අරුණි ශපීරෝ‍ වෙතින්

ආණ්ඩුව මුදල් වෙන් නොකළොත් විද්‍යාව දියුණු නොවේවි ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 31, 2015

Screen Shot 2015-10-17 at 9.51.05 AM

අර්ධ ශතකයටත් වැඩියෙන් කාලයක් මිනිසුන් විශ්වාස කරන ලද්දක් වූයේ ආණ්ඩුව දුන්නේ නැත්නම් විද්‍යාවට අරමුදල් ලැබෙන්නේ නැතැයි කියායි. බදු ගෙවන්නා අතින් විද්‍යාවට අරමුදල් එකතු වුනේ නැත්නම් ආර්ථික වර්ධනයක් ඇතිවන්නේ ද නැතැයි කියායි. තම සීමා මායිම් වැඩි කරගන්නට තැත් නොකරන සහ ජනගහණය වර්ධනය කරගන්නට තැත් නොකරන සමාජවල දී තාක්ෂණයේ නවෝත්පාදනය බහුතර ආර්ථික වර්ධනයේ ප්‍රභවය වූ බව 1957 දී රොබට් සොලොව් නැමති අර්ථ ශාස්ත්‍රඥයා විසින් පෙන්වා දෙන ලදි. මුල් පර්යේෂණ කරනවාට වඩා අනුන්ගේ දේවල් කොපි කිරීම ලාබදායක යැයි ඒ නිසා විද්‍යාවට ආණ්ඩුවේ අරමුදල් අවශ්‍ය යැයි පැහැදිලි කරන ලද්දේ ඔහුගේ සහවිද්‍යාර්ථීන් වූ රිචඩ් නෙල්සන් 1959 දී සහ කෙනත් ඇරෝ 1962 දී ය.

“නෙල්සන් සහ ඇරෝ ලියපු ලිපි වල ඇති ගැටළුව නම්, ඒවා න්‍යායයික වීමයි. ඒ ගැන සිත් කරදර ගත් කෙනෙක් දෙන්නෙක් තම අර්ථ ශාස්ත්‍රඥ කූඩු වලට ඔබ්බෙන් බලද්දී ඇත්ත ලෝකයේ දී පුද්ගලික අරමුදල් පර්යේෂණ සඳහා භාවිතා බව දකින ලදි” යැයි කීලි මහතා ලියයි. ඵෛතිහාසික වාර්තා එහි අනෙක් පැත්ත කියා පෑව ද, පර්යේෂණ සඳහා මහජන අරමුදල් අවශ්‍ය යැයි කීමට ආනුභාවික ඔප්පු කිරීමක් තවමත් නැතැයි ඔහු තර්ක කරයි.

කෙසේ වෙතත්, 19 වැනි සියවස අග දී සහ 20 වැනි සියවස මුල දී, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මහජන මුදල් වලින් විද්‍යාවට දෙන ලද ආධාර සැලකිය යුතු තරමකින් නොවීය. එහෙත් ජර්මනිය සහ ප්‍රංශය ඔවුන්ගේ මහත් මහජන අරමුදල් වලින් විද්‍යාවේ දී හෝ අර්ථ ශාස්ත්‍රයේ දී වඩා විශාල ප්‍රතිඵල අයත් කරගත්තේ නැත. දෙවැනි ලෝකය යුද්ධයට පසුව, මහජන පසුම්බියෙන් විද්‍යාවට අරමුදල් සපයන්නට ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය පටන් ගත්හ. යුද විද්‍යාවේ ජයග්‍රහණයෙන් සහ සෝවියට් දේශයේ අරමුදල් වලින් ස්පුට්නික් බිහිවිණ. එයින් පෙනී ගියේ රාජ්‍ය ආධාර වෙනසක් කරන ලද බවකි.

සත්‍ය පාඩම-එනම් ගූගන්හයිම්ලා විසින් අරමුදල් සැපයූ රොබට් ගොඩාඩ්ගේ දායකත්වය මත ස්පුට්නික් බෙහෙවින් රැඳී තිබීම- අනිත් පැත්තට හැරෙන්නට ඉඩ තිබිණ. එහෙත් මේ කඩිමුඩියේ විද්‍යාවට අරමුදල් සපයන්නට ගත් වෑයමේ දී බ්‍රිතාන්‍යයට හෝ ඇමෙරිකාවට වර්ධන ලාබාංශ නොලැබුණි. කළින් තිබුණාට වැඩි වේගයකින් ඔවුන්ගේ ආර්ථිකයන් වර්ධනය වූයේ නැත.

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධාන විසින් “OECD රටවල ආර්ථික වර්ධනයේ ප්‍රභවයන්” මැයෙන් ලිපියක් 2003 දී ප්‍රකාශනය කරන ලදි. 1971 සිට 1998 දක්වා කාලය තුල දී පුද්ගලික අරමුදල් ලැබුන පර්යේෂණ සහ සංවර්ධන ආර්ථික වර්ධනයක් ඇති කරන්නට සමත් වුනත්, මහජන අරමුදල් වලින් කරන ලද පර්යේෂණ වලින් කිසිත් බලපෑමක් සිද්ධ නොවූ බව සොයා ගැනීම ඔවුන්ගේ පුදුමයට පාත්‍ර විය. කිසිම බලපෑමක් නැතිවීම. මේ මහා හෙළිදරව්ව කිසිවිටෙක අභියෝගයට ලක් නොවීය. නිශ්ප්‍රභා කරන නොලද්දේය. විද්‍යාවට මහජන අරමුදල් අවශ්‍ය යැයි කියන තර්කයට නුසුදුසු වූ නිසා එය නොසලකා හරිනු ලැබේ.

2007 දී ඇමෙරිකන් ශ්‍රම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ ලියෝ ස්වයිකවුස්කාස් නිගමනය කළේ බොහෝ මහජන අරමුදල් වලින් ක්‍රියාත්මක වෙන පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිසංස්කරණ වලින් ලැබෙන ප්‍රතිලාබ නැත්තටම නැති තරම් යැයි කියායි. ඔහු කියන අන්දමට “විශ්ව විද්‍යාල සහ රජයේ පර්යේෂණ වල බොහෝ අංගයන් ආර්ථික වර්ධනයකට යාන්තමින් හෝ යම් සහායක් දෙන්නේ නම්, ඒ වක්‍ර ආකාරයකින් පමණකි.”

වොෂිංටන් ඩී.සී. හි ඇමෙරිකන් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍රඥ වෝල්ටර් පාක් නිගමනය කරන අන්දමට, මේ නොසීහුමට හේතුව මහජන අරමුදල් හැමවිටම පුද්ගලික අරමුදල් වලට වඩා වැඩියෙන් යෙදවීමයි. වැරදි ආකාරයක විද්‍යාව සඳහා ආණ්ඩුව මුදල් වැය කරද්දී, නිවැරදි ආකාරයේ විද්‍යාව සඳහා පර්යේෂණකරුවන් වෙහෙසීම නවත්තවන්නට සමත් වෙනවා යන්න එයින් කියැවෙයි.

බොහෝ පුද්ගලයන්ට අනුව, විද්‍යාව සඳහා මහජන අරමුදල් අවශ්‍ය යැයි තර්ක කිරීම පදනම් වෙන්නේ මහජන අරමුදල් වලින් සොයාගත්තා යැයි කියන, අන්තර්ජාලයේ (ඇමෙරිකන් ආරක්ෂක කටයුතු සඳහා යොදාගත් විද්‍යාව) සිට හිග්ස් බොසොන් (ස්විට්ස්සර්ලන්තයේ CERN හි අනූක විද්‍යාව) දක්වා දක්වන ලැයිස්තුව අනුවයි. එහෙත් එය නොමග යවන්නකි. ආණ්ඩුව ඉතා ත්‍යාගශීලී ලෙසකින් විද්‍යාවට අරමුදල් සපයන්නේ එකතු කරගන්නා මහත් බදු වලිනි. එයින් කිසිවක්ම සොයා නොගත්තා නම් එයයි පුදුමය. විකල්ප අරමුදල් ක්‍රමවේද තිබුණා නම් සොයා ගැනෙනුයේ මොනවාද යන්න අපට මෙයින් පැහැදිලි කර දෙන්නේ නැත.

වෙනස් ප්‍රමුඛතා තිබෙන්නට හැකියාව නිසා, ත්‍යාගවන්ත හා වානිජ අරමුදල් වලින් මොන නව සොයා ගැනීම් සිද්ධ වූවා දැයි අපිට කිසිවිටෙක දැනගන්නට නොලැබෙන්නේ ඒවා නොපෙනී යන සේ රජයේ අරමුදල් සැපයෙන නිසයි. එවැනි විකල්ප ලෝකයක, ජීවිතය, විශ්වය සහ මනස ගැන ප්‍රශ්න බැහැර ලා ධනවත් අයගේ සුරතල් සත්තු ක්ලොන කරන්නේ කෙසේදැයි විභාගයට යෑම සිද්ධ වීමට ඉඩ අඩුයි.

ඍනාත්මක අර්ථයකින් හැරෙන්නට, ආර්ථික වර්ධනය පෝෂණය කරන්නට සහ සමෘද්ධිය ඇති කරන්නට නොනැවතී වෙහෙසෙන නවෝත්පාදන යන්ත්‍රය විශේෂයෙන් සම්පාදනය කරන ලද ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් නොවේ. නව සොයා ගැනීම් හෝ නවෝත්පාදනය නිර්මාණයට අණ දෙන්නට ආණ්ඩුවලට නොහැකියි. ආණ්ඩුවට හැකියාව ඇත්තේ ඒවාට බාධා නොකර සිටීමට පමණකි. මිනිසුන්ට නිදහසේ එකිනෙකා හා කටයුතු කරන්නට ඉඩ ලැබෙද්දී පමණක් නවෝත්පාදනය පහළ වේ. ගැඹුරු විද්‍යාත්මක ප්‍රඥාව යනු තාක්ෂණික වෙනස නම් ගසෙන් වැටෙන ඵලයයි.

මෙය Matt Ridley විසින් The Wall Street Journal සඳහා ලියන ලද The Myth of Basic Science ලිපියේ සිංහල පරිවර්තනයේ තෙවැනි කොටසයි. “සියල්ලේ පරිනාමය: නව අදහස් බිහිවෙන්නේ කෙසේද?” යන අලුත්ම පොතේ කර්තෘවරයා වන මැට් රිඩ්ලි බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: