අරුණි ශපීරෝ‍ වෙතින්

රජයේ ලොක්කන්ගේ දූ පුතුන් හෙවත් guanerdai

Posted in Uncategorized by arunishapiro on ජූලි 20, 2015

20150718_CND001_0

රාජ්‍ය නිලධාරීන්ගේ දූ පුතුන් අත්විඳින සමාජ වරප්‍රසාද ගැන කියන්නට යොදාගන්නා මේ guanerdai ලේබලය ප්‍රශංසා සහගත වූවක් නොවේ. ඉහළ ප්‍රභූ තත්වයක් ලැබෙන මොවුනට අවශ්‍ය වූ විටෙක ඉහළ ආදායම් උපයන රස්සාවක් සොයා ගැනීම අපහසු නොවේ. ඒ ඔවුන් සතු විශේෂ කුසලතා නිසා නොව රටේ ප්‍රතිපත්ති හදන අයගේ දූ පුතුන් වූ නිසයි.

මේ ලේබලය බිහිවූවා යැයි කියැවෙන්නේ 2010 ඔක්තෝබර් 16 දින චීනයේ හෙබෙයි විශ්ව විද්‍යාලය ඇතුලත වූ සිද්ධියකිනි. බීමතින් නොසැලකිලිමත් විදියට 22 වියැති ලී කිමින්ග් වාහනයක් පැදවීම නිසා 20 හැවිරිදි සිසුවියක් තුවාල ලබා පසුව රෝහලේ දී මරණයට පත්විය. වයස 19 වියැති ශිෂ්‍යාවගේ කකුල කැඩිණ. ඒ අනතුරෙන් පසුවත් බීමත් ලී කිමින්ග් සිය ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හැරලීමට තව දුරටත් වාහනය පදවමින් සිටිය දී ආරක්ෂක සේවකයන් ඔහුව අත් අඩංගුවට ගන්නා ලදි. තමන්ගේ පියාගේ නිල බලයෙන් රැකවරණයක් ලැබේවි යැයි විශ්වාස කළ ඔහු කෑ ගැසුවේ “අල්ලා ගන්න එහෙනම්, මට නඩු දාන්න බය නැත්නම්. මගේ තාත්තා ලී ගෑන්ග්!” යනුවෙනි.

ඒ ගැන සමාජ විරෝධයක් නැඟී ආවේ අන්තර්ජාලීය සමූහ තුලිනි. ලී ගෑන්ග් යනු ඒ පළාතේ මහජන ආරක්ෂක බියුරෝවේ උප අධ්‍යක්ෂකවරයා බව හෙළිවිණ. සිද්ධියෙන් දවස් හතරකට පසු “මගේ තාත්තා ලී ගෑන්ග්” යන වහර යොදමින් පද්‍ය තරඟයක් අන්තර්ජාලයේ කැඳවිණ. ඊට පද්‍ය හයදාහකට වඩා සංඛ්‍යාවක් ලැබිණ.

කොමියුනිස්ට් පක්ෂ නායකයන් සිද්ධිය යටපත් කරන්නට මුලින් උත්සාහ කරත් ඒ උත්සාහය අසාර්ථක විය. රෑපවාහිනි මාධ්‍ය සාකච්ඡාවක දී ලී ගෑන්ග් අඬමින් සමාව අයැද සිටි අතර පසුව පුත්‍රයා ද සමාව අයදින විඩියෝ පටියක් නිකුත් කරන ලදි.

ඔක්තෝබර් 28 වෙද්දී මධ්‍යම ප්‍රොපගැන්ඩා දෙපාර්තමේන්තුවෙන් ඉහළ ආඥාවක් ආවේ ඒ ගැන තව දුරටත් වැඩි අවධානයක් යොමු කරන්නට එපා කියායි. මියගිය තරැණියගේ පක්ෂයේ නීතිඥයා හිටිහැටියේම නොවැම්බර් 1 වැනිදා නඩුවෙන් අයින් විය. එය බෙයිජින් අධිකරණ බියුරෝව විසින් නීතිඥයාගේ කාර්යාලයට අවදානම් ඇඟවීමක් කළ නිසා යැයි බ්ලොග්කරැවෙක් පවසයි. කෙසේ වෙතත් එදිනම මියගිය සිසුවියගේ පවුලේ අයට වන්දි මුදල් බෙදා නඩුව නිරාකරණය විය.

නොවැම්බර් 4 වෙද්දී මධ්‍යම ප්‍රොපගැන්ඩා දෙපාර්තමේන්තුව ඒ ගැන මියගිය සිසුවියගේ සහෝදරයා සමඟ කළ ප්‍රවෘත්ති සාකච්ඡාව පළ කිරීම තහනම් කරන ලදි.

නොවැම්බර් 9 වෙද්දී සියළු අන්තර්ජාල කතාබහ හදිසියේම නතර විය. එහෙත් පළාතේ ශිෂ්‍යයන් සහ අයි වෙයිවෙයි වැනි සමාජ ක්‍රියාකරැවන් ඒ ගැන කතාබහ නතර නොකළහ.

2011 ජනවාරියේ දී ලී කිමින්ග් අත් අඩංගුවට ගැනිණ. මිය ගිය සිසුවියගේ පවුලේ අයට ඩොලර් 69,000 ක වන්දියක්, කකුල කැඩූ සිසුවියට ඩොලර් 13,800 ක වන්දියක් සමඟ ඔහුව වසර හයකට සිරගත කෙරිණ.

සිවිල් අයිතීන් ගැන කතා කරන්නට අන්තර්ජාලයේ බ්ලොග්කරැවන් පමණක් සිටියාට ප්‍රමාණවත් නැත. අවසානයේ දී සිවිල් නීතිය ක්‍රියාවට නඟන්න සිවිල් නීතීඥයන් ද රටකට සිටිය යුතුයි.

මධ්‍යම සැලසුම් ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නොවූවක් යැයි ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ එෆ්. ඒ. හයෙක් ලියූ දාස භාවයට යන පාර පොතෙනි. මධ්‍යම සැලසුම් ක්‍රමයේ දී කුඩා පිරිසකගේ කැමැත්ත මහත් ජනතාව වෙත පැටවේ. මධ්‍යගත අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස ඒකීය පුද්ගලයන්ගේ නිදහස සහ නීතියේ රීතිය විනාශ කරමින් ඒ කුඩා පිරිස මුදල් සහ දේපල හැසිරවීමේ බලය තමන් යටතට බාර ගනිති. මධ්‍යම සැලසුම් වල දී ඒකීය පුද්ගලයා අධිකාරියේ හුදු ඉත්තෙක් පමණකි. සමාජයේ සුබ සාධනය සහ සමාජයේ යහපත වෙනුවෙන් කැමති ආකාරයකින් ඒකීය පුද්ගලයාව පරිහරණය කිරීමේ බලය අධිකාරිය සතුයි. සමාජවාදී ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලද සෑම අවස්ථාවක දී ම දකින්නට ලැබෙන්නේ සමාජවාදීන්ම ප්‍රතික්ෂේප කරන ක්‍රෑර පොලිස්/හමුදා බලය භාවිතා වීම දකින්නට ලැබීමයි.

ජූලි 9 වැනිදා හිමිදිරි පාන්දර චීනයේ සිවිල් අයිතීන් සඳහා පෙනී සිටින නීතිඥයන් 120 ක් අත්අඩංගුවට ගැනිණ. ඒ හැරෙන්නට තවත් කාර්යාල සේවකයන්, පවුලේ සාමාජිකයන් සහ සමාජ ක්‍රියාකරැවන් 50 දෙනෙකු අත් අඩංගුවට ගැනිණ. ජූලි 18 වෙද්දී 31 ක් හැරෙන්නට අනිකුත් අය නිදහස් කර ඇත.

මේ අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉතා ඉක්මණින් සහ මහත් පිරිසක් මෙන්ම මහත් භූමි ප්‍රමාණයක් පුරා ද පැතිර ගිය ලද්දකි. මේ දිනවල ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයට පැමිණ සිටින Teng Biao ද මිනිස් අයිතිවාසිකම් සඳහා පෙනී සිටින චීන නීතිඥයෙකි. ඔහු “ද ඉකොනොමිස්ට්” සඟරාවට කියා ඇත්තේ අත් අඩංගුවට ගන්නා ලද පිරිස සලකද්දී ඊට චීනයේ සියළු සිවිල් අයිතීන් සඳහා වූ නීතිඥවරැන් අයිති වූ බවයි.

පොලීසිය විසින් විශේෂයෙන් අවධානයක් යොමු කර ඇත්තේ Fengrui නම් බෙයිජින් හි පවතින නීති ආයතනටයි. 2007 දී ආරම්භ වූ මෙය රජයට විරැද්ධ අයගේ, නිවාස වලින් පන්නා දමන ලද අයගේ සහ යුක්තියේ අසාධරණයට ලක් වූවන්ගේ නඩු වෙනුවෙන් පෙනී සිටින ආයතනයකි. පොලීසිය එහි කාර්යාල සේවකයන් සමහර දෙනෙක්ට “ප්‍රධාන අපරාධ කල්ලියක” සාමාජිකයන් යැයි චෝදනා කර ඇත.

මැයි මාසයේ Heilongjiang හි දුම්රිය නැවතුම්පොලක දී මහළු මව සහ බාල දරැවන් තිදෙනෙක් ඉදිරියේ දී Xu Chunhe නැමැත්තාට පොලීසිය විසින් වෙඩිතබා මරන ලදි. ඔහු වැරදිකරැවෙක් යැයි පොලීසිය කිව්ව ද, අධිකාරීන් විසින් පවුලට ඩොලර් 32,198 ක් වන්දි හැටියට ඉදිරිපත් කරන ලදි. මහළු මව ඒ වන්දි මුදල් ප්‍රතික්ෂේප කර වෙඩි තැබූ පොලිස් නිලධාරියාට එරෙහිව නඩු මඟට බසින ලදි. ඒ නඩුව සඳහා පෙනී සිටි Wang Yu, ඇයගේ සැමියා සහ 16 වියැති පුතා ද පසුගිය දා රට පුරා වූ මහා වැටලීමේ දී සිරබාරයට ගන්නා ලද මුල්ම අය වූහ.

නීතියේ රීතිය කුමක්දැයි නොදන්නා විට නීතිඥයන් හිරබාරයට දමන්නේ නීතියේ රීතිය ආරක්ෂාවට කියායි.

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූලි 20, 2015 at 12:58 පෙ.ව.

    අපේ රටට බොහොම වැදගත් ලිපියක්

  2. Gamarala said, on ජූලි 20, 2015 at 5:32 පෙ.ව.

    Srilanka is little bit better than china.but I hear some stories.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: