඉක්මනින් ඇමරිකාවේ
                මෙම වැක්සින් පරිහරණය නොකරන නිසා පැතිරෙන බවයි.

                නමුත් මෙලෙස ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 2% පමණයි වැක්සින් ලබාගෙන නැත්තේ එනම් 98% ආසාදනය වී ඇත්තේ පෙර වැක්සින් ලබාගත් අයයි.

                //බෙහෙත් නැතිව වෙන රටවල මිය යන අය ගැන නොසලකා හදන වාර්තාවල අඩුපාඩු//
                Morocco, Cyprus, and Costa Rica වැනි රටවල ඔබ සදහන් කරන තත්වය පවතියහැකියි නමුත් ජපානය, සිංගප්පුරුව, ඉතාලිය ජර්මනිය, ඔස්ට්‍රියාව වැනි රටවල් ඔබ සදහන් කරන “වාර්තාවල අඩුපාඩු” තිබිය හැකිද ?

                • arunishapiro said, on ජූලි 14, 2015 at 7:23 ප.ව.

                  ankika Sithuwili,

                  “නොමිලේ ලබාදෙන සෞඛ්‍ය පහසුකම්” කොහෙද තියන්නේ? “අතිරික්ත ධනය” තියන තැන්වල ද?!!!

                  ඔබ ඉංග්‍රීසියෙන් එකතු කරන ලද කොටස හරියට නැවතත් කියවන්න. //government agencies essentially regulate the prices// පරිවර්තනය= “රාජ්‍ය ආයතන ප්‍රධාන වශයෙන් කරන මිල රෙගුලාසිකරණය” යන කොටස //වාණිජ සමාගම ඉල්ලන මිල ඇමරිකානු රජය ගෙවන නිසා// හැටියට යැයි පරිවර්තනය වුනේ කොහොම ද?

                  නියාමන/රෙගුලාසිකරණය නිසා ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මක බව අඩු වී මිල ඉහළ යනවා මිසෙක ගුණාත්මක බව වැඩි වී මිල අඩුවෙන්නේ නැහැ.

                  කියවන්න: නිදහසේ අර්ථ ශාස්ත්‍රය, ඔබේ ආචාර්යවරැන් ඔබට කියා නොදෙන පාඩම

                  ඔබ දැනුම එකතු කරගන්නේ ඔබ අමුණන ලද යූටියුබ් සබැඳි වලින් නම් ඉතින් දිගින් දිගට සංවාදයක් ගෙන යෑම ඵලක් නැත. නිවැරදි දැනුම ලබන්නට කැමති නම් මේවා කියවන්න:
                  The Pharmaceutical Industry: Problem or Solution?
                  Reforming America’s Medical System Through Deregulation
                  Nationalized Health Care Will Cut Costs?

                  ඔබ කියන අයගේ ප්‍රතිකාරයට එවැනි ගාස්තුවක් ගෙවන්නට සිද්ධ වූයේ සෞඛ්‍ය රක්ෂණ සඳහා ගෙනෙන ලද නියාමන/රෙගුලාසිකරණය නිසා මිසෙක නිදහස් වෙළඳාමේ ප්‍රතිඵලයක් නිසා නොවේ. මා කියන ලද්දෙහි සත්‍ය අසත්‍යතාවය සොයාගන්නට නම් යූටියුබ් නොව ඒවා ගැන දීර්ඝ කාලයක් පුරා මැනවින් අධ්‍යයන කරන ලද අය විසින් ලියූ ලිපි කියැවිය යුතුයි.

                  ඔව්, ඒ රටවල වාර්තාවල අඩුපාඩු තිබිය හැකි නෙමෙයි, ඔවුන් උවමනාවෙන්ම රාජ්‍ය අරමුණු සාධනය කිරීම පිණිස සිය වාර්තා ඒ අරමුණු අනුව මිනුම් වෙනස් කරමින් හැඩගසනවා. එය අද ඊයේ නොව ඈත අතීතයේ සිට පැවත එන හුරැවක්. දියුණු රටවල් සහ නොදියුණු රටවල් කියා වෙනසක් නැහැ. වාමාංශික ආණ්ඩු දක්ෂිණාංශ ආණ්ඩු කියා වෙනසක් නැහැ. පාලන බලයේ සිටිය දී ආණ්ඩුවේ වාර්තා හදන අය ඒ දත්ත දක්වන්නේ පාලන ආණ්ඩුවේ පනත් සම්මතයට වාසිවෙන ආකාරයට.

                  • Lankika Sithuwili said, on ජූලි 18, 2015 at 1:23 ප.ව.

                    Prices in the U.S. for brand-name patented drugs are 50 to 60 percent higher than in France and twice as high as in the United Kingdom or Australia. That’s because in many countries, government agencies essentially regulate the prices of medicines and set limits to the amount they will reimburse; they may only agree to pay for a drug if they feel that the price is justified by the therapeutic benefits. This centralized approach can also give them more bargaining power over drug makers.

                    ඇමරිකා එක්සත් ජනපදයේ සන්නම් නාම සහිත බෙහෙත් 50% ක් 60% ක් පමණ ප්‍රංසය ට වඩා මිල වන අතර එක්සත් රාජධානියටත් ඕස්ට්‍රේලියාවටත් වඩා දෙගුණයකට වඩා මිල වැඩිය. මිට හෙතුව බොහෝ රටවල රජයේ ආයතන මිල පාලනය කරනු ලබන්නේ යම් සීමාවක් යනතුරු සහනාදාර සපයමින්. ඔවුන් සහනාදාර සපයන බෙහෙත් වන්නේ අදාල බෙහෙත යම් දුරකට රෝගයට පිලියමක් කිරීමට හැකියි ඔප්පුකිරීමට සමත් උවොතින් පමණයි, මෙම මදයම සැලසුම් ක්‍රමය නිසා වැඩි කේවල් කිරීමේ බලයක් රජයට ලැබෙන අතර බෙහෙත් නිපදවන්නන්ට වැඩි කෙවල්කිරීමේ බලය රජයට තිබෙන නිසා මිල පාලනය වේ.

                    මෙහිදී තේරුම් ගත යුත්තේ සහනාදාර සපයනවා යනු රජය විසින් අදාල රාජ්‍ය බෙහෙත් මිලදී ගන්නා ආයතනයට මුදල් සපයන්නේ එක්තරා ප්‍රමාණයකට පමණක් බවයි.

                    //ඔබ දැනුම එකතු කරගන්නේ ඔබ අමුණන ලද යූටියුබ් සබැඳි වලින් නම් ඉතින් දිගින් දිගට සංවාදයක් ගෙන යෑම ඵලක් නැත//

                    කරුණා කර https://www.youtube.com/watch?v=oeDrMfRhyiE සදහන් වෙබ් අඩවි බලන්න.

                    ඔහු සදහන් කරන්නේ http://www.techtimes.com/articles/31696/20150209/medical-experts-concerned-about-whooping-cough-outbreaks-vaccine-may-be-losing-potency.htm

                    වෙබ් අඩවියේ තොරතුරුයි.

                    තවත් මෙපිලිබද http://articles.mercola.com/sites/articles/archive/2012/07/30/whooping-cough-vaccine.aspx
                    Dr. Mercola සපයයි.

                    //ඔව්, ඒ රටවල වාර්තාවල අඩුපාඩු තිබිය හැකි නෙමෙයි, ඔවුන් උවමනාවෙන්ම රාජ්‍ය අරමුණු සාධනය කිරීම පිණිස සිය වාර්තා ඒ අරමුණු අනුව මිනුම් වෙනස් කරමින් හැඩගසනවා.//

                    ඔබ කියන විදියට ඇමරිකා ව්ක්සත් ජනපදයත් ඉහත සදහන් කල ආකාරයට සගවනවානම් කිසිවක් විස්වාසකල හැක්කේ කුමක්ද ?

                    මම එතනදිනම් ඔබසමග එකග වෙනවා
                    http://dailycaller.com/2015/02/03/obama-admin-grants-immunity-to-cdc-scientist-that-fudged-vaccine-report-whistleblower-plans-to-testify-before-congress/
                    ඇමරිකාවේ CDC ආයතනයේ විද්යත්නයෙකු වැඩි ඈත නෙමෙයි තමන් පරීක්ෂණ තොරතුරු සැගවූ බව හෙලිකරණ ලද්දේ.

                    CDC ආයතනයේ හිටපු ඉහලම නිලදරිවරියයි https://en.wikipedia.org/wiki/Julie_Gerberding තමයි Merck’s Vaccine Unit හි ප්‍රදධානිය වන්නේ.

                    මේඅනුව විශාල සමාගම් කරන අපරාද තේරුම් හැනීම එතරම් අපහසු නෑ.

                    • arunishapiro said, on ජූලි 19, 2015 at 10:17 ප.ව.

                      Lankika Sithuwili,

                      තේරැම් ගත යුත්තේ මෙයයි:

                      ඕනෑම සහනාධාරයක් නිසා බරපැණ පැටවෙන්නේ රටවැසියාට. රජයක් බෙහෙත් බොන්නේ නැහැ වගේම බෙහෙත් මිල අඩු කරද්දී වෙනසේ මිල රජය ගෙවන්නේ ද නැහැ!!!

                      ඊ ළඟට ඔබ කියනවා 1) රජය වැඩියෙන් සාර්ථක බෙහෙත් මොනවාද යන්න තීරණය කරන්නට සමත්
                      2) මධ්‍යම සැලසුම් ක්‍රමය නිසා වැඩි කේවල් කිරීමේ බලයක් රජයට ලැබෙනවා කියල.

                      ඔබ සඳහන් කරන Dr. Joseph M. Mercola විකල්ප වෛද්‍ය ක්‍රම සඳහා පෙනී සිටින්නෙක්. ඔහු සඳහන් කරන දේවල් බොහොමයක්, වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ මහජන සෞඛ්‍ය සංවිධාන මත වලට පටහැනියි. එසේම ප්‍රමාණවත් සාධක නොමැතිව කියන දේවල් හැටියට සැලකෙනවා. ඔහු නිර්දේශ කරන dietary supplements ඒ කියන තරම් ප්‍රතිඵල දකින්න බැරි ඒවා යැයි කියන්නේ //රජය වැඩියෙන් සාර්ථක බෙහෙත් මොනවා ද යන්න තීරණය කරන්නට සමත්// ආයතන වල අයම විසින්. පොඩ්ඩක් කල්පනා කරල බලන්න, වෛද්‍ය සීට්ටු වලින් ලියන බෙහෙත් වැඩියෙන් ගන්නවා යැයි කියලා අවලාද කරන අයෙක් එයා වෙළඳාම් කරන dietary supplements වලින් ලැබෙන වාසි ගැන ගුණ වර්ණනා කරනව කියන එක ගැන!!!!!

                      2) ප්‍රංශය බෙහෙත් මිල අඩු කළේ සන්නම් නාම සහිත බෙහෙත් 600 ක් වෙළඳපොලෙන් පාරිභෝගිකයාට රජයෙන් ලැබෙන බෙහෙත් රක්ෂණ අරමුදලෙන් මිල දී ගත නොහැකි වන සේ අයින් කරල. generic versus third party ක්‍රමයෙන් සන්නම් නාම වෙනුවට generic බෙහෙත් ගන්නවා නම් ඒ අයට copayments ගෙවන්න වෙන්නෙ නැහැ කියන ප්‍රතිපත්තිය ගෙනැවිත්. ඒ කියන්නේ සල්ලි තියෙනවා නම් ඒ අයට සන්නම් නාම බෙහෙත් මිල දී ගතහැකියාව තිබෙනවා. නමුත් රජය බෙහෙත් මිල ගණන් වාර්තා හදන්නේ රජයේ සෞඛ්‍ය රක්ෂණ අරමුදල් යටතේ විකුණන බෙහෙත් අනුව.

                      Buyer Beware යන්න වෙළඳපොල නියමයක්. එයින් කියැවෙන්නේ කිසිවෙක් විශ්වාස කරන්න එපා කියල. මම මිල දී ගන්නා ඕනෑම භාණ්ඩයක් ගැන හැකි පමණින් සොයා බලන විදියට ඇමෙරිකන් රජය කරන නිර්දේශයන් ද සොයා බැලීම මගේ පාරිභෝගික වගකීම.

                      මධ්‍යම සැලසුම් ක්‍රමය නිසා මගේ පාරිභෝගික වගකීම ක්‍රියාවට නංවන්නට මට ඉඩ ප්‍රස්ථාව අහිමි වෙනව. රජය සහ අපේ බදු මුදල් වලින් පෝෂණය වෙන CDC වැනි ආයතන කියන ඕන බොරැවක් පිළිගත්තේ නැතත් වෙන විකල්ප නැති වී යනවා. 1982 සිට Dr. Joseph M. Mercola ඇමෙරිකාවේ සැපයූ ප්‍රතිකාර ක්‍රමය වූ ඔස්ටියෝපති වලට ප්‍රංශයේ නීතිමය අවසරය ලැබෙන්නේ 2002 පාර්ලිමේන්තු පනතකින්. ඒ ප්‍රංශ රජයට ඔවුන්ගේ සෞඛ්‍ය බරපැණ ඩොලර් බිලියන 14.2 ක් පමණ ගෙවාගත නොහැකි පරතරයකින් වැඩිවෙද්දී.

                      ඔබ විශාල සමාගම් කරන අපරාධ කියමින් ඒ සඳහා ගෙනැවිත් තියන උදාහරණ සියල්ල රජයේ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන වල නිලධාරීන් හැටියට තනතුරැ දරද්දී කරන ලද අපරාධ වල උදාහරණ නොවේදැයි කල්පනා කර බලන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: