අරුණි ශපීරෝ‍ වෙතින්

ජාන දැනුම සහ සත්ව කරැණාව

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 24, 2015

IMG_5424

සත්ව කරැණාව සහ සත්ව අයිතීන් ගැන දැඩි ලෙසකින් හඬ නඟන බහුතරය එහෙම කරන්නේ විසල් ව්‍යාපාරවලට සහ ඒකීය පුද්ගල තෝරාගැනීම් සඳහා ඉඩක් ලැබෙනවාට විරැද්ධත්වය දක්වන්නට.

සත්ව පරිපාලනය නිසා ලෝකයේ කොතරම් ජනතාවක් කුසගිනි නිවාගැනීම පමණක් නොව නිරෝගීව වැඩෙන්නට පෝෂ්‍යදායක ආහාර පහසුවෙන් ලබාගත හැකිදැයි ගැන මේ අය විමසා බලන්නේ නැහැ. හැමෝටම තමන්ගෙ වත්තෙ වවාගත්තු ආහාර වලින් නිරෝගීව වැඩී ජීවත්වෙන්නට තරම් ලෝකයේ භූමි ප්‍රමාණාත්මකව ඉඩ නැතිකම එක සාධකයක් විතරයි.

ආහාර පිණිස වූ සත්වයන් කෝටි ප්‍රකෝටි ගණනකින් ලොව බිහිකරලා, වනයේ වාසය කරන සත්තුන්ට වඩා නිරෝගී ජීවිත ගත කරන්නට අවස්ථාව පාදල දීලා, ආහාර දාමයේ තමන්ට වඩා ඉහළින් ඉන්න සතෙකුගේ ගොදුරක් නොවී වැඩිවියට පැමිණිලා, කෲරත්වයෙන් තොර වූ මරණයකින් මිනිසාගේ ආහාරයක් වෙන දියුණු ලෝකයකට අපි පිවිසිලා ඉන්නේ.

ආහාරයට සතෙක් මැරීම පවක් ද නැද්ද යන්න ඒකීය පුද්ගලයාගේ තෝරාගැනීමක්. ලෝක ජනගහණයෙන් පිරිසක් මස් කන නිසා අනිත් අයට ප්‍රමාණවත් තරමට අනෙකුත් තෝරාගැනීම් ලැබෙනවා යැයි ඕනෑ නම් අයෙකුට තර්ක කරන්න පුළුවන්.

කිරි හා මස් පිණිස ඇතිදැඩි කරන ගවයන්ට අං වැඩෙන්න ඉඩ නොතැබීම උන්ගේම ආරක්ෂාවට (අං කැඩිලා ලේ ගැලීම සහ ලෙඩ බෝවීම), උන්ව ඇතිදැඩි කරන අයගේ ආරක්ෂාව සහ ගොවිපොලේ ආම්පන්න වලට හානි නොවීමත් සඳහා කරන වැඩක්. උන්ට ලාඩම් ගහන්න, ලෙඩක් හැදුනම ප්‍රතිකාර කරන්න, පැටවුන්ට කිරි දෙන්න වැනි අවස්ථාවල දී ගවයාටත් මිනිසාටත් උවදුරැ නොපැමිණෙන්න දාන කොටු වල දී මේ අං නිසා සත්වයාටත් මිනිසාටත් තුවාලවීම වළක්වා ගැනීමට කරන වැඩක්. සමහර අවස්ථාවල දී අං විශාල නිසා උන්ට කෑමට ළංවිය නොහැකි වීමත් සහ අං විශාල ගවයන් සඳහා විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය වීමත් තවත් හේතු.

ස්වභාවයෙන්ම අං නැති සත්ව වර්ග ඉන්නව. ඒත් කිරි ගවයන් අතර ඉන්න ඒ අය කිරි වැඩියෙන් නිපදවන්න සමත් වර්ගය නොවේ. ඉතින් පුංචි කාලේ ඒ කිරි ගවයන්ගේ අං ඉවත් කරල දාන පිළිවෙතක් ගවයන් ඇතිදැඩි කරන අය අනුගමනය කරනව. උන්ට වේදනා නාශක බෙහෙත් දීලා කළත් ඒ වැඩේ කරන්න අකමැත්ත දක්වන අය ලොව වැඩියි.

අර විසල් සමාගම් තියෙන්නේ, ඒවා හදන දේවල් කන බොන ඒත් ගොඩක් දෙනා ඒවා විසල් නිසාම අකමැති සමාගම්, ජෙනරල් මිල්ස් සහ නෙස්ලේ වැනි, අන්න ඒවත් කිරි ගොවියන්ට කියනව මේ අං අයින් කරන වැඩේ නවත්තලා දාන්න, අං නැති සත්තු ඒ වෙනුවට කිරි නිෂ්පාදනයට යොදාගන්න කියල.

ස්වභාවයෙන්ම අං නැති සත්ව වර්ගයන්ගෙ ජාන සහ කිරි වැඩියෙන් නිපදවන්න සමත් අං ඇති සත්ව වර්ගයන්ගේ ජාන වලින් දැනුම අරන් අං නැති කිරි වැඩි ගවයන් බිහිකරන ජානමය හැඩගැස්මක වෑයමක් (මිනෙසෝටා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය ලිපියට සබැඳියෙන් යන්න) පටන් ගන්නේ Recombinetics නිර්මාතෘ ස්කොට් ෆාරෙන්කෘග් විසින්.

තමන්ගෙ තනපුඩුව තම දරැවටත් එළුවෙකුටත් දෙන මවකගේ පින්තූර මහා සත්ව කරැණාවක් හැටියට බෙදාගන්න අයව මම දැකලා තියෙනව. ඒක අගයමින් ඒත් කිරි ගවයන්ගෙ කිරි ඒ එළදෙනගෙ පැටියට විතරක් ප්‍රමාණවත්ව නිපැදෙනව කියල හිතන අයත් ඉන්න බව දකිනව. මේ සටහන ලියන්නේ ඒ අයට නෙමෙයි. දැනුම මට්ටම ඊට වඩා වැඩියෙන් තියන අයට.

උණුසුම් වෙන ලෝකයක ගවයන්ට වැඩියෙන් උෂ්ණත්වය දරාගන්න හැකියාවත් අර ජානමය වෙනස් හැඩගැසීමෙන් පිළිගන්වන්න පුළුවන් ක්‍රමයක් ස්කොට් ෆාරෙන්කෘග් සොයාගන්නව.

ලෙඩ රෝග වැළඳීම අඩු කරගත ඌරැ පැටව්, වැඩියෙන් මස් ඇති එළුවන් එහෙම ඔහුගේ අනිත් නිර්මාණ අතර පවතින ඒව.

මස් පිණිස ඌරන් ඇතිදැඩි කරද්දී පිරිමි සතා කරාඹන්නේ උන් වැඩිවියට පත්වෙද්දී උන්ගෙ මස් ගඳ ගහන්න පටන් ගන්න නිසා. ඒකත් සත්වයන්ට වේදනාව ගෙනෙන (වේදනා නාශක දෙන්නේ ඒ නිසා) වැය අධික පිළිවෙතක්. ඉතින් විස්කොන්සින් ගොවිපොලක හදන පිරිමි ඌරැ පැටවුන්ගේ ලිංගික වර්ධන හෝර්මෝන පාලනය කරලා උන් වැඩිහිටි වෙද්දී අර මස් ගඳ ගහන්නේ නැතිවෙන්න ජානමය හැඩගැසීමට ඔවුන් සමත් වී සිටිනව. ඒ විතරක් නෙමෙයි උන් අඩුවෙන් කාලා ඉක්මණින් වැඩියෙන් මස් පිරෙන වර්ගයක්.

තාක්ෂණය ආරක්ෂිත වූවත්, විද්‍යාව දන්න අයට වටහා ගත හැකි තරම් සරල වූවත්, අනෙක් සෑම ප්‍රගතියක් වගේම එවැනි දියුණුවකට ඉඩදෙන්න තරම් ලෝකය හැඩගැසිලා නැහැ.

ජාන ඉංජිනේරැ දැනුමෙන් හැඩ ගැසුණු සත්වයෙක්, ජීව තාක්ෂණයෙන් දියුණු වෙච්ච සතෙක්, ආහාර වෙළඳපොලට ඉදිරිපත් කරන්නට ඇමෙරිකන් ආණ්ඩුව තවම කිසිදාක අනුමැතිය දීලා නැහැ. තෝරාගත් වර්ගයන් උනුන් අතර මුහුන් කරමින් බෝ කරගත්තු ආහාර සත්තු මෙයින් වෙනස්. මේ කියන්නේ ස්වභාවයෙන්ම ඇති අංගයක් අයින් කරලා ස්වභාවයෙන් නැති අංගයක් එකතු කරලා සත්ව වර්ගයක් බිහි කිරීම.

ජානමය වෙනස් කරන ලද බෝග වගාවක් වුවත් වෙළඳපොලට ගෙනෙන්නට දශකයට වඩා කාලයක් සහ ඩොලර් මිලියන 136 ක් යන්නේ සොයා ගැනීමට, වර්ධනයට සහ ඒකට 70 ගණනකට වඩා වැඩියෙන් ලොව ඇති අනේක විධ රෙගුලාසි ආයතන වලින් අවසර ලබාගන්නට.

කැනඩාවේ තියන ගුඑල්ෆ් විශ්ව විද්‍යලයේ විද්‍යාඥයන් පිරිසක් පරිසරය රකින ඌරෙක් නිර්මාණයට සමත් වෙලා ඉන්නව. මීයෙක්ගේ ජාන සමඟ ඌරෙක් එකුතු කරලා නිර්මාණය කරන ලද මේ “එන්වයිරෝපිග්” මළපහ කරද්දී වතුර අපවිත්‍ර කරන ෆොස්ෆේට් අඩුවෙන් පිට කරන්නෙ. රෙගුලාසි අනුමැතිය ගන්න බලාගෙන ඉන්න කාලය දිගින් දිගට ඇදිලා ගිහින් වෑයමට සල්ලි නැවතිලා යද්දී ඒ වර්ගයේ අන්තිම ඌරා මරණයට පත් කරල තියෙන්නේ 2012 දී.

ලෝකය දියුණු වෙන්නේ කෙසේදැයි වටහා ගන්න බැරි අය, කැමැත්තෙන් නියැළෙන මිනිස් තෝරාගැනීම් සඳහා අනුන්ට තහනම් ගෙනෙන්නට නිති ඉදිරිපත් වෙන අය, ලෝකයේ ආහාර වැය ගැන, පරිසර දූෂණය ගැන, ඉහළ යන ජීවන වියදම ගැන දොඩමින් මේ ආණ්ඩුව වෙනස් කර වෙන ආණ්ඩුවක් පත් කරගත්තාම බඩු මිල අඩුවේ යැයි හිතන අය ….. තමයි කිසිම හේතුවක් නැතිව මෙවැනි උත්සාහ නවත්වන්නට කැමති අය. රෙගුලාසි වැඩි වුනාම පාරිභෝගික භාණ්ඩ අඩු වැයකින්, බහුලව සහ ආරක්ෂිතව ලැබෙනව කියල හිතන අය. ඒ අය වෙනෙසියුලාවේ අද තත්වය ගැන නිශ්ශබ්දයි. මම හැරැණු විට, මෑතක දී සිංහලෙන් වෙනෙසියුලාවේ තත්වය ගැන දැකපු එකම සටහන කියන්නේ ඒ තත්වය ඇතිවෙලා තියෙන්නේ සමාජවාදය නිසා නෙමෙයිලු!!!!

සටහන Daniel Brier විසින් FEE අඩවියට ලියන ලද Scientists Could End Animal Cruelty -Unless the FDA and Anti-GMO Activists Stop Them ඇසුරෙනි.

5 Responses

Subscribe to comments with RSS.

  1. Pra Jay said, on අගෝස්තු 25, 2015 at 1:11 පෙ.ව.

    සතුන් මැරීමේ එතිකල් බව ගැන අනන්තයට යනකම් වාද කරන්න පුලුවන්.
    ප්‍රායෝගිකව කරන්න පුලුවන් හා කල යුතු දේ පුලුවන් තරම් වේදනාව අවම humane ක්‍රමයකට මරණ එක නේද?

    • arunishapiro said, on අගෝස්තු 25, 2015 at 5:47 පෙ.ව.

      Pra Jay,

      ඔව් ඒත් මරණයේ දී වගේම උන් ජීවත්වන සම්පූර්ණ කාලයේ දී ත් පුළුවන් තරම් (ආහාර හා සෞඛ්‍ය යනාදියෙන් ද) වේදනාව අවම කළ යුතුයි නේද? ආහාර පිණිස ඇතිදැඩි කරන සත්වයන්ට ජීවිතය ලබන්නට අවස්ථාවක් ලැබෙන්නේ ද මිනිසා ඌව ආහාරයට ගන්නා බැවින්ම නිසා.

  2. lalita ranawana said, on අගෝස්තු 25, 2015 at 11:31 පෙ.ව.

    Honda lipiyak.mano vidyawa gana dan liyannema naa neda


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: