අරුණි ශපීරෝ‍ වෙතින්

හුණුවටයේ කතාව යුක්තිය සහ නීතිය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 9, 2015

chalk circle

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලියපු හුණුවටයේ කතාව ලොව අතිශය ජනප්‍රියයි. ජර්මනියේ ඉපිද හැදෙන වැඩෙන බ්‍රෙෂ්ට් වයස විස්සෙදි පමණ පටන් ගන්නේ නාට්‍ය වෙනුවෙන් කතන්දර ලියන්නට. ඒ මුල් අවදියේ පටන් මාක්ස්වාදී අදහස් ගැන වැඩියෙන් උනන්දුවක් දක්වන ඔහු “පංති විඥානය” ගැන සහ “නිෂ්පාදන ක්‍රම වල අයිතිය සමාජය සතුවිය යුතුයි” යනාදී අදහස් තම රචනයට එකතු කරන ලද්දෙක්.

හිට්ලර් ජර්මනියේ පාලන බලයට මුලින්ම පත්වෙද්දී ජර්මනිය හැර දා යන බ්‍රෙෂ්ට් අතින් ඒ කාලයේ දී එනම් 1933 න් පසුව තමයි ඔහුගේ වැඩියෙන්ම ජනප්‍රිය වූ නාට්‍ය කෘති බිහිවෙන්නේ.

1941 වෙද්දී බ්‍රෙෂ්ට් ඇමෙරිකාවේ පදිංචි වෙනව. දෙවන ලෝක යුද්ධය ආරම්භයත් සමඟින් මෙහි විසූ ජර්මන් සංක්‍රමණිකයන්ව “හතුරැ ආගන්තුකයන්” යැයි හැඳින්වීමට ලක්වෙනව. ඉතින් ඒ අය මෙන් බ්‍රෙෂ්ට් ද ලියාපදිංචි අංකයක් එක්ක, නිවසේ සිට සැතපුම් පහකට වඩා ඈතකට ගමන් කිරීම සහ රෑට නිවසෙන් එළියට බහින තහනම් වලට හසුවෙනව. මේ කාලයේ දී, මිත්‍රපාක්ෂික හමුදාවන් දෙවැනි ලෝක යුද්ධය ජයගන්නා සලකුණු දකින 1944 ගිම්හානයේ දී තමයි බ්‍රෙෂ්ට් හුණුවටයේ කතාව ලියන්නේ.

එය ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ එරික් බෙන්ට්ලි නමැති එයාගෙ ඇමෙරිකන් රසිකයා සහ මිත්‍රයා අතින්. 1948 දී මිනෙසෝටා හි කාල්ටන් කොලෙජ් වල දී තමයි එය මුලින්ම එළිදකින්නේ. ඒ ශිෂ්‍යයන් කරන නිෂ්පාදනයක් හැටියට.

තාත්වික ලෙස නාට්‍ය නිරෑපනය කිරීමේ හුරැව, ප්‍රේක්ෂක සභානුභූතිය (empathy) ඉල්ලා සිටි, වේදිකාවේ චරිත එක්ක තමන් සංසන්දනයට නොගිය, පැත්තක සිට කතාව දිහා විවේචනාත්මකව බලන සාම්ප්‍රදායික නාට්‍ය ක්‍රමය වෙනුවට වේදිකාවේ ඉන්න චරිත හා තමන්ව සසඳලා විවේචනයට පොළඹවන ලෙසින් බ්‍රෙෂ්ට් ලොවට දායාද කරන්නේ අධිඅලංකාරත්ව (epic) නාට්‍ය කලාව.

මාක්ස්වාදී බ්‍රෙෂ්ට් පිවිසුනේ විචාරාත්මක ස්වරෑපයකින් ආවේගශීලිත්වය සහ සභානුභූතිය අවුස්සන නාට්‍ය නිර්මාණයට. තමන් ඉදිරිපත් කරන එපික් ස්ටයිල් එකෙන් රසිකයා වෙනසක් ඉල්ලන්නට ඉදිරිපත් වේ යැයි ඔහු බලාපොරොත්තු වුනා. ඒ දේශපාලන අරමුණ සාක්ෂාත් කරගන්න. ජනප්‍රියත්වය දිනාගන්න අත්‍යාවශ්‍යම අංගයක් තමයි එය නරඹද්දී ලැබෙන විනෝද රසාස්වාදය. සිංදු, සටන්, හිස් ගසා දැමීම්, ආදරය, සිනා යන අවස්ථා, සුන්දර විදේශීය පසුබිම්, උද්වේගී අවස්ථා, ප්‍රධාන චරිතය අනතුරැදායක තත්වයන්ට මුහුණ දෙන ආකාරය යනාදිය. මේවා නාට්‍යයට ඇතුල් කරන්න ඔහු සමත් වුණා.

ඉතින් මේ එපික් කතන්දරයේ ප්‍රධාන චරිතය රසිකයා දකින්නේ නරක එක්ක සටන් වදින හොඳ අයෙක් හැටියට. කතාවේ අරමුණ සාක්ෂාත් කරගන්නට වැදගත් දෙවැනි චරිතය තරමක පිස්සු පොරක්නෙ. ඒත් එයත් වීරයෙක් යැයි රසිකයා සලකනව.

මේ නාට්‍යයෙන් පාඨකයා හමුවට එවන ප්‍රශ්නය තමයි කවුද හරි කවුද වැරදි කියල තෝරා ගැනීම. අපේ ඉඩම් බලාකියා ගන්න, අපේ ආණ්ඩුව පාලනයට සුදුසු සහ අපේ දරැවන්ගේ වගකීම බාරගන්න කවුද සුදුසු? කවුද නුසුදුසු?

දරැවා රැගෙන පලා යන ගෲෂා ඇත්තෙන්ම හොඳ අයෙක් ද? අස්ඩක් දෙන්නේ නිවැරදි තීන්දුවක් ද?

පාඨකයා නැත්නම් ප්‍රේක්ෂකයා විචාරා බැලිය යුත්තේ එයයි. ඒත් විචාරයට අයෙක් ඉදිරිපත් වෙන්නේ මාක්ස්වාදී අදහස් වලින් එන ආවේග ගොන්නක් පොදිබැදගෙන පමණක් නම්?

එදිනෙදා ජීවිතයේ සත්‍ය සිදුවීමකට ඍජුවම බලපාන නීතිය කියන්නේ බාහිරව සකස් කරන ලද්දක්. සමාජ ගිවිසුමක් කිව්වට ඉහළින් ඉන්න අය කිහිප දෙනෙක් පහළින් ඉන්න සියල්ලන් සඳහා නීති පද්ධතියක් නිර්මාණය කරනව.

අපේ කැමැත්ත නොලබා පත් වූ පාලකයන් නීති නිර්මාණයේ දී අපිට ඒවා අනුගමනය කරන්න බැහැ කියල අයින් වෙන්න ඉඩක් නැහැ. බහුතරයක් විසින් සුලුතරයක් පීඩාවට පත් කරද්දී ඒක නීතියකින් සිද්ධ වුනාට යුක්ති සහගත සාධාරණත්වයක් හැටියට සැලකෙන්නේ නැත්තෙ ඒකයි. නීතිය හැමවිටම දේශපාලනය එක්ක අතිනත ගෙන ගමන් කරන්නක්. ඒත් නීතිය කියන්නේ එහි විචාරාත්මක භාවය නිසා පිළිගත යුත්තක් මිසෙක දේශපාලනයෙන් අනිවාර්ය වූ නිසා පිළිගත යුත්තක් නොවේ.

සාධාරණ ලෙසින් තීන්දුවක් දෙන්න ඇස් බැඳගෙන ඉන්න යුක්තිය සිනා මුහුණකින් නෙමෙයි ඉන්නෙ. උසාවියක් ඇතුලෙ දී විහිළු කතා කියන්න ඉඩක් නැහැ. ජීවිතයට බලපාන තීන්දු දෙන කතාබහ කෙරෙන්නෙ සාමාන්‍ය සමාජයේ කතාබහෙන් වෙනස් ආකාරයකට. විනිසුරැ එනකොට නැඟිටින, නීතීඥයන් විනිසුරැවන් ඇඳගෙන ඉන්න ඇඳුම් සහ එහි දී සියල්ලන්ම හැසිරෙන ආකාරය යනාදියෙන් ගම්භීරත්වයක් එතැන පවත්වාගෙන යනව. ඒ තීන්දු කොච්චර සීරියස් දැයි උලුප්පා දක්වන්නට.

දේපල අයිතිය සඳහා නීති බිහිවූයේ දේපල හොරකම් කිරීම වළක්වන්නට නොවේ. තමන් සතු අයිතිය ඔප්පු කිරීමෙන් එය විකුණන්නට සහ වෙන අයෙකුට අයිතිය තෑගි කරන්නට (උරැමය පවරන්නට) හැකියාව පිණිසයි.

සිංදුවකින් පටන් ගන්නා හුණුවටයේ කතාව අවසන් වෙන්නේ ද සිංදුවකින්. කතන්දරයේ ආදර්ශය කියන්නේ එහි දී.

එයයි මෙතැන ඇත්තේ, ලැබිය යුත්තන්ටයි හිමිවිය යුත්තේ
මව් සෙනෙහස ඇති අයට දරැවන්
එවිට ඔවුන් හොඳින් හැදී වැඩෙන්නට
හොඳ රියැදුරන්ට කරත්ත
ඒවා නිසි ලෙසින් පැදවෙන්නට
මිටියාවත් ඒවාට වතුර දාන අයට
එතකොට ඒවායේ ඵලදාව හටගන්නට

දරැවෙක්ට වැඩියෙන්ම සෙනෙහස පාන්නට හැකියාව ඇති අය යැයි පිටස්තරයෙක් විසින් දෙන තීන්දුවක් අනුව ඔබේ දරැවාගේ හිමිකම ඒ අයට පැවරීමට ඔබ කැමති ද?

ඔබට අයිති දැයක් එය වැඩියෙන්ම හොඳින් පරිහරණයට දන්නා අයට හිමිවෙනවාට ඔබ කැමති ද?

වතුර දාන අයට භූමිය හිමිවෙද්දී එහි වගා කරන්නේ කුමක් ද? වගාව විකුණන්නේ කෙසේද? මොන පොහොර හා මොන බීජ මිල දී ගන්නේ කුමන මිලකට ද? යනාදි තීරණ ගන්නේ සහ ඒවායේ බරපැණ දරන්නේ කවුද? එදා සෝවියට් රැසියාවේ, නැගෙනහිර ජර්මනියේ, චීනයේ සහ අද ලංකාවේ සහ වෙනෙසියුලාවේ ද ආණ්ඩුව වගා කරන්න හෝ වගාව විකුණන්න නොදන්නා බව නැවත නැවතත් ඔප්පු කරන බව නොසලකා හරිනවා නම් පමණක් ඒ තීරණ ගන්නට දන්නේ ආණ්ඩුව යැයි කියන්න.

3 Responses

Subscribe to comments with RSS.

  1. කුරුටු ගෑ ගී පවුර said, on සැප්තැම්බර් 10, 2015 at 5:50 පෙ.ව.

    මහා නාට්‍යකරුවන් දෙදෙනෙක්

  2. mppgunasinghe said, on සැප්තැම්බර් 14, 2015 at 6:45 පෙ.ව.

    ඕන එකකට පෙරළි කළ කරන්නෝ කියන උපාධිය කලින්ම ලබාගත් අපි කීපදෙනෙක් එදැ දැක්වූ අදහසට කිට්ටු අදහසක් ඔබේ මේ ලිපියේ දකිනවා. අසඩක්ගේ තීන්දුව එදා අප ප්‍රශ්න කළේ අනෙක් අයගෙන් බැණුම් අහගෙන. ඒ අය මේ ලිපිය කියෙවුවනම් ඔබටත් බණිනවා ඇති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: