අරුණි ශපීරෝ‍ වෙතින්

කොච්චර සරල දැයි කිව්වොත් වටහා ගැනීම අසීරැයි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 21, 2015

IMG_3448

නවසීලන්තයේ කිරි ගොවියන් දුෂ්කර කාලයකට මුහුණ දෙමින් සිටිති. නැහැ වරදවා වටහා ගන්න එපා. ඒක ලංකාවේ කට්ටියක් “වසවිෂ පිරි” ෆොන්ටේරා කිරිපිටි වර්ජනය කරපු නිසා නෙමෙයි. කොහෙත්ම නැහැ!

වසරකට ඉහත දී නවසීලන්තයේ කිරිපිටි ඉල්ලුම නැඟලා ගියේ චීනයේ ආර්ථිකය නඟිද්දී. ඒ වගේම යුරෝපීය යුනියනය තම රටවල කිරි නිෂ්පාදනයට කෝටා නියම කරල තියෙද්දී. රැසියන් හමුදාව ක්‍රයිමියාව අල්ලන්න යද්දී (වාමාංශිකයන් කරද්දී ඒවා අධිරාජ්‍යවාදී උත්සාහයන් නෙමෙයිලු) ඒකට විරෝධය පාන්න යුරෝපීයයන් රැසියාවට සම්බාධක ගෙනෙද්දී, රැසියාව කළේ යුරෝපීය ආහාර නිෂ්පාදන තහනම් කිරීම. යුරෝපීය කිරි ආහාරත් ඒ ආනයන තහනමට ලක් වූ නිෂ්පාදනයක්. ඉතින් ඔය වගේ හේතු නිසා වසරකට පෙර නවසීලන්තයේ කිරිපිටි වල ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගියා. සුදු රත්තරන් සොයා යෑම (white-gold rush) යැයි සැලකෙන්න පටන් ගත්ත. චීන ආයතන නවසීලන්තයට ගිහින් කෘෂිකාර්මික ඉඩම් මිල දී ගන්නයි කිරිපිටි හදන කම්හල් මිල දී ගන්නයි පොරකෑව.

වසරක් ගෙවී යද්දී, චීනයේ දියුණුව හිතපු වේගයෙන් යන්නේ නැති බව පෙනෙද්දී, ඒ අස්සේ ඔවුන් චීනයේම කිරිපිටි නිෂ්පාදනය වැඩි කරද්දී, අද නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි පරිභෝජනය චීනයේ අඩු වී ගිහින්.

නවසීලන්තය “සුදු රත්තරන්” හොයන බව දැක්ක යුරෝපීය යුනියනය එහි කිරි ගොවියන්ට දාලා තිබ්බ කෝටා ක්‍රමය අහෝසි කරනවා. ජර්මනියේ, නෙදර්ලන්තයේ (මැදිහත්වන රෙගුලාසි අඩුම යුරෝපීය රටවල්) කිරි නිෂ්පාදනය ඉක්මණින් ඉහළ යනව. රැසියාවට විකුණපු කිරි නිෂ්පාදන යවන්න වෙන රටවල් හොයාගන්නත් යුරෝපීය ගොවියන් සමත් වෙනව. රැසියාවට කිරිපිටි යවන්න චීනය සමත්වෙනව. ඉතින්, නවසීලන්තයේ කිරිපිටි ගොවියන්ට දැන් අර මොනා කළත් නැතිකරන්න බැරි වෙළඳපොල තරඟයට මුහුණ දෙන්න වෙලා.

ලෝකයේ විශාලතම කිරි ආහාර අපනයන ආයතනය වූ ෆොන්ටේරා කියන නවසීලන්තයේ කිරි ගොවියන්ගේ සමූපාකාරයට, වසර දෙකකට පෙර එහි සාමාජිකයන්ට ගෙවූ මුදලෙන් (NZ$8.40) අඩකටත් අඩුවෙන් තමයි (NZ$2.55) මේ කන්නයේ ඝන කිරි කිලෝවකට බැගින් මුදල් ගෙවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනයට යන වැය කපාගන්නවත් බැහැ.

බඩු මිල ඉහළ යද්දී පාරිභෝගිකයා රාජ්‍ය මැදිහත්වීම් ඉල්ලනව. බඩු මිල පහළ යද්දී නිෂ්පාදකයා රාජ්‍ය මැදිහත්වීම් ඉල්ලනව. පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන් වෙතින් හැදෙන, බුද්ධිමත් වෙන්නට ඉඩ නොදෙන ලෙසකට බෙදූ අධ්‍යාපනයෙන් පෝෂණය වූ ජනතාව මේවට මැදිහත්වෙන්න කියල රජයක් පත්කරගන්නේ රජයක් යනු දෙපැත්තටම වාසි වෙන පරිදි හසුරැවන්න දැනුම ඇති පද්ධතියක් කියල හිතන වැරදි විශ්වාසය නිසා. අන්තිමේ දී හැම විටකම බරපැන ගෙවන්නේ තමන්ම බව පාරිභෝගිකයා පිළිගන්නේ නැහැ.

ෆොන්ටේරා ආයතනයේ බොස්, තියෝ ස්පියරින්ග්ස් නවසීලන්ත රජයෙන් ඉල්ලනවා යුරෝපයේ වගේ මිල-මැදිහත් වන ප්‍රතිපත්තියක් ගෙනෙන්න කියල. බටර්, කිරිපිටි වැනි දෑ මිල පහළ යද්දී යුරෝපීය යුනියනය විසින් ඒවා මිල දී ගෙන ගබඩා කරන ප්‍රතිපත්තිය. සීඝ්‍රයෙන් ඉල්ලුම වැඩිවෙද්දි එය අඩුවෙන දවසකුත් එනවා යැයි හිතන්න ෆොන්ටේරා සමූපාකාරයේ ගොවියන්ව දැනුවත් නොකළේ නැත්දැයි අහන්න කවුරුත් එතැන නොසිටීමේ වරදට වන්දි ගෙවීම, මෙවැනි මැදිහත්වීමක් ගෙනාවොත්, බදු ගෙවන ජනතාව පිට පැටවෙනව.

ඒත් මැදිහත්වීම් ඉල්ලන ලෝක ජනතාවක් එයින් පාඩමක් ඉගෙන ගනියි ද? නැහැ, චීන රජය රැසියාවට විකුණන සිය කිරිපිටි නිෂ්පාදන වැඩි කරන්නට, රැසියාවේ මායිම්බඩ Mudanjian නගරයේ කිරි හරක් ලක්ෂයක ගොවිපොලක් පටන් ගෙන!!!!! චීනයේ රටේ ඇතුලත කිරිපිටි ඉල්ලුම අඩුවෙමින් යන කාලයක.

රජයක් මිල පාලනය දන්නෙ නැහැ. පාරිභෝගිකයා වෙනුවෙන් බඩු මිල අඩු කරන සත්‍ය හැකියාව ඇත්තේ වෙළඳපොල තරඟයට යැයි අවබෝධයට කරුණු කාරණා හොයාගන්න ජනතාවක් බුද්ධිමත් වෙන්න ඕන. ඒ වගේම ආණ්ඩුවක් නිෂ්පාදකයන් බේරාගනිද්දී සල්ලි අඩුවෙන්නේ තමන්ගෙ පොකැට් එකෙන්මයි කියන අවබෝධයටත් කරුණු කාරණා හොයාගන්න ජනතාවක් බුද්ධිමත් වෙන්න ඕන.

ගොවියන් අතර බම්පර් ඵලදාව (bumper crop) කියන්නේ වගාවකින් අනපේක්ෂිත ලෙසින් වැඩියෙන් ඵලදාවක් ලැබීම.

මම ඉන්න පැත්තේ ගොවියන්ට බම්පර් ඵලදාවක් ලැබෙන වගා සමයක් දැන්. නිසි කලට පාත්වුනු වැස්ස හා අව්ව නිසා ඩෙල්මාර්වා හි තිරිඟු, සෝයා, සූර්යාකාන්ත මල්, වීට් වර්ග ගොවිතැන් අතිශය සරැ ලෙස වැඩී තියෙනව. මේ දිනවල ඛනිජ තෙල් මිල සෑහෙන්න පහළ ගිහින් නිසා වගාව වෙළඳපොලට ගෙනියන වැයත් අඩුයි.

මේ පැත්තේ වැවෙන තිරිඟු සහ සෝයා සම්පූර්ණයෙන්ම වාගේ මේ පැත්තේ විශාල පරිමාණයෙන් ඇතිදැඩි කෙරෙන කුකුලන්ගේ ආහාරයටයි ගැනෙන්නෙ. ඛනිජ තෙල් මිල අඩුවීමත්, කුකුල් ආහාර මිල අඩුවීමත් යනු කුකුලන් නිෂ්පාදනය කරන අයටත් වැඩි ලාබ ලැබෙන කාලයක්. අර රටේ අනිත් පැතිවල ගිය කුරුළු උණ මේ පැත්තට පාත්වුනේ නැත්නම්.

ඉඩෝරයක්, සුළි සුළඟක් එද්දී පමණක් ගෝලීය උණුසුම මතක් කරමින් වාර්තා ලියන මාධ්‍යවේදීන් දැක්කෙ නෑ වගේ හිටියට ගොවියන්, අක්කර සිය ගණන් වලට වතුර දාන්න සිද්ධ නොවෙච්ච නිසා, ඉතුරැ කරගත්තු සල්ලි වලින් බම්පර් ඵලදාව විකුණගත්තට පස්සේ මිල දී ගන්න ගොවි ආම්පන්න සහ ගෙනෙන පරිභෝජන භාණ්ඩ ගැන කතාබහ දැනටම පටන් අරන්. මේ පැත්තෙ ඉන්න අය අතර නම් රජය මැදිහත්වෙලා ඵලදාව වැඩිවුන නිසා අඩුවෙන බඩු මිලට සහතික මිලක් ඉල්ලන කතා නැහැ.

කිරිපිටි මිල පහළ යෑමේ අර්බූදයට මුහුණ පා සිටින නවසීලන්තයටත් බම්පර් වසරක් උදාවෙනවා වෙන පැත්තකින්. ඒ සිනමා කර්මාන්තයෙන්. ඩේව් ගිබ්සන් නම් සිනමා ‘කොමිස්සාර් සහෝදරයා’ කියන්නේ ආණ්ඩුව විසින් නියම කරපු සහනාධාර තොගයක් නිසා දේශීය සහ විදේශීය සිනමා උත්සාහයන් ගලා ඇවිත් 2015 ඔවුනට බම්පර් වසරක් වෙන බවයි.

පොඩ්ඩක් හිතන්න. දිනන්නේ සහ පරදින්නේ කවුදැයි තීරණය කරන්න (දන්නවා යැයි කියාගත්තට ඒත් නොදන්න බව හැම විටම ඔප්පු කරන) සහනාධාර, සහතික මිල, කෝටා, බේරාගැනීම් යනාදිය සපයන්නට ආණ්ඩුවක් මැදිහත්වෙන්නේ නැත්නම්? අවදානම් ගන්න අය ඒවායෙන් ලාබ ලබද්දී ඒවා තියාගන්නටත්, පාඩු විඳිද්දී ඒ බරපැණ දරන වගකීමටත්, ඉඩ දීලා ආණ්ඩුවක් පැත්තකට වුනොත්? කාට ද වාසි?

කොච්චර සරල දැයි කිව්වොත් මෙය වටහා ගැනීම ඉතා අසීරැයි!!!

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: