අරුණි ශපීරෝ‍ වෙතින්

මතිග්‍රාහී තීරණ හඳුනාගෙන ඒවායෙන් ඈත්වෙන්න

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 21, 2015

මතිග්‍රාහය (bias) නොහොත් පැත්තක් ගැනීමට හුරු වී සිටීම යනු තමන් දැනටමත් විශ්වාස කරන හෝ දන්නා දෙයක් මත පදනම් වී වැරදි නිගමනයකට එළඹීමයි. වැරදි නිගමනයකට එළඹීමෙන් වැරදි තීරණයක් ගනිද්දී ව්‍යවසායකයාට අලාබ අත්විඳින්නට සිද්ධ වේ. පහත දක්වන මේ මිනිස් ස්වභාවයේ විවිධාකාරයෙන් දකින්නට ලැබෙන මතිග්‍රාහයන් අතරින් තම තමන්ට ඇත්තේ මොනවාදැයි හඳුනාගෙන ඒවා තම නිගමනවලටත් එයින් අනතුරුව තම තීරණවලටත් බලපාන්නේ කෙසේදැයි අවධානයෙන් සිටීමෙන් නිවැරදි නිගමනයන් තුලින් නිවැරදි තෝරාගැනීම් ගෙන, එයින් ලාබදායක තීරණ ගන්නට ව්‍යවසායකයාට හැකියාව වර්ධනය කරගත හැකියි.

තීරණ ගැනීම මානසික ක්‍රියාවලියකි. එහි දී තමා කිසිම මතිග්‍රාහයකින් තොර වූවෙක් යැයි සිතන්නේ නම්, එය ද මතිග්‍රාහයකි! අනිත් අය හිතන තරම් තමන් පැත්තක් ගැනීමට හුරු වී නැතැයි හැමෝම සිතති! නිවැරදි තෝරාගැනීම් කරන්නට නම් තමන් මතිග්‍රාහයන් වලින් යුතු යැයි ද ඒවා මොනවාදැයි පිළිගත යුතුවේ.

ඉතින් ඒවා කුමන ආකාරයෙන් අප ඉදිරියේ පවතිනවා ද?

සමහර අයට හැකියාව ඇත්තේ තෝරාගැනීම් එකක් හෝ දෙකක් අතරින් එකක් තෝරාගැනීමට පමණි. ඊට වඩා තෝරාගැනීම් රාශියක් තමන් හමුවේ තිබුණ ද ඒවා දකින්නට හැකියාවක් නැතිකම මෙයාකාරයෙන් හිතන හුරුවේ ඇති දෝෂයකි. මේ අය තමන් අවධානය යොමු කරන දැයට හැරෙන්නට අනිත් දේවල් වලට අවධානය යොමු කිරීමට උත්සාහයක් නොගනිති. එවැන්නා නිතරම අනෙක් විකල්ප කොතරම් ප්‍රමාණයක් ඇත්දැයි සොයා බලන්නට සෑම තීරණයක්ම ගැනීමට ප්‍රථමයෙන් තමන්ට මතක් කරගන්නට උත්සුක විය යුතුයි.

සමහර අය තමන්ට ඇති තොරතුරු සඳහා පමණට වඩා වැදගත්කමක් දෙයි. දුම් බීමට දැඩි සේ ඇබ්බැහි වී සිටි , හිඟයක් පැතිර යාවි කියා බයෙන් මෙන්තෝල් සිගරට් ගබඩාවක් සිය පුද්ගලික පරිහරණය පිණිස පවත්වාගත් ජර්මන් චාන්සලර්වරයා වයස 96 දී මිය යෑම කියවා ඒ නිසා දුම්බීම සෞඛ්‍යයට හානිකර නැතැයි කීමට පෙළඹෙන්නේ මෙවැනි අයෙකි.

තවත් අය තමන්ගේ දැක්ම, කියමන හෝ පොයින්ට් එකට විරුද්ධ වූ සාක්ෂි තරයේ නොසලකා හරිති. ඒවා සත්‍යය බව දකිද්දී පවා ප්‍රතික්ෂේප කරති. මෙයට බ්‍රෙන්ඩන් නිහන් සහ ජේසන් රයිෆ්ලර් දෙදෙනා ඉංග්‍රීසියෙන් දාන ලද නම backfire effect යනුයි.

කල්ලි චින්තනයේ බලපෑමත් දැඩි සේ තීරණයක් තෝරා ගැනීම තීරණය කරන්නකි. ඒ විශ්වාසය පිළිගන්නා අය කොතරම් සංඛ්‍යාවක් ඉන්නවා දැයි අනුව අයෙක් විශ්වාසයක් පිළිගැනීමේ සම්භාවිතාව වැඩි වීම එයයි. හැමෝම එහෙම හිතනවා නම් මාත් එසේම සිතිය යුතු යන අවදානමට ගොදුරු නොවීමට නම් නිතරම අනෙක් අය එහෙම හිතද්දී වෙනස් පැත්තක් හිතන්නට උවමනාවෙන්ම වෙහෙසක් ගන්නට හුරු පුරුද්දක් ඇති කරගැනීමෙන් පුළුවනි.

තීරණයක් ගත් නිසා ඒ ගැන ධනාත්මකව සිතීම තවත් පැත්තකට බර වූ හුරුවකි. තීරණය දෝෂ සහගත නම් ඒ ගැන ධනාත්මක අදහස් වලින් සිත පුරවා ගැනීමෙන් ඵලවිපාක ධනාත්මක වන්නේ නැත.

අහඹු සිද්ධීන් තුලින් රටාවන් දැක ඒ අනුව තීරණ ගැනීම සමහර අයට ඇති හුරුවකි. එසේම යමක් නොදැකීම නිසාත් එය ඊ ළඟට දකින්නට ලැබේවි යැයි විශ්වාසයත් මෙයාකාරම වූ හුරුවකි. ඒ සියල්ලම අහඹු සිද්ධීන් යැයි දකින්නට මේ අයගේ හිත ඉඩ නොදේ.

තවත් අය තුලින් දකින්නට ලැබෙන්නක් නම් ඔවුන් හිතන හෝ විශ්වාස කරන දෙයක් තහවුරු කරන බැව් පෙන්වන තොරතුරු පිළිගැනීමේ හුරුවයි. මම කැමති පැත්තේ අය සපයන තොරතුරු විමසා බැලීමකින් කරන පිළිගැනීම මුහුණුපොතෙන් මනාව දැකිය හැකියි. තමන් කැමති අය විසින් අමුණන සබැඳි නොකියවා ලයික් දමන හුරුවෙන් මේ මතිග්‍රාහය කොතරම් පුද්ගලයන් අතර පවතින්නක් දැයි අද ඕනෑම අයෙකුට ඉතා ඉක්මණින් මැන ගන්නට පුළුවන් වූවකි.

කළින් තිබි සාක්කි විශ්වාස කරමින් අලුත් සාක්කි නොසලකා හැරීම තවත් මතිග්‍රාහී හැදියාවකි. පෘතුවිය පැතලි යැයි විශ්වාස කරන ලද නිසා එය රවුම් යැයි විශ්වාස කරන්නට කාලයක් ගතවීම මේ මතිග්‍රාහයේ ස්වභාවය පෙන්වයි. අලුත් සාක්කි හමුවේ ‘ඔව්, ඒත්” කියා පරණ හැදියාවෙන්ම තීරණ ගනිති.

අයෙක් වැඩියෙන් දක්ෂ වෙද්දී, වැඩියෙන් දැනුම එකතු කරගනිද්දී ඔහුට සාමාන්‍ය අයෙකුට වටහා ගත හැකි වූවක් අවබෝධය දුෂ්කර වෙන මතිග්‍රාහයක් ද ඇත. ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයෙන් අපට මේ හැදියාව ආතර් කොනන් ඩොයිල් විසින් මතක් කර දුනි. පෘතුවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන ආකාරය ෂර්ලොක්ට වටහා ගන්නට අසීරු විය.

තුන්වැනි තෝරාගැනීමක් ඉදිරිපත් වෙද්දී තිබුණු තෝරාගැනීම් දෙකක් අතර සුවිශේෂී වෙනසක් සිද්ධ වීම තවත් මතිග්‍රාහී හැදියාවකි.

ලොකු අගයක මුදල් නෝට්ටුව නොදී ඒ අගයට සරිලන කුඩා අගයේ මුදල් නෝට්ටු වලින් ගෙවන හැදියාවත් සමහර අයට හුරු වී තිබේ.

යම් සිද්ධියක් පැවති කාලය කොතරම්දැයි ඒ ගැන අගැයුම් කරද්දී සැලකිල්ලට පාත්‍ර නොවීමත් සමහර අය තුලින් දැකිය හැකියි. හිතුවාට වඩා කාලයක් වැය වුණු හෝ දීර්ඝ කාලයක් තිස්සේ පැවති නොසන්සුන්තාවය අමතක වී ඩිංගකට පමණක් දැනුණු නොසන්සුන්බව වැඩියෙන් මතකයේ සිටීමත් මේ හැදියාවට අයිතියි.

සභානුභූතිය නොමැති වීම ව්‍යවසායකයාට මහත් පාඩුවකි. යම් ආකාරයකින් තමන් සතුටු වූ පමණින් එයින් අනෙකා ද සතුටු වෙන්නේ නැතැයි වටහා ගන්නට නොහැකියාව සැබෑ ව්‍යවසායෙකු තුල නම් කලාතුරකින් දකින්නට ලැබෙන්නකි. තමන් අකමැති මතධාරීන්ට, ආගමිකයන්ට, ජන වර්ගයකට යනාදී සමහර පුද්ගලයන්ට භාණ්ඩ හා සේවා විකිණීම නොකර සිටීමෙන් ව්‍යවසායකයා බංකොළොත් වෙයි. එවැනි වෙළඳ සම්බාධක වලින් ජයග්‍රහණය ලබන්නේ පාරිභෝගිකයන් හා ව්‍යවසායකයන් නොව දේශපාලනයේ යෙදෙන ආණ්ඩු පක්ෂයක් පමණි.

සටහන 2013 අගෝස්තු 23 වැනිදා Gus Lubin විසින් Business Insider හි ලියූ 57 Cognitive Biases That Screw Up How We Think ඇසුරිනි. දෙවැනි කොටස ඉක්මණින්.

4 Responses

Subscribe to comments with RSS.

  1. චතුරංග බුද්ධික said, on නොවැම්බර් 22, 2015 at 2:47 ප.ව.

    තව කොටසක් තියෙනවා ද???
    හරි ඒකත් දාන්ටකෝ ඉක්මණට…
    එක පාරම අහන්ට තියෙන දේවල් අහන්නම්…

    “ව්‍යවසායකයා”
    කියන වචනයට දෙන්න හියෙන සරලම නිර්වචනය දෙන්නකෝ දැනට…

  2. […] පළමු කොටස මෙතැනින්. ඔබ ඉගෙන ගත් දැයක්, නමක් එතැන් පටන් නිතර හඳුනාගන්නට පෙනෙන්නට පටන් ගැනීමත් මිනිසා තුල පවතින මතිග්‍රාහී හැදියාවකි. අලුතින් වාහනයක් ගත්තාම ඒ වාහනය වැනි වාහන හැම තැනක දී ම වැඩියෙන් ඇසට හසු වේ. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: