අරුණි ශපීරෝ‍ වෙතින්

වෙබ් සේවා සපයන තවත් සැන් ෆ්‍රැන්සිස්කෝ කොම්පැණියක්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 7, 2015

ලංකාවේ තහනම් ‘සවුත් පාර්ක්’ නම් කොමඩි කාටූන් ටෙලිනාට්‍ය විසින් Truth in Advertising -දැන්වීම්කරණයේ සත්‍යතාවය’ නමින් වැඩසටහනක් පසුගියදා එළිදැක්වූහ. පත්තරවලින් කියවන්නට ලැබෙන්නේ ප්‍රවෘත්තිවලට වඩා දැන්වීම් බවත් සහ ප්‍රවෘත්ති මෙන් පළවන දැන්වීම් ගැනත් හාස්‍ය රසයෙන් දැක්වෙන එම වැඩසටහනේ දී දැන්වීම් දකින්නට නැති තත්වයන් අත්පත් කරගනිද්දී ජනතාව සතුට ප්‍රකාශ කළ අවස්ථා නිරූපනය වෙන්නේ පල්ලියක ස්තූති ගීතිකා වැනි ගායනයෙනි.

Craigslist -ක්‍රේග් ගේ ලැයිස්තුව බිහිවෙන්නේ මෙවැනි දැන්වීම් දකින්නට නොතිබුණ විරාමයක දී ය. ඒ අන්තර්ජාලයේ මුල්කාලයයි. 1988-89 වැනි වර්ෂ යනු කැලිෆෝර්නියාවේ විසූ පරිගණක ක්ෂේත්‍රයේ රසිකයන් වුවත් ඊට ඍජු සම්බන්ධයක් නොතිබූ අපිට ඊමේල් හුවමාරු කරගත හැකි අයව ලොව තැන තැනින් අහුලා ගන්නට සිද්ධ වූ කාලයකි. AOL හි මුදල් ගෙවා අරඹන ලද මගේ මුල්ම ඊමේල් ලිපිනය aruni007 නම් විය!!! එයට වෙළඳ දැන්වීම් කිසිත් ආවේ නැත.

ඉහත කියූ සවුත් පාර්ක් වැඩසටහනේ හාස්‍යජනක ලෙසින් පෙන්වන පරිදි දැන්වීම්කරුවන් අනතුරුව අන්තර්ජාලයට ද රිංගා ගත්හ. ඉල්ලුවේ නැති ඊමේල් දැන්වීම් ලංකාවෙන් පවා අද අපට ලැබෙයි. සාමූහික ඊමේල් මඟින් දැන්වීම් යවද්දී ඒවායෙන් අයින් වෙන්නට ක්‍රමයක් සැපයිය යුතුවීම ඇමෙරිකන් නීතියයි. තවම ලංකාවෙන් එන බහුතර ඊමේල්වල එවැන්නක් අඩංගු නැත.

ඉතින් අන්තර්ජාලයේ සිටිය දී ක්ෂණයෙන් මතුවෙන කිසිත් දැන්වීම් නොතිබි යුගයක ඊමේල් මාර්ගයෙන් දැන්වීම් යවන්නට අදහසක් ක්‍රේග් නිව්මාර්ක් නැමැත්තාට පහළ වුණි. ඔහු කොම්පියුටර් ප්‍රොග්‍රෑමර් කෙනෙකි. චාල්ස් ෂ්වාබ් හි රැකියාව කරන අතුරතුර ඔහු සිය වෙබ් සේවාව නිර්මාණයට පටන් ගන්නේ 1995 දී ය. ඒ අලුතින් පදිංචියට පැමිණි සිටි සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දී සිය පාළුව තනිකම මකා ගන්නටයි.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවත්වෙන, ඒ පළාතේ අය වෙතින් සංවිධානය වෙන, විවිධ කටයුතු ගැන විස්තර සිය මිතුරු මිතුරියන් සඳහා ඊමේල් මඟින් බෙදාහැරීමට ඔහු මුලින් පටන් ගත්තේය. ඔහු සපයන ලද මුල් ඊමේල් වල අඩංගු වූයේ ඔහු වැනි මෘදුකාංග හා අන්තර්ජාල ප්‍රවර්ධනයේ යෙදී සිටි අය සඳහා වූ කතිකා, උත්සව හා සම්මන්ත්‍රණ ගැන විස්තරයි. ඒ විස්තර සොයන අය ඔහුගේ ඊමේල් ලැයිස්තුවට එක්රොක්වන්නට පටන් ගත්හ. ඒ මාර්ගයෙන් අනිත් අය දැනුවත් කරන්න යැයි කියමින් එයට විස්තර එවන අයත් වැඩිවූහ.

වසරක් යද්දී අන්තර්ජාලයෙන් එම තොරතුරු බෙදාගන්නට අඩවියක් හදන ඔහු පරිගණක ලෝකයෙන් බැහැර වෙනත් දේවල්, රක්ෂා අවස්ථා යනාදිය ගැනත් ලුහුඬු දැන්වීම් පළ කරන්නට පටන් ගත්තේය. අන්තර්ජාල අඩවියක් හැටියට ‘ක්‍රේග් ගේ ලැයිස්තුව’ එළිබහින ලදි.

ක්‍රේග් ගේ ලැයිස්තුව නම් අන්තර්ජාල අඩවියේ යමක් පළකරද්දී කිසිවෙකුත් විසින් කිසිත් වගවිභාගයක් නොකරන ලදි. කැමති අයෙක්ට කැමැත්තක් ගැන දැන්වීමක් දාන්නට ඉඩකඩ ලැබුණි. අනෙක් අය හා කතාබහට වෙන් වූ තවත් අන්තර්ජාල සමාජ අඩවි එවක පැවතිණ. ඒවායේ සිද්ධ වූයේ වැඩිපුරම පරිගණක ක්ෂේත්‍රවල වැඩ කරන අය එකිනෙකා හා සම්බන්ධ වී ගැටළු නිරාකරණය කරගැනීමයි.

ක්‍රේග් ගේ ලැයිස්තුව වැඩියෙන් ජනප්‍රිය වන්නට හේතු වූයේ එහි රස්සා ගැන දැන්වීම් පළකරන්නට ඉඩකඩ ලැබීම නිසා යැයි කියැවේ. විශේෂයෙන්ම සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි පරිගණක ලෝකයේ දක්ෂයන් බොහොමයක් එක් රොක් වී සිටින පරිසරයක, මේ ක්‍රේග් ගේ ලැයිස්තුව කියවන එම ක්ෂේත්‍රයේ අය බොහොමයක් සිටින තැනකින් රක්ෂාවක් සඳහා දක්ෂයෙක් සොයා ගැනීමේ ඉඩකඩ ද මහත් බව දක්ෂයන් බඳවාගන්නට සොයමින් සිටි අයට පසක් වූවා නිසැකය.

1999 දී සිය රස්සාව හැර දා සම්පූර්ණ කාලය මේ අඩවියට යෙදවීමෙන් මෙයින් හොඳ ආදායමක් ලබන්නට හැකියාව ඇතැයි දුටු ක්‍රේග් නිව්මාර්ක් සිය සැන් ෆ්‍රැන්සිස්කෝ තට්ටු මහලේ දී සේවකයන් 9 දෙනෙකු සමඟ ව්‍යාපාරය පටන් ගත්තේය.

කළින් සටහන කියවා කරන ලද කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ ඉල්ලීමක් පරිදියි මේ සටහන ලියන්නේ. ඔහුට අනුව ක්‍රේග් ගේ ලැයිස්තුව කිසිම රහක් නැති තැනක්. ඇයි ඒ? වර්ණනා, අලංකාර පින්තූර, විශේෂඥ නිර්දේශ හෝ සුපිරි තරු අනුමැතියක් මේ දැන්වීම් වල නැහැ. මේ දැන්වීම් යනු යම් භාණ්ඩයක් හෝ සේවාවක් නැත්නම් නොමිලේ බෙදන්නක් ගැන ඒවා සොයන අයට කරන ඍජු ලුහුඬු දැන්වීම් විතරයි.

අලෙවිකරණය සහ දැන්වීම්කරණය අතර ඇති වෙනස පැහැදිලි කරන්නට මෙය කදිම ස්ථානයකි. බඩුවක් ඉලක්ක කරගෙන එය ගන්නට සිත්වෙන ආකාරයේ කටයුතු අලෙවිකරණයේ දී සිද්ධ වෙද්දී ගන්නට අවශ්‍ය යැයි තීරණය කරන ලද බඩුවක් සොයන්නාට එය පහසුවෙන් සොයා දීමට කටයුතු කිරීම දැන්වීම්කරණයෙන් සිද්ධ වේ.

ඉතින් මහජනතාව අතර කට වචනයෙන් (ඊමේල් වලින්!!) පැතිර ගිය ප්‍රසිද්ධයෙන් තවත් නගරවලට සහ වෙනත් රටවල් පුරාත් මේ වෙබ් අඩවියේ භාවිතය පැතිර ගියේය. අඩවිය තුල සැරසැරීම තමන් තොරතුරු සොයන නගරය අනුව සිද්ධ වෙන්නකි. 2004 දී ක්‍රේග් විසින් නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් යන නගරවල තොරතුරු සහිත පිටුවල රක්ෂා ඇබෑර්තු දැන්වීම් දාන්නට ඩොලර් විසිපහක් අය කරන්නට පටන් ගත්තේය. ඒ සමඟින්ම Gigs යනුවෙන් ඊට පිටුවක් එකතු කරමින්, එහි අඩුවෙන් ගාස්තු ඉල්ලන, ගාස්තුවක් නොමැති සේවා සහ පුහුණුව ලබාදෙන අවස්ථා පිළිබඳව නොමිලේ දැන්වීම් දැමීමටත් ඉඩකඩ සකස් කරන ලදි.

2011 වෙද්දී ඇමෙරිකාවෙන් පමණක් මිලියන 94.4 ක ජනතාවක් මාස් පතා එයට ගොඩවැදී තිබුණහ. සෑම මාසයකම නව ලුහුඬු දැන්වීම් මිලියන 80 කට වඩා එහි පළවිය.

අපි වෙන පළාතක පදිංචියට යද්දී විකුණා ගන්නට අවශ්‍ය වූ මෙන්ම නොමිලේ බෙදන ලද බඩුබාහිරාදිය සඳහා එහි නොමිලේ දැන්වීම් පළ කළෙමු. දවසක් දෙකක් ඇතුලත සියල්ලෙන් නිදහස් වන්නට හැකියාව ලැබිණ.

2011 දී ක්‍රේග් විසින් ක්‍රේග් සම්බන්ධීකරණය –craigconnects නමින් ‘පොදු යහපත උදෙසා ලෝකය සම්බන්ධීකරණයට’ උත්සාහයක් අරඹා ඇත.

වර්තමානයේ දී ලොව පුරා රටවල් 70 ක පරිස්ථානීය අඩවි 700 ක් ඇතැයි ද, ක්‍රේග් ගේ ලැයිස්තුව කියවන්නට මාස්පතා බිලියන 50 ක ජනතාවක් ඒවාට ගොඩවැදෙන බවත් මාසයක දී අලුත් රක්ෂා දැන්වීම් මිලියනයකට වඩා පළවෙන බවත් ඔවුන් දන්වති. එහි භාවිතා වෙන භාෂා අතර ඕලන්ද, පෘතුගීසි, ස්පාඤ්ඤ, ස්වීඩිශ් හා තුර්කි යනාදියත් ඇත.

තවමත් එහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේමයි. දැන් 40 දෙනෙක් එහි සේවය කරන අතර නිරතුරු එහි රක්ෂා ඇබෑර්තු ගැන ද ඔවුන්ගේම අඩවියේ දැන්වීම් පළවේ.

The Craigslist Killer (2011) චිත්‍රපටිය නිර්මාණය වූයේ පිලිප් මාකොෆ් නම් වෛද්‍ය සිසුවා කරන ලදැයි සැක කෙරෙන ඝාතනයක සහ මංකොල්ලකෑම් දෙකක සිද්ධීන් පසුබිම්කරගෙනයි. නඩුව විභාගයට පෙර ඔහු සිරබන්ධනාගාරයේ සිටිය දී සියදිවිනසා ගත්තේය. අපරාධකරුවා යැයි සැකයට පාත්‍ර වූ මාකෝෆ් විසින් සිය වින්දිතයන් අල්ලා ගත්තේ මෙම වෙබ් අඩවියෙන් නිසා ඔහුට ‘ක්‍රේග්ස්ලැයිස්තු ඝාතකයා’ යන නම වැටිණ.

3 Responses

Subscribe to comments with RSS.

  1. indranathathenuwara said, on දෙසැම්බර් 8, 2015 at 5:55 පෙ.ව.

    හොඳ ලිපියක්. අලුත් තොරතුරක් සමග.
    මුකුත් නොලීවාට හැමදාමත් ඔබේ බ්ලොගය මම කියවනවා. නමුත් සමහර මාතෘකා මට නිකං යූඇන්පී ආණ්ඩුව වගෙයි..
    අනේ ඒත් කියවනවානෙ..!!

  2. ලෙවියාතන් said, on දෙසැම්බර් 8, 2015 at 11:49 පෙ.ව.

    නියම ලිපියක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )