අරුණි ශපීරෝ‍ වෙතින්

අනාවැකි කිව නොහැකි පාරිභෝගික ඉල්ලුම

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 30, 2015

ReasonStarWars

ඩේවි කොක්‍රට් නමින් පැයක් දිග කොටස් පහකින් යුතු ටෙලිනාට්‍යයක් වොල්ට් ඩිස්නි කොම්පැණිය බෙදාහැරියේ 1954 අග සහ 1955 මුල දී ය. පළමු කොටස් තුන ප්‍රචාරයත් සමඟ පැතිර ගිය මහත් මහජන ප්‍රසාදය ඩිස්නි කොම්පැණිය බලාපොරොත්තු නොවූවකි.

ඩේවි කොක්‍රට් වීරයා මෙන් රැකූන් ලොම්වලින් නිමවන ලද තොප්පියක් පළඳින්නට රැල්ලේ එකතු වූ කුඩා පිරිමි ළමයි නිසා 1955 වසරේ දී පමණක් දිනකට පන්දාහක් බැගින් ඒ තොප්පි අලෙවි වූහ. රැකූන් ලොම් රාත්තලක මිල සත 25 සිට $8 දක්වා ඉහළ යන ලදි. එපමණක් නොව සෙල්ලම් තුවක්කු, ඇඳ ඇතිරිලි, අත්ඔරලෝසු, දිවා ආහාරය ගෙනියන පෙට්ටි, යට ඇඳුම්, නිඳන ඇඳුම්, කෝප්ප, තුවා යනාදිය ලබාගන්නට දරුවන් තම දෙමව්පියන්ට ඇවැටිලි කරන්නට පටන් ගත්හ. එක වසරක් ගෙවෙද්දී ඩේවි කොක්‍රට් ටෙලිනාට්‍යයෙන් ඩොලර් මිලියන තුන්සියයක වෙළඳ භාණ්ඩ අලෙවියට අවස්ථාව පෑදිණ. වර්තමානයේ මෙන් ලයිසන් ලබාගන්නට නීතිමය අවශ්‍යතාවයක් එවක නොවූ නිසා එහි මහත් ලාබය අත්පත් කරගත්තේ ඒ ටෙලිනාට්‍ය ඇසුරින් භාණ්ඩ නිෂ්පාදනය කළ ස්වාධීන වෙළඳුන් විසිනි.

ඩේවි ක්‍රොකෙට් ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වය නිසා ඒ හා සම්බන්ධ භාණ්ඩ බිහිවූවා මිසෙක එය අරමුණකින් යුතුව ගන්නා ලද වෙළඳ උත්සාහයක් නොවීය.

ජෝර්ජ් ලූකාස් නම් ගැටවර තරුණයාගේ නිවසට ටෙලිවිෂන් සැට් එකක් ලැබී ඇත්තේ ද ඩේවි ක්‍රොකෙට් ටෙලිනාට්‍යය පටන් ගත් වසරේ දී ය. දශක දෙකකට පසුව සිය තෙවැනි චිත්‍රපටිය නිර්මාණයේ දී ලූකාස්ට ඩේවි කොක්‍රට් නිෂ්පාදන රැල්ල සිහියට නැඟිණ. සිය චිත්‍රපටියේ අලෙවිකරණ අධ්‍යක්ෂක වූ චාල්ස් ලිපින්කොට් සමඟ ඔහු තම චිත්‍රපටියට ද ඩේවි ක්‍රොකෙට් රැල්ල වැනි වූවක් ලබාගත හැකිවේදැයි කතාබහ විය.

1977 දී තිරගත වීම ඇරඹුනු ස්ටාර් වෝස් චිත්‍රපටි ඇසුරින් විකුණන ලද භාණ්ඩ සංඛ්‍යාවෙන් පමණක් ඩොලර් බිලියන 32 ක ආදායමක් උත්පාදනය වී ඇත. අනුන්ගේ දෝෂ සහගත ව්‍යවසායක තීරණ වලින් පාඩමක් ඉගෙන ගන්නට සමත් වූ ජෝර්ජ් ලූකාස් සිය චිත්‍රපටිය ඇසුරින් අලෙවි වෙන භාණ්ඩ ආදායමෙන් කොටසකට අයිතිය කියන්නට ද මාර්ගය සකස් කරගන්නා ලද්දේය. එයින් ඔහුට සිය කර්තෘ නිදහසට ඉඩකඩ පෑදිණ. ඩිස්නි කොම්පැණිය විසින් 2012 දී ස්ටාර් වෝස් ෆ්‍රැන්චයිස් එක ඩොලර් බිලියන 4.6 කට මිල දී ගන්නා තෙක් තමනට රිසි සේ එහි චිත්‍රපටි හයක් හදන්නට ඔහුට එයින් හැකියාව ලැබිණ.

චිත්‍රපටිය නිර්මාණයේ දී ලූකාස් ජෝර්ජ්ට සිතාගත හැකි වී ඇත්තේ වූකී ලෙසින් පිටතින් පෙනෙන අඬුවක් ඇති කෝප්පයක් සහ R2-D2 ලෙසින් පිටතින් පෙනෙන කුකීස් දාන බෝතලයක් පමණි.

1967 දී ඩොක්ටර් ඩූලිට්ල් චිත්‍රපටිය සමඟින් මැටෙල් කොම්පැණිය ඒ හා සබැඳි භාණ්ඩ 300 ක් නිෂ්පාදනය කරන ලදහ. සිල්ලර කඩ පනස්දාහක ඒවා අලෙවිකරණයට 20th Century Fox සිනමා කොම්පැණිය ඩොලර් මිලියන 8 ක අයවැයක් ද වෙන් කරන ලද්දහ. එහෙත් ඩොලර් මිලියන 200 ක වටිනාකමකින් යුතු භාණ්ඩ ප්‍රමාණයක් අලෙවි වූයේ නැත.

1982 දී ජනප්‍රිය වූ ස්ටීවන් ස්පීල්බර්ග් හැදූ ET චිත්‍රපටිය සඳහා අටාරි පරිගණක කොම්පැණිය විසින් පරිගණක ක්‍රීඩා සහ සෙල්ලම් බඩු රාශියක් නිපදනවන ලද්දේය. එහෙත් ඒවා අලෙවි නොවූයෙන් 1983 දී තොග ගණනින් මිහිදන් කරන ලදි. ET ඇතුළු තවත් පරිගණක ක්‍රීඩා කාට්‍රිජස් ලක්ෂ හතක ප්‍රමාණයක් ට්‍රක් රථ 10-20 කින් ගෙන ගියා යැයි වාර්තා වේ.

ඩේවි ක්‍රොකට් සේ රැකූන් ලොම් තොප්පි පළඳින්නටත්, ප්ලාස්ටික් ඊවොක් සත්තු සමඟ සෙල්ලම් කරන්නටත් කැමති දරුවන් ඩූලිට්ල් නිෂ්පාදන වලට අකමැති වූයේ මන්දැයි හෝ ස්ටාර් වෝස් පරිගණක ක්‍රීඩා සෙල්ලම් වලට ඇදී ගිය අය ET පරිගණක ක්‍රීඩා අකමැති වූයේ මන්දැයි හෝ කළින් කියන්නට කිසිවෙක් දැන නොසිටියහ.

මුල්ම ස්ටාර් වෝස් චිත්‍රපටිය හා සබැඳිව සෙල්ලම් බඩු නිෂ්පාදනයට යද්දී ලුකාස් අන්තිම මොහොත දක්වා එහි වැඩ කටයුතු නිම නොකළ බැවින් සෙල්ලම් බඩු හදන කොම්පැණිවලට ඡායාරූප යැවීම ප්‍රමාද විය. ඒ නිසා අවසානයේ දී ලූකාස් ඇතුළු කණ්ඩායමට සෙල්ලම් බඩු හදන කොම්පැණි පසුපස්සේ ගොස් එකඟතාවයකට එළඹෙන්නට ව්‍යාපාරයක් සොයාගන්නට සිදුවිණ.

ලොව දැනට වැඩියෙන්ම අලෙවි වෙන සෙල්ලම් බඩු අතරේ ඇති Easy Bake අවන් භාණ්ඩය හදන ලද කෙනර් නම් කොම්පැණිය ස්ටාර් වොස් සෙල්ලම් බඩු හදන ගිවිසුම බාරගත්හ. අත්පිට ඩොලර් 25,000 ක් ද, ලක්ෂයක් සහතික වී (රූපවාහිනි වැඩසටහනක් හැදෙන්නේ නම් ලක්ෂ හතරක් සහතික වී), ෆොක්ස් සිනමා කොම්පැණියට සහ ලූකාස් ෆිල්ම්ස් සඳහා පුරස්කාර (royalty) වශයෙන් 5% ක් ද ඔවුන් එළඹෙන ලද එකඟතාවයයි. ‘කෙනර් විසින් ඩොලර් පනහක් සහ අතට අත දීමකින්” ස්ටාර් වෝස් ලාබය හිමිකරගත්තා යන්න කොම්පැණියේ එවක පැතිර ගිය විහිළුවක් වුණි.

ඒ ‘මෝඩ තීරණය’ නිසා තමනට මිලියන දස ගණනක් පාඩු සිද්ධ වූවා යැයි දැක්ක ජෝර්ජ් ලූකාස් එය ෆොක්ස් සිනමා කොම්පැණියේ අඩුපාඩුවක් යැයි ප්‍රසිද්ධියේ කීම නිසා නඩුවක් ඇදී ගොස් ඔහුට තවත් මුදලක් අතින් ගෙවන්නට ද සිද්ධ විය.

කෙසේ වෙතත්, චිත්‍රපටියේ ජනප්‍රියත්වය තහවුරු වෙද්දී කෙනර් කොම්පැණිය හා තවත් සෙල්ලම් බඩු හදන එකඟතාවයන්ට ලූකාස් එළඹෙන ලදි. ඒවාට වැඩි ප්‍රතිශතයක පුරස්කාර ගෙවීම් ලබාගන්නට ද ඔහු සමත්විය.

චිත්‍රපටිය මෙන්ම ඒ හා සම්බන්ධයෙන් හදන භාණ්ඩ ද අනගිත්වයෙන් යුතුවිය යුතු යැයි ලූකාස් විසින් තරයේ කියන ලදි. කෙනර් කොම්පැණියේ කැනේඩියන් ශාඛාව ලූකාස්ගේ ප්‍රමිතියට නොසරිලන භාණ්ඩයක් වෙළඳපොලට ගෙනෙද්දී හේ බෙහෙවින් උරණ වී ඇත. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් හා සබැඳි නොවන්නට සේ ම, 1991 දක්වා විටමින් සමඟ සබැඳි නොවන්නටත් ලූකාස් තීරණය කරන ලදි. චිත්‍රපටිය හා සබැඳි භාණ්ඩ ගැන වැඩි බලපෑමක් නොකරන බව ප්‍රසිද්ධියේ කිව්වත් ලූකාස් ප්‍රායෝගිකව එම භාණ්ඩ සඳහා දැඩි බලපෑමක් එල්ල කළේය. කෝකා කෝලා හා පෙප්සි සමඟ ගණුදෙනු කළත්, දියවැඩියා රෝගියෙක් වූ ලූකාස් සීනි අඩංගු සිරීයල් ආහාර හා චිත්‍රපටිය සම්බන්ධ කරන්නට පසුබට විය. 1984 දී C-3PO’s නමින් අඩු සීනි සහිත සිරියල් තෙක් ඔහු ඊට එකඟ නොවීය.

1976 දී තිරගත වෙන්නට නියමිත පළමු ස්ටාර් වෝස් චිත්‍රපටියේ පෝස්ටරයක් අලෙවි වී ඇත්තේ ඩොලර් 1.75 කට. එහි ඩාර්ත් වේඩ කටහඬ සපයන්නට ජේම්ස් අර්ල් ජෝන්ස්ට දිනකට ගෙවන ලද මිල ඩොලර් හත්දාස් පන්සියයකි. මෙතෙක් තිරගත වූ ස්ටාර් වෝස් චිත්‍රපටි වලින් ලබාගත් ටිකට්පත් ආදායම ඩොලර් බිලියන 2.2 කි. මෙම දෙසැම්බර් 18 වැනිදා එළිබහින The Force Awakens චිත්‍රපටියෙන් ලබාගත හැකි ආදායම ඩොලර් බිලියන හතරක් යැයි අපේක්ෂා කෙරේ.

The Star Wars Economy is Bigger Than You Think සහ How Star Wars Conquered the Galaxy යන ලිපි ඇසුරිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: