අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යවසායකත්වයේ අර්ථ ශාස්ත්‍රය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 30, 2015

FEE

1946 දී ඇමෙරිකාවේ ආරම්භ කරන ලද අර්ථ ශාස්ත්‍ර අධ්‍යාපනය සඳහා වූ පදනම (The Foundation for Economics Education) විසින් නොබෝදා ඉදිරිපත් කළ “ව්‍යවසායකත්වයේ අර්ථ ශාස්ත්‍රය” පාඨමාලාව ඇසුරින්, ඔවුන්ගේ අවසරය ඇතිව සිංහලෙන් සටහන් කිහිපයක් ඉදිරිපත් කරන්නට මම මෙහි දී වෑයම් කරමි.

ඉංග්‍රීසියෙන් හදාරන්න කැමති අයට මෙතැනින් එම පාඨමාලාවට පිවිසිය හැකියි.

ව්‍යවසායකයා යනු කවුද?

1840 දී ස්කොට්ලන්ත දාර්ශනික, ඉතිහාසඥ … තෝමස් කාලයිල් ලන්ඩනයේ සභාවකට වීරයන් කවුදැයි හඳුන්වා දෙන විට කවියන්, අනාගතය ගැන අනාවැකි කියනවුන්, රජුන්, පැවිද්දන් ගැන කිව්වාට ව්‍යාපාරිකයන් ගැන සඳහන් කළේ නැත. ඒ සාමාන්‍ය පුරවැසියාගේ ජීවිතය භෞතික ලෙසින් සමෘද්ධිමත් වන්නට පටන් ගත් කාර්මික විප්ලවයේ දියුණුව ලොව අත්විඳිමින් සිටින විටයි.

1880 ගණන් වල දී එංගලන්තයේ හර්බට් ස්පෙන්සර් සහ ඇමෙරිකාවේ විලියම් ග්‍රහැම් යන සමාජ දාර්ශනිකයන් දෙදෙනා සමාජයේ වඩාත්ම නිර්මාණශීලී සහ අත්‍යාවශ්‍යම වූ අයෙක් හැටියට ව්‍යාපාරිකයාව දකින ලදහ. මේ කාලයේ දී හොරේෂියෝ ඇල්ගර්, ජූනියර් ලියූ දුප්පතෙක්ව ඉපිද ධනවතෙක් වෙන කතන්දර (rags-to riches) තුල ව්‍යාපාරිකයන් වීරයන් ලෙසින් පිළිබිඹු කෙරිණ. ඒවා එවක අතිශය ජනප්‍රිය වූ පොත් වූහ.

ඒත් 2015 වෙද්දී කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලය තුල ආචාර්ය/සේවක අයට සංහිඳියාව උදෙසා භාවිතා කළ නොහැකි වදන් හමුවේ “ඇමෙරිකන් සිහිනය” ද පවතියි!

එතැනට එන තත්වය වෙනස් වීම 1964 වෙද්දී දකින්නට තිබිණ. ඇන්ටියොක් කොලෙජ් එකට ඇතුල් වූ පළමු වසරේ සිසුන් 450 ක වෙතින් විසිවැනි සියවසේ තමන් වැඩියෙන්ම අගයන අය කවුදැයි විමසීමක් පැවැත්විණ. නම් කරන ලද වීරයන් 104 දෙනාගෙන් වැඩියෙන්ම මනාප ලැබූ 10 දෙනා වූයේ ගාන්ධි, ජෝන් එෆ්. කෙනඩි, වින්ස්ටන් චර්චිල්, ෆ්‍රෑන්ක්ලින් ඩී. රෑසවෙල්ට්, මාටින් ලූතර් කින්ග්, ඇල්බට් ශ්වයිට්ස්සර්, බට්‍රන්ඩ් රසල්, එලිනෝර් රෑසවෙල්ට්, ඇල්බට් අයින්ස්ටයින්, සහ වූඩ්රෝ විල්සන් යනාදීන්ය. ඒ පළමු වසරේ සිසුන්ගේ දෙමව්පියන් බහුතරය ව්‍යාපාරිකයන් වූවත්, ඇන්ඩෲ කානගී, හෙන්රි ෆෝඩ්, ජෝන් ඩී. රොකෆෙලර් වැනි අය සුප්‍රසිද්ධ වූවත්, සිසුන් කිසිවෙක් ව්‍යාපාරිකයා යනු වීරයෙක් හැටියට නම් කළේ නැත.

1960 ගණන් වෙද්දී ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල වලින් උපාධි ලත්තවුන් අතර බහුතරයක් ව්‍යාපාරිකයන් වුව ද, එවක දී උපාධි ලබන පිරිස් අතරින් 20% ක් පමණි ව්‍යාපාරිකයන් බවට පත් වෙන්නේ.

බදු ගෙවන්නාගේ කරපිටින් නඩත්තු වෙන විශ්ව විද්‍යාල වලින් බෙදන විද්වත් දැක්ම තුල (ලංකාවේ ද එහි වෙනසක් නැත) ව්‍යාපාරිකයා යනු වැදගත් වෘත්තියක යෙදෙන්නෙක් නොවේ. ව්‍යාපාරයක් යන්නට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු නිසා සමහරැ එය අත්හැර දමන ලදහ. ගොවියන් සහ ගණකාධිකරැවන් වැනි වෘත්තීයවේදීන් ව්‍යාපාරිකයන් කොටසට ඇතුල් කරනවා ද වැනි මතවාදයන් තවම පවතී.

ව්‍යාපාරිකයා යන්න පුළුල් නිර්වචනයකින් දැක්විය යුත්තකි. විධායක කළමනාකරැවන්, ව්‍යවසායකයන්, බැංකුකරැවන්, තැරුව්කරැවන්, මාධ්‍යවේදීන් වගේම සිල්ලර කඩේ අයිතිකාරයා ද ව්‍යාපාරිකයෙකි.

ඒ අනුව ව්‍යාපාරිකයා යනු ලාබ අරමුණු කරගෙන, ස්වේච්ඡාවෙන් සිද්ධ වෙන භාණ්ඩ හා සේවා ගණුදෙනුවකට ඉඩ පාදන ඕනෑම පුද්ගලයෙකි.

ලතින් ‘පොෆීටස්’ වෙතින් එන ‘ප්‍රොෆිට්’ නොහොත් ලාබ යන්නේ අර්ථය, ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලද තරැණයෙක්ට විස්තර කර දෙන්නට මට ඊයේ පෙරේදා අවස්ථාවක් උදාවිණ. ජීවිතයේ මෙතෙක් සොයමින් සිටි අපැහැදිලි කොටස් බොහොමයක් පැහැදිලි කරගන්නට හැකිවීම ගැන උද්දාමයෙන් අපගේ සංවාදයෙන් පසු ඒ තරුණයා තව දුරටත් ඔස්ට්‍රියන් ලිබටේරියන් දැක්ම සොයන අයෙක් වූයේය.

ඉතින් ‘ප්‍රොෆිට්’ නොහොත් ලාබය යනු කුමක් ද?

සරල තේරැම පවතින තත්වයට වඩා දියුණුවක් (improvement or advance) යන්නයි. වාසියක් (benefit or gain) යන්නයි.

එය අනවරතයෙන්ම මුදල් වාසියක් විය යුතු නැත. බොහෝ දෙනෙක් ලාබය කුමක්දැයි වරදවා වටහාගන්නට හුරැ කර ඇත්තේ මෙතැනයි.

ඕනෑම මිනිස් ක්‍රියාකාරකමක් (human action) පොළඹවන ලද්දේ එහි අරමුණ කරා යෑමෙන් ඍජුවම හෝ වක්‍රව ලැබෙන වාසියක් මුල් කරගෙන. තවත් විදියකින් කිව්වොත් අලාබයක් මඟ හරවා ගන්නට. එය මුදල් නොව හිතට දැනෙන යම් ලාබයක් හෝ අලාබයක් විය හැකියි.

සමාජයීය වශයෙන් ලාබය යනු පාලනය සඳහා වූ ක්‍රමයකි. ප්‍රයෝජනවත් බව මනින මිනුම් දණ්ඩකි. සාර්ථක සමාගමක් යනු එහි සමාජයීය වටිනාකම පෙන්වන්නකි. අසාර්ථක සමාගමක් යනු එහි සමාජයීය වටිනාකමක් නැතැයි පෙන්වන්නකි.

ඉතින්, ලාබ අලාබ යනු මහජනතාව විසින් සාර්ථකත්වයට ලකුණු දාමින් තෑගි කරන, අසාර්ථකත්වයට දඬුවම් කරමින් අකාර්යක්ෂම ආයෝජනය -සහ ව්‍යාපාරිකයන්- පාලනය කරන හැටි පෙන්නුම් කරන සංඥා වෙති.

ලාබ අලාබ දක්වන්නේ සමාජයේ -ඒකීය පුද්ගලයන් සියල්ලන් වෙතින්ම ස්වේච්ඡාවෙන් සිද්ධ වෙන තෝරාගැනීම් වලින්- කැමැත්තයි. ආණ්ඩුවක් මැදිහත් නොවෙද්දී සිද්ධ වෙන පුද්ගලික දිරිගැන්වීම් සහ ව්‍යාපාරික ප්‍රතිපත්තීන් පෙන්නුම් කරන්නේ මහජන කැමැත්තයි.

ඒ නිසා සිල්ලර කඩේ මුදලාලි සිට ෆේස්බුක් අයිතිකාරයා දක්වා සෑම අයෙක්ම ව්‍යාපාරිකයෙක් යැයි හඳුන්වන්නට පුළුවන්. නළුවා, ගෘහ නිර්මාණ ශිල්පියා, චිත්‍ර ශිල්පියා, වඩුවා, දොස්තර, ඉංජිනේරැවා, සංගීතඥයා, මාධ්‍යවේදියා, පයිප්ප බාස් යනාදීන් වගේම ගත්කරැවා, විද්‍යාඥයා සහ මහාචාර්යවරයා ද විද්වත් යැයි කියාගත්තට තමන්ගේ ශ්‍රමය විවෘත වෙළඳපොලක විකුණන ඒ වෙනුවට ලැබෙන මුදලින් බඩු මිල දී ගන්න අය වෙති.

මුදල් යනු ගණුදෙනු කටයුතු සඳහා යොදාගන්නා මාධ්‍යයක් පමණි.

ලාබ සොයනවුන් ගැන දැඩි විවේචනයේ යෙදුන ද අලාබ අඩුකරගෙන ලාබ වැඩියෙන් සොයමින් සෑම මිනිසෙක්ම ජීවිතය ගෙවයි. සංගීතඥයා තමන් වාදනය කරන්නට කැමති සංගීතය සපයා ලාබ සොයන්නකි. මහාචාර්යවරයා තමන් තෝරාගත් විෂයයෙන් සිසුන් දැනුවත් කරමින් ලාබ උපයයි. වෛද්‍යවරයා රෝගීන් සුවපත් කර ලාබ උපයයි.

ස්වේච්ඡාවෙන් යැයි කියද්දී එහි පාරිභෝගිකයා සහ විකුණන්නා යන දෙදෙනාම අතර කැමැත්තෙන් කළහැකි තෝරාගැනීම් ඇතැයි අපේක්ෂා වේ. අද වෙනෙසියුලාවේ පවතින ආර්ථික කටයුතු ඒ නිසා ව්‍යාපාරික යන නමින් හැඳින්විය නොහැකියි. ආණ්ඩුවේ බලයෙන් ආර්ථිකය පාලනය යනු සමාජවාදයයි.

ශේක්ස්පියර්ගේ වදනින් කිව්වොත්, “බලාගෙන ගියාම, සෑම මිනිසෙකුටම ව්‍යාපාරයක් සහ ආශාවක් ඇත”. ඒත් භාණ්ඩ හා සේවා වෙළඳපොලට ඉදිරිපත් කරන්නා පමණක් ව්‍යාපාරිකයෙක් හැටියටත් එසේම දුෂ්ටයෙක් හැටියටත් හංවඩු ගැසී ඇත.

ජාතීන්ගේ ධනය ලියූ ඇඩම් ස්මිත්, ව්‍යාපාරිකයා ගැන නිවැරදි මතයක් දරපු අයෙක් හැටියට සලකන අය අතර මාත් ඉන්නෙ. ඇඩම් ස්මිත්ට අනුව ව්‍යාපාරිකයා වීරයෙකුත් නෙමෙයි දුෂ්ටයෙකුත් නෙමෙයි. වෙනත් සමාජ කොට්ඨාශ අතර වගේම ව්‍යාපාරිකයන් අතරත් හොඳ අය සහ නරක අය ඉන්නව.

තමන්ගේ ප්‍රධාන කාර්යය වූ භාණ්ඩ හා සේවා වෙළඳපොලට ගෙනෙමින් රස්සාවල් බිහිකරමින් ව්‍යාපාරිකයන් විශ්ව විද්‍යාල, කෞතුකාගාර, ඉස්පිරිතාල, සුබසාධන පදනම් වගේම දුම්රිය සහ මහාමාර්ග පවා සමාජයට තෑගි කරල තියෙනව. ඒවා බහුලව දකින්නට ලැබෙන්නේ ස්වේච්ඡාවෙන් කරන තෝරාගැනීම්වලට ඉඩක් තිබූ කාල වකවාණු වල එවැනි ඉඩකඩ ඇති රටවල්වල දී. ස්වේච්ඡාවෙන් කරන තෝරාගැනීම් වලට ඉඩක් නොදී ව්‍යාපාරිකයන් හොරැ හැටියට හංවඩු ගහන අද වෙනෙසියුලාවේ සැතපුම් ගණන් දිග පෝලිම් වල මිනිස්සු හිටගෙන ඉන්නවා සලාක ක්‍රමයට බෙදන කිරි බෝතලය ගන්න.

ගණුදෙනු යන්න ස්වභාවික මිනිස් ක්‍රියාකාරකමක් බව වැටහීම නැතිවී යද්දී, මුදල් යනු වාසි හොයන මිනිසා භාවිතා කරන මාධ්‍යයක් පමණක් බව වැටහීම නැතිවී යද්දී, වෙනෙසියුලාවේ වැනි තත්වයක් ඕනෑම රටක ඇතිවෙන්න පුළුවන්.

ව්‍යාපාරිකයා දුෂ්ටයෙකුත් නෙමෙයි. වීරයෙකුත් නෙමෙයි. එයා රස්සාවක් කරන අයෙක්. තමන්ට ඍජුවමත්, අනුන්ට -සමාජයට, වක්‍රවත්. ලාබ අලාබ යන සමාජ ශික්ෂණයට ඔහු හැමවිටම භාජනය වෙන්නෙක්. පාරිභෝගිකයාගේ දැඩි පාලනයට හසුවූවෙක්.

ව්‍යාපාරිකයෙක් වෙන්න හිතන්න කළින් මේ ගැන සෑහෙන්න හිතලා බලන්න ඕන. මොකද ශිෂ්ට හා ශ්‍රේෂ්ඨ වූ සමාජයක් බිහිවෙන්න නම්, එහි ව්‍යාපාරිකයන් තමන්ගේ ක්‍රියාපිළිවෙත ගැන සෑහෙන්න හිතපු අය වෙන්න ඕනෑ. ව්‍යවසායකත්වය යනු කුමක්දැයි අවබෝධයක් ලබන්න අවශ්‍යයයි.

මේ සටහන William H. Peterson විසින් FEE අඩවියට ලියූ The Businessman Hero or Villain ඇසුරිනි.

One Response

Subscribe to comments with RSS.

  1. […] ව්‍යවසායකත්වයේ අර්ථ ශාස්ත්‍රය […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: