අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යවසායකයන් වෙතින් ලැබුණ නොසිතූ විරෑ ප්‍රතිඵල

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 5, 2015

1920 ගණන් යනු අපට අර්ථ ශාස්ත්‍ර පාඩම් බොහොමයක් ඉගැන්වූ දශකයකි. එයින් ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි වූව නම් සමහර විට බදු අඩු කිරීම නිසා රේඩියෝ සිට සීතකරණ දක්වා විප්ලවීය නිෂ්පාදන සඳහා ආයෝජනයට ව්‍යවසායකයන් දිරිගැන්වීමයි.

අනුෂංගය වශයෙන් (දැනටමත් ඔප්පු කරන ලද්දකින් එන ප්‍රස්තුතයක් ලෙසින්) කියැවෙන පාඩමක් ද මෙහි දී වැදගත් වෙයි. ව්‍යවසයාකයන්ට නිදහස ලැබෙද්දී, ඔවුන්ගේ දේපල අයිතිය ආරක්ෂා වෙද්දී, ඔවුන් කුමක් නිෂ්පාදනය කරාවි දැයි කලින් අනාවැකි කියන්නට නොහැකියි. එය ඔවුනට ද කළ නොහැකි වූවකි. 1920 ගණන් වල දී ඇමෙරිකන් ජීවිතයේ කොටසක් වූ නිෂ්පාදන හතරක් මෙසේය -ක්ලීනෙක්ස් ටිෂූ, සිපර්, වායුසමීකරණය, සහ ස්කොච් ටේප්.

පළමු ලෝක යුද්ධයේ දී කපු සැපයුම් අඩුවෙද්දී ඒ සඳහා ආදේශකයක් හැටියට ලී පල්පයන් වලින් කිම්බලි-ක්ලාක් කොම්පැණිය ක්ලීනෙක්ස් ටිෂූ නිර්මාණය කළේය. එහි මුල් නාමය සෙලියුකොටන් විය. මුල් කාලයේ දී එය භාවිතා වූයේ ගුලියක් සේ අඹරා තුවාල බඳින්නටයි. යුද්ධයේ පසුකාලීන සමයේ දී එය වර්තමානයේ දී භාවිතා වෙන ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනුනේ ගෑස් වලින් බේරෙන මුහුණු ආවරණ වල ෆිල්ටර් වශයෙන් යොදාගැනීමටයි.

යුද්ධයෙන් පසු කිම්බලි-ක්ලාක් කොම්පැණියට සෙලියුකොටන් විශාල තොගයක් ඉතිරිව තිබුණි. ඒවායෙන් නිර්මාණය කළ හැකි නව නිෂ්පාදන සොයන්නට ඔවුන් වසර ගණනාවක් මහන්සි වූහ. 1924 දී සෙලියුකොටන් ක්ලීනෙක්ස් ටිෂූ බවට පත්විය. කිම්බලි-ක්ලාක් හි අලෙවිකරණ කාර්ය මණ්ඩලය සිතුවේ ඔවුන්ට මුහුණේ කෝල්ඩ් ක්‍රීම් හෙවත් වත්සුණු ඉවත් කරන්නට ගන්නා ක්‍රීම් වර්ගය අයින් කරන්නට පාවිච්චි කළ හැකි සුවිශේෂී (නිච්) වෙළඳපොලක් හමුවී ඇතැයි කියායි. සුමුදු හා කාර්යක්ෂම ලෙසින් මුහුණ පිරිසිදු කරගන්නට හැකි යැයි කියමින් හෙලන් හේස් සහ ගර්ට්රෑඩ් ලෝරන්ස් වැනි හොලිවුඩ් නිළියන් එහි ප්‍රවර්ධනයට දායක වූහ.

කිම්බලි-ක්ලාක් කොම්පැණියේ වාසනාවට, ඔවුන්ගේ අලෙවිකරැවන් තමන් වෙත ලැබුණු ලියුම් කියවන්නටත් වෙළඳපොල විශාල කරන්නටත් බුද්ධිමත් වූහ. පාරිභෝගිකයන් වෙතින් ලැබුණු බොහෝ ලියුම් වල අසා තිබුනේ, “නහය සූරන්න මෙය හොඳ යැයි කියා ඔබ කිසිවිටෙක කියන්නේ නැත්තේ ඇයි?” යන්නයි. මේ නිසා කොම්පැණිය ඒ ගැන විභාග පවත්වන ලදි. බොහෝ පාරිභෝගිකයන් ලේන්සු භාවිතයට වඩා ක්ලීනෙක්ස් ටිෂූ පාවිච්චියට වැඩි කැමැත්තක් පෙන්වන ලදි. ඉතින් කොම්පැණිය දැන් උදම් ඇනුවේ විසි කරන්නට පුලුවන් නිසා ටිෂූ වැඩි සනීපාරක්ෂක බැවින් යුතු යැයි කියායි. “හෙම්බිරිස්සාවක් පොකැට්ටුවේ දාගන්න එපා,” යැයි ඔවුන්ගේ ඊ ළඟ දැන්වීම්කරණ මාලාවේ තේමාව විය. 1929 දී උඩින් එකින් එක ටිෂූ ගත හැකි පෙට්ටිය කිම්බලි-ක්ලාක් හඳුන්වා දුන්නේය. අලෙවිය තවත් වැඩි වී 1930 ගණන් වල දී පැතිර ගිය මහා ආර්ථික අවපාතය සමය පුරා ද අලෙවිය බැස යාමක් නොවීය.

ක්ලීනෙක්ස් ටිෂූ සේ ම, සිපර් එක ද, එහි මුල් වසරයන් හි දී විවිධ භාවිතා වලින් යුතු විය. සමහර විට සිපර් එක ගැන වඩාත්ම පුදුමයට පත්විය යුතු කරැණ නම්, එය යමෙක් නිර්මාණය කරන්නට සිතීමයි. ඇමෙරිකාවේ පේටන්ට් බලපත්‍ර කාර්යාලය එම නිෂ්පාදනය හමුවේ තක්බීරි වී එය වර්ග කරන්නේ කෙසේදැයි කියා නොදත්තේය.

“ලිස්සන සවිකිරීම” (slide fastener) යනුවෙන් මුලින්ම හැඳින්වෙන ලද එය මුල් කාලයේ දී භාවිතා වූයේ සපත්තු වලටයි. 1914 දී එහි ප්‍රවර්ධනකරැවෙක් වූ ගිඩියන් සන්ඩ්බැක් හැම විටම හරියට වැඩ කරන සිපර් එකක් මුල් වතාවට නිෂ්පාදනය කළේය. “කොකු නැති නොම්මර 2” (hookless no.2) නමින් හේ එය හැඳින්වීය. පළමුවැනි ලෝක යුද්ධයේ දී නාවිකයන්ගේ මුදල් බඳ පටි සඳහා ඒවා දහස් ගණනකින් විකුණන ලදි. නාවික හමුදාව අත්හදා බලමින් සිටි “පියාඹන ඇඳුමක්” වෙනුවෙන් ද සන්ඩ්බැක් විසින් ඒවා විකුණුවේය. ඒත් නිමි ඇඳුම් කර්මාන්තයේ යෙදී සිටි සන්නාලියන් වැඩියෙන් කැමති වූයේ බොත්තම් වලටයි. ඔවුන් සිපර් ප්‍රතික්ෂේප කළහ.

නමුත් 1923 දී බී. එෆ්. ගුඩ්රිච් විසින් අවදානමක් ගෙන කොකු නැති ලිස්සන සවිකිරීම් එක් ලක්ෂ පනස්දාහක් මිල දී ගෙන ඒවා තම කොම්පැණිය හැදූ සපත්තු උඩින් දමන රබර් සපත්තු ආවරණ (galoshes) සඳහා යොදා ගත්තේය. කොම්පැණිය ඒ ගලාෂස් හඳුන්වන ලද්දේ “සිපර් බූට්ස්” (Zipper Boots) කියායි. නම පාරිභෝගිකයන්ගේ සිත් තුලට කාවදින ලදි. රෙදිපිළි කර්මාන්තය ඇඳුම් පැළඳුම් සඳහා වූ විශාල වෙළඳපොල වෙනුවෙන් සිපර් භාවිතා කරන්නට පටන් ගත්තේ ඒ සාර්ථක බැවින් අනතුරැව පමණි.

වායුසමීකරණය සඳහා වෙළඳපොලක් ඇතැයි යන්න දැන් පැහැදිලි ලෙස පෙනෙන දෙයක් හැටියට වූවත්, 1920 ගණන් මුල දී එය එසේ නොවීය. එහි නවෝත්පාදකයා වූ විලිස් කැරියර්, නිව් යෝර්ක් හි බෆලෝ ෆෝර්ජ් කොම්පැණියේ රස්සාවක නියුතු වෙමින් මෙය සයිඩ් බිස්නස් එකක් හැටියට කරන ලද්දකි. බෲක්ලින් හි පොත් ප්‍රකාශකයෙකුගේ ප්‍රින්ටින් ප්‍රෙස් කාමරයක ආර්ද්‍රතාවය නිසියාකාරයෙන් පවත්වා ගන්නේ කෙසේදැයි සොයා බලන්නට කැරියර් පත්විය. ආර්ද්‍රතාවය ඉහළ පහළ යද්දී නිව්ස්ප්‍රින්ට් කඩදාසි පිටු විසල් වී හැකිළිණ. එසේම ආර්ද්‍රතාවය වෙනස් වෙද්දී තීන්ත වියැළෙන මට්ටම් ද වෙනස් වූහ.

ප්‍රින්ට් කාමරයේ ව්‍යාර්ධකරණයට වායුව හමා යන පද්ධතියක් කැරියර් විසින් නිර්මාණය කළේය. එහි අතුරැ ප්‍රතිඵලයක් ලෙසින් ඔහු අතින් කාමරය ද කූල් විය. පත්තර කොළ ගැටළුව විසඳන ලද ඔහුගේ සිත කූල් කරන්නට සහ පිරිසිදු කරන්නට හැකි වූ වාතාශ්‍රයක් නොමැති බිල්ඩින් වලට ලැබෙන “වායු සමීකරණයේ” පුළුල් ගම්‍යමානයන් වෙත ඇදී ගියේය. එහෙත් ඔහුගේ සේවා යෝජකයන් ඔහුගේ දැක්මෙන් සිත් කුල්මත් කරගත්තේ නැත. 1914 දී කැරියර් රස්සාවෙන් අස් වී තමන්ගේම කොම්පැණියක් ආරම්භ කරන්නට ගියේය. ඔහු හැදූ වායුසමීකරණ ඒකක දැවැන්ත වූහ. ආම්බාම් කිරීම පහසු නොවූහ. අධික වැයකින් යුතු විය. එහෙත් තම නිෂ්පාදනය වැඩි දියුණු කරගන්නට ප්‍රාග්ධනයක් එකතු කරන්නට ප්‍රමාණවත් සංඛ්‍යාවක් විකුණා ගන්නට ඔහු සමත් විය.

කැරියර්ගේ සාර්ථකත්වයට අවස්ථාව උදාවෙන්නේ සිනමා කර්මාන්තයේ වර්ධනයත් සමඟයි. උණුසුම සහ වාතාශ්‍රයක් නොමැතිකම නිසා තිරය දෙස බලනවාට වඩා සිවිලිමේ විදුලි පංකා කැරකෙන හැටි බලන රසිකයන් නිසා ගිම්හානයේ දී බොහෝ සිනමා ශාලා වැසී තැබිණ. 1925 දී මෑන්හැටන් හි රිවෝලි සිනමාහලේ අයිතිකරැවන් ගිම්හානයේ සිනමා රසිකයන් අද්දවා ගන්නට තම ශාලාවේ වායුසමීකරණයක් සවි කරන්නට තීරණය කළහ. රසිකයන් උද්දාම වූහ. චිත්‍රපටියටත් වඩා වායුවට සිද්ධ වෙන්නේ කුමක්දැයි ගැන ඔවුන් කුල්මත් වූහ. 1930 වෙද්දී ඇමෙරිකාවේ සිනමාහල් 300 කට වඩා සංඛ්‍යාවකට කැරියර් විසින් වායුසමීකරණ සපයන ලදි. ඒවා හදන කම්හල් විවෘත වූහ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, කැරියර් විසින් නිවාස සඳහා දරාගත හැකි වැයකින් ජනප්‍රිය වායුසමීකරණ ඒකක හදන්නට සමත් විය.

ස්කොච් ටේප් නිර්මාණය වූයේ වාහන තීන්ත ගෑම සමඟයි. 1920 ගණන් වෙද්දී හෙන්රි ෆෝඩ්ගේ සම්පූර්ණ කළු මොඩල්-ටී වාහනය තව දුරටත් විලාසිතාවක් නොවිණ. දියුණු කරන ලද ලැකර් තීන්ත සහ ඔටෝමැටික් ස්ප්‍රේ වලින් වාහන හැදූ අය සිය පාරිභෝගිකයන්ට පාට දෙකේ වාහන ඉදිරිපත් කළහ. අඟල් දෙකක් පළලැති ස්කොච් ටේප් නවෝත්පාදනය කරන ලද්දේ මිනෙසෝටා මයිනින් සහ මැනුෆැක්චරින් (3M) විසිනි. ඒ තීන්ත පාට දෙක හමුවෙද්දී පැහැදිලිව පාට දෙකේ අගිස්ස පෙනෙන්නට තැබීමටයි. වැඩිකල් යන්නට පෙර 3M කොම්පැණිය විවිධ වර්ග වලින් යුතු ස්කොච් ටේප් විවිධාකාර සීල් තබන හේතු වෙනුවෙන් නිර්මාණය පටන් ගත්හ.

මේ නවෝත්පාදන බිහිවෙද්දී ඒවා සඳහා වෙළඳපොලක් හෝ පැහැදිලිවම දැකිය හැකි භාවිතයක් නොතිබිණ. තම නිෂ්පාදන හොඳින් අලෙවි කරනුයේ කෙසේදැයි සොයාගන්නට ව්‍යවසායකයන්ට ජවය සහ කුසලතාවය ආයෝජනය කරන්නට සිද්ධ විය. ක්ලීනෙක්ස් ටිෂූ විසිකර දමත හැකි ලෙන්සු සඳහාත්, සිපර් යනු ඇඳුම් වැසීම සඳහාත්, ස්කොච් ටේප් යනු සීල් තබන්නට ගෙදර දී පාවිච්චියට ගත හැකි වූවක්, සහ වායුසමීකරණය යනු නිවාස කූල් කරන්නට හැකි වූවක් ලෙසටත් අවසානයේ දී තීරණය කරන ලද්දේ පාරිභෝගිකයන් විසිනි. මේ නිෂ්පාදන පොදුවේ භාවිතා වන ආකාරය දැන් පැහැදිලිව දකින්නට ඇතත්, 1920 දී එය එසේ නොවීය. උත්සාහය සහ වැරදීම්, අනපේක්ෂිත පාරිභෝගික කැමැත්ත, සහ සමහර විට වෙනකක් කරකියා ගත නොහැකියාවත් මේ අද ජනප්‍රිය, නැතිවම බැරි යැයි සිතෙන, නිෂ්පාදන නිර්මාණයේ දායකත්වය ගන්නා ලදි. ඒවා අලෙවිකරණයට තියා මේ නිෂ්පාදන නවෝත්පාදනය කරන්නට කිසිම සැලසුම් මණ්ඩලයක් සමත් නොවේ. ඒවායේ නවෝත්පාදකයන් පවා පාරිභෝගිකයන් විසින් කැමැත්ත දක්වා එහි භාවිතාව ගෙන යන පැත්ත දැක පුදුම වූහ.

1920 ගණන් වල දී එකකට හැදුව ද තවකෙක් සඳහා අලෙවිකරණය වූ නව නිෂ්පාදන බොහොමයක් එළිබැසීම ගැන අපි සමහර විට පුදුම විය නැත. ඊට කළින් පරම්පරාවේ නවෝත්පාදන දෙකක් මේ හා සමාන වේ. ජොසෆින් ජී. කොක්රේන්, සිවිල් ඉංජිනේරැවෙකුගේ දුවක්, 1880 දී පිඟන් කෝප්ප හෝදන යන්ත්‍රය නවෝත්පාදනය කළේ නොසැලකිලිමත් සේවකයන් විසින් හෝදද්දී තම අගනා පිඟන් භාණ්ඩ කැඩීම වළක්වා ගන්නටයි. එහි සනීපාරක්ෂක අගය සොයාගනිද්දී පවා, එහි ඊ ළඟ වෙළඳපොල වූයේ විශාල පරිමාණයෙන් සෝදන කටයුතු වල නිරත වූ හෝටල්. නිවාස වල දී භාවිතා වීම ජනප්‍රිය වෙන්නට 1950 ගණන්, එනම් එය නවෝත්පාදනයෙන් වසර 70 ක් තරම් කාලයක් ගෙවී යන ලදි.

1870 දී මෙල්විල් බිසෙල් කාපට් සුද්ද කරන යන්ත්‍රයක් නිපැදවීය. ඒ වානිජ ලෙසකින් වෙළඳපොලට දාන්නට නොවේ. සිය බිරිඳගේ පිඟන් බඩු කඩයේ ඇසුරැම් වල දී බිමට වැටෙන ලී කුඩු සුද්ද කරගැනීම සඳහා ඇයගේ පහසුව පිණිසයි. කඩේට එන අය විකුණන පිඟන් බඩු වලට වඩා කඩේ සුද්ද කරන යන්ත්‍රය ගැන සිත් ඇදගත් බව දකිද්දී පමණයි ඔවුන් එය අලෙවි කරන්නට කල්පනා කරන්නේ.

ව්‍යවසායකත්වය යනු අමුතු වූ ද, කල් ඇතිව කියත නොහැකි වූ ද ක්‍රියාවලියකි. අපිට එය අවශ්‍යයයි. ඒ නිසා අපගේ ජීවිත වැඩි දියුණු වී ඇත. එහි තිරසර පැවැත්ම සඳහා අපිට සවිමත් දේපල අයිතීන් තිබිය යුතුයි. එහෙත් ව්‍යවසයාකයන් නිෂ්පාදනය කරනුයේ කුමක්දැයි කියාත්, ඔවුන් කුමන අලෙවිකරණ මාර්ගයක් ගනීවිදැයි යන්නත් 1920 ගණන් තරම් අපූරැ සහ වක්‍රකාර විය හැකියි.

ඉංග්‍රීසි සටහන: From Kleenex to Zippers: The Unpredictable Results of Entreprenuers, No Planning Board Could Have Invented These Products, Burton W. Folsom

4 Responses

Subscribe to comments with RSS.

  1. Manoja said, on ඔක්තෝබර් 7, 2015 at 3:31 පෙ.ව.

    Apuruy.Meweni lipi kiyavimata maa kemathiy.

  2. balasooriya lansakara said, on ඔක්තෝබර් 26, 2015 at 9:10 පෙ.ව.

    රසවත් දෑණුමෑති ලිපියක්. ස්තූතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: