අරුණි ශපීරෝ‍ වෙතින්

ජේන් අයර් ලියූ ශාලට් බ්‍රොන්ටෙ සහ ඒකීය පුද්ගලවාදය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 25, 2015

IMG_0881

එංගලන්ත පල්ලියේ දේවගැතිවරයෙක් ලෙසින් සේවය කළ පැට්‍රික් බ්‍රොන්ටෙ දැඩි නීති රෙගුලාසි අනුගමනය කළ අයෙක් විය. මරියා නම් වූ ඔහුගේ බිරිඳ සමඟ ඔවුන් සිය ගැහැණු දරැවන් පස් දෙනා සහ පිරිමි පුතා ඇතිදැඩි කළේ යොර්ක්ශර් නම්, එවක දී කුඩා වූ ගම්බද පරිසරයක.

අවුරැදු පහක් වයසින් වූ ශාලට්, අවුරැදු තුනක් වූ එමිලි, සහ තාම වසරක් හෝ පිරී නැති ඈන් හැර දමා ඔවුන්ගේ මව 1821 දී මිය නොගියා නම් ඔවුන්ගේ ජීවිත වෙනස් මගක ගමන් කරන්නට ඉඩ තිබිණි.

මවගේ මරණයෙන් අනතුරැව ඔවුන් බලා කියා ගන්නට කිසිවෙක් නැතිවූයෙන් බ්‍රොන්ටෙ දරැවන් සිය ගම් පළාතේ නිදැල්ලේ සැරිසරන්නට පටන් ගත්හ. අතින් හදා ගත් කුඩා සටහන් පොත්වල ඔවුන් සිය පරිසරය අලලා ගෙතූ කතන්දර සටහන් තැබූහ. එසේම ඔවුන් මහත් සේ පොත් කියවන්නට ද ඇබ්බැහි වූහ. එමිලි ලියන Wuthering Heights (සිංහල පරිවර්තන: උරැම ලද්දෝ සහ පෙම් වියරැව) හි චිරස්ථිත ලෙසින් සටහන් තැබෙන්නේ එදා ගමේ සුන්දර පරිසරයයි.

සිය මවගේ අභාවයෙන් පසු ඔවුන් සියල්ලන්වම එවක නැවතී ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙන දේවගැතිවරයන්ගේ දරැවන් සඳහා වූ පාසලකට පිටත් කර හරින ලදි. ඊ ළඟ වසරේ දී අක්කලා දෙදෙනා වූ මරියා සහ එලිසබෙත්ව පාසැලෙන් පිටමං කර ගෙදර එවන්නේ මියෑදෙන්නටයි. දැඩි දඬුවම් සහ අවශ්‍ය පමණින් ආහාර නොතිබූ ඒ පාසැල පසු කාලීනව ශාලට් විසින් ලියන ජේන් අයර් නවකතාවේ එන ලොවුඩ් පාසැලෙන් පිළිබිඹු වෙයි.

1825 දී ශාලට්, එමිලි ඈන් සහ ඔවුන්ගේ සහෝදරයා වූ බ්‍රැන්වෙල් නැවතත් ලොවුඩ් පාසැලට පිටත් වී යති. එහි දී ඔවුන් සිය කුඩා පොත්වල ඉතා කුඩා අකුරැ වලින් (එහෙම කරන්නට ඇත්තේ පොතේ කොළ ඉතිරි කරගන්නටැයි මතයක් ඇත) කතන්දර, කවි, රචනා ලිවීමේ නිරත වූහ.

ප්‍රභූ පංතියේ යැයි සැලකුනාට ආර්ථිකයෙන් දුප්පත් කාන්තාවන්ට එවක කරත හැකි එකම වැදගත් රස්සාව වූයේ පුද්ගලික ගුරැවරියක් ලෙසින් කටයුතු කිරීමයි. එම රස්සාවට ඉතා අකමැත්තක් දැක්වූවත් 1835 දී ශාලට් එහි නියැළුණි.

එමිලි සහ ඈන් සමඟ හවුලේ ශාලට් පොතක් පළ කරන්නේ 1846 දී කරර්, එලිස්, සහ ඇක්ටන් බෙල් යන අන්වර්ථ නාම වලින්. ඔවුන්ට විකුණාගත හැකි වූයේ එහි පිටපත් දෙකක් පමණි. එයින් සිය උත්සාහය අත්නොහළ ශාලට් “මහාචාර්යවරයා” The Professor නමින් ඇයගේ පළමු සම්පූර්ණ නවකතාව සහමුලින් ලියන ලදි. එය ප්‍රකාශනය වෙන්නේ ඇයගේ මරණයෙන් පසුවයි. නමුත් පසුකාලීනව ලියන ජේන් අයර් හොඳ වේ යැයි කියා ප්‍රකාශකයා එය සම්පූර්ණ කරන්නට ශාලට්ව දිරිගන්වන ලදි. මෙය ශාලට් බ්‍රොන්ටේ පොත් අතරින් ලොව වඩාත්ම සුප්‍රසිද්ධ වූ පොත වෙයි. ඉතින් ප්‍රකාශකයාට වෙළඳපොල ගැන යම් දැනුමක් නොතිබුණා යැයි කෙසේ කිව හැකිද?!!!

1848 දී ශාලට්ගේ සහෝදරයා සැප්තැම්බර් මාසයේ ද, එමිලි දෙසැම්බර් මාසයේ ද මිය යන ලදි. ඊ ළඟ වසරේ මැයි මාසයේ දී ඈන් මිය ගියාය. ශාලට් සිය වයෝවෘද්ධ හා රෝගී පියා සමඟ තනි වූවාය. 1849 දී ඇය ෂර්ලි නමින් නවකතාවක් ද, 1852 දී විලෙට් නමින් නවකතාවක් ද ලියා තබන ලදි. සිය පියාගේ පල්ලියේ භාරකරැවෙක් වූ ආතර් නිකල්ස් හා විවාහ වූවත් ඊට කළින් ඇය ඔහුව දැඩි සේ අකැමති වී සිටියාය. තනිකමෙන් සහ සහෝදරියන්ගේ මරණ හමුවේ අතිශය දුකට පත් වූ ඇය රෝගී කාන්තාවක් බවට පත් වී වයස තිස්නවයේ දී මිය යන ලදි.

Individualism නොහොත් ඒකීය පුද්ගලවාදය යනු තනි පුද්ගලයෙකුගේ ආචාර ධාර්මික වැදගත්කමට තැනක් දෙන සමාජ සහ දේශපාලන දර්ශනයයි. පුද්ගලයෙකුගේ ජීවිතය අයිති ඔහුට යන අදහස එහි දී සැලකිල්ලට පාත්‍ර වෙයි. තම ජීවිතය තමන් කැමති පරිදි ගත කිරීමේ අයිතියෙන් අයෙකුව වෙන් කළ නොහැකි යැයි ද, තම විනිශ්චයන් අනුව කටයුතු කරන්නටත්, තම වෑයමේ ඵලය තමන් කැමති පරිදි භාවිතා කිරීමත්, තමන්ට රිසි අගයන් හඹායන්නට තමනට ඉඩ ඇතැයි කියැවේ. ආචාර් ධාර්මික වශයෙන් යමක් සැලකිල්ලට ලක්වෙද්දී එහි මූලික පදනම් ඒකකය යනු පුද්ගලයා නොහොත් පරම වෙන්නේ පුද්ගලයා බව ඒකීය පුද්ගලවාදයෙන් කියැවේ.

ජේන් අයර් චරිතයෙන් ඇය මේ තම ජිවිතයේ වගකීම තමන් ගත යුතු යන්න මුල් වරට ඉංග්‍රීසි නවකතාවකින් පිළිබිඹු කරන්නේ 1847 දී. (1950 ගණන් වල එංගලන්තයේ කාන්තා විමුක්ති ව්‍යාපාරය නැඟී එන්නට පෙර.) සිය ජීවිතයේ මුහුණ දෙන සියළු අභියෝග හමුවේ සිය ඒකීය පුද්ගලත්වය අත් නොහරින්නට ජේන් අයර් චරිතය නැවත නැවතත් සමත් වෙන්නීය.

පසුකාලීන අයින් රෑන්ඩ් ලියන ඒකීය පුද්ගලත්වාදය ජේන් අයර්ගේ චරිතයෙන් දකින්නට හැකියි. “ඒකීය පුද්ගලයා යනු මෙසේ කියන්නෙකි: මගේ හැර වෙන කාගේවත් ජීවිත හසුරැවන්නට මම නොයමි. අනුන් වෙතින් පාලනය වෙන්න හෝ අනුන්ව පාලනයට මම නොයමි. මම ස්වාමියෙක් හෝ වහලෙක් නොවෙමි. මාව වෙන කිසිවෙකුට පරිත්‍යාග නොකරමි -එසේම මා වෙනුවෙන් වෙන කාවවත් පරිත්‍යාග කර නොගනිමි.”

“මම කිරිල්ලියක් නොවෙමි; කිසිම දැලකින් මාව අල්ලා ගත නොහැකියි: ස්වාධීන අධිෂ්ඨානයෙන් යුතු මම නිදහස් මිනිස් සත්වයෙකි,” යන්න ජේන් අයර් නවකතාවේ එන සුපතල උපුටනයක් වෙයි.

එහෙත් ඇයගේ පුද්ගලත්වය ගැන හොඳම උදාහරණය එන්නේ රොචෙස්ටර් මහතාගේ විවාහ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කිරීමේ දී ය. ඔහුගේ මුල් විවාහයේ අවුල දැනගත් පසුව වුව ද, නිල වශයෙන් විවාහයක් නොමැතිව ඇය සිය ආත්ම ගරැත්වය පාවා දෙන්නට අකැමති වේ. ස්ව අගය සහ අවංක භාවය ඉහළ ආචාර ධාර්මික අගයන් හැටියට සලකන ජේන් අයර් චරිතය විවාහය එක හා සමාන දෙදෙනෙක් අතර වූවක් යැයි තමන්ට තේරැම් යන තෙක් එයට එළඹෙන්නේ නැත.

ඉංග්‍රීසියෙන් කියවන්නට කැමති අයට Jane Eyre’s Tryst With Individualism මෙතැනින් කියවන්නට පුළුවන්.

පිරිමියාගේ Charles යන නමේ උච්චාරණය චාල්ස් වුනාට ගැහැණියගේ Charlotte යන නම කියැවෙන්නෙ ශාලට් ලෙසින්. ඒත් ලංකාවේ චාලට් යන නම කාන්තාවන්ට වැටුණ. ඉතින් අනාගත ජේන් අයර් පරිවර්තන මුද්‍රණ වල දී ලේඛිකාවගේ නම චාලට් නොවී ශාලට් ලෙසින් පළවේවා යැයි පතමි.

9 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on සැප්තැම්බර් 25, 2015 at 11:39 ප.ව.

    ජේන් අයර් සිංහල පරිවර්තනය මුලින්ම කියෙව්වේ, එහි ගැඹුර තේරුම් ගන්න බැරිතරම් වයසේදී. ඇත්තටම මෙවැනි කතාවක් අද කියෙව්වත්, අදත් අලුතෙන් යමක් හිතන්න කාරණයක් මතුවෙනවා.

    බටහිර ජාතීන්ගේ පාලන සමයෙන් පසු, අපේ සමාජයට ඇතිවූ බලපෑම් නිසා, නම් තැබීම බොහෝදුරට බටහිරකරණය වුණා. මේ ආකාරයට විකෘතිවූ නමක්, නිවැරදි කරන්නට මට හැකිවුණා. මා යටතේ සොල්දාදුවකු හිටියා ‘සේවින් බණ්ඩා’ යන නමින්. මේ නම ඇසු දිනයේම මට හිතුනා, මොකක් නමුත් මෙහි වැරැද්දක් ඇති බව. ඔහුගේ ගම තේ වතු බහුල ප්‍රදේශයක. ඔහුගේ මී මුත්තා සුද්දන් යටතේ සේවය කළ කෙනෙක්. මට වැටහුනා නිවැරදි නම. මම ඔහුට ඒ බව පැහැදිලිකර දුන්නා.

    නිසි පරිදි නම් වෙනස්කිරීමේ ඉල්ලුම්පතක් යොමුකොට, ඔහුගේ නම, ‘ෂර්වින් බණ්ඩා’ යනුවෙන් සකස් කරගන්නට හැකිවුණා.

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2015 at 7:30 පෙ.ව.

      විචාරක,

      මාත් කියෙව්වෙ පුංචි කාලේ. ඒත් සිංහල පරිවර්තනයක් කියවලා නැහැ.

      පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි නම් අරගෙන අපේ හුරැවට හදල දාලා තියනව. එතැන වැරැද්දක් මම දකින්නෙ නැහැ. ශාලට් බ්‍රොන්ටෙ කතුවරියගේ නම හැටියට ලියද්දී චාලට් යැයි ලිවීමේ වැරැද්ද සහ චාලට් යැයි ලංකාවේ අයෙකුට දාලා තියෙන නම් නිවැරදි කිරීම වෙනස් කාරණා දෙකක්.

  2. විකේන්ද්‍රික V.K said, on සැප්තැම්බර් 26, 2015 at 4:41 පෙ.ව.

    individualism සංකල්පය සමාජයක් ආශ්‍රිතව ප්‍රායෝගික නෑ නේද? උදාහරණයකට පුද්ගලයෙකුට ඔහුගේ/ඇයගේ මුහුණ ආවරණය කරගෙන අනෙකුත් පුද්ගලයන් සේම සමාජයේ සැරිසැරීම කරන්නට බැහැ නේද? (උදා- බුර්කාව හෝ නිකාබය හැඳ බැංකුවට යාම – ඒ.ටී.එම් යන්ත්‍ර භාවිත කිරීම).

    ඒවගේ ඒක පුද්ගල නිදහස සහ සමාජයක පොදු යහපැවැත්ම සැලකූ විට දෙවැන්නට මුල් තැන දීම නිසා පුද්ගල නිදහසට සීමා වැටීම අනිවාර්‍ය නිසා individualism ප්‍රායෝගික නොවන සංකල්පයක් කියා යමෙකුට තර්ක කල හැකි නේද?

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2015 at 7:59 පෙ.ව.

      විකේන්ද්‍රික V.K,

      ඒකීය පුද්ගල නිදහස කියන්නෙ තමන් කැමති ඕනෑම ආකාරයකට අනුන් ඉස්සරහා හැසිරීමට ඇති නිදහස නෙමෙයි. තනිවම හුදකලා දූපතක ජීවත් නොවී අනිත් අය හා ගණුදෙනු කළ යුතු නම් ඒ අනිත් අයගේ ඕනෑ එපාකම් ද සැලකිල්ලට ගැනීමට සිද්ධ වෙනවා, තම සුබ සිද්ධිය (ඖෂධ, ආහාර) සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්.

      නිරැවත්ව බැංකුවට යෑම වගේම අනන්‍යතාවය හෙළිකිරීමෙන් සැඟවෙන්නට හැකි ඇඳුම් පැළඳගෙන යාම ද ඒ නිසා නොහැකි එයින් තමන්ගේ ජීවන රටාවේ හෝ ආගමික දෘශ්ටියේ හෝ උවමනාවක් සපුරාගන්නට අනුන්ව වහලුන් කරගැනීම නිසයි. නිරැවත් කොලනියකට හෝ බුර්කා/නිකාබ් හැමෝම අඳින තැනකට, එවැන්නක් අත්හරින්නට බැරි අයෙක් සීමා වීම යනු ඔවුන්ගේ පුද්ගල නිදහස ආරක්ෂා වීමත් අනුන්ගේ පුද්ගල නිදහසට බාධාවක් නොමැතිවීමත් දෙකම ඉෂ්ට වෙන ආකාරයක්. බලහත්කාරයෙන් නොහදපු එවැනි ස්ථාන ලොව ඇත්තේ ඒ නිසාමයි.

      ඉතින් පුද්ගලයා පරම වීම නිසා පුද්ගල නිදහසට සීමා වැටෙන්නෙ නැහැ. තමන්ගේ නිරැවත් බව හෝ හඳුනාගත නොහැකි ලෙස ඇඳුම් පැළඳගෙන යාම තම පුද්ගල නිදහසට වැදගත් යැයි සිතන අයෙකු එවැනි ලෙස හැසිරෙන්නට හැකි ස්ථානයකට සීමා වීම සිද්ධ වීම එයාගේ පුද්ගල නිදහසට පැනවෙන සීමාවක් නෙමෙයි. එයාගේ පුද්ගල නිදහස ඉඩදෙන අතර අනුන්ගේ පුද්ගල නිදහසට ද සීමාවන් නොදැමීමයි.

      ඒත් පුද්ගල නිදහස පරම නොවී සමාජයක පොදු යහපැවැත්ම පරම වුවොත් එයින් කියැවෙන්නෙ එක පුද්ගලෙයක්ව අනුන්ගේ වහලෙක් බවට පත් කරගැනීමට අවකාශය තිබෙන බවයි.

      ප්‍රායෝගික නොවන්නේ සමාජයක පොදු යහපැවැත්ම පරම යන සංකල්පයයි. ඉතිහාසය නිතරම ඔප්පු කර පෙන්වන්නේ ඒකීය පුද්ගලයන් ඒ ඒ අයගේ කැමැත්ත අනුව කටයුතු කරනවා මිසෙක සමාජයේ පොදු යහපැවැත්ම වෙනුවෙන් කටයුතු නොකරන බවයි.

      පාකිස්තානයේ Burka Avenger සුපර් වීරවරිය ගැන අහලා තියෙනවා ද?

  3. චතුරංග බුද්ධික said, on ඔක්තෝබර් 2, 2015 at 4:08 පෙ.ව.

    මම දාන්න ආපු කමෙන්ට් එක ඔයාම යටින් ලියලා.
    (මම අහන්න ආවේ,
    ශාලට් ද චා(ර්)ලට් ද ඇත්ත එක කියලා අහන්න. මොකද, කාලෙකට කලින් කියවපු ඔයා ගේ කතාවක තිබුනා “ලේඩි ශැට(ර්)ලි” කියලා එකක්. ඒත් මම දැකලා තියෙන්නේ “ලේඩි චැට(ර්)ලි” කියලා එකක්. ඔයාට ඒක මතක තියෙන්න ඕනේ.)

    අනිත් දේ පෝස්ට් එක නියමයි කියන එක.

    • arunishapiro said, on ඔක්තෝබර් 2, 2015 at 6:25 පෙ.ව.

      චතුරංග බුද්ධික,

      මේ බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලයේ මාත් සෑහෙන ගණනාවක නම් ගම් වැරදි උච්චාරණ සිංහලෙන් ලියල තියනව. ලුඩ්විග් වොන් මීසස් ලියූ පොත් කියවද්දී කිසිම කෙනෙක් ඔහුගේ නම උච්චාරණය කරනවා අහලා තිබුනේ නැහැ. ඉතින් මම බ්ලොග් සටහන් වල දී මයිසස් කියලා ලිව්වා. නමුත් පසුව උච්චාරණය මීසස් යැයි දැනගත්තම හැකි සෑම අවස්ථාවකම වැරද්ද නිවැරදි කරන්න වෙහෙසෙනවා. සමහර අය මම පෝස්ට් එකක් දාපු ගමන් වැරදි පෙන්වා දුන්නම මම ඒවා හැදුව. තාමත් එහෙමයි. නිතරම වැරැද්දක් පෙන්වා දෙනවිට හදාගන්නයි බලන්නෙ. භාෂාවක විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ දී පවා වැරදි සිද්ධ වීම සාමාන්‍ය දෙයක්. එය පෙන්වා දීම උපකාරයක්. එය හදාගැනීමෙන් ඇතිවන්නේ තමන්ගේ දියුණුවයි.

      ඔබ නිවැරදියි. ලේඩි චැටර්ලි ගැන මේ අඩවියේ සඳහන් කළ තැනක් හොයාගන්න බැරිවුනා. ඒත් දිගු කාලයකින් මුකුත් ලියා නැති අනිත් (සිංහල කතා) බ්ලොග් එකේ ඒ ගැන සඳහනක් තියෙනවා. ඒක හැදුවා. නිවැරදි උච්චාරණය චැටර්ලි තමයි. පෙන්වා දුන්නට බොහොම ස්තූතියි.

      අන්තර්ජාලයෙන් හොයාගත්තු තරමින් ඒ පොත ‘සෙනෙහස බැඳුණු තැන’ නමින් විජයපාල වික්‍රමසිංහ, ‘අවසරකල් රහස් තැන හෙවත් චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ නමින් කරැණාදාස හෙට්ටිආරච්චි සහ ඒ නමින් ම මෙල්වින් විජේසේකර ද පරිවර්තන කර තියන බවත් ඒවායේ නම් උච්චාරණය (මගේ සඳහනේ ලෙසින් නොව) නිවැරදිව යොදා තියන බවත් ‘පොත් කියවන අය’ ෆේස්බුක් සමූහයෙන් දැක්ක.

      ඉංග්‍රීසි භාෂාවේ උච්චාරණයන් දන්නා අයට ඒ ගැන මා මුල් කාලයේ මේ අඩවියේ දැමූ කවියක් සබැඳියෙන් රසවිඳින්නට හැකියි.
      https://arunishapiro.wordpress.com/2010/06/22/anonymous-poem/


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: