අරුණි ශපීරෝ‍ වෙතින්

වෙළඳපොල සහ යන්ත්‍ර

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 15, 2015

IMG_0922

ඇමෙරිකන් රූපවාහිනියේ ඉතිහාසය නමින් වූ නාලිකාවේ “ලෝක ඉතිහාසය පැය දෙකකින්” යන වැඩ සටහනේ මෙසේ කියැවෙයි:

අප මිනිස්බවේ සීමාව කරා පැමිණ ඇතැයි සිතූ අවස්ථාවක දී අනාගතයට අප කැඳවාගෙන යනු පිණිස ජවය සහ තාක්ෂණය අප විසින් සොයාගන්නා ලදි. පෘතුවිය තුල ජවාත්මක නිර්මාණශීලීත්වයෙන් පිරි වර්තමානය මල් ඵල නංවන්නට අපට බීජ ලැබුනේ අතීතයෙනි. විශ්වය පසුබිම් කරගෙන බිලියන ගණනක ජීවිත කතන්දර දිග හැරැණු ආකාරය අවබෝධයට නොහැකි විශාලත්වයකින් පවතින්නකි. දිනපතාම ඉතිහාසය නිර්මාණය කරමින් සිටින අපි, අප විසින් කරන කියන සෑම දැයකින්ම, අපේ සම්පූර්ණ පැවැත්මෙන්ම, අපි ඉතිහාසය වෙනුවෙන් ජීවත්වන සිහිවටන වෙමු.

ගෙවී ගිය වසර 200 යේ කතන්දරය සහතිකයෙන්ම යන්ත්‍ර සහ වෙළඳපොල ගැන වූවකි.

සංකීර්ණ වෙළඳපොලක සහ ධනවාදී ක්‍රමයක ආරම්භය සමඟ වස්තු සම්පත්වල ප්‍රභවය පහදා දීමේ සහ වෙළඳපොල වැඩ කරන හැටි පහදා දීමේ අදහස් ගැන වූ ගැටුම් පැතිර යන්නට පටන් ගති. දළ වශයෙන් 1550 සිට 1880 දක්වා කාලය අතරතුර දී, වානිජ්‍යවාදය (mercantilism) යන දර්ශනය ප්‍රමුඛත්වය දරන ලදි. කොතරම් රත්තරන් හා ධන නිධානයන් එක්කාසු කරගත්තේ ද යන්නත්, ආනයන කරනවාට වඩා කොතරම් ප්‍රමාණයක් අපනයනය කරන්නේ ද යන්නත් අනුව රටක ධන සම්පත් තීරණය කළ හැකි යැයි වානිජ්‍යවාදීන් වරදවා අල්ලාගත් මති වූහ. ඒකාධිකරයන් සහ තීරැ බදු ප්‍රවර්ධනයට භාජනය වූහ. වෙළඳාම සහ තරඟය අධෛර්ය කරවිණ. ඔවුන් ඒ සියල්ල වරදවා අල්ලා ගෙන සිටියහ.

අපි අපේ රාත්‍රී ආහාරය අපේක්ෂා කරන්නේ මස් මරන්නා, මත්පැන් පෙරන්නා, නැත්නම් බක්කරේ යනාදීන්ගේ ත්‍යාගශීලීත්වයෙන් නොව ඔවුන් ඔවුන්ගේ ස්වාර්ථයට දක්වන කැමැත්තෙනි. -ඇඩම් ස්මිත්, ජාතීන්ගේ ධනය

රත්තරන් ගොඩ ගහන වානිජ්‍යවාදයේ මතියෙන් වෙනස් වෙමින්, වාසනාවට, 18 වැනි සියවසේ දී ධනවස්තු වැඩිවීමට හේතුව වානිජ්‍ය යැයි ප්‍රවර්ධනය කරන නව චින්තනයක පාසැල් බිහිවෙන්නට පටන් ගැනුණි. වෙළඳපොල කුමක්දැයි පෙන්වන්නට සහ එහි සාරය පහදන මේ අදහසට ඇඩම් ස්මිත් විසින් හේතු සාධක ඉදිරිපත් කරන ලදි. ඔහු එය කළේ 1776 දී ලියූ “ජාතීන්ගේ ධනයේ ස්වභාවය සහ හේතු ගැන ගවේෂණයක්” නම් පුරෝගාමී කෘතියෙනි. සමාජයක් කැමති රක්ෂා සඳහා වූ මාර්ගෝපදේශකයක් ලෙසට කටයුතු කරන බලයක් ස්වාර්ථයෙන් සැලසෙන බව ඉන් ඇඩම් ස්මිත් පහදා දුන්නේය.

හැමෝම තම තමන්ගේ ස්වාර්ථයන් සොයා යද්දී ධනාත්මක සමාජයක් නිර්මාණය වෙන්නේ නැතැයි හිතන්නට අයෙක් ස්වභාවයෙන්ම පෙළඹෙයි. එහෙත් ආත්මාර්ථකාමී පුද්ගලයන්ට නිරෝගී ආර්ථිකයක පිහිටන වෙළඳපොල සූරාකන්නට ඉඩ නොදෙන තවත් බලයක් ඇත. ඒ රෙගුලාසිකාරයා නම් තරඟයයි.

මේ සිද්ධාන්තය හොඳින්ම පැහැදිලි කරදෙන්නට හැකියාව ලැබෙන්නේ රොබට් එල්. හයිල්බ්‍රෝනර්ගේ “දැනුවත් දාර්ශනිකයන්” නොහොත් The Worldly Philosophers යන කෘතියේ මේ වගන්තියෙන්:

ස්වාර්ථයට රිසි සේ පැන දුවන්නට ඉඩ දුන් යම් මිනිසෙක් වෙත් ද, තරඟකරැවන් ඔහුගේ වෘත්තීය අල්ලා ගන්නට පැමිණ ඇතැයි ඔහු හඳුනා ගනියි. තම භාණ්ඩ සඳහා වැඩියෙන් අය කළහොත්, එසේ නැත්නම් අනෙක් අය තරමින් තම සේවකයන්ට ගෙවීම ප්‍රතික්ෂේප කළහොත්, එක පැත්තකින් ගැනුම්කරැවන් නැති බවත් අනෙක් පැත්තෙන් සේවකයන් නැති බවත් ඔහු හඳුනා ගනියි.

ඒ පාරිභෝගිකයන් අඩුවෙන් අය කරන තරඟකරුවෙක් වෙත යති. ඒ සේවකයන් වැඩියෙන් ගෙවන්නට සූදානම් තරඟකරුවෙක් වෙත යති. සැපයුම සහ ඉල්ලුම සහ තරඟය අතර සිද්ධ වන අන්තර් ක්‍රියාවලියෙන් නිසි ප්‍රමාණ වලින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිණිස කර්මාන්තයට නිසි සේ පවරන මිලක් නිර්මාණය කරදීම වෙළඳපොලේ ඇති අපූර්ව විරැද්ධාභාසයයි. සමාජයක් නිශ්චිතව කැමත්තේ කුමක්දැයි නිර්මාණය කරන්නට කිසිම මැදිහත්වීමක්, කිසිම සැලසුමක්, නැත්නම් කිසිම කල්තියා සලකා බැලීමක් අවශ්‍ය නැත. වෙළඳපොල යනු කොතරම් සුන්දර සුකුරැත්තමක් ද? තරඟය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන්නට සමාජයට හැකි තාක් කල්, ජීවන මට්ටම ඉහළ යමින් ධන සම්පත් වැඩි වර්ධනය වෙනු ඇත.

කාර්මික යුගයේ ආරම්භය

කාර්මික යුගය සත්‍යයෙන් ඇරඹුනේ 1712 දී බ්‍රිතාන්‍යයේ ඩෙවොන් හි දී තෝමස් නිව්කොමන් නවෝත්පාදනය කළ හුමාලයෙන් දුවන එන්ජිම සමඟිනි. ඒත් 1763 දී ජේම්ස් වොට්ස් හැදූ හුමාලයෙන් දුවන එන්ජිම තෙක්, මාංශ පේශීන් වෙනුවට පිස්ටන් ආධාරක චලනයෙන් වැඩ ගන්නට හැකියාව ලැබෙන තෙක් ඇත්තෙන්ම එහි ආරම්භයක් දැකිය නොහැකි විය.

1790 දී ඇඩම් ස්මිත් මිය යද්දී, එතෙක් ජායාමාන වූ කාර්මික විප්ලවය හිස ඔසවා තිබිණ. පුනරුදයේ, මානවවේදී ව්‍යාපාරයේ, සහ බුද්ධි විචාරයේ ප්‍රතිඵල වල අවධානයට යොමු වී, විද්‍යාවෙන් සහ අනුභූතිවාදයෙන් පරිවර්තනය වී, දියත් වූයේ ලොව ඊට කළින් කිසිම කාලයක දී මුහුණ නොදුන් බලපෑමකට ලක් වූ ව්‍යාපාරයකි. කොමියුනිස්ට්වාදය ගැන සිතුවිලි හටගන්නටත්, කාර්මික යෝධයන් හා රොබර් බැරන්ලා (කූටෝපායන් වලින් අති ධනවත් වූ අය) බිහිකරන්නටත්, බොහෝවිට කිළිටි, කටුක හා රුදුරු වූ මේ විප්ලවය මුල් විය. එහෙත් එසේම, නවෝත්පාදනය, තාක්ෂණය හා අද අපි භුක්ති විඳින ජීවන මට්ටම් වර්ධනයට පාදක වූයේ ද මේ විප්ලවයයි.

මහා ප්‍රමාණ වලින් තොග නිෂ්පාදනය සහ පරිමාණානුකූල පිරිමැසුම් (economies of scale) ගැන සංකල්පයන් පටන් ගැනෙනුයේ කාර්මික විප්ලවයෙනි. විසල් බව, විශ්වසනය, සිරස් අනුකලනය යනාදිය එවක ධනසම්පත් පාදා දුන් ප්‍රධාන මාර්ග විය. යකඩ කර්මාන්තයේ ඇන්ඩෲ කානගී සහ ජේ. පී. මෝගන් ද, ඛනිජ තෙල් නිෂ්පාදනයේ ජෝන් ඩී. රොකෆෙලර් සහ ෆ්‍රෑන්ක් කෙනන් ද, මෝටර් රථ නිෂ්පාදනයේ හෙන්රි ෆෝඩ් ද වූ සමයයි. මේ සමහර ධනකුවේරයන්ගේ සදාචාර පද්ධතියන් ප්‍රශ්න කළ හැකි වුවත්, ඔවුන් නවෝත්පාදකයන් බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකියි. ඔවුන් සන්ධාන පිහිටුවා ගත්හ. නව ව්‍යාපාර ක්‍රමවේදයන් බිහි කළහ. කර්මාන්ත අතර පැතිර යන සේ කාර්යක්ෂමතාවයන් නිර්මාණය කළහ.

මාංශ පේශී බලයේ සීමාවෙන් ඔබ්බට යා හැකි වන පරිදි මිනිසාව නිදහස් කරන ලද්දේ ජවය සහ එන්ජිම යන දෙකේ සංයුතියයි. එයින් අත්ලාන්තික් ලෝකය ශ්‍රේෂ්ඨතම හමුදා බලයෙන් ශක්තිමත් කරවන ලදි. එයින් දුම්රිය එන්ජිම, අභ්‍යන්තර දහන එන්ජිම, මෝටර් රථය සහ ඛනිජ තෙල් සොයා ගැනීමට පදනම බිහි කරන ලදි. ලෝකය පුරා විසූ මිනිසුන්ව එක්කාසු කරන ලද්දේ ටෙලිග්‍රාෆ් සහ දුරකතනයයි. විදුලි බලයෙන් අපි රාත්‍රියට එළිය ගෙනෙන්නට සමත් වීමු.

කාර්යක්ෂම ලෙසකින් ධනවාදයට වැඩ කරන්නට වැදගත් පාලන ආයතන අවශ්‍ය වුවත්, මිනිස් ඉතිහාසයේ වඩාත්ම වැදගත් නවෝත්පාදනයක් වන්නේ වෙළඳපොල ක්‍රමයයි.

ඉංග්‍රීසියෙන් කියවන්න දන්නා අයට මෙතැනින් කියවන්න පුළුවනි. මෙය සිංහල සටහනේ තෙවැනි සහ අවසාන කොටසයි.

4 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on ඔක්තෝබර් 20, 2015 at 9:14 ප.ව.

    හැමෝම තම තමන්ගේ ස්වාර්ථයන් සොයා යද්දී ධනාත්මක සමාජයක් නිර්මාණය වෙන්නේ නැතැයි හිතන්නට අයෙක් ස්වභාවයෙන්ම පෙළඹෙයි. එහෙත් ආත්මාර්ථකාමී පුද්ගලයන්ට නිරෝගී ආර්ථිකයක පිහිටන වෙළඳපොල සූරාකන්නට ඉඩ නොදෙන තවත් බලයක් ඇත. ඒ රෙගුලාසිකාරයා නම් තරඟයයි.//

  2. තිළිණ මධුශංඛ said, on ඔක්තෝබර් 23, 2015 at 12:01 පෙ.ව.

    ලිපියේ ඇති ඇතැම් කරුණු වලට ගැළපෙන හොඳ නිදසුනක් මගෙ හිතේ.
    http://time.com/4084455/aids-drung-martin-shkreli/


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: