අරුණි ශපීරෝ‍ වෙතින්

නීති නියාමනය සහ ප්‍රචාරණයේ මිථ්‍යාවන් -ක්‍රිෂ්ණ රාමනායක ලියයි

Posted in Uncategorized by arunishapiro on ජූලි 30, 2015

Abstract clockwork

නීති නියාමනය සහ ප්‍රචාරණයේ මිථ්‍යාවන්!!!

නිදහස් වෙළඳපොල සංකල්පය ගැන කතා කිරීමේ දී තවමත් සමහරු පැහැදිලි කර නොගත් දෙයක් නම් නීති නියාමනය පිළිබඳ නිරවුල් භාවයයි. මෙහි දී වෙළඳපොලට කරන මැදිහත්වීම සහ පොදු නීති ගැන පුළුල් අවබෝධයක් ලබාගැනීම ඒ නිසා අතිශය වැදගත්. යමෙකු කතා කරන්නේ “කාටත් පොදු” නීති ගැන ද? එසේ නම් සරලව කිව යුත්තේ එහි කිසිදු ගැටලුවක් නැති බව. එහි අරුත නම් කාටත් පොදු නීති රැකීමට අපි ද බැඳී සිටිනවා යන්නයි. නමුත් ගැටලුව ඇත්තේ වෙළඳපොලට කරන නියාමනයන් සහ මැදිහත් වීම් ගැනයි.

නීති

කාටත් පොදු නීති රැකීම විනා කැඩීම යනු පැහැදිලිවම බරපතල තත්ත්වයකි. එය නීතිවිරෝධීය! සාහසිකය! ශිෂ්ට කිසිවකු ඒවා උල්ලංඝණය කිරීමක් අනුමත නොකරයි! උදාහරණයක් ලෙස ළමා අපචාර ගනිමු. ලිංගික ක්‍රියා සඳහා ළමුන් යොදා ගැනීම බරපතල අපරාධයකි. ඊට ඒකීය පුද්ගල නිදහස තුල මෙන්ම නිදහස් වෙළඳපොල සංකල්පය තුල කිසිදු ඉඩක් නැත. බීමත්ව රිය පැදවීම, ළමුන්ට දුම්වැටි, මත්පැන් විකිණීම ද, එසේම පොදු නීතියකින් පාලනය විය යුතු දේවල් වෙති. මේවා නිසි පරිදි සොයා බලා දඬුවම් ලබාදීම පොලිසිය, උසාවිය විසින් කල යුතු රාජකාරියක් වන අතර ඒවා කිසිදු දාර්ශනික වචන හරඹයකින් සාධාරණය කල නොහැක. මෙවැනි පොදුවේ කාටත් බලපාන සීමාවන් නීති ලෙස ගැනීමත්, ඒවා රැකීමත්, ලිබටේරියන්වාදීන් අකුරක් නෑර ඒකමතිකව පිළිගන්නා බව යළිත් සිහිපත් කරමු.

වෙළඳපොල නියාමනය

වෙළඳපොල නියාමනය යන්න පොදු නීති වලට වෙනස්ව වෙනම කතා කල යුතු මාතෘකාවකි. යම් පාරිභෝගිකයන් සහ විකුණන්නන් සිය කැමැත්තෙන් වෙළඳපොලක් තුල කරන ගණුදෙනු වලට එරෙහිව පවතින නීති සහ රෙගුලාසි නියාමනයන් ලෙසට සරලව දැක්විය හැකිය. උදා. වැඩිහිටියන්ට මිල දී ගැනීමට ඇති දුම්වැටියේ සිට ගුවන් යානයක් මිල දී ගැනීම දක්වා විවිධ භාණ්ඩ සහ සේවාවන් ද ඊට අයත් වේ.

පැහැදිලිවම අප වෙළඳපොල නියාමනය ලෙස අදහස් කරනුයේ මෙවැනි භාණ්ඩ හා සේවා සහිතව වෙළඳපොල තුල වැඩිහිටියන් සිය කැමැත්තෙන් කරන ගනුදෙනු වලට අදාළව ඊට එරෙහිව පවත්නා නීති සහ රෙගුලාසියන්ය. පරිප්පු විකිණීමට නැති නීති මත්පැන් වලට ඇත. මත්පැන්වලට නැති නීති, වී වලට ඇත. වී වලට නැති නීති, බේත් වලට ඇත. එකිනෙකට වෙනස් වෙනස් මෙම නියාමනයන් අතිශය විකාර සහගත සේ ම පුද්ගලික නිදහස ද වල දමනු ද ලැබේ.

බරපතලම කරුණ නම් වෙළඳපොල සහ ආර්ථිකයෙහි ස්වභාවය යන්න එහි දී සහමුලින්ම අමතක කර එය අවුල් ජාලාවක් බවට පත්කර දැමීමයි. වෙළඳපොල යනු එකිනෙකට දම්වැලක් සේ බැඳී පවතින්නක් මිස තැන තැන හිට වූ පොල් ගස් සහිත වත්තක් නොවන බැව් අපි දැඩිව අවධාරණය කරමු. දැති රෝද රාශියකින් සමන්විත වූ ආර්ථිකයක විවිධ දැති රෝද වලට විවිධාකාරයෙන් සැලකීම මුලු පද්ධතියම මාරක දෝෂයකින් විනාශ වී අර්බුදයට යවන ක්‍රමයයි.

ප්‍රචාරණයේ මිථ්‍යාව

නිදහස් වෙළඳ පොලක කොහෙද නිදහසක්!! බහු ජාතික සමාගම් ප්‍රචාරණය තුලින් බූවල්ලෙක් වගේ පාරිභෝගිකයා අල්ලගෙන!! පාරිභෝගිකයා රවට්ටනව! මිනිස්සු අහුවෙනව! වෙළඳ දැන්වීම් වලින් බොරු ප්‍රචාරය කරනව!!

ප්‍රචාරණය ගැන කතාවේ දී මෙවැනි තවත් දෝෂාරෝපණයන් අපට නිතර හමුවේ. ප්‍රචාරණය යනු කුමක් ද? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් විකුණා ගැනීමට නිෂ්පාදකයන්, වෙළෙන්ඳන් අදාළ භාණ්ඩය හෝ සේවාව සඳහා කරනු ලබන වෙළඳ දැන්වීම් වැනි දේවල් මේ ප්‍රචාරණය යන්නෙන් අදහස් වේ.

ප්‍රචාරණ තුලින් උත්සාහ ගන්නේ අදාළ භාණ්ඩය වැඩි වැඩියෙන් විකුණා ගැනීම බව සත්‍යයකි. එය බොරුවක් නොවේ. එසේම, අදාළ ප්‍රචාරණයන් කෙතරම් දුරට සත්‍යය ද යන්න එම ප්‍රචාරණයන් තුලින් අපට සොයාගත නොහැකි බව ද සත්‍යයකි. එහෙනම් භාණ්ඩයක් පිළිබඳ නිවැරදි දැනුම දැනගත හැක්කේ කෙසේද? මෙයයි ගැටලුව.

නියාමනය තුලින් අදාළ භාණ්ඩයේ සත්‍ය තොරතුරු පාරිභෝගිකයාට ලබා ගැනීමට හැකියි යන්න බලවත් මිථ්‍යාවකි. ගුණාත්මක භාණ්ඩ රජය විසින් තෝරා දිය යුතුයි පිළිගැනීම නිසා, ඒ බලය පැවරෙන්නේ ද නිෂ්පාදකයන්, වෙළන්ඳන් නියෝජනය කරන “මිනිසුන්ටම” බව අමතක කර, නීති සහ නියාමනයන් දැමීම තුලින් නරක සහ ගුණාත්මක නොවන භාණ්ඩ වෙළඳපොලට පැමිණීම සීමා කරනු ඇතැයි පාරිභෝගිකයා විශ්වාස කරයි. මෙයයි ජනප්‍රිය මතය!! දිගින් දිගටම විමසන්නට නොහැකි අයට තහවුරු කර ඇති මතය!! බොහෝ දෙනෙක් හිතන්න ඇබ්බැහි වී ඇති චින්තනය!! ඇත්තෙන්ම නියාමනයකින් සිද්ධ වනුයේ තොරතුරු වසං කිරීමට සුළු පිරිසකට මහත් බලයක් ලැබීමයි. නැත්නම් ව්‍යාජ තොරතුරු සැපයීමට බලයක් සුළු පිරිසකට ලැබීමයි. කිසිදු ආකාරයක වාසියක් ඉන් පාරිභෝගිකයාට නොලැබේ.

මේ ගැන අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

ප්‍රචාරණයේ බොරු වලවල් හාරන්නේ නියාමනයයි

ලංකාවේ කිරිපිටි ආනයනය සැමටම විවෘත නොවූ සමහර අයට පමණක් කල හැකි දැඩි ලෙස නියාමනය වූ ක්ෂේත්‍රයකි. ගෙන්වන අය දෙන දේ ගැනීමට පාරිභෝගිකයාට සිදුව ඇත. ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඇත්තේ කුමක ද යන්න ගැන සාමාන්‍ය රටවැසියන් වූ අප කිසිවක් නොදනී. ගෙන්වන්නට අවසර දුන් අය සහ විකුණන්නන් කියන දේ අපි අසමු.

නිදහස් විවෘත වෙළඳපොලක දී අසත්‍ය ප්‍රචාරණයෙන් කෙටි කාලීන වාසියකුත් සත්‍ය ප්‍රචාරණය තුල දීර්ඝ කාලීන වාසියකුත් නිෂ්පාදකයා සහ වෙළෙන්ඳා ලබයි. ලාබ ඉපැයීම දීර්ඝ කාලීනව පවත්වා ගන්නට නම්, සත්‍ය ප්‍රචාරණයට ඒ නිසා නිෂ්පාදකයාව සහ වෙළෙන්ඳාව යොමු කරවයි. තමන් විශ්වාස කරන සහ ඒවා පරිහරණය කරන ලද අයගෙන් අසා දැන ගැනීම හැරෙන්නට සැකයෙන් තොරව බාරගත හැකි තොරතුරු ලබා ගැනීමේ වෙන මගක් පාරිභෝගිකයාට කිසිවිටෙක නැත.

ආණ්ඩුවක් මැදිහත්වෙද්දී හැම විටම ආණ්ඩු පක්ෂයේ අය කිරිපිටි වසවිෂෙන් තොර යැයි ද විපක්ෂයේ හෝ ආණ්ඩුවේම බලවත් වෙන්නට පොරකන අය කිරිපිටි වසවිෂෙන් යුතු යැයි ද ජනතාව රවටන්නට කටයුතු කරනු දකින්නට ලැබේ.

ලංකාවට කිරිපිටි ගෙන්වීම කිසිදු ආකාරයකින් විවෘත වෙළඳපොල සංකල්පයට අනුව සිදු නොවේ. එය සිදුවන්නේ කිහිප දෙනෙක් අතර පවතින බලයක් සේ රජයෙන් පිරිනමන ලද ඒකාධිකාරයක් ලෙසට.

අපි හිතමු මේ තත්ත්වයට වෙනස්ව වෙළඳපොල විවෘත ලෙසට ඉඩ තිබෙන තත්ත්වයක් තුල කිරිපිටි ආනයනය සිදුවන්නේ යැයි කියා. අවම මිලක් හෝ සහතික මිලක් රජය මැදිහත්වීමක් තුල සිදු නොවන්නේ යැයි කියා. එවිට පළමුව මිල තීරණය වෙන්නේ තරඟකාරීවයි. එනම් වෙළඳපොල ඉල්ලුම සහ සැපයුම අනුව සිදුවේ. විවෘත වෙළඳපොල තුල නිදහස් වෙළඳාමක් පවතින නිසා යම් හෙයකින් ඒකාධිකාරයක් ගොඩ නඟන්න ඇතැමුන් කැමති වුව ද ඊට ඉඩක් නැත. මන්ද වෙනත් අයත් එවිටම උත්සාහ කරන්නේ තමන්ගේ ඒකාධිකාරයක් හදාගන්නයි. අනෙකාගේ ඒකාධිකාරය බිඳදැමීමට උත්සාහයයි. නිදහස් වෙළඳපොලක් ඒ අයිතිය දෙයි. ඊට හැකියාව පාදයි. ඒ නිසා කිරිපිටි වල මිල හි වාසියක් සහ වැඩියෙන් අනගි භාණ්ඩයක් නිසැකවම පාරිභෝගිකාට ලැබේ.

අනෙක් කරුණ නම් මුලින් සඳහන් කල ආකාරයේ සිරුරට අහිතකර කිරිපිටි විකිණිමේ ජාවාරමයි. ප්‍රචාරණ තුලින් මෙවැනි ජාවාරම් පවත්වාගෙන යා හැක්කේ තරඟයක් නැති තැන පමණි. තරඟකාරීත්වය තුල තමන්ගේ කිරිපිටි වල මිල අඩු සහ තත්ත්වය උසස් බව පෙන්වීම ද තරඟකාරීත්වයේම කොටසක් බැවින් නිවැරදි තොරතුරු පාරිභෝගිකයන්ට ලබාදීම ද තරඟකාරීව සිදුකරන්නට නිෂ්පාදකයන්ට සහ විකුණන්නන්ටම සිදුවේ.

සමහරුන්ගේ මතය වන්නේ තරඟකාරීත්වය තුල මිල ඉහල දැමීමේ සහ ඕනෑම ජරාවක් විකිණිමේ හැකියාව ඇති බවයි. නමුත් ඔවුන් මෙහි දී අමතක කරන ප්‍රධාන සාධක කිහිපයකි. ඒ කාටත් පොදු නීතිය!! විවෘත!! සහ නිදහස්!! යන අති වැදගත් සාධක!!!

ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නට කාටත් පොදු නීතිය රකින විවෘත වෙළඳපොලක අවකාශයක් නැත. ඒ වෙනුවට ඕනෑම අවස්ථාවක අලුත් අයෙකුට තරඟයට පිවිසීමේ හැකියාවක් නිදහස් වෙළදපොළ තුල ඇත. යම් හෙයකින් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්න කැමැත්තක් ඇතිව කොටසක් විසින් අලුත් තරඟකරුවන් වළක්වන්නේ නම් එවිට ඊට රජය මැදිහත් වී නීතියේ පොදු මූලධර්ම ආරක්ෂා කල යුතු වන්නේය.

විවෘත වෙළඳපොළ තුල පමණක් සෑම විටෙකම අලුතෙන් එන තරඟකරුවාගේ පැමිණීම ආරක්ෂා කරයි. ඇතුල්වීම වළක්වාලීම නොකරයි. විවෘත වෙළඳපොල ධනවාදය නම් නිසැකවම එයයි. විවෘත තරඟකාරීත්වය!! කැමති කෙනෙකුට කැමති ව්‍යාපාරයක් කිරීමේ ඇති ඒකීය පුද්ගල නිදහස!! ඊට ඇති අයිතිය. නිදහස් වෙළඳපොලක් යනු මෙයයි.

මාෆියාවන් ඇත්තේ රජයේ නියාමනයන් තුලය.

බොහෝ දෙනෙක් මෙය පටලවා ගන්නේ පවතින රජය කිසියම් මැදිහත්වීමක් කරන විට ඇතිවන ඒකාධිකාරය දෙස බැලීමෙනි. මාෆියාවක් ලෙසට වෙළඳපොල තුල සුළු පිරිසක් බලය පත්වෙන්නේ පවතින රජය කරන නියාමනයක හේතුවෙන් මිස නිදහස් තරඟයක පවතින විවෘත භාවය තුලින් නොවේ.

රජය සිය නියාමනය තුල සීමිත පිරිසක් රකින අතර නිදහස සීමා කරන නියාමනයන් (පුද්ගලික බස් ව්‍යාපාරය/ ලංකාවේ කිරිපිටි ආනයනය/ ඖෂධ ආනයනය) කරයි. එහෙත් නිදහස් විවෘත වෙළඳපොලක් ඒ වෙනුවට කරනුයේ සීමිත පිරිසකට වාසි ලැබෙන මාෆියාවක් නීතිගත නොකර එය කාටත් විවෘතව පවතින අවස්ථාවක් ලෙසට ඇති කිරීමයි. එසේම එය කාටත් පොදු නීතියන් එම විවෘත නිදහස ආරක්ෂා කරයි. ක්ෂේත්‍රයේ සිටින අයෙක්ට තවත් තරඟකරුවකු වැලැක්වීමේ හැකියාවක් නැත. කොටින්ම ඊට ඉඩක් කිසිම විදිහකින් නැත!! එහි අනුලංඝනීය නීතිය වනුයේ නිදහස් විවෘත බවයි. එය කඩන්න ඉඩක් නොදීමයි. තරඟකරුවකු තවත් තරඟකරැවෙක් වළකාලීමට ඇති කෑදර කැමැත්ත රජය සහ නීති මඟින් වළකාලනුයේ පුද්ගල නිදහස සහ විවෘත බව යන පොදු නීතිය ආරක්ෂා කිරීමෙනි.

වෙළඳපොල එය විසින්ම නියාමනය කරගන්නා වූ මේ එකම සාර්ථක ක්‍රමය ස්වභාවික පොදු නීතිය ආරක්ෂා කිරීමයි!!

එහෙත් රජය කරන වෙළඳපොල නියාමනයන් තුලින් සිද්ධ වනුයේ කිසියම් ඒකාධිකාරියකට බලයක් යම් පාක්ෂික පිරිසකට පවරා දීමයි. එය තුලින් වෙනත් කෙනෙකුට වෙළඳපොලට පැමිණීම නීතියෙන්ම අහුරා දැමේ.

ඇතැම් විට පාරිභෝගියන්ගේ කැමැත්ත මත කිසියම් ව්‍යාපාරක් නිදහස් වෙළඳපොල තුල ද කැපී පෙනෙන්නට ඉඩ ඇති නමුත් එය නීති හෝ නියාමනයකින් සිදුවන්නක් නොවේ. හුදෙක් පාරිභෝගික කැමැත්ත නිසාම වන්නක් විය යුතුය. මන්ද එම කැපී පෙනෙන ව්‍යාපාරයට පවා තව කෙනෙකු වෙළඳපොලට පැමිණීම වැළැක්වීමේ හැකියාවක් හෝ නීතියක් නැත. ඔවුන් කැමති වුවත් නීතිය ඇත්තේ ඊට එරෙහිවය.ඒ නිසා ඒකාධිකාරයක් හෝ මාෆියාවක් නිදහස් වෙළඳපොළ සංකල්පය තුල පවතින්නට කිසිසේත්ම ඉඩක් නැති බව මින් පැහැදිලි වනු ඇතැයි සිතමි.

ලංකාවේ පවතින විවිධ ව්‍යාපාර දෙස බලා සමහරු චෝදනා කරනුයේ!! අර බලන්න ගසා කන හැටි! මිල ඉහල දාන හැටි! ප්‍රචාරණයෙන් මිනිස්සු මුලා කරන හැටි!! මෙවැනි චෝදනා කරන්නවුන් ඒ තත්ත්වයන් සිදුවන්නේ පවතින නියාමනයන් නිසා බවක් නිකමටවත් නොසිතයි. වෙනස්ව හිතන්න පුරුදු නැති එවැනි අය ඒ සියල්ල දැක, මෙන්න නිදහස් වෙළඳපොල ධනවාදයේ හැටි!! කියා තුමූම සතුටට පත්වෙති. එහෙත් එය කුමක්දැයි නිකමටවත් හොයා බලන පුරුද්දක් ඔවුන්ට නැත. තරඟකාරීත්වය නැති තැන ධනවාදයක් කෙසේ පවතින්නේ දැයි ඒ අයට වැටහෙන්නේ නැත්තේ කුමක් නිසාදැයි යන්න සෙවීම අපගේ කාලය අපතේ යැවීමකි. ඒ වෙනුවට අපි අපේ හැදෑරීම් කරගෙන යාම වැදගත්ය.

වන් මෑන් ෂෝ… ඇත්තේ නියාමනයේය

යම් භාණ්ඩයක් ගැන ගුණ අගුණ පිළිබඳව ප්‍රචාරණය තුලින් නිවැරදි තොරතුරු ලැබීම සිද්ධ නොවනුයේ ද මෙම නියාමනයන් නිසාමය. මන්ද නීති සහ නියාමනයන් තුල විවෘත සහ නිදහස් වෙළඳාම වළකා ඇති විටෙක පවතින ඒකාධිකාරී තත්ත්වයන් තම ප්‍රචාරණය කරනුයේ ඒකපාර්ශවීයවය. තරඟයක් වෙළඳපොල තුල නොපවතින නිසාම පාරිභෝගිකයා රවටන ප්‍රචාරණයන්ට ඇති තරම් ඉඩක් රජයේ නීති සහ නියාමනයෙන් සම්පාදනය කර දි ඇත. හොඳම එක තමයි .. අපේ එක!! යැයි කී විට ඊට අභියෝග කරන්නට කෙනෙක් නියාමනයක් සහිත වෙළඳපොලක් තුල නැත. එය වන් මෑ ෂෝ එකකි. මැච් එක ගහන්නේ තනියෙන් නිසා ඔහු ජයගන්නේ නිතැතිණි. එහෙත් නිදහස් වෙළඳපොලක් තුල පවතින තරඟකාරීත්වය නිසා හොඳ දේ අපේ එක යැයි එක්කෙනෙකුට කියන්න සින්නක්කර අයිතියක් නීතියෙන් ලබා නොදේ. එය පාරිභෝගික කැමැත්ත මත සහ වෙළඳපොල ගණුදෙනු අතර ස්වේච්ඡාවෙන් සිදුවන මැනීමකින් පමණක් සිදුවන්නකි.

අපේ එක තමා හොඳම එක

අපේ භාණ්ඩය තමා හොඳම එක!! යන්න නිදහස් වෙළඳපොල තුල පවතින ප්‍රචාරණයේ ද අහෝසි වෙන දෙයක් නොවේ. නියාමනය සහිත වෙළඳපොලක එය කීමට, එනම්!! අපේ එක තමා හොඳම එක!! යන්න කිව හැක්කේ රජය අවසර දුන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට පමණි. මොකද රජය වෙලඳපොලට විවිධ සීමා සහ නීති දමා ඇති නිසාවෙනි. එහෙත් නිදහස් වෙළඳපොලක එම තරඟයට එකතු වෙන කැමති තරම් ගණනකට කිව හැක. එය නීතියෙන් හෝ නියාමනයන්ගෙන් කිහිප දෙනෙකුට පමණක් සීමා කර නොමැත. එවැනි තත්ත්වයකදී හොදම එක!! විකුණා ගැනීමේ තරඟයට විකුණන්නන් සියලුම දෙනාටම තරඟයට අවතීර්ණ වීමට සිදුවේ. මොකද එහි වන් මෑන් ෂෝ නැති නිසා.

නොන්ඩි ගගහ හොරාට දුවපු අය පළමුවෙනියා වෙන්නේ එවැනි අයට පමණක් දුවන්න ඉඩ දීම තුලයි. ඒ වෙනුවට විවෘත තරඟයකට කැමති අයට සහභාගී වෙන්න ඉඩ දුන හොත් ජය ගන්නේ සුසන්තිකා මිස හොරාට දුවල කප් එක ගත්ත නොන්ඩි නැත්නම් ඇමෙරිකන් වුවත් තහනම් උත්තේජක ගත් රනර්ලා නොවේ!!!

බාල බඩු වලට පැවැත්මක් නෑ

භාණ්ඩයක් ගැන නිවැරදි තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඒ ගැන වැඩියෙන්ම අවස්ථාව ලැබෙනුයේ එම භාණ්ඩ වලට නිදහස් වෙළඳපොලක් තුල සැරිසරන්න ඉඩ දීමෙන් පමණි. රජයක් එම භාණ්ඩ වලට කරන නියාමනයෙන් අපිට ව්‍යාජ තොරුතුරු ප්‍රචාරණය වීමට වැඩි ඉඩක් ඇති අතර ඇත්ත තොරුතුරු වසං වීමේ අනතුර ද වැඩි බව මෙහිදී යළිත් සිහිපත් කරමු.

මේ නිසා ප්‍රචාරණය යන්න තුල පාරිභෝගිකයන් ගසාකෑම කරන්නට පුලුවන් වන්නේ මැදිහත් වීමක් ඇති විටෙක මිස නිදහස් වෙළඳපොල තුල යන්න මිථ්‍යාවකි. ව්‍යාජ තොරතුරු සහිත ප්‍රචාරණය නිදහස් වෙළඳපොලක ද පැවතිය හැකි නමුත් තරඟකාරීත්වය තුලින් අදාළ භාණ්ඩයේ පැවැත්ම ඉක්මණින්ම අහෝසි කර දමනු ලබයි. මන්ද පාරිභෝගිකයාට වෙනස් විකල්ප බොහොමයක් ඇති විට එකම දේට දෙපාරක් රවට්ටන්න නුපුළුවන් වීමයි.

මෙහි දී ජීවිතයට එක් වරක් පමණක් ගන්නා භාණ්ඩයක් ගැන කෙනෙකු ප්‍රශ්න කිරීමට පුළුවන. ඔව්, තොරතුරු සහ දැනුම යනු එක් අයෙක් පමණක් භාවිතයෙන් ලබාගන්නා එකක් නොවේ. කලින් ගත් අය රැවටුන දෙයක් ඊට පසු මිල දී ගන්නට බලගෙන ඉන්න අයට අදාළ භාණ්ඩය ගැන දැනුමක් ලබා නොදේද? එම නිසා නිවැරදි දැනුමක් ලැබීමට නම් වෙළඳපොල විවෘත භාවය පැවතිය යුතුය යන අතිමූලික කරුණ යන්න එහිදී තවදුරටත් ඔප්පු වේ.

වෙළඳපොල අනතුරැදායක බව නියාමනයෙන් වැළැක්වීම

වෙළඳපොලක් නිදහස් නොවී නියාමනයක් සහිත විට අනතුරක් නැත යන්න තවත් මුල් බැස ගත් බරපතල මිථ්‍යාවකි. ඇත්තෙන්ම වෙළඳපොල තුල සැම විටම සෑම භාණ්ඩයකම අනතුරක් ද ඇත!! ඇත්ත කතාව නම් එයයි!!

අප මිල දී ගන්නා භාණ්ඩයේ කිසිදු ආකාරයක දෝෂයක් නැත යන්න තුල පවතිනුයේ සම්භාවිතාවයකි. පාන් ගෙඩියක් වැනි ඉතා සරල දෙයක් මිල දී ගන්නා විටත් එය 100% ක් පිටි, ලුණු, යීස්ට් යනාදියෙන් වූ මිශ්‍රණය හරි ද? බර හරි ද? වසක්විසක් වැටුනා ද? සහ වෙනත් කරුනු 100% ක් හරි ද යන්න ගැන ඇත්තේ යම් ආකාරයක අනතුරකි. කිරිපිටි හෝ වෙනත් දේ වලට මෙන්ම සංකීර්ණ දේවල් සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය.

නමුත් මෙය නියාමනය තුලින් නැති කල හැකි ද?

මුලින් සඳහන් කල කිරිපිටි උදාහරණයම යළිත් මතක් කලොත් අපිට පැහැදිලි වනුයේ නිදහස් නොවූ නියාමනය තුල අපට ශරීරයට වඩාත් හිතකර කිරිපිටි ලැබී නැති බවයි. එහි දී ප්‍රචාරණය තුලත් රාජ්‍ය මැදිහත්ව පවරන ලද ඒකාධිකාරය තුලත් අපට තෝරාගැනීමේ නිදහස අහිමි කර ඇත. නියාමනය නිසා කිරිපිටි ගෙන්වන්න බලය දුන්න කිහිප දෙනා දෙන දේ ගන්න වෙලා තියෙනව මිස අප කැමති දේ ගන්නට ඉන් නිදහසක් ලබා දී නොමැත. මේ තමයි නියාමනයක මහිමය!!!

එහෙත් නිදහස් වෙළඳපොල තුල පවතින විවෘත බව තුල අපට තොරතුරු ලබාගැනීමේ ද නිදහස පවතින නිසා මෙන්ම තරඟකාරීත්වය ද පවතින හෙයින් තෝරාගැනීමේ කැමැත්ත සේ ම වඩාත් නිවැරදි සහ වඩාත් හොඳම දේ කුමක්ද යන්න දැන ගැනීමට පුලුවන.

දැන් අපි අපෙන්ම අප ඇසිය යුතු ප්‍රශ්නය වනුයේ නියාමනය තුලින් ද අපට වඩාත් නිවැරදි දේ මිල දී ගත හැක්කේ? නැත්නම් නිදහස් වෙළඳපොල තුලින් ද? යන්නයි.

වෙළඳපොල අනතුර අඩුවෙන් ඇත්තේ නිදහස් බව තුල ද? නියාමනය තුල ද? යනුවෙනුත් එම ප්‍රශ්නයම වෙනස් විදිහකින් ඇසිය හැක.

අවංකව නිදහස් චින්තනයෙන් යුතුව මෙම ප්‍රශ්නයට පිලිතුරු සොයන්නට යමෙක් උත්සාහ කරන්නේ නම් ඔහු හසරක් නොදැන අතරමංවීමක් කිසිසේත්ම සිදුවීමට ඉඩක් නැත.

2 Responses

Subscribe to comments with RSS.

  1. Indranatha Thenuwara said, on ජූලි 31, 2015 at 11:05 ප.ව.

    සංවාදයට බඳුන් විය යුතු හොඳ ලිපියක්.
    සංවාදයක ආරම්භයක්…!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: