අරුණි ශපීරෝ‍ වෙතින්

චෙසපීක් බොක්කේ නිල් කකුළුවන් ඇල්ලුවෙමි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 2, 2015

IMG_2724

අප්‍රේල් 1 දා සිට දෙසැම්බර් 15 දක්වා හිරැ උදාවෙන්න පැයකට කළින් පටන් ගැනීමට අවසර ඇති සහ හිරැ අවරට ගිහින් පැයක් තුල දී අවසන් කළ යුතු නීතියක් අපි කකුළුවන් අල්ලපු පැත්තේ තියනව. ඒ කකුළුවන්ගේ හිතසුව පතා නොව කකුළුවන් අල්ලන අයගේ ආරක්ෂාව උදෙසා, සමහර විට නීතිය නියාමනය කරන අයගේ පහසුව පිණිසත් වෙන්නත් ඇති, දාගෙන තියන නීතියක්. ඒ නීතිය වානිජ අරමුණින් මෙන්ම විනෝදය අරමුණු කරගත් අයටත් එක සේ බලපානව.

වානිජ අරමුණින් කකුළුවන් අල්ලන අයට වැඩියෙන් ගෙවන අවසර පතකින් වැඩියෙන් කකුළුවන් අල්ලන හැකියාව ලැබෙනව. ඒත් දහසක් නීති.

විනෝදය අරමුණු කරගෙන වුනත් කකුළුවන් අල්ලද්දී නීති බලපාන හැටි පහදගන්න නීතීඥයෙක් අවශ්‍ය වෙන තරම් ඒවා සංකීරණයි!!!!

දුසිම් දෙකකට අඩුවෙන් කට්ට ඝනකම පිරිමි කකුළුවන් වතුරට අතින් දාන කුඩා නෙට් එකකින් හෝ අතින් දෙපැත්තක ගැටහලා අදින ලණු වල උන් එල්ලෙද්දී අල්ලනවා නම් අවසරපතක් අවශ්‍ය නැහැ. ඒ වගේම අත්ලාන්තික් මුහුදේ, මුහුද පැත්තේ තියන බොක්කවල් හි සහ ඒ පැත්තෙ තියන අතු ගංඟා වල දී අල්ලනවා නම් ද අවසරපත් අවශ්‍ය නැහැ.

විනෝදය පිණිස වූ අවසරපතක් ඇත්නම් කකුළුවන් බුසල් දෙකක් අල්ලන්න පුළුවන් එක් අයෙකුට. එක බුසලක මේ වර්ගයේ කකුළුවන් 60 ක් පමණ. විනෝදයට අල්ලන්න අවසරපත් ඇති අයට ඒවා විකුණන්න තහනම්.

IMG_2707

IMG_2751

අපි ගියේ අත්ලාන්තික් මුහුදෙන් ඇතුලට ඇදී ගිය චෙස්පීක් බොක්කට. අවසරපත් අවශ්‍ය පැත්තට. කකුළුවන් වැඩියෙන් ඉන්න පැත්තට!!! ඒ වගේම උදෑසනින්. මොකද දවස පටන් ගනිද්දී තමයි උන් වැඩියෙන්ම ඇම ගිලින්නෙ.

මේ පැත්තේ වතුරෙන් ජීවිකාව උපයන අයට වැටිලා තියෙන නම තමයි වෝටර්මන්. ඔවුන් මාළුන් සහ කකුළුවන් අල්ලනවාට අමතරව බෙල්ලෝ වගාව එහෙම මුහුදේ අතු ගංගා ආශ්‍රිතව පවත්වාගෙන යන අය. මේ පැත්තෙන් යන මගී නැව් පදවන සහ බත්තල් ප්‍රවාහනයට සහාය දීලත් මුදල් උපයන අය. ඒ අයව බහුල වශයෙන් යොදාගන්නේ පරිස්ථානිය දැනුම තියෙන්නෙ ඔවුනට නිසා.

කවුරැ හරි දාලා තියෙන කකුළුවන් අල්ලන ලණු හෝ පෙට්ටි උඩින් වෙන කවුරැත් කපාගෙන යන විදියට (විනෝදයට හෝ වානිජ්‍ය) බෝට්ටු නොපැදීම හැමෝම අනුගමනය කරන චාරිත්‍රයක්. මහජන අයිතිය ඇති ජලයේ පුද්ගල අයිතියට ගරැ කිරීම.

මුලින්ම කරන්නේ දැනට කවුරැත් පෙට්ටි දාලා නැති තැනක් සොයා ගැනීම. අඩි හතරත්-හතත් අතර වතුර ගැඹුරැ තැන් තමයි වැඩියෙන්ම හොඳ. එක දිග ඉරක් විදියට තැනින් තැන පෙට්ටි වතුරට දාලා ගිහින් පටන් ගත්තු තැනට ආපහු එනව. මුල ඉඳන් දාපු එක එක පෙට්ටිය වතුරෙන් උඩට ඇදලා අරගෙනයි කකුළුවන් ඉන්නව ද බලන්නෙ.

පෙට්ටිය පියන් හතර අතට ඇරෙනව. ඒකෙ මැද රඳවන්නේ හරක් දිව, කවටි, කුකුල් බෙල්ල, ලුණු දාපු ඊල් මාළු වගේ දෙයක් ඇමට. ඊට පස්සේ පෙට්ටිය පතුලට වැටුනම ඇරෙන විදියට වතුරට දානව. පෙට්ටිය තියෙන තැන සලකුණු කරන්නෙ බෝයාවකින් (buoy). දැන් ඒක වතුරෙන් එළියට ගන්න කොට ලණුව ඉක්මණින් සහ ඍජුව උඩට ඇදෙන විදියට අදින්න ඕන. නැත්නම් දුන්නු කෑම වලට බොහොම ස්තූතියි කියල කකුළුවන් විගසින් පැනලා යන නිසා.

කකුළුවන් අල්ලන පෙට්ටි විස්සක් තිහක් දාන්න පුළුවන් විනෝදයට අල්ලන අයට. පෙට්ටි ටික වතුරට දාලා ආයේ පටන් ගත්ත තැනට එද්දී කකුළුවන් ඇවිත්. ඒක නිසා ඒවා දැම්මට පස්සෙ උන් ඇම කාලා යන්න කළින් අල්ල ගන්න ඕන. මුලින් දාපු පැත්තෙන් පටන් ගෙන අන්තිම එක දක්වා යද්දී හැම පෙට්ටියකින්ම වගේ කකුළුවෙක් දෙන්නෙක් බැගින් අල්ල ගන්න පුළුවන්. සමහර අවස්ථාවල දී පෙට්ටියක ඇම ඔක්කොම කාලා ගිහින් නම් අලුතින් ඇමක් දාන්නත් වෙනව.

තවත් ක්‍රමයක් තමයි දිග ලණුවක තැන තැන ඇම එල්ලලා ඒක වතුරේ දාලා තියන එක. එක පැත්තක සිට අනිත් පැත්තට බෝට්ටුවෙන් යන ගමන් අර ලණුවේ එල්ලිලා ඇම කන කකුළුවන්ව අතින් ගත්තු නෙට් එකකින් අල්ලගන්නව.

ජූලි 15 සිට දෙසැම්බර් 15 දක්වා අල්ලන පිරිමි කට්ට ඝනකම කකුළුවන් තියාගන්න පුළුවන් දිග අඟල් 5.25 ක් හෝ ඊට වඩා ලොකු නම් විතරයි. ඉතින් බුසල් බාස්කට් දෙකක් තියෙන්න ඕන බෝට්ටුවේ. එකක් අල්ලන අයව දාන්න. අනික මැනලා බලලා තියාගන්න අයව දාන්න. පෙට්ටි උඩට අරගෙන අල්ලන අතරේ දී මනින්න වේලාවක් නැති නිසා ඒක කරන්නේ අල්ලන එක නැවැත්තුවාට පස්සෙ.

සුක් යැයි මේ පැත්තේ අය හඳුන්වන සම්පූර්ණයෙන් වැඩුණු ගෑණු කකුළුවන් යම් අවම ප්‍රමාණයක් විය යුතු යැයි නීතියක් නැහැ. ඒත් ගෑණු කකුළුවෙක් අල්ලගන්න ලැබෙන්නේ කලාතුරකින්. පැය දෙකක දී අපිට අහුවුනේ එකෙක් පමණයි. සැලි යැයි හැඳින්වෙන්නේ තාම වර්ධනය හරියට සම්පූර්ණ වුනේ නැති ගැහැණු කකුළුවෙක්ව. උන්ව ආපහු වතුරට දානව.

පුරහඳ කාලයකට උන්ගේ කට්ට අලුත්වෙලා ඊට පස්සෙ අලුත් සෞම්‍ය කට්ටේ ප්‍රමාණයට මස් පිරෙන්න පටන් ගන්නව.

රතු ඇඟිලි තුඩු තියෙන්නේ ගෑණු කකුළුවන්ට. ගෑණු කකුළුවා හඳුනාගන්නේ උගේ යටිපැත්තේ ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ලේ වගේ පළල් බඩක් (ඒප්‍රනය) තියෙනවා නම්. ඒක චෛත්‍යයක හැඩයක්. ජිමි යැයි හැඳින්වෙන පිරිමි කකුළුවා හඳුනාගන්නේ යටිපැත්තේ බඩ වොෂිංටන් මොනියුමන්ට් එක වගේ පටු ඒප්‍රනයකින් යුතු නම්.

ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙන නීති රෙගුලාසි නිසාත්, ප්‍රාන්ත ආණ්ඩුවේ සහනාධාර බෙදීම නිසාත්, මේරිලැන්ඩ් පැත්තෙ කකුළුවන් ඇල්ලීම පහළ ගිහින්. ඒත් ලුයිසියානා ප්‍රාන්තයේ අල්ලන කකුළුවන් ගොඩක් මෙහෙ දී පරිභෝජනයට ගැනෙනවා. ඇමෙරිකාවේ ජීවත්වෙන වාසියක් එතැන දී දකින්න පුළුවන්. එක ප්‍රාන්තයක නීති රෙගුලාසි වැඩි කරද්දි තවත් ප්‍රාන්තයක් නීති සහ රෙගුලාසි අඩු කරලා යම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලට ඉදිරිපත් කිරීම. ෆෙඩරල් නීතියක් ගෙනාවේ නැත්නම් හරියට දේශීය විදේශීය තරඟයක් වගේ පාරිභෝගිකයාගේ වාසියට අනගි හා අඩුමිලට භාණ්ඩ ලැබෙනව. අනික, ඒ විතරක් නෙමෙයි වර්තමානයේ දී ධනවාදයෙන් සශ්‍රීක වෙන වියට්නාමයේ ද මේ වර්ගයේ නිල් කකුළුවන් වගාවක් දාන්න මේ පැත්තේ වෝටර්මන් කෙනෙක් ගිහින්. මේ දවස්වල ඒ ඒකීය පුද්ගලයාගේ පුද්ගලික උත්සාහය අති සාර්ථක ව්‍යාපාරයක් හැටියට කරගෙන යන බව අහන්න ලැබුණ. සමහර විට ඉතින් මෙහෙ අවන්හලක දී අයෙක් “මේරිලන්ඩ් කකුළුවෙක්” කියල කන්නේ වියට්නාමයේ කකුළුවෙක් වෙන්න පුළුවන්!!!

IMG_2646

IMG_2666

IMG_2670

IMG_2684

IMG_2717

IMG_2722

16 Responses

Subscribe to comments with RSS.

  1. ano said, on අගෝස්තු 2, 2015 at 10:53 ප.ව.

    තුක් විතරක්… පව්කාර යක්කු… ගෑනියි මිනිහයි තරඟෙට සත්තු මරන අපූරුව…

  2. Pavithra Lamahewa (@pavithrapl) said, on අගෝස්තු 4, 2015 at 1:07 පෙ.ව.

    For me life is life. People’ve spoke against him because doctor Palmar was a trophy hunter. You don’t have a right to kill anyone or anything for fun. You can say it’s legal and blah blah but majority of people in US will agree with me on this.

    • arunishapiro said, on අගෝස්තු 9, 2015 at 8:07 පෙ.ව.

      Pavithra Lamahewa,

      ලියපු නැති දේවල් අරගෙන තර්ක කරන්න එපා. වෙන ජීවිතයක් (කකුළුවෙක්ගෙ වුනත් :D) අහිමි කරන්න තවකෙකුට අයිතියක් ඇතැයි මම ලියල තියෙන්නේ කොතැනකදැයි පෙන්වලා ඊට පස්සෙ කතා කරන්න.

      ඔයා වතුර බොනවා ද?

  3. balasooriya lansakara said, on අගෝස්තු 7, 2015 at 12:11 ප.ව.

    ඈත්තටම ජීවිතේ මේ වගේ විවිධ අත්දෑකීම් ලබන්න තියනවනම් හරිම සතුටුයි.මම කියෙවුවා පරිවර්තනයක්.ඒකෙ ඉන්ග්‍රීසි නම “ටු කෑප්ටන්ස්”සින්හලට දාලා තිබුනේ “නිල් කකුලුවෝ” කියලා රචකයා “වෑනිඅමින් කවෙරිම් ඈලෙක්ස්සෑන්ඩ්‍ර” ඈත්තටම නිල් කකුලුවෝ ඉන්නවා කියලා දෑනගත්තේ ඔයාගේ මේ ලිපියෙන්.

  4. Sanjuu said, on අගෝස්තු 8, 2015 at 5:54 පෙ.ව.

    යකඩ දැලක් නවලා හදපු ඇඟල් 6 බට වලට පාන් කෑලි දාලා ලංකාවෙත් කකුලුවෝ අල්ලන පුලුවන්. ඉස්සර එහෙම අල්ලගෙන එතනම ගිනි ගොඩක් ගහලා කාලා තියෙනවා ඇති තරම්

    • arunishapiro said, on අගෝස්තු 9, 2015 at 8:24 පෙ.ව.

      Sanjuu,

      ඔව් විවිධ ක්‍රම තියෙනව මෙහෙත්. ඒත් ප්‍රාන්ත රජයෙන් අවසර ලැබෙන ඒවා පාවිච්චි නොකළොත් දඩ ගහනව. නිවැරදි භාජන පාවිච්චි කරනවාදැයි හොයා බලන අයත් ඉන්නව. උන්ව මැරැවට කමක් නෑ අපි කියන විදියට විතරක් මරන්න ඕනෑයි කියන සියල්ල දත් ආණ්ඩුව!!! මේ බොක්කේ ගොඩක් තැන්වල ඉබ්බෝ හරියට ඉන්න නිසා එහෙම හදන ඒවයේ උන්ට පිටවෙලා යන්න ඉඩක් තියන්නත් ඕන.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: