අරුණි ශපීරෝ‍ වෙතින්

මුහුදු නගරයේ වයිට් මාර්ලින් තරඟය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 10, 2015

White Marlin Open

මේ කියන මුහුදු නගරය හෙවත් ඕෂන් සිටී තියෙන්නේ අල්ලපු ප්‍රාන්තයේ. වැඩි දුරක් නැහැ අපි මායිම් අසබඩ වාසය නිසා. පහුගිය දවස් කිහිපය පුරා එහි පැවැත්වුනා මාළු අල්ලන තරඟයක්. ලෝකේ විශාලතම Billfish තරඟය යැයි කියලත් හැඳින්වෙනවා. බිල්ෆිෂ් කියන මාළු වර්ගයේ සුවිශේෂී ලක්ෂණයක් තමයි මාළුවාගේ කට උල් කූරක් වගේ හැඩයකින් යුතු වීම. ඒ කූරෙන් ඇනලා අනෙක් මාළුවව තොන්තු කරල නැත්නම් තුවාල කරල තමයි ඌව ආහාරයට ගන්නෙ. ෆුඩ් චේන් එකේ උඩින්ම ඉන්න නිසා බිල්ෆිෂ්ව මරන වෙන ලොකු මාළුවන් නැහැ.

ලොව විශාලතම බිල්ෆිෂ් මාළුවා යැයි සැලකෙන්නේ අත්ලාන්තික් නිල් මාර්ලින් මාළුවාව. මේ කියන මුහුදු නගරය තියෙන්නේ අත්ලාන්තික් වෙරළබඩ. ඒත් ඒ මාළුවා අත්ලාන්තික් සාගරයේ විතරක් නෙමෙයි ඉන්දියන් සහ ශාන්තිකර සාගරයේ ද වාසය කරනව. අර්න්ස්ට් හෙමින්ග්වේ ලියපු “මහල්ලා සහ මුහුද” කතන්දරයේ කියුබාව පැත්තේ දී සැන්තියාගෝ නම් මසුන් මරන්නා දවස් තුනක් නිල් මාර්ලින් මාළුවෙක් එක්ක හෙට්ටු වෙලා තියනව.

දැන් මේ තරඟයේ දී සුදු මාර්ලින්, නිල් මාර්ලින් දෙවර්ගයත් බලමාළු වැනි තවත් මාළු වර්ග එහෙම ඒ ඒ වර්ගය අනුව වැඩියෙන්ම බරැති මාළුවා අල්ල ගත්ත අයට තමයි තෑගි මුදල් දෙන්නෙ. එසේ මෙසේ ගානක් නෙමෙයි. ඩොලර් මිලියන හතරකට ආසන්න මුදල් තෑගි මල්ලක් තියෙන්නෙ. දැන් මේ ලියද්දී, ලොකුම සුදු මාර්ලින් මාළුවා හැටියට ලීඩර්බෝඩ් එකේ සටහන් වෙලා තියෙන්නේ රාත්තල් 94 ක මාළුවෙක්. එයාට ලැබෙන තෑගි මුදල හැටියට සඳහන් වෙලා තියන්නේ $1,176,113/- ක්. දෙවැනි ස්ථානයටත් මිලියනයකට එහා ලැබෙනවා. උඩ පින්තූරේ ඉන්න නිල් මාළුවාට ලැබෙන තෑග්ග $778,728/- යැයි සඳහන්.

තරඟයට ඇතුල්වීම සඳහා එක බෝට්ටුවකින් අය කරන්නෙ ඩොලර් දාහක ගාස්තුවක් ජූනි 1 දාට පෙර. ඊට පස්සේ ගාස්තුව ඩොලර් 250 කින් ඉහළ යනවා. හැබැයි ඉතින් තරඟෙට යන්න බෝට්ටුවක් තිබුණට මදි. මාළුන්ට දෙන ඇම සහ බෝට්ටුවට වැයවන ඉන්ධන ගාස්තු එහෙමත් ඕනෑ. ඉන්ධන ගාස්තුව වැඩිවෙන්නේ තරඟය පටන් ගත්තම හැකි තරම් ඉක්මණින් මාළු වැඩියෙන්ම ඇම කනවා කියල ඔත්තු එවන තැන් වලට යා ගන්න අවශ්‍ය නිසා. උන්ව අල්ලගන්න ගැඹුරැ මුහුදට යන්න ඕන.

ගිම්හාන මාස වල දී සංචාරය පිණිස මේ නගරයට මිලියන 6-7 ක් සෙනඟ එනව. ඒ අය අතර විනෝදයට මාළු අල්ලන සංචාරයන් සඳහා යන අයත් ගොඩක්. පළාතේ රේඩියෝ වලින් දවසේ ප්‍රවෘත්ති වලට අමතරව මාළු වාර්තා ගැන අහන්නත් පුළුවන්. කොයි මාළු වර්ගය කොයි ඇම කාල ද වැඩියෙන්ම කොයි පැතිවල දී අහුවුනේ වැනි විස්තර හොයලා වාර්තා හදන අය ඉන්නව. මාළු අල්ලන අය සඳහාම විකුණන පත්තර සඟරා තියෙනව.

මේ තරඟයේ අල්ලන ගොඩක් මාළු, ජයග්‍රාහී මාළු පවා නතර වෙන්නේ පළාතේ දුප්පතුන්ගේ ආහාර හැටියට. තරඟයේ දී මේ ලීඩර්බෝඩ් එක නිතරම වාර්තා කරන නිසා දිනන බර ප්‍රමාණයට ළඟින් නොයන මාළු අල්ලපු ගමන් මුහුදට ආයි විසිකරන අයත් ඉන්නවා. ඒ වගේම අත්ලාන්තික් මුහුදේ මාළු ගැන පර්යේෂණ කරන විද්‍යාඥයන්ට සහ පරිසරවේදීන්ටත් ඒවා ගැන සොයා බලන්න සාම්පල් එහෙම ගත හැකිවන පරිදි මේ තරඟයේ සංවිධායකවරැ පහසුකම් සලසනවා.

ඇල්ඩෝ ලියොපෝල්ඩ් කියන්නේ ඇමෙරිකන් කතුවරයෙක්, විද්‍යාඥයෙක්, පරිසරවේදියක්. පරිසරය ආරක්ෂා කරගන්න ව්‍යවසායකත්වය අවශ්‍ය යැයි දැකපු අයෙක්. දැන් සමහරැ ඔය Enviro-capitalists කියල හඳුන්වන්නෙ එහෙම අයව. ඔවුන් කරන්නේ මහජනතාවට විවෘත භූමිය සංරක්ෂණය, වනාන්තර ජනජීවීන් සඳහා ඉඩකඩ හදා දීම, වඳ වී යාමේ අවදානම් වලට මුහුණ දෙන සත්ව වර්ගයන් බේරා ගැනීම වගේ පරිසරයේ ගුණාත්මක බව වැඩි දියුණු කරන කටයුතු.

ආණ්ඩු වලින් ආරක්ෂා කරනවා කිව්වට ආණ්ඩු වලින් තමයි කාටවත් හොරෙන් ඉඩම් එහෙමත් විකුණලා දාන්නෙ. මෙහෙත් එහෙමයි. ඊයේ පෙරේදා කොලරාඩෝ ප්‍රාන්තයේ සිමෙන්ට් ක්‍රීක් සහ ඇනිමාස් ගඟ යන දෙකටම වතුර ඔරේන්ජ් පාට වෙන විදියට අත්හැර ගිය පතලකින් අපද්‍රව්‍ය යැවෙන විදියට වැඩ කළේ පරිසර ආරක්ෂාව සඳහා වූ ඒජන්සිය. ඒ විතරක් නෙමෙයි වසවිෂ කොච්චරක් එකතු වෙලාද කියන තොරතුරු හෙළි කරන්නත් ෆෙඩරල් නිලධාරින් දැන සිටියාට ඒක කරන්නෙ නැහැල්ලු!!!

ඒත් ඉතින් හැමදාම ආණ්ඩුව යමක් කරන තෙක් බලාගෙන ඉන්නෙ නැති මිනිස්සු ලෝකෙ ඉන්නවානේ. ආණ්ඩු අර සංරක්ෂණය මේ සංරක්ෂණය කියල සල්ලි වැය කරද්දී මේ අය, අර මී මැසි පාලනයේ යෙදිච්ච බර්ට් ෂැවිට්ස්ගේ ආදරවන්තිය වගේ අය, තමන්ගෙ සල්ලි වලින් ඒවා සංරක්ෂණයට කටයුතු කරනව.

දඩයමේ යන අයට බලපත්‍රයක් මිල දී ගන්න අවසර දීමෙන් ඒ පළාතේ වන සත්තුන්ට ජීවත්වෙන්නට හැකි පරිසරයක් රැක ගන්න ඉඩම් හිමියන්ට වාසියක් සිද්ධ වෙනව. වාසි ලැබෙන නිසා ඉඩම් හිමියන් ඒවා ආරක්ෂා කරන නිසාම ඒ සත්තුන්ට ජීවත්වෙන්නට භූමියක් ලැබෙනව.

පුද්ගලික කළමනාකරණයෙන් සිද්ධ වෙන දඩයම් කැලෑවන් නිසා සත්වයන් බෝ වීම වැඩි වී උන්ට ජීවත්විය හැකි වනාන්තර ද වැඩි වී යන හැටි දකින්න පුළුවන්.

ඒත් සත්වයන් ගැන අනුකම්පාවෙන් කතා කරන අය අලි ඇතුන් සිංහයන් ව්‍යාඝ්‍රයන් හා ජීවත්වන්නට සිද්ධ වෙන මිනිසුන් ගැන වැඩිය කල්පනා කර බලන්නේ නැත.

සිම්බාබ්වේ අපි සිංහයන් වෙනුවෙන් නොහඬමු, මැයෙන් සටහනක් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවුයේ සෙසිල් නම් සිංහයා මරා දැමීමත් සමඟ. ඒ සටහන ලියන්නේ සිම්බාබ්වේ ගමක ජීවත් වී අද ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. සෙසිල් ගැන දුක්වෙන අය වනජීවි සංරක්ෂණ පෙදෙස් වලින් වටවී ඇති ගම්මාන වල ජීවත්වෙන මිනිසුන්ව මරා දාන සිංහයන් ගැන දන්නවාදැයි ඔහු විමසයි.

ඔහුගේ ගමේ දී සිංහයා යනු ජීවිතය අහිමි විය හැකි භයංකර සතෙකි. භෝග වගාවන් ආරක්ෂා කරගන්නට, පාසැල් යන්නට, සෙල්ලම් කරන්නට නැතහොත් නිදහසේ ජීවත්වෙන්නට ඉඩක් නොදෙන්නෙකි. ඉතින් සිහිවටන සොයන සුද්දෙක් ඇවිත් ඌ මැරැවා ද, නැත්නම් පළාතේ අයෙක් මැරැවා ද නැත්නම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මැරැවා ද යන්න වැදගත් නොවන සාධකයක් යැයි ඔහු පෙන්වා දෙයි.

සිංහයන් වෙතින් මරැමුවට පත් වූ අය ගැනත්, උන් නිසා බඩගින්නේ සිටින්නට වූ අය ගැනත්, දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් බැට කෑ අය සහ හාමතේ සිටීමට සිද්ධ වූවන් ගැනත් ඒ සමඟම කණගාටුව ප්‍රකාශ කරන්නට බැරි නම් ඔහු ඉල්ලා සිටින්නේ සෙසිල් නම් සිංහයා මිය යාම ගැන කණාගාටුව ප්‍රකාශ කරන්න එපා යැයි කියායි.

7 Responses

Subscribe to comments with RSS.

  1. indranathathenuwara said, on අගෝස්තු 10, 2015 at 7:34 පෙ.ව.

    අපි තලපත් කියන්නෙ මේ මාලුවාට නේද..??
    තලපතාගේත් වර්ග දෙකක් ඉන්නවානෙ..මස අනුව.
    මස් බුරුල් එකා සුදු තලපතා. මස හයිය නූල් වගේ හැපෙන එකා රතු තලපත්..

  2. විචාරක Wicharaka said, on අගෝස්තු 10, 2015 at 12:26 ප.ව.

    ‘කොප්පරා’ කියලා ලංකාවේදී හඳුන්වන මාලුවද මේ?

  3. Pra Jay said, on අගෝස්තු 11, 2015 at 3:01 පෙ.ව.

    සෙසිල් ගැන ඒ සිම්බාබ්වේ ශිෂ්‍යයයා කියපු දේ අලි ගැන කියන ලංකාවෙ අලින්ගෙන් බැටකන මිනිස්සුත් ඉන්නවා. ඒත් ඒ මිනිස්සු ඒ කියන්නෙ තමන්ට වන හානිය නිසා තරහෙන්. සතුන් සමහ ගැටුම් ඇතිවීමට අඩුකිරීම සඳහා කලමනාකරණය මිසක් ඒ මිනිස්සුට ඕනැ විදිහට සතුන් මැරුවොත් එක සතෙක්වත් ඉතුරුවෙන්නෙ නෑ.

    Trophy hunting වලින් සිම්බාබ්වෙවල ආර්ථිකයට සෑහෙන ආදායමක් ලැබෙනවා. ඊටත් වඩා ආදායමක් සංරක්ශිත උද්යානවල සතුන් නැරබීමෙන් ලැබෙනවා.

    සෙසිල්ව ආරක්ශිත ප්‍රදේශයෙන් උපක්‍රමිකව එලියට ගත්ත එකයි වැරද්ද. දඩයම් කිරීමට නීති රෙගුලාසි තියෙන්න ඕනෙ. ඒව කඩ කලොත් දඬුවම් දෙන්න ඕනෙ.
    අනිත් එක ඊතලෙන් විදල පැය 40 වද විඳින්න දීපු එක. වෘත්තීමය දඩයම්කරුවන් තමන්ගෙ ක්ලයන්ට් තුවාල කරන සතා හොයා ගිහින් පුලුවන් තරම් ඉක්මනට මරන්න ඕනෙනෙ.

    මං පුද්ගලිකව සතුන් අවශ්යතාවයකට මරන එකට විරුද්ධනෑ. එහෙම නැතිව වුනත් විනෝදාංශයකට දඩයම් කිරීමේ ආසාවත් තේරෙනව (endangered නොවන සතුන් ).
    මං Stalking, Thrill of the chase, Shooting ඔක්කොටම ආසයි ඒත් මැරුවට පස්සෙ regret කරන නිසා ඒක කරන එකක් නෑ.

    මට පෙන්නන බැරි දේ සතුන් මරන එක නෙමෙයි අනවශ්‍ය ලෙස සතුන්ට වද දෙන එක. මිනිසුන්ට වගේ මරණය ගැන concept එකක් සතුන්ට නෑ ඒත් මිනිසුන්ට වගේම වේදනාව දැනෙනව. ඒනිසා සතෙක් මරන කොට හැකි අවම වේදනාවෙන් humanely කරන්න ඕනෙ කියන එක මගේ විශ්වාසය.

    මං මේ කියන එක politically correct නොවෙන්න පුලුවන්….. කතා කල නොහැකි චන්ද බලය නැති සතෙක් වේදනා විඳීම ගැන කතා කල හැකි උදව් ඉල්ලිය හැකි පවුලක් , ගෝත්‍රයක්, පක්ශයක්, ආගමක් ආදී විවිධාකාර දේවලින් උදව් ලැබිය හැකි මිනිසෙක් වේදනා විඳීමට වඩා මට දුක හිතෙනව.

    • arunishapiro said, on අගෝස්තු 16, 2015 at 7:50 පෙ.ව.

      Pra Jay,

      ස්තූතියි. මේ ගැන politically incorrect සංවාදයක් තමයි කරන්න ඕන. Pra Jay කියන කරුණු බොහොමයකට මාත් එකඟයි. මමත් කකුළුවන් ඇල්ලුවාට තාම කකුළුවෙක්ව උතුරන උණු වතුර භාජනයකට දාලා නෑ … ඒකට ඇති පසුබෑම අපි හැදිච්ච වැඩිච්ච පසුබිමෙන් හැඩ ගැහිලා තියෙන සිත. ඒත් මෙහෙ අය හැදිලා වැඩිලා තියෙන්නේ සතුන් ඉන්නේ ඔවුන්ගේ ආහාර පිණිස යැයි පිළිගත් සමාජයක. මම කකුළු මස් කමින් ඌව මරන්න අකමැතියි. ඔවුන් සතුන් ඇතිදැඩි කරල උන්ව ආහාරයට ගන්න තමන්ම මරනව. ඉතින්, යම් සත්ව පිරිසකට ආහාර නොමඳව ලැබෙන, නිරෝගීව වැඩෙන්නට බලා කියා ගන්න, වෙන සතෙකුගේ දඩයමක් නොවී වැඩෙන්නට සහ සමහර විට පැටව් ගහන්නටත් ඉඩ ලැබී අනතුරැව ඒ තම උප්පත්තිය හා තම පැටව්ගේ උපත ඇතිවීමට හේතු පාදක වූ මිනිසා නිසාම මිය යන්නට සිද්ධ වෙනව.

      සත්ව ආහාර දාමයේ (food chain කියන්නේ එහෙම නම්) එක සතෙක් අනෙක් සතෙක්ව සිය ආහාර පිණිස හෝ සිය ආරක්ෂාව පිණිස මරන්න යද්දී අපිට මැදිහත් වෙන්න බැහැ. ඔව්, සිතන්න පුළුවන් මිනිසා අනෙක් සත්වයන්ට වඩා වෙනස්. ඒත් ඒ හිතන්න පුළුවන් මිනිසා මස් පිණිස දඩයමට යද්දී, සමහර විට ඔහු විසින්ම ප්‍රාණය ලැබෙන්නට ඉඩ පාදා දී හදා වඩා ගත් සතෙක්, ගැන එවිට අපිට කියන්නට පුළුවන් වේදනා විඳින්න ඉඩක් තියන්න එපා කියල විතරයි. මිනිසාට ඒ ගැන සිතන්න පුළුවන් නිසයි එහෙම ඉල්ලන්නේ, ඒ ගැන නීතියක් පනවන්නේ නම් ඔහුට අවබෝධයක් ලබන්නත් පුළුවන්.

      සංරක්ෂිත උද්‍යාන නැරඹීමෙන් ලැබෙන ආදායම වැඩි නිසා පමණින් (එහෙම නම්) දඩයම් සඳහා අවස්ථාවන් අහෝසි කරන්න බැහැ. දඩයම් කිරීමෙන් විනෝදයක් ලබන මිනිසා එවිට නීත්‍යානුකූල නොවන මාර්ග වලින් එයට පොළඹවන්නේ ඊට නීත්‍යානුකූලව ඉඩ නොදෙන අපි. ඒ කියන්නේ අපි නීතියක් ගෙනැවිත් මිනිස් ස්වභාවයක් එසේ යැයි පිළිනොගෙන ඔහුව නීතිවිරෝධී අයෙක් කිරීම. මත්පැන් පානය, සිගරට් හා මත්ද්‍රව්‍ය අයෙකුට සුදුසු නැතැයි අපිට පෙන්වා දෙන්නට පුළුවන්. ඒත් අයෙක් ඒවායේ නියැළීමට මාර්ග සොයා ගැනීම නතර කළ හැකියාවක් ලොව නැති බව සාක්කි පෙන්වන්නේ.

      ළාබාල දරැවන්ට සිගරට්, මත්පැන්, මත්ද්‍රව්‍ය විකුණන්න එපා යැයි නීති ගේනවා වගේම සතෙක් මරද්දී වදහිංසා වලින් තොරව මරන්න යැයි කියාත් පනවන නීතියකට පමණක් පක්ෂපාතී විය හැකියි. එතැනින් එහාට පින් පව් කියන්නේ එහි නියැළෙන මිනිසාගේ තෝරාගැනීමක්. මගේ මුදල් වලින් අනුන්ට දානේ දෙන්න නීති ගෙනෙන්න එපා කියනවා වගේම😀 අනුන් කැමැත්තෙන් වරදේ නියැළීමටත් එරෙහිව මට නීතියක් ගෙනෙන්න බැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: