අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජයක් වෙනස් කරන්න පොතකට පුළුවන් ද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 18, 2015

The_Mystery_of_a_Hansom_Cab

සමාජයක් වෙනස් කරන්න පොතකට හැකි යැයි අදහසක් 18 වැනි සියවසේ දී ලොව පැතිරිණ. කියවන ලියන දැනුම ලබාදෙන අධ්‍යාපනය තුලින් චාරිත්‍ර වාරිත්‍ර සහ ආචාරශීලී හැදියාව වෙනස් වේ යැයි ද, හැකි තරම් අධ්‍යාපනය පතුරැවා යැවීමෙන් සමස්ත ජනතාවම ප්‍රතිසංස්කරණයට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයක් ද ලොව බිහිවිණ.

සමාජය වෙනස් කරනු පිණිස වූ අධ්‍යාපනය “කියවන්නා” අරමුණු කරගෙන නිෂ්පාදනය කළ යුතු යැයි සලකද්දී, “කියවන්නා” කවුදැයි එහි දී සැලකිල්ලට ගැනුනේ නැත. කියවන හැකියාව බහුතර සමාජයට ලැබුන ද, දිනපතා කියැවීම ජීවිතයේ අංගයක් බවට පත්වූවද, අයෙක් කියවන්නේ කුමන අරමුණකින් ද?

රස්සාවට අත්‍යවශ්‍ය ඩිංගිත්ත හැරෙන්නට පත්තරයක්, පොතක් කියවන්නේ නැති, හිතවත්කමට ලියුමක් පවා ලියන්නට අදිමදි අය දැක තිබේ ද?

පොතක පිටුවක් හෝ පිටු බාගයක් කියවා අනතුරැව තමන්ගේ සිහින ලෝකයට පිවිසෙන අය දැක තිබේද?

රොමැන්තික (මෙතැනට වෙනත් වර්ගයක් දමාගත හැකියි) පොත් කියවන එහෙත් රොමැන්තික අදහසක් ගෑවිලාවත් නැති අය දැක තිබේද?

අර්නස්ට් ෂැකල්ටන්ගේ වික්‍රමාන්විත ගමන කියවා අයෙක් නුදුටු ලෝකයක් ජයගන්නට යයි ද? රටෙන් තියා ගමෙන් පිට හෝ නොයයි ද? තමන්ගේ මඟපෙන්වීම හොයන අයට අනගි මාර්ගෝපදේශකයෙක් වෙන්නට අදිටන් කරගනීවි ද? නැත්නම් ෂැකල්ටන් අගයන ඒත් තමන්ගේ මඟ පෙන්වීම හොයන අයව තුට්ටුවකටත් සලකන්නේ නැති අයෙක් වෙයි ද?

යම් අයෙක් පොතක් කියවන්නේ එහි වචන, වාක්‍ය යොදාගැනෙන ආකාරය රසය අත්විඳීමෙන් ලැබෙන ආස්වාදයට විය හැකියි. තවත් අයෙක් දිග හැරෙන කතාවේ අවසානය දැනගන්නට කඩිමුඩියේ පිටු පෙරලනවා විය හැකියි. එසේම තමන්ගේ රචනා ශෛලිය දියුණු තියුණු කරගන්නට පොත් කියවන අයත් සිටිති.

පොත් කියවන අයෙක් හොයන්නේ කුමක්දැයි නිශ්චිතවම දැනගන්නට හැකියාවක් පොත් නිෂ්පාදකයන්ට කිසිදා ලොව නොතිබිණ.

එනමුත්, නවකතාකරැවාත් පාඨකයාත් දෙදෙනාම ධනවාදී නිෂ්පාදන ක්‍රමයේ සිරකරැවන් යැයි සිතන අය වෙති. හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ලියන පොත්, සාහිත්‍ය කලාවෙන් අගනා කෘති වලට වඩා වැඩියෙන් අලෙවි වී යන නිසා, එකම අච්චුවකින් යුතු පොත් මහත් සංඛ්‍යාවක් මුද්‍රණය වෙන්නේ පොත් නිෂ්පාදකයන්ගේ ලාබ සෙවිල්ල පිණිස යැයි සමහර අය සිතති.

නිෂ්පාදක ආධිපත්‍ය ගැන කතා කරන අය පාරිභෝගික කැමැත්ත යනු වෙළඳපොලට ඉදිරිපත් කරන දේවල් නිසා හැඩගැසෙන්නක් යැයි සිතති. බලවත් මාධ්‍ය අයිතිකරැවන් විසින් ප්‍රේක්ෂකයන් සිරකරැවන් කරගෙන ඇතැයි යන්න කාලාන්තරයක් තිස්සේ පැවත එන මිථ්‍යාවකි. ජනමාධ්‍ය ආයතනවල විධායකය නිතරම තම ප්‍රේක්ෂකයන් කෙසේ ප්‍රතිචාර දක්වයි ද කිව නොහැකි තත්වය හමුවේ අසරණ වෙති. ප්‍රේක්ෂකයන්ගේ නිතර වෙනස් වන සුළු රසාස්වාදය ගැන බියෙන් සිටිති. එසේම කොතරම් රසවත් අගනා නිර්මාණයක් ඉදිරිපත් කරන්නට සමත් වුවත් එය පරිභෝජනයෙන් පසු ප්‍රේක්ෂකයා අහන්නේ ඊ ළඟ එක ගැන නිසා ඔවුන්ට සැනසුමින් ඉන්නට හැකියාවක් නැත.

පාරිභෝගිකයා යනු පැත්තකට වී දෙන දෙයක් ගෙන සතුටින් සිටින අයෙක් නොවේ. ස්වභාවික මිනිස් හැදියාව යනු අතෘප්තිය හමුවේ ඒ ගැන යමක් කරන්නට ඉදිරිපත් වීමයි. තෘප්තිමත් වීමට යමක් කළ නොහැකි නම් අතෘප්තිමත් දේ ප්‍රතික්ෂේපයයි.

19 වැනි සියවසේ නවකතා, විශේෂයෙන්ම කොටස් වශයෙන් පත්තර හා සඟරා වල පළ වූ නවකතා, පෙන්නුම් කරන්නේ මහත් ජනකායකට රසාස්වාදය ලබාදෙන්නට පාඨකයා විසින් නිෂ්පාදකයාව වෙනස් කරන ලද ආකාරයයි.

අසහාය නිර්මාණ සලකද්දී, ඒ බහුතරයේ නිර්මාණකරැවන් වෙනස් ගමනක් ආරම්භ කරන ලද්දවුන් බව පෙනී යයි. එසේම එවක නිෂ්පාදකයන් ඒවා සාදරයෙන් පිළිගත්තේ ද නැත. අයින් රෑන්ඩ්ගේ ‘ඇට්ලස් හැකිළුණි’ සිට ජේ. කේ. රෝලින්ග් ලියූ ‘හැරී පොටර්’ දක්වා පසුකාලීනව මහත් සංඛ්‍යාවක් අලෙවි වූ පොත් මුලින් ඉදිරිපත් කරද්දී ප්‍රකාශකයන් ප්‍රතික්ෂේප කරන ලදි.

පාඨකයා විසින් මිල දී ගෙන කැමැත්ත පළ කරද්දී ප්‍රකාශකයන් ඒ හා සමාන පොත් ප්‍රකාශනයට කැමැත්තෙන් ඉදිරිපත් වෙති. එයින් පෙන්වන්නේ පොත් ප්‍රකාශකයන් සමාජයේ ඊ ළඟට එන රැල්ල කුමක්දැයි නොදන්නා බවයි. ඔවුන් දන්නේ තියන රැල්ලෙන් ලාබයක් උපයමින් කිසිවෙක් නොදන්නා ලේඛකයෙක් ගැන ඉඳහිටෙක අවදානමක් ගන්නට පමණි.

අපරාධ පරීක්ෂක නවකතා ජනප්‍රිය කරන්නට සමත් වුනේ ආතර් කොනන් ඩොයිල් වුනාට මුල් ෂර්ලොක් හෝම්ස් නවකතාවටත් වැඩියෙන් පිටපත් සංඛ්‍යාවක් විකුණා 19 වැනි සියවසේ වැඩියෙන්ම අලෙවි වූ අපරාධ පරීක්ෂක නවකතාව ලිව්වෙ ෆර්ගස් හියුම්.

මෙල්බන් විසූ හියුම්ට අවශ්‍ය වුනේ නාට්‍ය රචකයෙක් වෙන්නට. ඒත් අර කිව්ව ප්‍රේක්ෂක ප්‍රතිචාර කල්තියා දැනගත නොහැකි බව දත් නාට්‍ය කළමනාකරැවන් ඒවා බාරගන්නවා තියා කියවන්න වත් උත්සාහ කළේ නැහැ. ඉතින් එයා හිතනවා තමා නවකතාකරැවෙක් යැයි පෙන්නුවොත් ඔවුන් ඇහුම්කන් දේවි කියල.

එතෙක් කෙටිකතා දෙකක් විතරක් රචනා කරල තියෙන හියුම් යන්නේ මෙල්බන් වල ප්‍රධාන පොත් සාප්පුවට. මොන වගේ පොත් ද වැඩියෙන් විකිණෙන්නෙ කියල ඇහැව්වම එයා අහලාවත් නැති කතුවරයෙක්ගෙ නමක් දැනගන්නට ලැබෙනව. ඒ පොත් 11 ක් පමණ අරගෙන ඇවිත් හොඳ විපරමින් කියවනව. ඒ විලාසය හිතට අල්ලපු නිසා ඒ විදියෙ පොතක් ලියන්න හියුම් තීරණය කරනව.

ඒත් The Mystery of the Hansom Cab පොත ලියාගත්තට පස්සෙ ඔහු පොත් රචකයෙක් නොවන නිසා, පොත ප්‍රකාශනයට කවුරැත් බාරගන්නේ නැහැ. ඉතින් එයා තමන්ගෙ සල්ලි වලින් තනියම පොත ප්‍රකාශනය කරනව 1886 දී. මුල් මුද්‍රණ දෙකේ දී පොත් ලක්ෂයක් විකිණෙනව. හැන්සම් කැබ් ප්‍රකාශන ආයතනය කියල එකක් හදාගෙන කට්ටියක් පොතේ ප්‍රකාශනය බාරගන්නව.

හැන්සම් කැබ් යන නම එන්නේ 1834 දී නිව්යෝර්ක් නගරයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෝසෆ් හැන්සම් නිර්මාණය කළ අශ්ව කරත්තයෙන්.

හියුම් විදියට තමන්ගෙ පොත ebook හැටියට මුලින් දාලා පස්සෙ ඉල්ලුම අනුව ප්‍රකාශනය කළේ Fifty Shades of Grey ලියපු ඊ. එල්. ජේම්ස්. ඒක ලොව පුරා ජනප්‍රිය වී අනාගතයේ හොලිවුඩ් චිත්‍රපටියක් හැටියටත් එළියට එනව. රංජිත් කුරැප්පු අතින් ‘ප්‍රේම සැඳෑවෝ’ කියල පරිවර්තනය වෙලා තියනව.

පාඨකයා කියන්නේ තමන් ආස විදියේ පොත් හොයන කෙනෙක්.

පොත් ප්‍රකාශකයා කියන්නේ අනුන් වැඩියෙන්ම ආස විදියේ පොත් විකුණන කෙනෙක්.

සමාජයක් වෙනස් කරන්න පුළුවන් පොතකට නෙමෙයි, අදහසකට. එය දැක්ක ද, ඇහුණ ද, නැත්නම් පොතෙන් කියෙව්ව ද එහෙමත් නැතිනම් පොත කියවද්දී හිතුණ ද යන්න වැදගත් නැහැ.

මොන වගේ අදහස් ද හිතේ නිතර තෙරපෙන්නෙ?

අන්න ඒ වගේ අදහස් තමයි නිතර දකින්න, අහන්න, කියවන්න ලැබෙන්නෙත්.

4 Responses

Subscribe to comments with RSS.

  1. […] සමාජයක් වෙනස් කරන්න පොතකට පුළුවන් ද? […]

  2. indranathathenuwara said, on සැප්තැම්බර් 21, 2015 at 9:20 පෙ.ව.

    ලංකාවෙ පොත් කතුවරුන් සහ ප්‍රකාහකයින් ගැන හොඳ අත්දැකීම් මට තියෙනවා.
    ලංකාවෙ පොත් පිටපත් ලක්ෂ ගණන් විකිණෙන්නෙ නැහැ. නමුත් පෝත් ප්‍රකාශකයා කොළඹ නගරයේ සුපිරි ම නාගරික ප්‍රෙද්ශයකින් ඉඩම් අක්කර ගනනින් අරගනිමින් තට්ටු 5හේ 6 ගොඩනැගිලි සාදද්දී, ප්‍රකාශකයා සුපිරි ම ටොයෝටා ලෑන්ඩ්කෘෘෂරයකින් එද්දී ඔහුගේ පුතා ලෑන්ඩ්රෝවර් එකකින් එද්දී, ලේඛකයා පයින් පැමිණ ඔවුන් කොයිවෙලේ හෝ එනතෙක් වේවැල් පුටුවේ වාඩි වී සිටින රටක් නෙ මේක..!!

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2015 at 9:30 පෙ.ව.

      indranathathenuwara,

      ලේඛකයා පොතක් ලියලා අත්පිටපත බාර දෙනව.

      ප්‍රකාශකයා පොත පිටු සකස් කරන්නට, කවරය හදන්නට, මුද්‍රණයට, පොත් කඩේ සේවකයන්ට රක්ෂා සපයන්නට, පොත් කඩේ ගැන දැන්වීම් දමන්නට යනාදියේ බරපැණ දැරිය යුතුයි.

      පොත් කොච්චර ගණනක් විකිණෙනවාදැයි තීරණය කරන්නේ ඒවා මිල දී ගන්නා එක එක පුද්ගලයා බැගින්.

      ලේඛකයා සිය අත්පිටපතට ලැබුණු මුදල කෙසේ වියදම් කළ යුතුදැයි අපි තීරණය කරන්න යන්නේ නැතිවා වගේම ප්‍රකාශකයා සිය ලාබය කෙසේ වියදම් කරනවා ද යන්නත් අපි තීරණය කරන්න යන්නේ නැහැ. දුප්පතා හෝ පෝසතා වේවා සෑම දෙමව්පියෙක්ම කැමති නැද්ද තමන්ගෙ දරැවන්ට සුපිරිම බඩු අරගෙන දෙන්න?

      • චතුර විජේකෝන් said, on සැප්තැම්බර් 22, 2015 at 11:48 පෙ.ව.

        ලේඛකයා.. දන්නේ ලියන්න.. හොඳම ලේඛකයො දුලබ උනත්.. ලේඛකයො සුලබයි.. පාඨකයින්ගෙ තේරීම් විෂමයි.. ප්‍රකාශකයා.. කරන කාර්යය.. පුළුල්.. විවිධ හේතු නිසා.. සාර්ථක ප්‍රකාශකයො දුලබයි.. කර්තෘ භාගය.. මේ නිසා ම.. අවමයි.. ඉතින් ලේඛකයා දුප්පත්.. ප්‍රකාශකයා පොහොසත්.. රටේ හැටි ඔහොමයි..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: