අරුණි ශපීරෝ‍ වෙතින්

නියාමනයට ගොදුරු නොවී පණ බේරාගත් Airbnb

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 3, 2015

killed by a bad law

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් සොයාගත් ව්‍යවසායකයන් දෙදෙනෙක් ගැන සටහනකි මේ. බ්‍රයන් චෙස්කි සහ ජෝ ගෙබියා දෙදෙනා 2008 දී සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර වාසයට පැමිණියේ ජීවිතය ජයගන්නට අරමුණු කරගෙනයි. සුළු කොන්ත්‍රාත්තු යටතේ සිය දැනුම විකුණූ ඔවුන් දෙදෙනා කුලියට විසූ නිවහනේ කුලිය ගෙවා ගන්නට ද බැරි තැනකට පත්ව සිටියහ.

ඔවුන් හැදෑරූ කාර්මික ඩිසයින් ක්ෂේත්‍රයේ සම්මන්ත්‍රණයකට රටේ හැම පැත්තකින්ම සහභාගී වන අය ඒ නගරයට එද්දී එහි ඉඳුම් හිටුම් මදිකමක් ඇතිබව ඔව්හු දුටූහ. හේතුව, නගරයේ පැවති දැඩි නියාමන වූහ. කුලිය ගෙවා ගන්න බැරිව ලතවෙමින් සිටි ඔවුන් දෙදෙනා ඒ කුලිය සොයාගන්නට තමන්ගේ ලොෆ්ට් නවාතැන සම්මන්ත්‍රණයට එන අය සඳහා කුලියට දෙන්නට තීරණය කළහ. එයාර් මැට්‍රස් නමින් හැඳින්වෙන හුලං පිරවූ මැට්‍රස් තුනක් මිල දී ගත් ඔවුන් වෙබ් සයිට් එකක් නිර්මාණය කළහ. නවාතැන්, උදේ ආහාරය සහ සම්මන්ත්‍රණයට පැමිණෙන අනික් අය හමුවන්නටත් අවස්ථාවක් පාදා දෙන බව කීහ.

එම උත්සාහය සාර්ථක විය. තමන්ගේ කුලී නිවහනේ කුලිය ගෙවා ගන්නට පමණක් නොව පාරිභෝගිකයා සඳහා සපුරාලිය හැකි වූ මහත් අවශ්‍යතාවයක් තමන් ඉදිරියේ ඇති බව හඳුනාගන්නට ඔවුන්ට අවස්ථාව ලැබිණ. ව්‍යාපාරය පටන් ගත් මුල් කාලයේ දී ඔවුන් අවධානය යොමු කරන ලද්දේ ප්‍රධාන නගරයන්හි හෝටල් ඉඩකඩ ඉක්මණින් පිරී යාම නිසා ලැගුම් ස්ථාන හිඟවෙන විශාල සම්මන්ත්‍රණ, උත්සව යනාදී කටයුතු ඉලක්ක කරගැනීමටයි.

දින කිහිපයක් නිදාගන්නට මැට්‍රස් එකක් හෝ කාමරයෙන් කොටසක් කුලියට දෙන්න කැමති අයෙක් වෙත් ද, ඒ අය එම වෙබ් අඩවියට ගොස් එහි දැන්වීමක් පළ කරයි. එවැන්නක් සොයන අයෙක් එතැනින් එය වෙන්කරවා ගනියි. ඒ ගණුදෙනුවට අවස්ථාව පාදා දෙමින් චෙස්කි සහ ගෙබියා මුදල් උපයති.

ගෙදර තිබෙන පාවිච්චි නොකරන කාමරයක් දින කිහිපයකට කුලියට දී අතට මුදලක් උපයාගන්නට හැකියාව ඇතැයි දැක්ක අය වරක් දෙවරක් එය අත්හදා බලන්නට පටන් ගත්හ. කුලියට ගන්න අයත් සහ කුලියට දෙන අයත් යන දෙපාර්ශවයම අනිකා ගැන එනම් සේවය, පහසුව යනාදියට ලකුණු දෙන වාර්තා ඇතුලත් කිරීම නිසා තාවකාලික තැනක් සොයන අයට තෝරාගැනීමකට පෙර එතැන පිළිබඳව අදහසක් ගන්න යම් ඉතිහාසයක් වෙබ් අඩවියෙන් ලැබිණ.

වෙබ් අඩවිය මහා පරිමාණයෙන් දියත් කරන්නට ඔවුන් 2008 දී ජනාධිපති මැතිවරණයේ උණුසුම උපයෝගී කරගත්හ. Obama O’s සහ Cap’n McCains නමින් සිරියල් ආහාර පෙට්ටි 800 ක් ඩොලර් 40 ක් බැගින් මාස දෙකක දී විකුණන්නට සමත් වීමෙන් ඩොලර් තිස්දහසකට වඩා මුදලක් උපයාගන්නට සමත් වූහ. වසරක් ගෙවෙද්දී මැට්‍රස් හා කාමරයක කොටසක් පමණක් වෙනුවට සම්පූර්ණ කාමරය, නිවාස, තට්ටු මහල, මාලිගා, බෝට්ටු, ගස්වල තනන ලද ගෙවල්, ඉග්ලූ සහ පුද්ගලික දුපත් පවා එහි කුලියට ගතහැකි ස්ථාන බවට එකතු වූහ.

ඔවුන් සිය ව්‍යාපාරය ගෙන ගියේ තමන් කුලියට විසූ ස්ථානයේ දී ම ය. වසරක් ගෙවෙද්දී එහි සේවකයන් 15 ක් රැකියාව කරන ලදහ. බ්‍රයන් චෙස්කි තමන්ගේ කාමරය කාර්යාලයක් වෙනුවෙන් වෙන්කර එයාර්බීඇන්බී නම් සිය ව්‍යාපාරයේ වෙබ් අඩවියෙන්ම තමන්ට නවාතැන් සොයාගත්තේය. ඔහු තවමත් තමන්ගේ යැයි කියා නිවාසයකට අයිතිය නොකියන්නෙකි.

Air Bed and Breakfast නොහොත් Airbnb නමින් හැඳින්වෙන ව්‍යාපාරයේ වර්තමාන වටිනාකම ඩොලර් බිලියන විස්සක් යැයි සැලකේ. ජෝ ගෙබියාගේ වර්තමාන වත්කම ඩොලර් බිලියන 1.9 කි. බ්‍රයන් චෙස්කිගේ වර්තමාන වත්කම ඩොලර් බිලියන 3.3 කි.

පවතින උවමනාවක් සපුරාලන්නට ක්‍රමයක් සොයාගන්නට හැකියාව සතු වූ අය ව්‍යවසයාකයෙකි. නීතියක් සම්මත කරමින් ජනතා අවශ්‍යතාවයක් සපුරාලන්නට හැකියාව ඇතැයි සමහර අය තරයේ විශ්වාස කරති. එවැන්නකට කදිම උදාහරණයක් අද මහා අවුල් ජාලයක් වී ඇති බරක් ඔබාමාගේ සෞඛ්‍ය පනතයි. නමුත් මේ දෙකෙහි වෙනස හඳුනාගන්නට නොහැකි අය නියාමන වලින් පාරිභෝගික උවමනා පිරිමැසීමට හැකි යැයි ද, එයින් පුද්ගල අයිතීන් තහවුරු කරත හැකි යැයි ද සිතමින් නියාමන ගෙනෙන්නට ගජ හපනුන් වෙති. පසුගිය දා එයාර්බීඇන්බී ආරම්භ වූ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සිද්ධ වෙන්නට ගියේ එවැන්නකි.

එෆ් යෝජනාව නමින් හැඳින්වෙන මෙය අයෙකුට තමන්ගේ පුද්ගලික නිවහන කොපමණ කාලයක් කුලියට දිය හැකිදැයි යන්න අනුන්ට තීරණය කරන්න ඉඩ දෙන්නකි. නගරයේ සැලසුම් දෙපාර්තමේන්තුවට සහ කුලියට ඉන්නා අයගේ යුනියන් සංගමයට ඒ ගැන සොයා බලන බලය පවරන්නටත්, නීතිය කඩා ඇතැයි සැක කෙරෙන අයට, නගරයේ සැලසුම් දෙපාර්තමේන්තුව එය කඩා නැතැයි තීරණය කළත්, දිනකට ඩොලර් දාහක් බැගින් දඩ ගහන්නටත් යනාදී නියාමන යෝජනාවේ අඩංගු වූහ.

යෝජනාව ගෙන ආ අයගේ මතය වූයේ කෙටි කාලයකට කුලියට දීම නිසා කුලී නිවහන් ප්‍රමාණය අඩු වී ගිහින් නිවාස මිල ඉහළ යන බවයි. සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ වාසස්ථානයක් ලබාගැනීම මිල අධික කාර්යයකි. ඊට ප්‍රධාන හේතුව කුලී පාලනයක් නගරය විසින් පවත්වාගෙන යාමත්, භූමිය කුමකට භාවිතා කරනවාදැයි යන්නත් නගරය විසින් පාලනය කිරීමත්ය. භූමිය කුමකට භාවිතා කරනවාදැයි අනුන් තීරණය කරද්දී වාසස්ථාන වැය දරාගත නොහැකිව වැඩියෙන්ම දුක් විඳින්නේ දුප්පත් අයයි.

නියාමන රැසියන් ඒවායෙන් අරමුණු කෙරෙන ඉලක්ක ගැන හිතුවාට ඒවා ක්‍රියාත්මක කෙරෙනුයේ කෙසේද කියාත් අනතුරුව ඒවායෙන් අත්විඳින්නට සිද්ධ වෙන ඵලවිපාක මොනවා වේදැයි කියාත් සිතන්නට අසමත් වෙති. මෙම යෝජනාවට වැඩි චන්දය ලැබී සම්මත වූවා නම්, එහි දී සැන් ෆ්‍රැන්සිස්කෝ යනු තම අසල්වැසියන් ගැන ඔත්තු බලන නගරයක් බවට පත්වෙන්නට තිබුණි.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි හැටදාහක් ජනතාව එෆ් යෝජනාවට පක්ෂව චන්දය ප්‍රකාශ කළහ. ඔවුන්ගේ අරමුණ කෙටි කාලීන වාසස්ථාන කුලියට ගැනීමට ඇති ඉඩකඩ තම නගරයේ නවත්වාලීම පමණකි. නගරයට එන සංචාරකයන් හා ව්‍යාපාරිකයන් සමඟ තම තමන්ගේ ලාබය පිණිස කැමැත්තෙන් ගණුදෙනු පවත්වන්නට කැමති අය හැටදාහකට වැඩියෙන් එම නගරයේ සිටීම නම් සතුටට කාරණයකි.

ඉතින් මූඪ නීතියක් නිසා මේ ව්‍යාපාරය එය ආරම්භ වූ නගරයේම මිය ගියේ නැත.

එයාර්බීඇන්බී වෙබ් අඩවිය ලෝකයේ ප්‍රධාන නගර බොහොමයක දැන් ක්‍රියාත්මක වේ. ඇමෙරිකාවට අනතුරුව මේ මාර්ගයෙන් වැඩියෙන්ම නවාතැන් කුලියට සැපයෙන රට ඔස්ට්‍රේලියාව යැයි කියැවේ.

මෙවැනි ව්‍යාපාර රාශියක් දැන් අන්තර්ජාලයෙන් දකින්නට ලැබේ. රැයක් නැවතිය හැකි වාසස්ථානයක් පමණක් නොව පොඩි ගහක් කපාගන්න අවශ්‍ය වූ ඉලෙක්ට්‍රික් කියතක් වැනි ආම්පන්නයක් ද තාවකාලිකව කුලියට ගත හැකියාව ඇත. තාවකාලික අවශ්‍යතාවයක් ඉටු කරගන්නට කුලියට ගන්නා යමකින් හැකි නම් අයිතිය කියනවාට වඩා ප්‍රයෝජනය සඳහා ගෙවීමට මිනිසා වැඩියෙන් කැමතිබව මෙයින් පෙනී යන්නේ ද? තවත් විදියකින් කිව්වොත් මිනිස්සු භෞතික දේවල් අයිතියට වඩා වැඩියෙන් කැමති ඒවායෙන් ලැබෙන ප්‍රයෝජන වලට ද?!!!

4 Responses

Subscribe to comments with RSS.

  1. Chethiya said, on දෙසැම්බර් 4, 2015 at 8:19 පෙ.ව.

    I guess materialistic world is still there as it is and the nature of the abilities may have changed. For example now people are able to get a chainsaw on rent to cut that tree to make way for the dream house. Previously they had to own the chain saw in order to own the house.

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2015 at 2:57 ප.ව.

      Chethiya,

      ඉස්සර කාලේ chain saw එකකට අයිතිය කියන්නම අවශ්‍ය වුනේ නැහැනෙ ගෙයකට අයිතිය කියන්න. Chain saw අයිතිය තියන අයෙක්ට හෝ වෙහෙස යොදවලා දෑතේ හයියෙන්ම කපා දාන්න හැකි අයෙකුට ගාණක් දීලා අයින් කරන්න ඕන ගහක් අයින් කරන්න පුළුවන්කම තිබ්බනෙ.

      මෙම සටහනින් ගෙනෙන තර්කය මෙයයි: බොහෝ අය හිතන්නේ මිනිස්සු කැමති භෞතික වස්තු අයිතියට කියල. ඒත් වෙන අයට අයිති බඩු වලින් ප්‍රයෝජන ගන්නට පහසුව වැඩිවෙද්දී පෙනී යන්නේ භෞතික වස්තුවක් අයිති කරගන්නවාට වඩා එයින් ලැබෙන ප්‍රයෝජනයට මිනිසා කැමතියි බවයි. තමන්ගෙම කියතක් හෝ තමන්ගෙම නිවහනක් “අයිති” කරගන්නවාට වඩා වැඩේ කරගන්නට කියතක් සහ වාසස්ථානයට නිවහනක් මිනිසා හොයන බවයි.

      • Chethiya said, on දෙසැම්බර් 8, 2015 at 2:40 පෙ.ව.

        මට හිතෙන්නෙ මිනිස්සු භෞතික දේවල් තවමත් අයිති කරගන්න හොයනවා. නමුත් ඒ ක්‍රියාවලියේදී පෙර පැවති පියවර වර්තමාන සේවා වලින් වඩාත් පහසු වෙලා.කොටින්ම කිව්වොත් දැන් අයිතියේ නව මානයන් විවර වෙනවා.

        මෙහි අන්තයටම ගොස් සේවා වලින් පමණක් සංතෘප්ත වන මිනිස් සමාජයක් බිහි වේවි ද? එහෙම වෙන්න තියන ඉඩ නම් අඩුයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: