අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යවසායකත්වය පුහුණු කරන්න පුළුවන් ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 5, 2015

නැත්නම් ව්‍යවසායකයා යනු උපතින්ම ඊට හපන්කම් රැගෙන ආ අයෙක් ද?

ව්‍යවසායකයෙක් හැටියට කිසිම තීරණයක් නොගත් අය එන්න එන්නම ව්‍යවසායකත්ව පුහුණු පවත්වන්න පටන් ගෙන ඇති සමයක තමයි මේ සටහන ලියැවෙන්නෙ.

වෘත්තීය පුහුණුවකින් කෙනෙකුව ව්‍යවසායකයෙක් (මෙතෙක් ඉටුකර නොමැති ඉල්ලුමක් හඳුනාගෙන එය සපයන්නට ක්‍රමයක් සොයාගත්, අනුන්ට අගයක් නිෂ්පාදනයෙන් එයින් තමන්ටත් සහ සමාජයටත් අගයක් එකතු කරන අයෙක්) කරවන්න පුළුවන් ද?

ව්‍යවසායකයා සතු කුසලතා සෙට් එකක් තියෙනව. නිර්භීතකම සහ ධෛර්යය. ආත්ම විශ්වාසය. අවංකකම (honesty) සහ ආචාර ධාර්මිකත්වය. නොනිමෙන ආශාව සහ අනිත් අයවත් ඒ ආශාවෙන් උද්දීපනය කරගැනීමේ හැකියාව. ඵලදායී අරමුණු. නිර්මාණශීලීත්වය සහ අලුත් විසඳුම් සොයත හැකියාව. ප්‍රඥාව සහ හොඳ විනිශ්චයන්ට එළඹීම. ශුභවාදී දැක්ම. නායකත්වයට ඉදිරිපත් වීම. උත්සාහය අත්නොහරින හැදියාව.

වෙනත් වෘත්තීන්හි යෙදෙන අය අතරත් මේ කුසලතා සමූහයෙන් කිහිපයක් අඩු වැඩි වශයෙන් දකින්නට ලැබෙනව. ඒත් මේ කුසලතා කට්ටලයම තියෙන අයෙක් ව්‍යවසායකයෙක් නොවීම අතිශය දුර්ලභ වූවක්.

කිසිම විධිමත් අධ්‍යාපනයක් නොලත් ස්වභාවයෙන්ම බුද්ධිමත් අය ඉන්නව. බුද්ධිය කියන්නෙ උපත්තියෙන් ඉබේම ලැබෙන දෙයක් නෙමෙයි. ගින්නක් පත්තු කරගන්නට පවා උපත්තියෙන් පසුව ඉගෙන ගත යුතු මිනිසා බුද්ධිමත් බවත් වර්ධනය කරගන්නේ තමන්ගේ ජීවිත කාලය තුල දී. ඒ වගේම බුද්ධිමත් හැමෝම ව්‍යවසායකයෙක් වෙන්න යන්නෙත් නැහැ. ඒත් දක්ෂ ව්‍යවසායකයන් අතර බුද්ධිමත් භාවය ඉතා පැහැදිලිව දකින්නට හැකි ලක්ෂණයක්. නමුත් දිනියස් කෙනෙක් වීම අවශ්‍ය නැහැ දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්නට. ඉතින් අපිට කියන්න පුළුවන් දක්ෂ ව්‍යවසායකයෙක් සතු ‘බුද්ධිමත්’ යන කුසලතාවය කෙනෙකුට පුහුණු කරගන්න පුළුවන් කියල.

ව්‍යවසායකයා අනුන් හා කතාබහට දක්ෂයෙක් වෙන්න ඕන. තමන්ගෙ අභිලාෂයන් අනිත් අයට කියන හැකියාව වගේම අනිත් අය දෙන උපදෙස් බාරගන්නටත් හැකියාව තිබිය යුත්තෙක් විය යුතුයි. මේ හැකියාවන් බොහෝ දුරකට කෙනෙකුට උගන්වන්න පුළුවන්.

අලුත් විදියකට හිතන්න, ඒ කියන්නෙ දැනට තියෙන ප්‍රශ්නයකට දැනට නොමැති විසඳුමක් ගෙන එන්න හැකි කීයෙන් කී දෙනාට ද? අන්න ඒ පරිකල්පන හැකියාව (imagination) පුහුණුවකින් ලබාදෙන්න බැහැ. අපිට මේක පැහැදිලිව දැකගන්න පුළුවන් නොදන්නා නොහඳුනන මිනිසුන් ද ප්‍රතිචාර දාන ෆේස්බුක්හි අනේක විධ කණ්ඩායම් තුලින්. 1890 ගණන් වල දී ඉදිරිපත් කරපු අසාර්ථක විසඳුම් තවමත් කිය කිය යන පිරිස කොතරම් ද?!!! ඉමැජිනේෂන් කරන කුසලතාවය මොන පුහුණුවකින් හෝ ලබාදෙන්න බැරි වූවක්. ඒ කියන්නෙ ඒක අයෙකුට එක්කෝ උපත්තියෙන්ම පිහිටන ලද්දා වූවක් නැත්නම් පිහිටලා නැති වූවක්.

ව්‍යවසායකයාට තමන්ගෙ අදහස මල්ඵල ගන්වන්නට නොනිමෙන ආශාවක් තියනවා. ව්‍යවසායකයාට පුළුවන් තමන් හා වැඩ කරන අනිත් අය වෙතටත් ඒ නොනිමෙන ආශාව පතුරුවන්න. ඒක උපත්තියෙන් ජනිත වූ කුසලතාවයක්. ඒක පුහුණුවකින් ලබාදෙන්න බැහැ. අදහසක් ඇතිවෙලා අත්හැරලා දාන අය එමට ඉන්නව. අයියෝ අර අතන අයිස් ක්‍රීම් කඩයක් දැම්ම නම් නියමෙට සරු වෙයි කියල හිතන දහස් ගණනක පිරිසක් අතර ව්‍යවසායකයා යනු එතැන අයිස් ක්‍රීම් කඩයක් දාන්න කොහොම හරි අවස්ථාව පාදා ගන්න තැනැත්තායි. අනිත් අය ඒක දැකලා “මටත් ඔය අයිඩියා එකම තිබ්බ මචං,” කියනව … අයිඩියා එක පසුපස හඹා යෑමට කුසලතාවයක් ඇත්තේ ව්‍යවසායකයාට පමණයි.

බාධක හමුවේ අත් නොහරින ගතියත් ව්‍යවසායකයෙකු සතු කුසලතාවයක්. ගොඩක් දෙනා පරාජය හමුවේ වෙන දෙයකට යොමු වෙද්දී ව්‍යවසායකයා වැරදිච්ච පාඩම් වලින් ඉගෙන ගෙන ජයගන්න හැකියාව ලැබෙන අලුත් විසඳුමක් හොයාගන්නට වෙහෙසෙනව. ව්‍යවසායකත්ව පුහුණුවක දී පරාජය හමුවේ පසුබාන්න එපා දිගටම උත්සාහය අත් නොහරින්න යැයි උපදෙස් දුන්නට ඒ බාධක වලට මුහුණ දෙන්න අවශ්‍ය මානසිකත්වය හදා දෙන්න කිසිම හැකියාවක් තව අයෙකුට නැහැ. එය ව්‍යවසයාකයා සතු සහජ හැකියාවක්.

බය නැතිව අවදානමක් ගන්න කියල අයෙක්ව පුහුණු කරන්නත් බැහැ. අවදානම් වැඩියි ද අඩුයි ද තක්සේරු කරන හැටි කියලා දෙන්න පුළුවන්. ඒත් අවදානමට කැමැත්තෙන්ම මුහුණ දෙන ආකාරය පුහුණුවකින් ලබාදෙන්න බැහැ. ඒකටත් උපත්තියෙන්ම ලැබිච්ච හැකියාවක් තියෙන්න ඕන.

කලාකරුවන්ට සහ ක්‍රීඩකයන්ට උප්පත්තියෙන් ලැබුණු හැකියාවන් ඇතැයි සලකන්නට පුරුදු වුනාට අපි ව්‍යවසායකයාටත් උප්පත්තියෙන් ලැබුණු කුසලතාවන් සෙට් එකකින් ඔහු වෙළඳපොල ජයග්‍රහණ අත් කරගන්නවා යැයි පිළිගන්නට පුරුදු නැහැ. ඒ නිසා ජයග්‍රහණයක් අත් කරගන්නා කලාකරුවාට සහ ක්‍රීඩකයාට සුබ පතන්නට පසුබට නොවෙද්දී තමන්ගේ නොදන්නාකම නිසාත් හුරු පුරුද්ද නිසාත් ව්‍යවසයාකයා සාර්ථක වෙද්දී ඔහු ඇය දිහා බලන්නේ දැඩි සැකයෙන්.

7 Responses

Subscribe to comments with RSS.

  1. […] ව්‍යවසායකත්වය පුහුණු කරන්න පුළුවන් ද… […]

  2. amila chathuranga said, on නොවැම්බර් 5, 2015 at 12:15 ප.ව.

    ව්‍යවසායකත්වය නායකත්වය වගේ දේවල් කෙලින්ම නැටුම් පුරුදුකරනවා වගේ කරන්න අමාරුයි. නමුත් යම් යම් ක්‍රියාකාරකම් තුලින් ඒවා යම්තාක් දුරට හදාගන්න පුලුවනි. මම කැම්පස් යන කාලෙ බස් වලට නැගලා කැට හෙල්ලුවා අධ්‍යාපනය නිදහස් කරගන්න. ඇත්තටම එදා මටත් තේරුනා මේක හරි ප්‍රාථමික දෙයක් කියලා. නමුත් අපිට මහා ධාරාව වෙනුවෙන් කැට හොලවන්න සිදු වුනා.

    කිසිම ආකාරයක ප්‍රතිපලදායක අවුට්පුට් එකක් වෙනුවෙන් අපි පෙනී නොසිටියා වුනත්..ඒ පාරෙයන බස් එකක් ගානෙ නැගලා කැට හොල්ලන එක තුල අපිට යමක් ලැබුනා.. අපි කැම්පස් කිව්වට හැමෝම අපිට ගරු කරන්නෙ නැහැ.. අපේ ගෑනු ලමයෙක්ට එක හිගන්නෙක් කෙල ගහල පවා තිබුනා.. හිගන්නා කෙල ගැහැව්වෙ අපේ සටන් පාඨ වලට විරුද්ධව නෙමෙයි… එයාලගේ බිස්නස් එකට අපි බාධාවක් වුන නිසා..

    ඒ වගේම ඇතැම් අවස්ථාවලදි අපි හිතන්නෙ නැති අයට ගොඩක් සල්ලි ලැබුනා..

    • arunishapiro said, on නොවැම්බර් 9, 2015 at 8:31 ප.ව.

      amila,

      කැට හොල්ලන එක ව්‍යවසායකත්වය යැයි හිතනවා නම්, කැම්පස් යන අයට කවුරු හෝ ගරු කරන්න ඕන කියල හිතනවා නම්, ලංකාවට දෙවියන්ගේම පිහිටයි!!!!

  3. mppgunasinghe said, on නොවැම්බර් 6, 2015 at 2:51 පෙ.ව.

    “ව්‍යවසායකයෙක් හැටියට කිසිම තීරණයක් නොගත් අය එන්න එන්නම ව්‍යවසායකත්ව පුහුණු පවත්වන්න පටන් ගෙන ඇති සමයක” ලංකාවේ මේක හොඳ හැටි පවතින සමයක්

    • arunishapiro said, on නොවැම්බර් 10, 2015 at 9:00 පෙ.ව.

      mppgunasinghe,

      වෙළඳපොලේ ඉල්ලුමක් ඇත්තේ කුමකට ද එය සපයන්නට එන සියල්ලන්ම එය අනගි ලෙසකින් සපයන්නට දන්නා අය නොවේ. ඒත් වෙළඳපොල නිදහස් බැවින් වැඩි වෙද්දී, ඉල්ලුමට වැඩියෙන් සපයන වෙළඳපොල කොටස අල්ලා ගන්නට සමත් වෙන්නේ එය අනගි ලෙසින් සපයන්නට සමත් වෙන අයයි. රාජ්‍ය මැදිහත්වීම් වැඩි ආර්ථිකයක සැපයුම් බාරවෙන්නේ බලතල සතු අයගේ නෑදෑ හිතවතුන්ට, පාක්ෂිකයන්ට, සහ ඒ අය සමඟ ඩීල් ගහන අයට. පාරිභෝගිකයා තෝරන දක්ෂයාට නොවේ.

      රාජ්‍ය මැදිහත්වීම් වැඩි ආර්ථිකයක ඒ නිසා සැපයුම ඵලදායී බැවින් අඩුවෙන් ද, වෙළඳපොල නිදහස වැඩි ආර්ථිකයක ඒ නිසා සැපයුම ඵලදායී බවෙන් උසස් ලෙසින් ද දකින්නට හැකියි. නිදහස් බව වැඩි ආර්ථිකයක ඒ සැපයුමට අයෙක් ඒ ආර්ථිකය තුල ජීවත්වෙන්නේ නැත්නම් පිටරටකින් හෝ ඒ හැකියාවන් ඇති අයෙක්ට ඇවිත් සැපයීම කරන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ගූගල් නිර්මාතෘ දෙදෙනාගෙන් එක් අයෙක් වෙන සර්ජි බ්‍රින් කදිම උදාහරණයක්. මේක දකින ඒත් ඒ ඇයි කියා නොදකින අය, තමන්ගේ නිදහස් නොවූ ආර්ථිකයෙන් දක්ෂයන් පිට වී යන්නේ මන්දැයි තෝරා බේරා ගත නොහැකිව, ඔවුන් කැමැත්තෙන් පිට වී යන බව නොදැක, “මොළ සූරා කනවා” යැයි සටන් පාඨ කියමින් ඉන්නවා.

  4. ineshwickramaraja said, on නොවැම්බර් 6, 2015 at 7:41 පෙ.ව.

    කාලෙකින් මම ආසම subject එකක් ගැන සටහනක්.ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: