අරුණි ශපීරෝ‍ වෙතින්

පාඨකයා හැමවිටම නිවැරදියි

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 15, 2015

12002982_1073209572703732_5381631112001085386_n

“හොඳ පොත් ඉස්සෙල්ලාම කියවන්න, නැත්නම් ඒ සියල්ල කියවන්න ඔබට අවස්ථාවක් නැති වේවි.” -හෙන්රි ඩේවිඩ් තොරෝ එහෙම ලියන්නේ ‘කොන්කෝර්ඩ් සහ මෙරිමැක් ගංඟා අසල සතියක්’ (1849) නම් පොතේ. කොන්කෝර්ඩ් ගමේ ජීවත් වූ තොරෝ හා සමකාලීන ගත්කතුවරයන් අතරට එකතු වෙන්නෙ රැල්ෆ් වෝල්ඩෝ එමර්සන්, ලුවිසා මේ ඇල්කොට්, නතැනියෙල් හාතෝන් වැනි අය.

19 වැනි සියවසේ ජනප්‍රිය නවකතා පොත් වෙළඳපොලට ආවේ කොටස් වශයෙන් සතිපතා හෝ මාස්පතා පත්තර වලින් පළ කෙරෙන කතන්දර හැටියට මුලින් පාඨකයා අතට පත්වෙලා. නවකතාකරැවන් වානිජ්‍ය ප්‍රකාශන ආයතන එක්ක ක්‍රියාශීලීව එකතු වෙලා තමන්ගේ ලියැවීමේ හැකියාවන් වර්ධනය කරගත්ත හැටි එයින් දකින්න පුළුවන්.

වික්ටෝරියන් සමාජයේ සඟරා සහ පත්තර තම අලෙවිය වැඩි කරගන්න යොදාගත්තේ එවක ජනප්‍රියම නවකතාකරැවන්ගේ කෘති කොටස් වශයෙන් පළ කිරීමයි. ළමයි පාදක කරගත් චිත්‍රපටියක් එළියට දානකොට කඩ කෑම එක්ක දෙන පුංචි සෙල්ලම් බඩු වගේ, ඒ කාලේ චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන් අනුරැවෙන් හදපු බෝනික්කන් සමරැ හැටියට පාඨකයන්ට විකුණන්න තිබුණ.

නතැනියෙල් හාතෝන් ලියූ කතන්දර බහුතරය පළවෙන්නේ The Token, New England Magazine, Knickerbocker, Democratic Review, Atlantic Monthly වැනි සඟරා වල. එසේ කොටස් වශයෙන් නොගිය, ස්වර්ණකාන්ති රාජපක්ශ අතින් “ගින්දර පළඳනාව” නමින් සිංහලට පරිවර්තනය වෙන –The Scarlett Letter තමයි ඔහුගේ පොත් අතරින් විශිෂ්ඨතම පොත හැටියට සැලකෙන්නෙ. පොතේ කතාව දිගහැරෙන්නට පෙර පෙරවදනක් හැටියට ‘කස්ටම්-හවුස්’ කොටස ගැන සේලම් ගමේ වාසීන් විරෝධය පෑව. ඔවුන් කිව්වේ තමන් ඒ පොතේ දැක්වෙන ආකාරයේ අය නොවන බව.

නමුත් පොත සැනෙකින් ජනප්‍රිය වුනා. හේතුව ඇපල් ගෙඩියයි නයයි ගැණු අතකුයි!!!

එතෙක් පොත් අතින් හදා නිමැවුනේ වරකට කුඩා ප්‍රමාණයක් බැගින්. මෙය ඇමෙරිකාවේ යන්ත්‍රානුසාරයෙන් මුද්‍රණය වෙන පළමු පොත් අතරට වැටෙනව. 1850 දී ඒ පොතේ අච්චු ගහපු පිටපත් 2,500 ක් දවස් දහයකින් විකිණිලා යනව. ඒ මුල් පිටපතක් අද ඩොලර් 18,000 ක් විතර වටිනාකමක් ඇතැයි කියැවෙනව.

1850 කාලයේ දී පියුරිටන් සමාජයේ අප්‍රසාදයට පත්වෙන කාන්තාවක් අනියම් සැමියෙක් වෙතින් ගැබ්ගැනීමයි කතාවට පාදක වෙන්නෙ. අර කොන්කෝඩ් ගමේ සාහිත්‍යවේදීන් එක්ක තිබ්බ ඇසුර නිසා හාතෝන් මේක ලිව්ව එක ගැන දැඩි විවේචනයකට ලක්වීමෙන් ගැලවිලා ගියා කියලයි සමහර අයගේ මතය. මේ පොත අදත් උසස් පෙළ වයස්වල පාසැල් දරැවන්ට කියවන පොත් ලැයිස්තුවේ තියන එකක්. ඒ නිසා වෙන්නැති අනියම් සබඳතා ගැන සමාජ මතය වෙනස් වෙලා. පහුගිය දවසක ඈශ්ලි මැඩිසන් කියන වෙබ් සයිට් එක හැක් වෙද්දි හැමෝම හිනාවුනා මිසක් රතු අකුරක් කාගේවත් ඇඳුම්වල එල්ලන්න ගියේ නෑ.

ඉතින් හොඳ පොත් ඉස්සෙල්ලාම කියවන්න කියල තොරෝ කිව්වනෙ. හොඳ පොත් මොනවා ද කියල තීරණය කරන්න පාඨකයාට බාරයි. පාඨකයා හැමවිටම නිවැරදියි!!!

අර කළින් කියපු කොටස් වශයෙන් නවකතා පළ කරද්දී, අපි අද දකින ටෙලිනාට්‍ය වගේ තමයි කොටස අවසන් වෙන්නේ වුනේ කුමක්දැයි දැනගන්නම ඕන තැනක දී. පාඨකයාව ඊ ළඟ කොටස පළවෙන පත්තරය එනකම් පුල පුලා බලාගෙන ඉන්න තියල.

චාල්ස් ඩිකන්ස් ලියූ මුල්ම පොත The Pickwick Papers මුලින්ම පළවුනේ 1836 දී පත්තර වලින් කොටස් හැටියට.

ජර්මන් භාෂාව කතා කරන රටවල එහෙම කොටස් වශයෙන් පළ වූ නවකතා ගියේ Die Gartenlaube කියන සඟරාවේ. 1875 දී එහි පිටපත් 382,000 ක් දක්වා මුද්‍රණය පැතිරිලා ගිහින් තියෙනව.

ප්‍රංශ රදළයෙකුගේ සහ කළුවහල් කාන්තාවකගේ පුතෙකුගේ පුතෙක් හැටියට උපදින ඇලෙක්සැන්ඩර් ඩූමා ලියපු Three Musketeers සහ The Count of Monte Cristo ඇතුළු පොත් බොහොමයක් කොටස් වශයෙන් පළවෙලා තියෙන්නේ feuilleton නම් පත්තරවල දේශපාලන කතිකාවට වෙන්වූ අමතර කෑල්ලක. ඩූමා පැය 12-14 ක් දවසක දී පොත් රචනයට වෙන් කරපු අයෙක්. එහෙම පත්තර වලට කොටස් වශයෙන් ලියද්දී නවකතා කිහිපයක් එකවර ලියපු කෙනෙක්.

සාහිත්‍ය වානිජ වෙලා යැයි සමහර අය අවලාද කියද්දී අපි මේ ඉතිහාසය අමතක කරන්න නරකයි. ඩූමා සහ චාල්ස් ඩිකන්ස් වැනි අය කතන්දර ලියලා ජීවිකාව උපයන ලද්දවුන්. ඒ නිසාම ඔවුන්ට එහෙම පත්තර වලින් කොටස් වශයෙන් කතාව පළ කරද්දී පාඨකයන්ගේ ප්‍රතිචාර නොසලකා හරින්න බැහැ. අද බ්ලොග් වගේ එදා මේ කොටස් වශයෙන් ගිය කතන්දර ඔවුන්ට පාඨක ප්‍රතිචාර හනිකට ලබාදුන්න. යම් චරිතයක් පාඨකයන්ට “හොඳ” නැත්නම් ඔවුන් පත්තරේ නොගෙන කතාව කියවන්නෙ නැති තත්වයට එනව.

ඉතින් 19 වැනි සියවසේ දී නවකතාකරැවන් සතිපතා හෝ මාස්පතා සඟරා පත්තර වල අලෙවි දත්ත ගැන උනන්දුවෙන් සිටිය. ඒවායෙන්, විචාර වලින් සහ කට වචනයෙන් ඔවුන්ට දැනගන්න ලැබුන යම් චරිතයක් නිසා අලෙවිය වැඩි වෙනව ද නැත්නම් අඩුවෙනව ද කියන එක. සමහර විටෙක කතුවරයාගේ මුල් අරමුණු කරගත් කලාත්මක විදියට නොවී මහජනතාව දක්වන ප්‍රතිචාරය මත චරිතයක් හැඩ ගැසෙනව. Pickwick Papers ලියද්දී ඩිකන්ස් විසින් සෑම් වෙලර් හඳුන්වා දෙන්නේ 10 වැනි කොටසේ දී. එවිට පත්තරේ අලෙවිය පිටපත් හතළිස් දාහකට වැඩිවෙනව. ඒ නිසා ඩිකන්ස් සෑම් වෙලර් චරිතයට වැඩියෙන් තැනක් දෙනව.

කලා සහ සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් සමාජයේ බහුතරයක් දරන මතය (අර සමහර පොත් විතරක් පාසැල් පොත් ලැයිස්තුවලට ඇතුල් වෙච්ච නිසා වෙන්නැති!!) තමයි වානිජකරණයට ලක්වුනාම කලාකරැවාගේ ස්වෛරීත්වයට හානිවෙනවා කියන එක. ඉතින් වානිජකරණයට ලක් නොවුන සිනමාව, නාට්‍ය, සාහිත්‍ය උසස් යැයි කියන්න හිතන්න සලකන්න සමහරු ඉදිරිපත් වෙනව.

ඒත් ඒ ප්‍රතිචාරයෙන් කියන්නේ පාරිභෝගිකයා හැමවිටම වැරදියි කියල නේද?

සමහර විට 19 වැනි සියවසේ දී ගත්කතුවරයන් කොටස් වශයෙන් පළ වූ සඟරා පත්තර වල අලෙවි දත්ත වලින් තම නිර්මාණයන්ට බලපෑම් කරන්න ඉඩ දුන්නේ තමන්ගේ නිර්මාණ අගයන ඒවා මිල දී ගන්න පාරිභෝගිකයා ගැන හිතල වෙන්නැති. 19 වැනි සියවසේ සාහිත්‍ය කෘතීන් තුල ස්ව-රෙගුලාසිකරණය සහ ස්ව-නිවැරදි කරගැනීම ඕපපාතිකව බිහිවුනේ එහෙමයි.

6 Responses

Subscribe to comments with RSS.

  1. indranathathenuwara said, on සැප්තැම්බර් 21, 2015 at 9:31 පෙ.ව.

    මෙහි සඳහන් පොත් කවරය ගැන සටහන දැක්කා ම මට මතක් උනෙත් මරු කතාවක්.
    මටත් වරක් හොඳ ම පොත් කවර නිර්මාණයට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හම්බවෙලා තියෙනව…ඒත් අද වනතෙක් කවුරුවත් ඒ ගැන දන්නෙත් නැහැ. අහන්නෙත් නැහැ..මුකුත් ම නැහැ..
    මුලින් ම, ඒ පොතේ කවරය අඳින්න මට දුන්නා ම මම පොත වෙනස් කළා මට දැනෙන තරමට…!! කවරය ඇන්දේ ඊට පස්සෙයි.
    සාමාන්‍යෙයන් මං පොත් කවරයක් අඳින්නෙ පොත කියවලා ඉන් මට දැනෙන දේ අනුවයි..!
    නමුත් එක්තරා පොත් ප්‍රකාශකයෙක් නිතර මට කියල ඔහුගේ ප්‍රකාශන සඳහා කවර “සාදවා ගන්නවා.“ කවරයට අවශය පින්තූර සහිත වාර සඟරා පොත් ඔහු අරං එනවා. මං කරන්නෙ ඒව ස්කෑන් කරල, එතුමා කියන ආකාරයට ම පිටුවේ තැන්පත් කරන එක පමණයි..
    “මේ ආත්මයේදී ම පල දෙන කර්ම“ කියල පොතක් මෙතුමා පළ කළා. මහාචාර්ය රත්නපාල මහතා තමයි ඒ පොතේ ඇතුළත ලියල තිබුනෙ. මේ කවරයට පාවිච්චි කළේ සතෙක් මරල කන් දෙකෙන් එල්ලාගන යන රූපයක් සහ දරුණු අණතුරකින් විරූපී ව ගිය මිනිසකුගේ මුහුණක්..
    මේ පොත දකින අය දැන් අවුරුදු ගානක් තිස්සෙ මට කෝල් කරනවා පොත ගැන අහල..
    කරුමෙ කියන්නෙ දැන් පොත ලියපු මහාචාර්ය තුමා යි, ප්‍රකාශකයයි දෙන්නා ම මේලොව දීම පඩිසන් දීල ද මන්ද ලෝකය අතෑරලා ගිහිල්ලා ගොඩක් කල්..!!
    දවසක් වෛදයවරයෙක් මට කෝල් කරල බැන්න කවරයයි පොතේ අන්තර්ගතයයි කිසිම සම්බන්ධයක් නැහැ කියල.. මාත් කිව්ව වෙන්න ඇති මං දන්නෙත් නැහැ.. දැන් අහන්නත් කවුරුවත් ඇත්තෙත් නැහැ කියල..!!

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2015 at 9:37 පෙ.ව.

      indranathathenuwara,

      අනුන් ලියපු පොතක අන්තර්ගතය වෙනස් කිරීමෙන් indranathathenuwara කරන ලද්දේ වෘත්තීමය ගෞරවයට පටහැණි ක්‍රියාවක් යැයි පෙනෙන්නේ මට විතරයි ද?

      • indranathathenuwara said, on සැප්තැම්බර් 21, 2015 at 10:10 පෙ.ව.

        ඒක ළමා පොතක්. ඒ කාලෙ මං වැඩ කලේ ළමා පත්තර ලෝකයේ දැවැන්ත ම ආයතනයේ.
        ඒ පොත අඳින්න දෙනකොට මං රජයේ පාසැලක ගුරුවරයෙක්. (පත්වීම විද්‍යා ගණිත නෙ.. ඒ නිසා සාහිත්‍යමය කරුණුත් විද්‍යාත්මක වෙන්න ඕන කියන ආස්ථානයේ මං හිටියා..!)
        ඒ නිසා වැරදි සහගත දෙයක් ළමා මනසට කාවද්දනවාට අකමැති නිසාත්, පොතේ අන්තර්ගතය අතිශයින් ලා බාල නිසාත් තමයි දෙතුන් වරක් ම පොත වෙනස් කෙරෙව්වෙ..
        ඒ නිසා මං ඇන්ද. මට රාජ්‍ය සම්මාන හමුබ උනා.
        පොත ලියපු රචකයා පසු කාලීන ව පොත් ගණනාවක් ම ලිව්ව….හැබැයි ඒවයෙ කවර අඳින්න මට දුන්නෙනම් නැහැ..
        ගීත රචනා කළා…රාජ්‍ය නොවන සංවිධානයක් හදල ළමා සුබ සාධක වැඩ ගණනාවක් ම කළා.. සතුටින් ජීවතුත් උනා..!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: