අරුණි ශපීරෝ‍ වෙතින්

පුද්ගලික මුදල් වලින් හදන විශාලතම වනජීවී උද්‍යානය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 26, 2015

APR -Photo Gallery

යුරෝපීයයන් ඇමෙරිකාවට ගොඩබහින විට කෝටි ගණනක බයිසන් ගවයන් මොන්ටෑනා පැත්තේ නිදැල්ලේ හැසිර ඇත. 1805 දී සුප්‍රසිද්ධ ගවේෂකයෙක් වූ මෙරිවෙදර් ලුවිස් (ලුවිස් ඇන්ඩ් ක්ලාක් ගවේෂණ වල දී) ඇමෙරිකන් බයිසන්, ගෝනුන්, මුවන්, සහ ඇන්ටිලෝප් (කුරංග මුවන්) යනාදී සත්වයන්ගෙන් සෑදුන විශාල කණ්ඩායම් ගැන සටහන් තැබීය. ඒ අවුරැදු 200 කට පෙර ඔවුන් දුටු තැනිතලා බිම් වූහ.

පුද්ගලික සංවිධානයක් හැටියට 2004 දී වෙනසකට භාජනය වූ ඇමෙරිකන් මහා තැනිතලා සංරක්ෂිතය නොහොත් American Prairie Reserve විසින් 2005 දී බයිසන් ගවයන් සිය රක්ෂිතයට ගෙනෙන ලදි. මේ වෙද්දී ඔවුන්ගේ සංඛ්‍යාව 600 ක් දක්වා ඉහළ ගොස් ඇත. ගෝනුන් 3,500 ක් පමණ එහි වාසය කරති. මොවුන් ආරක්ෂා කරගනිමින් බයිසන් ගහණය දහ දාහක් දක්වා ද, ගෝනුන්ගේ ගහණය 15,000 ක් දක්වා ද වර්ධනය කරන්නට ඔවුන් සූදානමින් සිටිති.

විවිධ මුව වර්ග, විශාල අං ඇති බැටළුවන්, අඳුන් දිවියන්, තණබිම් වාසස්ථානය කරගන්නා කුරැල්ලන් ඇතුළු ඒ පැතිවල වාසය කරන ලද සත්වයන් ගණනාවකගේ ගහණය වර්ධනයට ඔවුන් කටයුතු කරති.

පුද්ගලික ඉඩම් හා කුලියට ගත් මහජන ඉඩම් වලින් සැකසෙන, දැනට අක්කර ලක්ෂ තුනක් ඉක්මවන භූමි ප්‍රමාණයක් බලාකියාගන්නා ඔවුන්ගේ අරමුණ මේ වනජීවි සංරක්ෂිතයේ ඉඩම් ප්‍රමාණය අක්කර මිලියන 3.5 ක් දක්වා නඩත්තු කිරීමයි.

වසර 200 කට පෙර එහි විසූ සත්ව වර්ග තවමත් එහි වාසය කරන නිසා ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හිතදායක ලෙස පරිසරය රැකීම පහසු වූවකි.

හේමන්තය ගෙවී යද්දී දස දහස් ගණනින් කැනඩාව බලා වාර්ෂිකව සංක්‍රමණික මාර්ගයක දුවන කුරංග මුවන් වර්ගයක් (pronghorn antelope) දැනටමත් මේ සංරක්ෂිතයේ ඉඩම් වල ජීවත්වෙති. පළාතේ වැසියන් වෙතින් තව ඉඩම් මිල දී ගෙන වනජීවි නිලධාරීන්ගේ අවසරය ඇතිව මේ මුවන් වර්ගය දඩයම් කර ජීවත්වෙන අළු වෘකයා සහ ග්‍රිස්ලි වහලා හඳුන්වා දෙන්නට ද අර අඳිති.

ඔවුන්ගේ අභිප්‍රාය මායිම් සීමා ඉක්මවා යමින් සතුන්ට නිදැල්ලේ හැසිරෙන්නට හැකි වනජීවි සංරක්ෂිතයක් නිර්මාණයටයි. ඒ මායිම් ඉක්මවා යන සතුන්ව දඩයම් නොකරන හෝ පීඩා නොකරන බවට අසල්වැසි ඉඩම් හිමියන්ව කැමති කරවා ගැනීමටයි. රාජ්‍ය ආයතනයකට වඩා පුද්ගලික ආයතනයකට එය පහසුවෙන් කරත හැකි බව ඔවුන් කියන්නේ මෙතෙක් ඉඩම් මිල දී ගන්නට හා කුලියට ගන්නට පළාතේ වැසියන් විසින් දෙන ලද සහාය දක්වමිනි.

එපමණක් නොව පළාතේ වාසීන්ට වාසිදායක වූ වැඩ සටහනක් ලෙසින් ඔවුන් වයිල්ඩ් ස්කයි ගවමස් ව්‍යාපෘතිය දියත් කර ඇත. ඒ පැතිවල මස් පිණිස ගවයන් ඇති දැඩි කරන අය වනජීවීන්ට කරදරයක් නොවන ලෙසකින් පිළිවෙත් අනුගමනය කරන්නේ ද, ඔවුන්ට ලාබ වලින් කොටසක් ලැබෙන ක්‍රමයකි. දැනට එම ව්‍යාපෘතිය යටතේ විකිණෙන ගවමස් ඒ පිළිවෙත් සියල්ලම අනුගමනය නොකරන ලද ඒවා වුවද නුදුරු අනාගතයක දී එහි ආර්ථික වටිනාකම හඳුනාගෙන ඔවුන් ඒ පිළිවෙත් අනුගමනයට කැමති කරවා ගැනීම සංවිධානයේ බලාපොරොත්තුවයි.

වයිල්ඩ් ස්කයි වැඩසටහනෙන් මුදල් ලබාගන්නා හරක් ගොවිපල අයිතිකරැවන් තම ඉඩම්වල කම්බි වැටවල් ගහද්දී අඩියේ අඟල් 18 ක හිස් ඉඩක් තිබිය යුතුයි. ඒ අර කුරංග මුවන් වර්ගයට එය යටින් රිංගා යෑමට හැකිවන පරිදිය.

මහා තැනිතලා බිම්වල මස් පිණිස ඇතිදැඩි කරන ගවයෙක්ට වෙළඳපොල මිලට අමතරව සියයට තුනක සිට අටක් අතර ගණනක් සංවිධානය විසින් ගෙවනු ලැබේ. ඒ වැඩ සටහන සතියකට ඩොලර් හැත්තෑදහසක ගවමස් විකුණන බව කියති.

ඇමෙරිකන් මහා තැනිතලා සංරක්ෂිතය මේ වෙද්දී ඩොලර් මිලියන 75 ඒකීය පුද්ගල පරිත්‍යාග වලින් එකතු කර ඇත. මේ සංරක්ෂිතය සම්පූර්ණ කරන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය මිලියන 500 ක් යැයි ද, එයින් මිලියන 125 ක් එහි අරමුදලක් හැටියට වෙන්කර තබන බවත් ඔවුන් කියති. 2006 වසරේ මා නොක්ස්විල් නගරයේ ජීවත්වෙද්දී එහි තෙල් ධනවතෙක් වූ ජිම් හැස්ලම් ටෙනසි විශ්ව විද්‍යාලයට ඩොලර් මිලියන 32.5 ක මුදල් තෑග්ගක් දුන්නේය. ඉතින් මෙවැනි ඉලක්කයක් සාක්ෂාත් කරගැනීම හිතාගන්නටත් බැරිතරම් දුෂ්කර නොවූවකි.

එය සංචාරයට යන මහජනතාවට විවෘත වූ ස්ථානයකි. ගංඟා වල පාරැ පැද, දහවල් කාලයේ මුවන්, ගෝනුන්, වලසුන් හා කුරැල්ලන් නරඹා (සමහර විට වෘකයන් කණ්ඩායමක් බයිසන් පැටියෙක් ද දඩයම් කරගන්නවා දකින්නටත් හැකිවේවි) රෑට බයිසන් මස් කෑල්ලක් බැබළෙන තරැ අහසක් යට සිට රස බලන්නට හැකි ස්ථානයකි. බයිසන් ගවයන් සම්පූර්ණයෙන් වඳ වී යනවාට ද කැමති? නැත්නම් ඔවුන් ඇතිදැඩි කරමින් කැමති අයට අනුභවයට නීතිමය ඉඩක් පෑදෙනවාට ද කැමති?

2 Responses

Subscribe to comments with RSS.

  1. Pra Jay said, on අගෝස්තු 31, 2015 at 12:39 පෙ.ව.

    අඳුන් දිවියා කියන්නෙ fishing cat.
    උන් ඇමරිකාවෙ නෑ නේද?
    cougar/ puma / mountain lion ගැනද කියල තියෙන්නෙ? උන්ට කියන සිංහල නම මං දන්නෙ නෑ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: