අරුණි ශපීරෝ‍ වෙතින්

රස්සා නිර්මාණය සහ අගය නිර්මාණය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 13, 2015

Hear-No-Evil-See-No-Evil-Speak-No-Evil

අපි රස්සාවල් මෙතරම් ප්‍රමාණයක් නිර්මාණය කරනවා යැයි ආණ්ඩුවේ බලය අල්ලාගන්නට තැත් කරන අය චන්දය කාලයේ දී පොරොන්දු වෙති. අර්ථ ශාස්ත්‍රය ගැන දැනුමක් බහුතරයට නැති බැවින් රටක ජනතාවෙන් වැඩි පිරිසක් වැඩියෙන් රස්සාවල් නිර්මාණයට පොරොන්දු වෙන පිලට චන්දය දෙන්නට කැමති වෙති.

රටවැසියන් සියල්ලන්ම පාහේ අර්ථ ශාස්ත්‍රය හැදෑරිය යුතු යැයි මෙහි දී කිසිවෙක් අදහස් කරන්නේ නැත. එහෙත් ධනවාදය හා සමාජවාදය ගැන ප්‍රසිද්ධියේ කතාබහ කරන්නට අයෙක් ඉදිරිපත් වෙන්නේ නම් එවැන්නෙක් අර්ථ ශාස්ත්‍රය නොදන්නේ නම් ඔහු හා විවාදයට යෑම නිශ්ඵල වූ වෑයමකි. ධනවාදය සහ සමාජවාදය අතර මහා වෙනස පැහැදිලිවම දකින්නට ලැබෙන්නේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් වර්ධනයෙන් පමණකි.

ව්‍යවසායකයාගේ පැවැත්ම පවතිනුයේ සමාජයක ඔහු/ඇය කරන ක්‍රියාකාරකම් කොතරම් ප්‍රමාණයක් වූවා ද යන්න මත නොවේ. ඒවා කොතරම් ඵලදායී වූවා ද යන්න මතයි. ඵලදායීත්වය පෙන්වන්නේ කොතරම් පාරිභෝගික සංඛ්‍යාවක් එය කැමැත්තෙන් මිල දී ගන්නට ඉදිරිපත් වූවා ද අනුවයි. කැමැත්තෙන් මිල දී ගන්නා අය වැඩිවෙද්දී තමන් අත්හරින මුදල් වලට වඩා අගයක් ඒ සඳහා ලබාගන්නා භාණ්ඩයේ/සේවාවේ ඇතැයි පාරිභෝගිකයා සලකන බව පැහැදිලියි.

දේපල අයිතීන් ආරක්ෂා කරන නීති යම් රටක නැත්නම්, ආණ්ඩුවේ නියාමන බරට යට වී පීඩිතව ජීවත් වන්නට සිද්ධ වී ඇත්නම් (තම නවෝත්පාදනයක් සඳහා අවශ්‍ය යමක් ගෙන්වා ගන්නට හෝ සේවාවක් ඉටුකරගන්නට පිටරටකට මුදල් යවන්නට පහසුවෙන් නොහැකියාව වැනි), කොතරම් වීර්ය සම්පන්න වූවත් ව්‍යවසායකයාට ඒ පරිසරය තුල ඵලදායී වන්නට හැකියාව නොලැබේ.

රජයේ ආයතනයක් ව්‍යාපාරයක් සේ හසුරුවන්නට නොහැකියි කිව්වොත් බොහෝ දෙනෙක් එයට වහා එකඟ වනු ඇත. එය අවබෝධ කරගනු ඇත. රජය මැදිහත් වී සහනාධාර බෙදන්නේ ව්‍යාපාරයෙන් ලාබ උපයන්නට සමත් නොවන අයටයි. නැත්නම් තරඟයකට මුහුණ පාන්නට සුදුසුකම් අඩු යැයි පිරිසක් විසින් තීරණය කරන අයටයි. ඉතින් ව්‍යවසායකයෙක් රාජ්‍ය ආයතනයක් මෙහෙයවන්නට ගියොත්, මේ අලාභ ලබන අංශය වසා දැමිය යුතු යැයි යෝජනා කළහොත් කුමක් වේ ද? අනුන්ගේ මුදල් වෙන අයට බෙදන බලය අල්ලා ගත් පාලකයන් ඔහුව හනිකට තනතුරෙන් පහ කර ගෙදර යවනු ඇත!

රජයේ සේවකයෙකුට රාජ්‍ය ආයතනයක් ගෙන යන ආකාරයෙන්ම ව්‍යාපාරයක් හසුරුවන්නට නොහැකියි. බොහෝ රාජ්‍ය අංශයන්හි සේවය කරන අයට පුද්ගලික ව්‍යාපාරයන් ද පවතී. ඒවා ලාබ සොයමින් කළත් රාජ්‍ය අංශය පාඩු පිට ගෙන යෑම ඔවුනට කිසිත් සිත් කරදරයක් ඇති නොකරයි! තම මුදල් වලින් ලාබ සෙවීමේ වරදක් නොදකින ඔවුන් මහජන මුදල් නාස්තිය සද්ගුණයක් යැයි සලකන්නේ කුමන ආර්ථික දැක්මකින් ද?!!

ව්‍යවසායකයාට වෙළඳපොල ජයක් අත්කර ගන්නට හැකියාව ලැබෙන්නේ වෙළඳපොල (පාරිභෝගිකයන් ගන්නා තීරණ නිසා) ඉහළ පහළ යවන මිල ගණන් වලින් පෙන්වන සාධක අනුවයි. ජනතාවට කුමක් අවශ්‍ය ද එය කොතරම් අනගි ලෙසින් නිර්මාණය කළ යුතුද යන්න ව්‍යවසායකයාට දැනුම් දෙන්නේ භාණ්ඩ හා සේවාවන් හි පවතින මිල ගණන් වලිනි. ආණ්ඩුවක් මැදිහත්වී මිල තීරණය කරද්දී මේ දත්ත විකෘතියට පත් වෙයි. තවදුරටත් සත්‍ය මිල ගණන් සොයාගත නොහැකියාව නිසා නිෂ්පාදන ක්‍රම සූක්ෂම කිරීමට සහ නිෂ්පාදන උපකරණ දියුණුවට නොහැකියාවෙන් රටක ප්‍රාග්ධනය එක්කාසු වීම ද අඩාල වී යයි.

මෙච්චර මිනිස් ශ්‍රමයක් රටේ තියෙද්දී අපිට ට්‍රැක්ටර් අවශ්‍ය කුමකටදැයි ලංකාවේ දේශපාලනඥයෙක් අතීතයක දී අසා ඇත. එය සත්‍යයක් නම් පවතින සියළු යන්ත්‍ර විනාශ කර දැම්මාම තවත් රස්සාවල් මහා සංඛ්‍යාවක් බිහිවෙනු ඇත.

අරමුණ රස්සාවල් උත්පාදනය ද?

නැත්නම් අරමුණ අගයක් නිර්මාණය ද?

අපට අවශ්‍ය රටක ඇති රස්සාවල් හිඟ කරන තාක්ෂණයයි! ශ්‍රමය ඉතිරි කර දෙන නවෝත්පාදනයයි. ශ්‍රමය වැඩියෙන්ම ඉක්මණින් උවමනා වූ දේවල් සඳහා යොදා ගැනීමට වැඩියෙන් කාලයක් ගෙන කරන උත්සාහයෙන් නිදහස් වීමට ලැබීම යනු අඩු වැයකින් නිෂ්පාදන බිහිවෙන ආකාරයයි. පාරිභෝගිකයාට අගයක් නිර්මාණය වෙන්නේ එවිටයි.

ශතකයට පෙර ඇමෙරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල ජනගහණයෙන් 40% ක් ජනතාව සේවය කළහ. වර්තමානයේ දී එහි සේවය කරන්නේ ජනගහණයෙන් 2% ක පිරිසකි. අද ඇමෙරිකාවේ ගොවියන් විරැකියාවෙන් පෙළෙන්නේ නැත. රටේ කෘෂිකාර්මික දියුණුව කොතරම්දැයි කිවහොත් මුළු ලෝකයටම ආහාර සැපයීමට හැකියි. ඉහළ මට්ටමකින් ඵලදායී අන්දමෙන් නිෂ්පාදනය සිද්ධ වෙද්දී අපට දිනපතාම අලුත් නිෂ්පාදන නිර්මාණය වී කෘෂිකර්මයෙන් නැති වූවාට වඩා රස්සාවල් මහා සංඛ්‍යාවක් වෙනත් ක්ෂේත්‍ර තුලින් ලැබී ඇත.

ලෝකයේ ඕනෑම තැනක බිහිවන නවෝත්පාදනයේ කතාව එසේ වූවකි.

වෙළඳපොලක් නිදහස් වෙද්දී තමන්ගේ දැනුම හා කුසලතාවයන් අනෙකුත් අයට අගයක් වැඩිවන සේ යොදන්නට ව්‍යවසායකයන්ට ඉඩක් ලැබේ. ව්‍යවසායකයා එසේ කරන්නේ අනුන්ට ඇති ආදරය, රටට ඇති දේශප්‍රේමීත්වය හෝ සහෝදරත්වය නිසා නොවේ. අනුන්ට අගයක් නිර්මාණය කරද්දී පමණක් ව්‍යවසයාකයා නිදහස් වෙළඳපොලක දී ලාබයක් උපයා ගන්නට සමත් වෙන නිසයි.

ලාබ උපයන්නට අවස්ථාව ව්‍යවසායකයාට වැඩි වැඩියෙන් ලැබෙද්දී ඔහුට අගය නිර්මාණයට හැකියාව ද වැඩි වැඩියෙන් ලැබෙයි. අගයක් නැත්නම් භාණ්ඩයක්/සේවාවක් මිල දී නොගන්නා පාරිභෝගිකයා නිසා ව්‍යවසායකයා සැමවිටම පාරිභෝගිකයාගේ කැමැත්ත ඉටු කිරීමෙන් ජීවිකාව උපයන අයෙකි. එහෙත් බහුතර වැසියන් රැවටී සිටින්නේ තමන්ගේ කැමැත්ත ඉටුකරගත හැකියාව ලැබෙන්නේ තමන් වෙනුවෙන් තීරණය කරන බලය පවරා දෙන දේශපාලනඥයන් වෙතින් කියායි. එය එසේ නොවන අන්දම දිනපතා අහන්නට, දකින්නට, කියවන්නට ලැබුනත් ඒ සත්‍යය නොදැක්කා සේ සිටිමින් තම සමෘද්ධිය ආණ්ඩුවෙන් සැලසේ යන විශ්වාසයේම තරයේ එල්බ සිටිති.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: