අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යවසායකයා යනු කවුද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 3, 2015

Bohm-Bawerk-quote-sinhala-new

ව්‍යවසායකයා යනු මෙතෙක් ඉටුකර නොමැති ඉල්ලුමක් හඳුනාගෙන එය සපයන්නට ක්‍රමයක් සොයාගත්, අනුන්ට අගයක් නිෂ්පාදනයෙන් එයින් තමන්ටත් සහ සමාජයටත් අගයක් එකතු කරන්නෙකි.

කෙටියෙන් කිවහොත් ව්‍යවසායකයා යනු ගැටළු විසඳන්නෙක් සහ වස්තු සම්පත් නිර්මාණය කරන්නෙකි. අපේ ආර්ථිකයේ සහ අපේ සමාජයේ දීර්ඝ කාලීන සමෘද්ධිය වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ ව්‍යවසායකත්වය පිළිගන්නා සංස්කෘතියක් නිර්මාණය හා පවත්වා ගැනීමයි. ව්‍යවසායකත්වයේ භූමිකාව අනුන්ට යහපත් සේවයක් සැපයීමෙන් තමන්ගේ යහපත සලසා ගැනීමයි.

ව්‍යවසායකයා යනු කවුද? යන්න 1952 දී ලුඩ්විග් වොන් මීසස් ලියූ ‘නිදහස උදෙසා සැලසුම්’ යන කෘතියේ මෙසේ සඳහන් වේ.
“තාක්ෂණිකව කරත හැකි ව්‍යාපෘති සමූහයක් ඉදිරියේ දී, මහජනතාවගේ තවමත් තෘප්තිමත් නොකරන ලද, ඒත් ඉතාමත් ඉක්මණින් තෘප්තිමත් කළ යුතු උවමනාව ඉටු කරන ආකාරය තෝරාගැනීම ව්‍යවසායකයාගේ කාර්ය භාරය වෙයි.”

ලාබ වෙනුවෙන් අවදානමක් ගනිමින් ව්‍යාපාරයක් නිර්මාණය කරන්නා ව්‍යවසායකයෙක් යැයි බොහෝ දෙනෙක් හඳුනා ගනිති. මේ දැක්ම නිවැරදි වුවත්, පුළුල් නිර්වචනයක් කළහොත්, ව්‍යවසායකයා යනු සම්පත්, වැඩියෙන් ප්‍රයෝජනවත් භාවිත සඳහා යොදවමින් අගයක් නිර්මාණය කරන්නා හැටියට දැක්විය හැකියි. ඔවුන් එය කරන්නේ නව නිෂ්පාදන නවෝත්පාදනයෙන් සහ පවතින පරණ ඒවා වෙනුවට හඳුනා නොගත් ලාබ අවස්ථා හඳුනාගෙන ඒවා ස්ථාපිතයට කටයුතු කිරීමෙනි.

උදාහරණයක් හැටියට අධ්‍යාපන ක්ෂේත්‍රය සැලකිල්ලට ගනිමු. ජනතාව පිට පටවන බදු බරෙන් රාජ්‍ය බලයක් පවත්වා ගනිමින් දිගින් දිගටම නොමිලේ බෙදන අධ්‍යාපනය, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ රක්ෂා පුරප්පාඩු සඳහා දැනුම හා කුසලතා පිරි අයව ඉදිරිපත් කිරීමට අසමත් වෙති. උපාධි ලත් රස්සා නොමැති අය බිහිකරන දැනුම බෙදන පද්ධති වලට විකල්පයන් ලොව බිහි කරන ලද්දේ ව්‍යවසායකයන් විසිනි. විශ්ව විද්‍යාලයක වසර ගණනාවක් ඉගෙන ගන්නට සියල්ලන්ටම අවශ්‍යතාවයක් නැති වෙද්දී, ව්‍යාපාරයක් හා සම්බන්ධ වී දැනුම වඩවා ගන්නට විකල්ප අවස්ථා දැන් සුලබව ලොව පැතිර යයි.

සමහර අය යම් රටක නවෝත්පාදන බිහිවෙන්නට නම් මේ මේ දේවල් රජය විසින් ස්ථාපනය කළ යුතු බවත්, ඒ සඳහා ජනතාවගේ බදු මුදල් මේ මේ ආකාරයෙන් අය කරගෙන මේ මේ ආකාර වලින් වැය කළ යුතු බවත් කියති. ඒත් ජනතාවගේ බදු බර වැඩි කරමින් මූලික අධ්‍යාපනය පවා බෙදන්නට අසමත් ‘රජය’ නැමති සංස්ථාව කවුරැ කෙසේ කියන අන්දමට නවෝත්පාදන වෙනුවෙන් සැලසුම් හැදිය යුතු ද?

“සැලසුම් කරන්න හැකි යැයි ඔවුන් සිතන දැයෙන් කොතරම් ඇබිත්තක් පමණක් ඔවුන් දන්නවාදැයි මිනිසුන්ට පෙන්වා දීම අර්ථ ශාස්ත්‍රයේ අපූරැ කර්තව්‍යයයි,” යනුවෙන් එෆ්. ඒ. හයෙක් නම් වූ නොබෙල් ත්‍යාගලාභී අර්ථ ශාස්ත්‍රඥයා පෙන්වා දුන්නේය.

සාර්ථක ව්‍යවසායකයෙක් වීමට ශක්තිමත් පෞරැෂයක් අවශ්‍යයයි. ව්‍යවසායකයාගේ ලක්ෂණ පුළුල් හා විවිධ විය හැකි අතර සාර්ථක ව්‍යවසායකයා තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපය අතර මේවා ද වෙති: ස්වාධීන චින්තනය, විචක්ෂණශීලීත්වය, ස්ථිරතාවය, අත්නොහරින හැදියාව, ධෛර්යය, අරමුණුශීලීත්වය, ස්ව ශික්ෂණය, මූලාශ්‍ර හා තොරතරැ සොයා ගැනීමේ හැකියාව, යහපත් විනිශ්චයන්ට එළඹීම, කරන කටයුතු සඳහා ඇති මහත් ළැදියාවයි. ඒ මහත් ළැදියාව සහ කුසලතාවයන් එකතුවෙන් අනුන්නට සේවය සපයන්නට ව්‍යවසායකයා සාර්ථක ව්‍යාපාර බිහි කරයි.

නවෝත්පාදනය ලොව ඉතා ඉක්මණින් වර්ධනය වී ඇත්තේ මන්ද?

රජය විසින් බෙදන සැලසුම් නිසා නොවන බව ලොව නැවත නැවතත් ඔප්පු කළ ද, රජය නිසා යන විශ්වාසයට ජනතාව හුරැ වී සිටිති. ඩග්ලස් නෝර්ත් නම් අර්ථ ශාස්ත්‍රඥයා කියන්නේ, නවෝත්පාදන බිහිවෙන පදනමක් ඇති වූයේ දේපල අයිතිය, දූෂිත නොවූ උසාවිය, නීතියේ රීතිය වැනි සංස්ථා බිහිවීම නිසා බවයි. අධ්‍යාපානය හෝ විශ්වාසයක් තැබිය හැකි ඉන්ධන ලොව පැතිර යාම නිසා බව තවත් කොටසක් පෙන්වා දෙති. අර්ථ ශාස්ත්‍ර ඉතිහාසඥවරියක් වන ඩීඩ්‍රා මැක්ක්ලොක්ස්කි තර්ක කරන්නේ මිනිසා විසින් ආක්‍රමණිකයන් හා රජුන් වර්ණනා කරන හැදියාව පැත්තකට දමා වෙළෙන්ඳන් සහ නවෝත්පාදකයන් අගයන්නට වෙනස් වූ නිසා බවයි.

සියල්ලන් වෙනුවෙන් සැලසුම් කරන්නට රජය දන්නවා යැයි සිතන, නැත්නම් රජය සලසා දෙන පහසුකම් මත රටේ දියුණුව රඳා පවතිනවා යැයි සිතන අය වැඩි සමාජයක රක්ෂා බිහිවෙන්නේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සහ ඔවුන් හා සම්බන්ධ වූ පුද්ගලික සමාගම් ප්‍රමුඛව. ඔවුන්ගේ පසුම්බි වැඩියෙන් පිරෙන්නට. රටවැසියා ඉල්ලන දේ වෙනුවෙට ඔවුන් රටවැසියාට ලැබිය යුතු දේ සැපයීමට තීරණය කරති. ඉල්ලුමක් නැති දේවල් දීර්ඝ කාලයක් තිස්සේ බෙදාහරින්නට හැකියාව නැති නිසා කාලයක් යද්දී ඒ රක්ෂාවන් හි නියැළෙන අයට පඩි ගෙවාගත නොහැකි තරමට රජය බංකොළොත් වේ.

ව්‍යවසායකත්වය සතුටින් පිළිගන්නා සමාජයක් රක්ෂා වැඩියෙන් නිර්මාණයට සහාය වෙයි. එවැනි සමාජයක වස්තු සම්පත් වැඩියෙන් නිර්මාණය වෙයි. එහි දී පුද්ගලයාට සිය නිර්මාණ කුසලතාවයන් උරගා බලන්නට අවස්ථාව පෑදෙයි. රටට අගයක් නිර්මාණයට ඉඩක් ලැබෙයි.

අපි වාසය කරන පැත්තේ 1920 ගණන් වල දී, ගෙදර කුකුලන් හදා විකුණු කාන්තාවකට පනහක් ඉල්ලුම් කරද්දී පන්සීයයක් කුකුළු පැටව් එවන ලද්දේ අත් වැරැද්දකින්. ආපහු නොයවා උන් සියල්ලන්වම අවට අය හා සමඟ බෙදාගෙන හදා ලාබ උපයන්නට සමත් වූ නිසා මෙහි කුකුල් කර්මාන්තයක් බිහිවිය. ඔවුන්ගේ නිෂ්පාදනය අලෙවියට නිව් යෝර්ක් නගරයේ වැඩි අවස්ථා ඇති නිසා කුකුල් ව්‍යාපාර හිමියන් එවක වූ තාර නොදැමූ පාරවල් වලින් නිතර යන බව දුටු ඩුපොන්ට් රසායන කම්හලේ අයිතිකරැවා පුද්ගලික ධනයෙන් තාර පාරක් නිව් යෝර්ක් බලා යන්නට හදන ලදි. අද නිව් යෝර්ක් යන්නට අපිට ඇත්තේ එදා ජනතාව පිට බදු බරක් පටවන්නේ නැතිව පාරිභෝගික ඉල්ලුමක් සපුරන්නට සමත් වූ ඒ ව්‍යවසයායකාගේ නිර්මාණයයි. ඇමෙරිකාවේ මහා මාර්ග සහ දුම්රිය මාර්ග මහත් ප්‍රමාණයක් ඉදි කරන ලද්දේ පුද්ගලික ව්‍යවසායකයන් විසිනි. ඇමෙරිකාව දුප්පත් රටක් ලෙස උපත ලබා ලොව ධනවත් රටක් බවට පත්වූයේ ඒ නිසයි. ඒත් ඉතිහාසය නොදන්නා ඔබාමා වැනි ජනාධිපතිවරැ සහ එලිසබෙත් වොරන් වැනි සෙනෙට් සභිකයන් රජය හදා දුන් පාරවල් වල ව්‍යාපාරිකයන් සිය නිෂ්පාදන ගෙන යති වැනි විහිළු කතා කියති.

1946 දී ඇමෙරිකාවේ ආරම්භ කරන ලද අර්ථ ශාස්ත්‍ර අධ්‍යාපනය සඳහා වූ පදනම (The Foundation for Economics Education) විසින් නොබෝදා ඉදිරිපත් කළ “ව්‍යවසායකත්වයේ අර්ථ ශාස්ත්‍රය” පාඨමාලාව ඇසුරින්, ඔවුන්ගේ අවසරය ඇතිව සිංහලෙන් සටහන් කිහිපයක් ඉදිරිපත් කරන්නට මම මෙහි දී වෑයම් කරමි.

ඉංග්‍රීසියෙන් හදාරන්න කැමති අයට මෙතැනින් එම පාඨමාලාවට පිවිසිය හැකියි.

2 Responses

Subscribe to comments with RSS.

  1. […] ව්‍යවසායකයෙක් හැටියට කිසිම තීරණයක් නොගත් අය එන්න එන්නම ව්‍යවසායකත්ව පුහුණු පවත්වන්න පටන් ගෙන ඇති සමයක තමයි මේ සටහන ලියැවෙන්නෙ. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: