අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග වලින් යන සමාජවාදී ආණ්ඩුව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 25, 2015

ධනවාදයට ඉඩදීමෙන් දකින්නට ලැබෙන ධන සම්පත් අසම ලෙසින් බෙදී යාම ‘හරියට බැලන්ස්’ කරන්න ආණ්ඩුවේ මැදිහත්වීම් අවශ්‍ය යැයි කීම (සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග වලින් යන සමාජවාදී ආණ්ඩුවක් අවශ්‍ය යැයි කීම) වැරදි නිගමනයකින් එළඹෙන අදහසකි.

මොකක් ද ඒ වැරදි නිගමනය?

සමහර අය අනික් අයට වැඩියෙන් දක්ෂතා පෙන්වන්නට සමත් වීමත් එහි ප්‍රතිඵලයක් වශයෙන් සමහර අයට වඩා හොඳින් ජීවිත ගෙවන්නට අනික් අය සමත් වීමත් යන්න යම් අයුතු අසාධාරණ තත්වය යැයි නිගමනය වැරදි වූවකි.

ජීවිතය යනු ජයග්‍රහණයන් අත්කර ගැනීම, සද්ගුණය හා උත්සාහය නිසා වෙනස් කරගත හැකි වූවකි. එය වාසනාව, පෙර කරුමය, දෛවය නිසා පමණින් වෙනස් වෙන දෙයක් යැයි විශ්වාස කරන අයෙක් වෙත් නම් එතැනින් එහාට ඔවුන් හා සංවාදයෙන් ඵලක් නැත. ඔබේ විඳින තත්වය ඒවායේ බලපෑම නිසා නම් ඔබට ඕනෑ නිසා සමාජයේ ධන සම්පත් නැවත බෙදන්න සමාජ සැලසුම් හැදීමෙන් ද ඵලක් වේ ද?

සද්ගුණයේ අසමානතා දකින්නට ලැබීම, තෝරාගැනීම්, හැකියාවන්, කුසලතාවන් අතර විවිධ වෙනස්කම් දකින්නට තිබීම යනු මිනිස් ස්වභාවයයි. එය වෙනස් කළ නොහැකියි. හිතා බලන්නට උත්සාහයක් ගත් කිසිම මිනිසෙක් මිනිසුන් අතර විවිධ ලෙසින් පැතිර පවතින විවිධත්වය කිසිම ආකාරයකින් වෙනස් කරන්නට ඉදිරිපත් වෙන්නේ නැත.

දක්ෂයෙක් කෝටි ගණනින් උපයද්දී එතරම් දක්ෂ නොවූවන් බොහෝ පිරිසක් ඊට වඩා අඩුවෙන් උපයයි.

දක්ෂයාට කෝටි ගණනකින් උපයන්නට ඉඩ ලැබෙන සමාජයක අදක්ෂයාගේ ජීවිතය ද වැඩියෙන් ලාබදායක වූවකි.

ඇයි ඒ?

උපයන්නට නිදහසක් ඇති සමාජයක නවොත්පාදන බිහිවීමෙන් අනෙක් සියල්ලන්ගේම ජීවන මට්ටම් ඉහළ යන බැවිනි.

ඒ කෝටි ගණනින් උපයන්නට හැකි මිනිසාගේ ධනයෙන් කොටසක් බදු හැටියට කපා ගෙන අනික් අයට සහනාධාර හැටියට බෙදන ලද නිසා නොවේ. කෝටි ගණනින් උපයන දක්ෂයා තමනට අඩුවෙන් දක්ෂ වූ අයට තමන්ට වඩා අඩු ආදායම් උපයන්නට හැකි රක්ෂා ගණනාවක් බිහිකරන නිසයි.

විල් කෙලොග් කෝන් ෆ්ලේක්ස් ව්‍යාපාරය ඇරඹූ හෙයින් ධනවත් වූයේ ඔහු පමණක් නොවේ. ඒ ආයතනයේ සේවකයන් පමණක් නොවේ. ඒ නිසා ආදායම් උපයන්නට දැන්වීම් ආයතන, ප්‍රවාහන ආයතන, කඩ අයිතිකරුවන්, ඒවායේ සේවකයන්, අතරමැදියන් යනාදී තවත් මහත් සංඛ්‍යාවක් සමත් වූහ. නව ව්‍යාපාරයක් ආදායම් උපයන්නට සමත් වෙන බව දකිද්දී තරඟයට එන අනෙක් එවැනි ව්‍යාපාරයන් නිසා තවත් කොපමණ දෙනෙක් ආදායම් උපයන්නට සමත් වෙනවා ද?

ඔව්, වැඩියෙන්ම ධනවත් වූයේ විල් කෙලොග් තමයි. ඒත් කෝන් ෆ්ලෙක්ස් යන්න උදේ ආහාරයක් හැටියට ඉදිරිපත් කළ හැකි යැයි මුලින්ම දැක්කේ කවුද? වැඩිපුර ජනගහණයක් වෙත ඉදිරිපත් කර ඔවුන් එය කැමැත්තෙන් මිල දී ගනීවි දැයි සොයා බලන්නට තමන්ගේ ආදායමෙන් ඉතුරැ කරගත් කොටසක් යොදවමින් නව අගයක් නිෂ්පාදනයට ස්ව උත්සාහය හා කැපවීම හෙවත් ඊට ව්‍යවසායක වෑයමක් ගත්තේ වෙන කවුද?

තිරසාර රස්සා බිහිවිය යුත්තේ එසේය. එනම්, පාරිභෝගිකයාගේ ඉල්ලුමට වැඩියෙන් අගයක් ඇති නිෂ්පානයක් ලබාදෙන්නට නිෂ්පාදකයන් විසින් ඔවුන් අතර තරඟ කරද්දී ය. නැතිව රස්සාවල් දෙන්න අවශ්‍ය යැයි කියමින් ආණ්ඩුවක් විසින් තනතුරු නිර්මාණයේ දී නොවේ.

අසමාන ආදායම් ඇති සමාජයක ධනකුවේරයන්ට වඩා අඩු ආදායම් ඇති අයටත් එසේම හිඟන ජීවිත ගත කරන අයටත් සමාන ආදායම් ඇති සමාජයකට වැඩියෙන් සහනදායක වූ ජීවිත ගත කරන්නට ඉඩකඩ පෑදෙයි.

ආර්ථික නිදහසක් රටක ආරම්භ වෙන්නට නම් එහි වැසියන්ගේ පුද්ගල මනසේ නිදහසක් හටගැනීම අවශ්‍යයයි. අනුන්ට ඔවුන් කැමති රක්ෂාවක් කරගෙන ජීවත්වෙන්නට ඉඩදීමට ඔබ එකඟ වෙන්නේ ද, එවිට ලෝකයේ ඇති දක්ෂතම මොළ වලට ලෝකය වැඩියෙන් හොඳ තැනක් කරන්නට අවස්ථාව පෑදේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: