අරුණි ශපීරෝ‍ වෙතින්

තාක්ෂණය නවත්වන්නට බැරි නම් එය දක්කන්ටත් බැහැ

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 28, 2015

Screen Shot 2015-10-17 at 9.51.05 AM

ජාතික රෙගුලාසි සහ දැවැන්ත ආයෝජන අවශ්‍ය වෙන විසල්-පරිමාණයේ තාක්ෂණික සංවර්ධනය තහනම් කරන්නට වැඩියෙන් පහසුයි. ඉතින්, උදාහරණයක් හැටියට, “ආරක්ෂක සිද්ධාන්තය” නාමයෙන් -කොතරම් දුලබ වුවත් කෙසේ හෝ හානියක් ඇති වේ යැයි කියමින් තාක්ෂණය යටපත් කිරීමට අවශ්‍ය යැයි අදහස මත- දශක දෙකක් පුරා ක්‍රියාත්මක වෙන පරිදි යුරෝපය විසින් ජාන හැඩගස්වන ලද බීජ සඳහා තහනමක් සාර්ථකව පවත්වාගෙන යයි. ඔවුන් එය ශල්ක ඉන්ධන සඳහා ද කරනු ඇතැයි දකින්නට හැකියි. එහෙත් මෙහි දී වුව ද, මේ තාක්ෂණයන් ගෝලීය වශයෙන් නැවතිය හැකි යැයි කිසිත් බලාපොරොත්තුවක් නැත.

තාක්ෂණය නවත්වන්නට නොහැකි නම්, එහෙනම් සමහර විට එය දක්කාගෙන යන්නට ද නොහැකියි. කෙලි මහතාගේ වචන වලින් කිවහොත්, “ටෙක්නියම්ට ඕනෑ පරිණාමය විසින් ආරම්භ කරන ලද්දයි.” තාක්ෂණික වෙනස අප තේරුම් ගන්නවාට වඩා වැඩියෙන් ඕපපාතික වූ සංසිද්ධියකි. නවොත්පාදකයාගේ වීරමය, විප්ලවීය කතන්දරය පැත්තකට දාන්න. අනුකම්පා විරහිත වූ, ක්‍රමයෙන් ඇතිවන, අනිවාර්යෙන් ඇදෙන නවෝත්පාදනය ඇතුලට ගන්න.

සොයාගැනීම් සහ නවෝත්පාදන සමගාමීව සිද්ධ වෙද්දී එයින් කියැවෙන්නේ පේටන්ට් බලපත්‍ර සහ නොබෙල් සම්මාන යනු අසාධාරණ ඒවා යැයි කියායි. ඇත්තෙන්ම, නොබෙල් තෑග්ගක් ප්‍රදානයෙන් පසු ඒ ගැන සාධාරණ හේතු ඇතිව දැඩි සේ කලකිරෙන ලද පුද්ගලයන් රැසක් සිටීම දුලබ නොවූවකි.

පේටන්ට් සහ කොපිරයිට් නීති පුද්ගලයන්ට පමණට වඩා තැනක් සහ වාසියක් ලබාදෙමින් තාක්ෂණය යනු නොසන්ඩාලයන් විසින් විකාසනයට පමුණුවන ලදැයි අඟවයි. පේටන්ට් බලපත්‍ර පැවරීමේ මූල කාරණය වූයේ ඒකාධිකර ලාබයක් සඳහා නවෝත්පාදකයන්ට වාසි ලබාදීමට නොව තම නවෝත්පාදන අනිකුත් අය හා බෙදාගැනීමට ඉඩක් සලසා දීමටයි. මෙය ඉෂ්ට කරන්නට නම් යම් ප්‍රමාණයකින් බුද්ධිමය දේපල නීතිය පැහැදිලිවම අත්‍යවශ්‍යයයි. ඒත් අද එය පමණ ඉක්මවා දුර ගිහින් ඇත. වර්තමානයේ බොහෝ පේටන්ට් බලපත්‍ර යනු ඒකාධිකරයන් ආරක්ෂා කරගන්නට සහ තරඟකරුවන්ට අදහස් හුවමාරැවට ඉඩක් නොදෙන්නට සකසන ලද ඒවායි. එය නවෝත්පාදනය අධෛර්ය කරවන්නකි.

කළ හැකි පර්යේෂණ වංකගිරියේ පියවර නැවත සොයාගත ආකාරයෙන් තවකෙකුට පිහිටවන ආකාරයෙන් පැහැදිලිව හෙළිකිරීමට, වැඩියෙන්ම පැහැදිලි වූ පර්යේෂණ ලිපිය හෝ පේටන්ට් අයැදුම් පත්‍රය පවා අසමත් වේ. ලේසර් ගැන වූ එක් අධ්‍යයනයක් අනෙක් අයට ඒ ලේසර් නිර්මාණය කොපි කරන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බ්ලූප්‍රින්ට් සහ ලිඛිත වාර්තා ඉදිරිපත් කරන ලදි. එය නිර්මාණයට එය හැදූ අය සොයා ගොස් ඔවුන් සමඟ කතාබහ කරන්නට සිද්ධ විය. ඉතින් බොහෝවිට පේටන්ට් බලපත්‍රයක් එයින් ඉදිරිපත් කළ යුතු අවංකත්වය සාක්ෂාත් කරන්නක් නොව ප්‍රගතිය වළක්වන්නකි.

1970 ගණන් වල දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ එඩ්වින් මෑන්ස්ෆීල්ඩ් නම් අර්ථශාස්ත්‍රඥයා විසින් නිව් ඉන්ග්ලන්ඩ් හි වැඩි දියුණු කළ රසායන 48 ක්, බෙහෙත් ඖෂධ, ඉලෙක්ට්‍රොනික් සහ යන්ත්‍ර භාණ්ඩ අධ්‍යයනය කරන ලදි. ඔහු සොයාගත්තේ සාමාන්‍යයෙන් ඒවා නවෝත්පාදනයට යන මුදලෙන් 65% ක් ද කාලයෙන් 70% ක් ද ඒවා කොපි කිරීම සඳහා වැය වෙන බවයි. එය ද තාක්ෂණික දැනුම සතු විශේෂඥයන් අතරයි. ඉතින් කොපි කරන්නට සම්පූර්ණ නිදහස තිබුණ ද, ආයතන වලට අවශ්‍ය වනුයේ අලුතින් දේවල් සොයා ගන්නටයි. වානිජ ආයතන මූලික පර්යේෂණ වල යෙදෙන්නේ එයින් තව දුරටත් නවෝත්පාදනයට උපකාර වෙන ව්‍යංගිත දැනුම ලබාගන්නට ඔවුනට හැකියාව ලැබෙන නිසයි.

කරාමයකින් සේ නවෝත්පාදනය අරින්නට සහ වහන්නට හැකි යැයි දේශපාලනඥයන් විශ්වාස කරති. පිවිතුරු විද්‍යාත්මක අන්තර්ඥානයෙන් ආරම්භ කර, අනතුරුව එය ව්‍යවහාරික විද්‍යාවට පරිවර්තනය කරගත හැකි යැයි ද, ඊ ළඟට එය ප්‍රයෝජනවත් තාක්ෂණයක් බවට පත්වෙනවා යැයි ද ඔවුන් සිතති. ඉතින් දේශප්‍රේමී නීති සම්පාදකයෙක් හැටියට ඔබ කළ යුත්තේ, විද්‍යාඥයන්ට ඔවුන්ගේ එක්ටැම් ගෙවල් වල මුදුන් මහලේ සිටින්නට නොනැවතී ගලා එන මුදල් සපයන්නට අවශ්‍ය යුතු බවයි. එවිට ආශ්චර්යයකි, තාක්ෂණය පයිප්පය දිගේ ඇවිත් ගෙදර පහල තට්ටුවේ ඇති කරාමයෙන් පිටට ගලනු ඇතැයි කියායි.

විද්‍යාව විසින් නවෝත්පාදනය සහ සමෘද්ධිය දක්කවන ආකාරය පෙන්වන මෙම රේඛීය ආකෘතිය, 17 වැනි සියවසේ දාර්ශනිකයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ෆ්‍රැන්සිස් බේකන් දක්වා ආපහු දුවන්නකි. නව සොයා ගැනීම් සහ වානිජ ලාබ ලබාගන්නට පෘතුගීසින් මෙන් විද්‍යාව හසුරවන්න යැයි ඔහු එංගලන්තයට කියා සිටියේය. 15 වැනි සියවසේ නැව් යාත්‍රිකයෙක් වූ හෙන්රි කුමරු සිතියම් හැදීමට, නාවුක කුසලතා වැඩීමට සහ මුහුදු මාර්ග පිණිස විශාල වශයෙන් අයෝජනය කරන ලදැයි කියැවේ. අප්‍රිකාවේ දේශ ගවේෂණ සහ වෙළඳාමෙන් විශාල වාසි ලැබීම එහි ප්‍රතිඵල වූහ. බේකන්ට කොපි කරන්නට අවශ්‍ය වූයේ එයයි.

එහෙත් මෑතකාලීන අධ්‍යයනයන් තුලින් මේ කතන්දරය මිථ්‍යාවක්, එහෙමත් නැත්නම් හෙන්රි කුමරුගේ ප්‍රොපගැන්ඩා උත්සාහයක් යැයි හෙළි කරන ලදි. වෙනත් බොහෝ නවෝත්පාදන සේ ම, පෘතුගාලයෙන් නාවුක දියුණුව ද බිහිවූයේ තාරකා විද්‍යාඥයන් සහ සිතියම්කරුවන් අතර සිද්ධ වූ අනුමාන කල්පනා වලින් නොව නැවියන් අතර වූ නැහැසුම් සෑහුම් ක්‍රියාවලියෙනි. යමක් පාදක වුනා නම්, එනම් විද්‍යාඥයන් දිරිගැන්වුනේ දේශ ගවේෂකයන්ගේ ඕනෑකම් අනුව මිසෙක අනෙක් ආකාරයෙන් නොවේ.

අර්ථශාස්ත්‍රඥයෙක් බවට හැරුණු ජීවරසායනඥයා වන ටෙරන්ස් කීලි අපට මේ කතාව කියන්නේ රේඛීය ආධානග්‍රාහය කොතරම් දුරකට විද්‍යාත්මක සහ දේශපාලන ලෝකයේ සහ පැතිර ඇත්දැයි පෙන්වන්නටයි. -විද්‍යාවෙන් නවෝත්පාදන ප්‍රාජනය වෙනවා, එයින් වානිජ්‍ය ප්‍රාජනය වෙනවා යන්න- බොහෝ විට වැරදියි. නවෝත්පාදනය එන්නේ කොහෙන්දැයි එය වැරදියට වටහා ගනියි. ඇත්තෙන්ම එය මුල අතහැර අග අල්ලා ගැනීමකි.

නවෝත්පාදනයේ ඉතිහාසය දිහා විමසා බලද්දී ඔබට, නැවත නැවතත් සොයා ගන්නට ලැබෙන්නේ, විද්‍යාත්මක පරාවේධනයන් යනු තාක්ෂණික වෙනසේ හේතුව නොව ඵලය බවයි. දේශ ගවේෂණ යුගයේ දී තාරකා විද්‍යාව දියුණු වීම අහම්බයෙන් සිද්ධ වූවක් නොවේ. හුමාලයෙන් දුවන එන්ජිම තාපගතික විද්‍යාවට කිසිත් ලෙසකින් ණයගැති වෙන්නේ නැත. එහෙත් තාපගතික විද්‍යාව එහි සියල්ල සඳහා හුමාලයෙන් දුවන එන්ජිමට ණයගැති විය. DNA ව්‍යුහය සොයාගැනීම සඳහා ජෛව අනූක වල ඒක්ස්-රේ ස්ඵටිකවිද්‍යාව, එනම් වූල් කර්මාන්තයේ රෙදිපිළි දියුණු කරන්නට යොදාගත් තාක්ෂණික ක්‍රමයක් මත, දැඩි සේ යැපෙන ලදි.

තාක්ෂණික දියුණුව මෙහෙයවන ලද්දේ වැඩියෙන් හොඳ යන්ත්‍ර හැදෙන තෙක් ඒවා තට්ටු මට්ටු කරන ප්‍රායෝගික මිනිසුන් විසිනි. විසංයුක්ත ලෙසින් විද්‍යාව ගැඹුරින් හදාරා බැලීම ඔවුන් කිසිසේත්ම නොකරන දෙයකි. 18 වැනි සියවසේ දී ස්කොට්ලන්තයේ කම්හල් දිහා බලමින් ඇඩම් ස්මිත් විසින් සිය “ජාතීන්ගේ ධනය” හි වාර්තා කරන පරිදි: “කාර්මික නිෂ්පාදන බිහිකරන්නට යොදාගත් යන්ත්‍රවල බහුතර කොටස් සාමාන්‍ය වැඩකරුවන් විසින් නවෝත්පාදනය කරගන්නා ලද ඒවායි.” ගොඩක් වැඩි දියුණු කිරීම් “යන්ත්‍ර හැදූ අයගේ කෞශල්‍යයෙන් බිහි වෙන ලදි.”

ඉතින් එයින් කියැවෙන්නේ ආණ්ඩුව විසින් විද්‍යාවට අරමුදල් සපයන්නට අවශ්‍ය නැති බවයි. කර්මාන්ත විසින් එය කරගන්නවා ඇත. නවෝත්පාදන බිහි කළාට පසු, එය විසින් එහි පසුපස වූ සිද්ධාන්ත ගැන පර්යේෂණ වලට මුදල් වැය කරනු ඇත. හුමාලයෙන් දුවන එන්ජිම නවෝත්පාදනයෙන් පසු එය විසින් තාපගතික විද්‍යාවට ගෙවනු ඇත. කීලි මහතාගේ මේ නිගමනය කොතරම් මිථ්‍යාග්‍රාහික ලෙසින් පෙනෙනවාදැයි කිවහොත් බොහෝ අර්ථශාස්ත්‍රඥයන්ට එය තෝරා බේරාගන්නට නොහැකියි. එහි දී විද්‍යාඥයන් ද එය වටහා ගන්නට අපොහොසත්වීම ගැනත් කියන්නට අවශ්‍ය නැත.

මෙය Matt Ridley විසින් The Wall Street Journal සඳහා ලියන ලද The Myth of Basic Science ලිපියේ සිංහල පරිවර්තනයේ දෙවැනි කොටසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: