අරුණි ශපීරෝ‍ වෙතින්

විද්‍යාත්මක පර්යේෂණ වලින් නවෝත්පාදනයක් වෙනවා ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 27, 2015

Screen Shot 2015-10-17 at 9.51.05 AM

නවෝත්පාදන යනු අණක් නිකුත් කර බිහි කිරීමට පුදුමාකාර ලෙසින් දුෂ්කර වූවකි. තාක්ෂණය වෙනස් වනුයේ අනුකම්පා විරහිත ආකාරයකින්, පරිනාමීය ප්‍රගතියකින්, සමහර විට අපට නැවැත්විය නොහැකි ලෙසකින් -හෝ සමහර විට අපිට වේගවත් කළ නොහැකි ද ලෙසකිනි. එසේම එය බොහෝ දුරකට විද්‍යාවේ නිෂ්පාදනයක් ද නොවෙයි. බහුතර තාක්ෂණික පරාවේධනයන් (breakthroughs) ලැබෙන්නේ තාක්ෂණවේදීන් තට්ටු මට්ටු කරන උත්සාහයන් වලින් මිසෙක උපන්‍යාස හඹා යන පර්යේෂඥයන් වෙතින් නොවේ. මිථ්‍යාග්‍රාහී හැටියට පෙනුන ද, “මූලික විද්‍යාව” යනු අපි හිතන තරම් නව සොයා ගැනීම් සඳහා ඵලදායී නොවූවකි.

ලයිට් බල්බ් එක ගැන හිතන්න කළින් තෝමස් එඩිසන් විදුලි සැරයක් වැදී මිය ගියා යැයි සිතමු. ඉතිහාසය රැඩිකල් ආකාරයකින් වෙනස් වේවි ද? සැබැවින්ම නැහැ. රොබට් ෆ්‍රීඩෙල්, පෝල් ඊශ්‍රායෙල්, සහ බර්නාඩ් ෆින් විසින් ලියන ලද නව සොයා ගැනීම් වල ඉතිහාසය යන පොතට අනුව එඩිසන්ට පෙර තාප දීප්ත ලයිට් බල්බ් එක සොයා ගැනීමේ යම් ආකාරයකට දායකත්වය සැපයූ එහි කීර්තියට පාත්‍ර විය යුතු පුද්ගලයන් අඩුම වශයෙන් 23 ක් සිටිති.

වෙනත් නව සොයාගැනීම් ගැන ද මෙය සත්‍යය වූවකි. එලයිෂා ග්‍රේ සහ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් එකම දිනයේ දුරකතනයට පේටන්ට් බලපත්‍ර සඳහා අයැදුම් කළ දෙදෙනෙක් වූහ. 1996 දී ගූගල් එද්දී, සර්ච් එන්ජින් නොහොත් සෙවුම් යන්ත්‍ර බොහොමයක් තිබුණ. “තාක්ෂණයට අවශ්‍ය කුමක්ද” යන පොත ලියූ කෙවින් කෙලි එහි සටහන් කරන පරිදි, උෂ්ණත්වමානය සොයාගත් හය දෙනෙක්, ඉන්ජෙක්ෂන් කටුව සොයාගත් තිදෙනෙක්, එන්නත් ක්‍රමය සොයාගත් හතර දෙනෙක්, විද්‍යුත් ටෙලිග්‍රාෆ් සොයාගත් පස් දෙනෙක්, ඡායාරෑප තාක්ෂණය සොයාගත් හතර දෙනෙක්, හුමාලයෙන් දුවත හැකි බෝට්ටු සොයාගත් පස් දෙනෙක්, විද්‍යුත් දුම්රිය මාර්ගය සොයාගත් හය දෙනෙක්, ගැන අපි දනිමු. නව සොයාගැනීම් වල ඉතිහාසය සමාන්තරව හටගත් සිද්ධීන් වලින් දුවන අවසානයක් නොමැති දාමයක් යැයි ඇල්ෆ්‍රඩ් ක්‍රොයිබර් නම් ඉතිහාසඥයා ලියයි.

තාක්ෂණයේ දී මෙන් එය විද්‍යාවේ දී ද එලෙසින්ම සත්‍යයක් වෙයි. ඉංග්‍රීසියෙන් කතාබහ කරන රටවල දී බොයිල්ගේ නීතිය යැයි සැලකෙන්න ප්‍රංශ කතා කරන රටවල ඇති මැරියට්ගේ නීතිය වෙයි. තමන් ස්වාධීනව කලනය (calculus) සොයා ගත්තා යැයි ගොට්ෆ්‍රිඩ් ලයිබ්නිට්ස් නිවැරදිව කියද්දී ඒ ගැන අයිසැක් නිව්ටන් කෝපාවිෂ්ට වී දෙස් දෙවොල් තැබීය. ඇල්ෆ්‍රඩ් රසල් වොලස්ගේ පෙළඹවීමෙන් චාල්ස් ඩාවින් සිය න්‍යාය ප්‍රකාශනය කළේය. ඔවුන් දෙදෙනාම මැල්තස් ලියන ලද ‘ජනගහණය ගැන රචනා’ යන පොත කියවා එකම අදහස් උපද්දවා ගත්තවුන්ය.

මෙතෙක් කාලයක් ජීවවිද්‍යාත්මක පදාර්ථයන් පෙන්නුම් කරන ලද ස්වායත්තාවය වැනි ආකාරයක් තාක්ෂණය විසින් එන්න එන්නම වර්ධනය කරගන්නා බවක් පෙනේ. බ්‍රයන් ආතර් නම් ස්ටැන්ෆර්ඩ් අර්ථ ශාස්ත්‍රඥයා තර්ක කරන්නේ තාක්ෂණයට ස්ව-සංවිධාන හැකියාව ඇතැයි කියායි. ඒ නිසා පරිසරයට අනුව හැඩගැසෙන්නට හා ප්‍රතිනිෂ්පාදනයට ද හැකියාව ඇතැයි ද, හිරිගල් පරයක් ජීවමාන පදාර්ථයක් යැයි සැලකෙන ආකාරයෙන්ම තාක්ෂණය ද ස්ව ඵෙන්ද්‍රික වේ යැයි ඔහු කියයි. සත්වයන් (ජනතාව) නැතිව එයට ගොඩනඟන්නට සහ පවත්වා ගැනීමේ හැකියාවක් නැති බව සත්‍යයකි. ඒත් එය හිරිගල් පරයන්ට ද එසේම බලපාන සත්‍යයකි.

තමන් විසින් ගොඩනඟාගෙන තමන් විසින් පවත්වා ගෙන යමින්, මෙය තාක්ෂණයේ සත්‍යයක් නොවන කාලය කවදා උදාවේවිදැයි කාට කිව හැකිද? විද්‍යා රචක කෙවින් කෙලි “ටෙක්නියම්” නම් වචනයක් හඳුන්වා දෙයි. ඒ, අප සතු සියළු යන්ත්‍රානුසාරයෙන් ක්‍රමයෙන් විකාසයට පැමිණෙන ජීවියායි. එය දැනටමත් “ඉතා සංකීර්ණ වූ ජීවියෙක් වන අතර තමන්ගේම උත්ප්‍රායයන් සොයා යයි.” එයට ද “අවශ්‍ය අනෙකුත් සෑම ජීවත්වන පද්ධතියකටම අවශ්‍ය වූවකි: එනම් තමන්ව චිරස්ථායී කරගන්නටයි.”

2010 වෙද්දී මිනිස් මොළයක තිබෙන සම්පර්කනයන් (synapses) තරම්ම අන්තර්ජාලයේ දළ වශයෙන් පැවති අධි සබැඳි (hyperlinks) වූහ. අද සයිබර් ලෝකයේ රහස් බස් වැදගත් ප්‍රමාණයක් ඇහෙන්නේ පුද්ගලයන් අතර නොව නඩත්තුවට, ගණිතමය විසඳුම් සොයන්නට, මුල්‍ය ගණුදෙනුවල යෙදෙන්නට සහ වෙනත් අරමුණු සඳහා වූ ප්‍රෝග්‍රෑම් (ක්‍රමලේඛයන්?) අතරයි. අන්තර්ජාලය වසා දැමිය නොහැකි තරම් දුරකට දැනටමත් අප පිවිස සිටිමු.

මේ නව ආකාරයෙන් තාක්ෂණය දිහා බැලීමේ වැදගත්කම, – කවුරු බලයේ සිටියත් එය ස්වායත්ත වූ, ක්‍රමයෙන් විකාසයට පා තබන, දියුණුව කරා යන්නක් ලෙසින් දැකීම- තැති ගන්වන්නකි. එම ක්‍රියාවලියේ දී මිනිසා යනු ඉත්තෙකි. නවොත්පාදන රැල්ල දියත් කරනවා වෙනුවෙට අපි එහි පාවෙමින් යන අය වෙමු. නවෝත්පාදකයන් විසින් තාක්ෂණය සොයා ගන්නවා නොව තාක්ෂණය විසින් එහි නවෝත්පාදකයන් සොයා ගන්නවා ඇත. ජනගහණයෙන් බාගයක් අයින් නොකර, මේ දිග හැරීම නැවැත්වීමට අපිට කළ හැක්කේ ඉතා සුළු දෙයකි. එයින් ද සමහර විට අරමුණ ඉෂ්ට නොවනු ඇත.

තාක්ෂණයට තහනම් පැනවීමේ ඉතිහාසය ඇත්තෙන්ම අපිට යමක් හෙළිකරයි. මින්ග් චීන්නු විශාල නැව්; ෂෝගන් ජපනුන් තුවක්කු; මධ්‍යතන ඉතාලි වැසියන් සිල්ක් කැටීම; 1920 ගණන් හි ඇමෙරිකන්කාරයන් මත්පැන් ද තහනම් කළහ. මෙවැනි තහනම් දිගු කාලයක් පවතිනු හැකියි. චීන සහ ජපන් උදාහරණ ශතක තුනක් පැවතිණ. එහෙත් තරඟය ඇති තාක් කල් අවසානයේ දී ඒවායේ නිමාව උදා වේ. ඒ අතර තුර දී ලෝකයේ වෙනත් පැත්තක මේ තාක්ෂණයන් වර්ධනය වෙමින් පවතී.

අද මෘදුකාංග ගොඩනැඟීම නැවතිල්ලකට ඒවි යැයි ගැන හිතන්නටවත් නොහැකියි. අපි කියමු එක්සත් ජාතීන් මෘදුකාංග ගොඩනැඟීම තහනම් කරන්නට උත්සාහයක් ගත්තා කියා, එය කොතරම් දැඩි වුවත්, එවිට ලෝකයේ කොහේ හෝ තැනක යම් ජාතියක් ප්‍රෝග්‍රෑම්කරැවන්ට නිදැල්ලේ වැඩ කරන්නට ඉඩකඩක් සලසනු ඇත. එවැනි උත්සාහයක් ගනීවි යන අදහස හාස්‍යජනක වූවකි. එයින් මගේ සාධකය ඔප්පු වෙයි.

මෙය Matt Ridley විසින් The Wall Street Journal සඳහා ලියන ලද The Myth of Basic Science ලිපියේ සිංහල පරිවර්තනයේ පළමු කොටසයි.

2 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on ඔක්තෝබර් 28, 2015 at 6:13 පෙ.ව.

    මාක්ස්වාදීන් මෙම ස්වායත්ත තාක්ෂණයේ ( නව සොයාගැනීම් ) වර්ධනය අනිවාර්ය දෙයක් ලෙසට දකිනව. ලෝකෙට නව දෙයක් දුන් අයෙක් ඔහු නැතිවත් එය බිහිවනු ඇතැයි යන්න පවසයි. එහෙත් සමාන්තර සිද්ධි යනු හුදෙක් පොදු සහ ඉරණමින් සිදුවන්නක් නොව බවයි මගේ අදහස. මිනිසා එහි ඉත්තෙකි යනු හුදෙක් ඔහුගෙ පුද්ගලික මැදිහත් වීම නොතකා හැරීමක් නොව.කෙසේ් නමුත් ඔබ කියා තිබෙනව එඩිසන් නැතුව බල්බය බිහිනොවන්නට ඉඩ තිබෙන බව.සමාන්තර සිද්ධි යන සංකල්පයට අනුව එය එසේ විය හැකිද ? සමහර විට ආකාරය වෙනස් වෙන්න ඉඩ තිබ්බ ඒක වෙනත් කතාවක්

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2015 at 7:15 ප.ව.

      Krishna Ramanayaka,

      මේ සටහන ලියන අය පෙන්වා දෙන්නේ, ඒ වෙද්දී සමාන්තර සිද්ධි තුලින් ඒ ගැන සොයන තව අය සිටිය නිසා හොයාගන්නට කළින් එඩිසන් නැතිවුනා නම් ඒත් ලයිට් බල්බ් එක නිර්මාණය වෙන බවයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: