අරුණි ශපීරෝ‍ වෙතින්

ෂර්ලොක් හෝම්ස් චරිතය ලිබටේරියන් ද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 14, 2015

Sherlock Holmes

ආතර් කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය නිර්මාණය කරන්නේ 1886 දී. ඒ ලන්ඩනයේ ජනතාවට පොලීසිය එපා වූ කාලයකි. නූතන forensics විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ජෝසෆ් බෙල් ඇසුරින් හෝම්ස් චරිතය බිහිවුණි. සාර්ථක ගවේෂණ පවත්වන්නට සහ අලුත් විදියකට හිතන්නට නොහැකි පොලීසියේ නිලධාරීන් මෙන් නොව හැම විටම සිය ගවේෂණයට මුළුමනින්ම කැපවෙන අයෙක් හැටියට හෝම්ස් දැක්වෙයි. රහස් පරීක්ෂකයෙකුගේ ආම්පන්නයක් හැටියට විශාලක කාචයක් (magnifying glass) පිළිබිඹුව ඩොයිල් ලියන පළමු හෝම්ස් කතන්දරයෙන් පටන් ගන්නකි.

1829 වෙන තුරැ ලන්ඩන් නගරයේ සංවිධානාත්මක නිල පොලිස් සේවාවක් නොතිබිණ. ජනතාව අලුතින් පිහිටුවන ලද මෙට්‍රොපොලිටන් පොලිස් සේවය දුටුවේ අදක්ෂ වූ ද, උදුම්මාගත් හැසිරීමෙන් වූ ද පිරිසක් හැටියට. 1833 පැවති මහජන කෝලාහලයක දී මුල්ම ලන්ඩන් පොලිස් නිලධාරියාගේ මරණය සිදුවිණ. පොලීසියේ මැර ක්‍රියාකලාපය නිසා එය යුක්ති සහගත මරණයක් බවට ජූරිය තීන්දු කළහ. 1872 දී ලන්ඩන් පොලිසියේ අය මුල්ම වතාවට වැඩ වර්ජනයක යෙදුනහ. 1888 දී ජැක් ද රිපර් ලෙසින් හැඳින්වූ ඝාතකයා අතින් මරැමුවට පත්වූ යැයි හඳුනාගත් කාන්තාවන් පස් දෙනෙකුගේ මිනීමැරැම් ගැන පොලීසිය නිරැත්තර වූහ.

එවැනි පසුබිමක පුද්ගලික රහස් පරීක්ෂකයෙකු වූ ෂර්ලොක් හෝම්ස් කතන්දර ජනප්‍රිය වීම පුදුමයක් නොවේ. පොලීසියේ ක්‍රෑරත්වය ගැන නිතර දොස් කියන අය ඕනෑම රටකින් දැකිය හැකියි. එහෙත් ඒ අය අතරින් පුද්ගලික පොලිස් සේවාවක් ගැන සංවාදයට පවා කැමති වන්නේ අල්පයකි.

හෝම්ස් චරිතයෙන් දක්වන්නේ රජය විසින් කරන ඕනෑම දෙයක් ඊට වඩා හොඳින් කරන්නට පුද්ගලික අංශයට හැකි බවයි. ලන්ඩන් පොලීසියේ මූලස්ථානයේ සේවය කළ නොහොත් ස්කොට්ලන්ඩ් යාඩ් අයට අගක් මුලක් හොයාගත නොහැකිව සිටිය දී බදු මුදල් නාස්ති නොකර අපරාධකරැවා අල්ලන්නට හෝම්ස් සමත් වෙයි. හෝම්ස්ගේ චරිතය පොලිස් නිලධාරියෙකුට කිසිසේත්ම සුදුසු නොවන්නකි. ඔහු නීතිය විචාරා බලන, මත්ද්‍රව්‍යය පාවිච්චියට කැමති අයෙකි.

ඇමෙරිකන් ගැරිඩෙබ් මහතා හෝම්ස් සොයාගෙන එන්නේ ඔහු ලවා සිය ඥාතීන් සොයාගෙන උරැමයක් හිමිකර ගන්නට. එහි දී අපිට කියවන්නට ලැබෙන්නේ ඔහුට නයිට් පදවියක් ඉදිරිපත් වූ විට එය ප්‍රතික්ෂේප කරන බවයි. රාජ්‍ය නම්බුනාම වලට හෝම්ස් වැදගත්කමක් නොදීමයි.

යුක්තිය සහ සාමය වෙනුවෙන් වෙහෙසෙන හෝම්ස් කිසිවිටෙක රජයේ හරි වැරදි නිර්වචනයන්ට වැදගත්කමක් නොදෙයි. ත්‍රී ගේබ්ල්ස් හි වාසය කරන මේරි මේබර්ලිගේ කතන්දරයේ දී හෝම්ස් කියන්නේ තමන් නීතිය නියෝජනය කරන අයෙක් නොව යුක්තිය නියෝජනය කරන අයෙක් බවයි.

රාජ්‍ය නිලධාරිවාදයෙන් නිරතුරැව අත්විඳින්නට ලැබෙන දඬුවම් හා සිරගත කිරීම් වලට අහු නොවන්නට අපරාධකරුවන්ට ගැලවී යන්නට හෝම්ස් ඉඩ සලසන ආකාරය ද අපිට කතන්දර කිහිපයක දී දකින්නට ලැබේ. මෙහි දී හෝම්ස් නීතියට උඩින් කටයුතු කරන්නෙක් හැටියට පිළිබිඹු වෙන්නේ නැත. එසේම තම නීතියක් අනුව කටයුතු කරන්නේ නැත. රජය විසින් නිර්වචනය කරන ලද ආකාරය සහ ආඥා කරන ලද ආකාරයට බැහැරව නීතිය සහ යුක්තිය නිර්වචනයෙන් එය පිළිපදින ආකාරය අපිට පිරිනැමේ.

උදාහරණයක් හැටියට නත්තල් කතාවක් වූ නිල් කාබන්කල් හි වික්‍රමාන්තයේ ජේම්ස් රයිඩර් නම් හොරාව හෝම්ස් නිදහස් කරයි. රාජ්‍ය සිරබන්ධනාගාර වල දී අපරාධකරැවන් යළි සමාජයට සුදුසු සේ හැඩගස්වන්නේ නැතිබවත් තමන් හමුවේ බියගත් රයිඩර් නැවත එවැනි වරදක් නොකරාවි යැයි තමන්ට ප්‍රත්‍යක්ෂ බවත් නත්තල් කාලය යනු සමාව දිය යුතු කාලයක් යැයි හෝම්ස් කියයි.

ලන්ඩන් බන්ධනාගාරයක දී මනෝවිද්‍යා පර්යේෂණයට භාජනය වන තරැණ සිරකරැවා සමාජයට නුසුදුසු ලෙසකින් එළියට බැහීම දැක්වෙන, 1962 දී ඇන්තනි බර්ජෙස් විසින් ලියන ලද A Clockwork Orange කතාව මෙහි දී සිහියට නැඟේ. එය 1971 දී චිත්‍රපටියක් ලෙසින් බිහිවිය. ශර්ලොක් හෝම්ස් චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය මහත් සංඛ්‍යාවකි.

වෝල්ටර් එලියට් නම් ස්කොට්ලන්ත ඉතිහාසඥයා තම නිවසේ ගබඩා කාමරයකින් යළි සොයා ගත් හෝම්ස් කතන්දරයක් ගැන මෑතක දී අහන්නට ලැබුණි. එහි එන එක වාක්‍යයක්: “ප්‍රමුඛ සඟරාවක් මෑතක දී දැක්වූ අන්දමට හෝම්ස් නිදහස් වෙළඳාම වෙනුවෙන් පැහැදිලිවම පෙනී සිටින්නෙකි. චින්තක විදානපතිරණ විසින් සිංහලට පරිවර්තනය කරන ලද ඒ කතාව මෙතැනින්.

ෂර්ලොක් හෝම්ස් කතන්දරවල සිංහල පරිවර්තන බොහොමයකි. 1961 දී ගුණසේන පොතක් හැටියට නිකුත් වී ඇති ෂර්ලොක් හොල්ම්ස්ගේ අභිරහස් පරීක්ෂණ හි අනුවාදක එන්. ඒ. ඩී ගුණතිලක සිට පූජිත කරැණාරත්න, චන්දන මෙන්ඩිස් යනාදීන් ඒ අතර වෙති. මා ඒ සිංහල පරිවර්තන එකක් වත් කියවා නැත. මා සිංහලෙන් කියවා ඇත්තේ රාජ්ගේ නවාතැනේ ලියැවුනු ලංකාවට ආ ෂර්ලෝක් හෝම්ස්ගේ අවසාන පරීක්ෂණය ගැන කතාවයි. හෝම්ස් චරිතය එලෙසින්ම පවත්වා ගන්නා රසවත් ඒ කතාව මෙතැනින් කියැවිය හැකියි.

1920 ගණන් වල දී පටන් ගෙන 1950 ගණන් වල දී නැවතෙන ඇමෙරිකන් රහස් පරීක්ෂක සඟරා අතර බ්ලැක් මාස්ක් (Black Mask), රහස් පරීක්ෂක ප්‍රබන්ධ සතිපතා (Detective fiction Weekly) සහ සත දහයේ රහස් පරීක්ෂක කතා (Dime Detective) රැගත් සඟරා ජනප්‍රිය වූහ. ඒ සඟරාවල පළ වූ කතන්දර රේඩියෝවෙන් දැනුදු අහන්නට ලැබේ.

රහස් පරීක්ෂක කතා සඳහා උපදෙස් විස්සක් 1928 දී මෙසේ ලියැවී ඇත.
1. කතාවේ එන රහස් පරීක්ෂකයා සමඟින් අබිරහස විසඳන්නට සම අවස්ථාවක් පාඨකයාට ද ලැබිය යුතුයි. සියළු සලකුණු සරලව දක්වා විස්තර කළ යුතුයි.
2. අපරාධකරැවා රහස් පරීක්ෂකයා නොමඟ යවන්නට ගන්නා උත්සාහයන් හැරෙන්නට පාඨකයා නොමඟ යවන්නට උවමනාවෙන් කටයුතු කළ නොහැකියි.
3. අපරාධකරැවා අල්ලා යුක්තිය ඉදිරියට ගෙන ඒම මිසෙක එහි කිසිම විටක ආදරයෙන් බැඳීමක් තිබිය යුතු නැත.
4. රහස් පරීක්ෂකයා කිසිම විටෙක අපරාධකරැවා විය නොයුතුයි.
5. වරදකරැවා සොයාගැනීම තාර්කික නිගමනයකින් මිසෙක අහම්බෙන් හෝ කිසිත් බලකිරීමකින් තොර පාපෝච්චාරණයෙන් සිද්ධ නොවිය යුතුයි.
6. ගවේෂණයේ යෙදෙන රහස් පරීක්ෂකයෙක් සිටිය යුතුයි.
7. මළමිනියක් තිබිය යුතුයි.
8. ස්වභාවික අන්දමින් මිසෙක පේන බැලීමකින් වැන්නකින් අපරාධකරැවා අල්ලා ගත නොයුතුයි.
9. එක රහස් පරීක්ෂකයෙක් පමණක් සිටිය යුතුයි.
10. අපරාධකරැවා කතන්දරයේ තරමක් දුරට පෙනී සිටින ලද්දෙක් විය යුතුයි.
11. සේවකයෙක් අපරාධකරැවා විය නොයුතුයි. සාමාන්‍යයෙන් සැකයට පාත්‍ර වන ලද්දා නොවිය යුතුයි.
12. කොපමණ මරණ වූවත් එක මූලික අපරාධකරැවෙක් පමණක් සිටිය යුතුයි.
13. රහස් පරීක්ෂක කතාවක අපරාධකරැවා සාමාජිකත්වය දරන රහස් සමාජ, මාෆියා කල්ලි යනාදියට ඉඩක් නැත.
14. මරණය සහ අල්ලා ගැනීම යන දෙකම යථාර්ථවාදී විචාරයෙන් සහ විද්‍යාත්මක ආකාරයකින් සිද්ධ විය යුතුයි.
15. ගැටළුවේ සත්‍ය හැම තැනක දී ම දකින්නට හැකිවන සේ පැවතිය යුතුයි. අපරාධය විමර්ශනයෙන් පසුව පාඨකයාට නැවත පොත කියවද්දී අපරාධකරැවා සොයා ගත හැකි සලකුණු සියල්ල තමා ඉදිරිපිට තිබුණු බව අවබෝධ විය යුතුයි.
16. සාහිත්‍ය වැල්වටාරම් නැතිව ගැටළුවක් දක්වා, එහි විශ්ලේෂණයක් හා එය විසඳීම පමණක් රහස් පරීක්ෂක කතාවක තිබිය යුතුයි.
17. ගෙවල් කඩන හොරැ හෙවත් වෘත්තීමය අපරාධකරැවන් වෙනුවට රසවත් රහස් පරීක්ෂක කතාවක දැක්වෙන්නේ අපරාධකරැවෙක් යැයි කිසිවිටෙකත් සිතාගත නොහැකි අයෙකි.
18. අපරාධය කිසිම විටෙක හදිසි අනතුරක් හෝ සියදිවිනසා ගැනීමක් විය නොයුතුයි.
19. ජාත්‍යන්තර හෝ යුද කුමන්ත්‍රණ වෙනුවට රහස් පරීක්ෂක නවකතා වල එන හේතුව සෑම විටෙකම පුද්ගලික වූ චේතනාවක් නිසා හටගත් අපරාධයකි.
20. බොන සිගරට් වෙළඳ නාමයෙන් අපරාධකරැ අල්ලා ගැනීම, ආවේශ වූ කනප්පුවකින් අල්ලනවා යැයි බොරැවට බිය කර පාපෝච්චාරණයක් ගැනීම, බොරු ඇඟිලි සටහන් දැක්වීමෙන්, නොසිටි තැනක සිටියා යැයි කියන බොරැ කාරයෙක් භාවිතය, බල්ලා බිරැවේ නැති නිසා දන්නා හඳුනන අයෙක් යැයි සොයා ගැනීම, සැකකරැවාගේ අහිංසක නිවුන් සහෝදරයා හෝ ඒ වැනිම පෙනුමකින් යුතු ඥාතියා වරද කළා යැයි කීම, සිහිය නැති කරන බෙහෙත් හෝ ශරීරයට ඇතුල් කරන ලද එන්නත් කටුවක්, පොලීසිය කඩා වැදෙන විට අගුල් දැමූ කාමරයක් ඇතුලත වන මරණය, වරද ගැන කටින් අල්ලා ගැනීම, අපරාධකරැවාගේ ලියුමකින් හෝ සලකුණු වලින් රහස් පරීක්ෂකයා අපරාධය විසඳීම යනාදිය පාවිච්චියෙන් වැඩි නිසා නැවත යොදා නොගත යුතුයි.

ඇමෙරිකන් බදු අබිරහස මෙතැනින්.

ආතර් කොනන් ඩොයිල්ව රවට්ටපු කොටින්ග්ලි කෙල්ලන්ගේ පුංචි සුරංගනාවියන් මෙතැනින්.

One Response

Subscribe to comments with RSS.

  1. […] ෂර්ලොක් හෝම්ස් චරිතය ලිබටේරියන් ද? […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: