අරුණි ශපීරෝ‍ වෙතින්

පොකට් සයිස් ඩ්‍රෝන් තාක්ෂණය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 10, 2015

12241737_630719837067816_887821433991366882_n-1

අන්තර්ජාල පහසුකම් ලොව පැතිර යාමත් සමඟ ව්‍යවසායකයාට පෑදුණු තවත් මහඟු අවස්ථාවක් නම් තමන් ගන්නා අවදානමට එකතු වන්නට කැමති පිරිසක් පහසුවෙන් සොයා ගන්නට ඉඩක් ලැබීමයි.

ඇමෙරිකාවට සංක්‍රමණය වූ තරුණ විද්‍යාඥයාගේ හැකියාවන් පිරික්සා බලන්නට තෝමස් එඩිසන් අවදානමක් ගත්තේ නැත්නම් නිකොලා ටෙස්ලා යනු සිය හැකියාවන් අත්හදා බලන්නට කිසිවෙක් ඉඩ නොදුන් ලෝකයක ජීවත් වූවෙක් පමණක් වන්නට ඉඩ තිබිණ. වර්තමානයේ දී හැකියාවන් උරගා බලන්නට යුරෝපය හැර දා ඇමෙරිකාවට එනවා වෙනුවට යුරෝපයේම සිටිමින් ඇමෙරිකන් පමණක් නොව ලොව වටෙන්ම සහයෝගය ලබාගත හැකි මාර්ග අන්තර්ජාලය මාර්ගයෙන් ව්‍යවසායකයාට පෑදී ඇත.

අලුත් දෙයක් නිපදනවා වෙනුවට තියෙන දේවල් බෙදන්නේ කොහොම ද, කාට ද, කුමන ප්‍රමාණ වලින් ද යනාදියෙන් අයෙකුට සිය ජීවිත කාලයම නාස්ති කරන්නට හැකියි. එහෙම නැත්නම් අපි අලුත් දේවල් නිපදවා ගන්නම් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න laissez-faire යැයි රජයෙන් ඉල්ලා සිටිය හැකියි.

ඩ්‍රෝන් තාක්ෂණයෙන් ගන්නා ලද ගාළු කොටුවේ පින්තූරය මෙම සටහනට යොදා ගන්නට අවසර දුන් Black Pepper හි අනුෂ්ක ලක්මාල්ට බෙහෙවින් ස්තූතියි.

පහත විඩියෝවේ දැක්වෙන්නේ අල්ලක් පුරවන තරම් පුංචි ඩ්‍රෝන් එකක් වෙළඳපොලට ගෙනෙන අවදානම ගන්නට ඩොලර් මිලියන තුනක් ඉක්මවා එනම් අපේක්ෂිත අරමුදල් ඉපැයීම 3,077% ක් සපුරාගත් පිරිසකගේ උත්සාහය ගැනයි.

වර්තමානයේ දී ඩ්‍රෝන් භාවිතය බොහෝ වශයෙන් විනෝදය උදෙසා සිද්ධ වෙන්නකි. විනෝදයට භාවිතා කරන අය වැඩිවෙද්දී ඒවායේ නිෂ්පාදන වැය ද පහළ යවමින් වෙළඳපොලට කුඩා ඩ්‍රෝන් නිර්මාණය කරන්නන් වැඩිවෙන්නට පටන් ගෙන ඇත. එයින් විනෝදයට නොව සිය ජීවිකාව උපයා ගන්නට ඩ්‍රෝන් භාවිතා කරන අයට, උදාහරණයක් වශයෙන් ගොවියාට තම වගාවට වතුර දාන්න අවශ්‍යදැයි කුඩා ඩ්‍රෝන් යවා සොයා බලත හැකියාව ද පහසු සහ ලාබදායක වී තිබේ.

3D Robotics ඇමෙරිකන් කොම්පැණියකි. එහෙත් දැන් වැඩිපුරම ඩ්‍රෝන් තාක්ෂණයට පිවිසෙන අය බිහිවෙන්නේ යුරෝපයෙනි. ඇමෙරිකන් වැසියන්ට සහ ඩ්‍රෝන් නිෂ්පාදකයන්ට ඒවා නිෂ්පාදනයට සහ එහා මෙහා යවත හැකියාව ගැන බාධක ගෙනෙන්නට මැදිහත්වීම් රුසි ආණ්ඩුවක් උරුම වී ඇති නිසා ලොව අන් රටවල ඩ්‍රෝන් නිෂ්පාදනයේ යෙදෙන අයට මේ කාලය පාදා ඇත්තේ ඉතා කදිම ඉඩකඩකි. කුඩා ඩ්‍රෝන් තාක්ෂණය නවෝත්පාදනයේ යෙදෙන 50% ක් කටයුතු අද සිද්ධ වෙන්නේ යුරෝපයේයි.

ඩ්‍රෝන් හදන ප්‍රංශ කොම්පැණියක් වූ පැරට් හි කොටස්කාර ඩෙල්එයාර්-ටෙක් නම් සේවකයන් 50 කින් යුතු ආයතනය කිලෝමීටර් 50 ක් ඉක්මවා යා හැකි නියමුවෙක් නොමැති යන්ත්‍රය ලොවට ඉදිරිපත් කරන ලදි. කොළඹ සිට කළුතර ඉඩමක් ගැන සොයා බලන්නට අවශ්‍ය නම්, ඒ ගැන පැහැදිලි භූමි ලක්ෂණ පින්තූර රැගෙන එන්නට මෙම ඩ්‍රෝන් එකක් යවත හැකියාව අද ඇත. ඩෙල්එයාර්-ටෙක් කොම්පැණියේ වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 3.2 ක් හා ව්‍යාපාරය අරඹා වසර හතරක කාලයක දී එය 200% කින් වර්ධනය වෙන්නක් බවට පත්ව තිබෙන්නේ එවැනි මුදල් ගෙවා මිල දී ගන්නට කැමති සේවා සපයන්නට සමත් නිසයි.

මිනිස් අවශ්‍යතා සපුරාලන්න අලුත් විධි ක්‍රම බිහිකරන්නට හැකියාව ලැබීමෙන් සියල්ලන්ගේම වස්තු සම්පත් වැඩිවෙනව. නවකයන් පිරිසක් ගෙනෙන නවෝත්පාදන භාවිතයෙන් දැනට සිටින නිෂ්පාදකයන් තම ඵලදායීත්වය වැඩි කරගනිද්දී ඒවා ගෙනෙන අයට මෙතෙක් නොතිබිච්ච නව ආදායම් මාර්ග පෑදෙනව. රටක වස්තු සම්පත් වැඩිවෙන්නෙත් එහෙමයි. නැතිව ආණ්ඩුවක් නීතියක් පාස් කරපු නිසා නෙමෙයි.

ඩ්‍රෝන් තව තවත් කුඩා වෙද්දී කම්හල් ඇතුලත වුව වැඩ කටයුතු ගැන සුපරීක්ෂාවට අවස්ථාවක් අයිතිකරුවන්ට හා ආයෝජකයන්ට ලබාදෙන්නට ඩ්‍රෝන් සේවා සපයන්නන්ට අවස්ථා පෑදෙනු ඇත. පහසුවෙන් යා ගත නොහැකි පතල් සහ තෙල් කැනීම් කරන ස්ථානයන් හි දී මේ ඩ්‍රෝන් භාවිතයට ගැනීමෙන් මිනිස් ජීවිත අවදානමට ගොදුරුවීමෙන් ගලවා ගැනීමට ඉඩකඩ ද පෑදේ.

ඊට අමතරව ඩ්‍රෝන් නොහදන, ඒවා ගුවන්ගත නොකරන එහෙත් ඒ ආශ්‍රිත සේවා සපයන ව්‍යාපාර ද ක්ෂේත්‍රයේ වර්ධනය සමඟින් දැන් බිහිවී ඇත. බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති ඇල්ටිටියුඩ් ඒන්ජල්ස් වැනි ව්‍යාපාර නියැළෙන්නේ අතරමැදියෙක් වශයෙන් සිවිල් ඩ්‍රෝන් නියමුවන්ට තොරතුරු සේවා සැපයීමයි. ඔවුන්ට භූමිය පිළිබඳව, අනතුරුදායක තත්වයන් (දොඹකර වැනි යන්ත්‍ර ගැනත්, අනෙකුත් ඩ්‍රෝන් කටයුතු පැවතෙන තැන් ගැනත්) සහ රටේ රෙගුලාසි ගැනත් අවශ්‍ය විස්තර ලබාදීමයි. ගුවන්ගමන් පාලක මැදිරියක් ලෙසින් සේවා සපයන්නට හැකි ව්‍යාපාර රටක ඩ්‍රෝන් භාවිතය වැඩිවෙද්දී අවශ්‍ය වේ.

අනිත් අය කරන දේවල් අනුකරණයට කැමති අය ලොව වැඩියෙන් සිටින නිසා අනුන් යවන ඩ්‍රෝන් මඟින් එකතුවෙන තොරතුරු මිල දී ගැනීම සඳහා ද වෙළඳපොලක් හට ගැනීම තවත් අතුරු ඵලයකි.

ඒවා හදපු තැන්වලටම නොයවා පරිස්ථානීය ලෙසින් අලුත්වැඩියා කරන සහ පරිස්ථානීයව ගැලපෙන ආකාරයෙන් වෙනස් කරගන්නට හැකි ක්‍රමවේදයන් ප්‍රගුණ කරන තවත් අතුරු ව්‍යාපාර ද බිහි වී පැතිර යනු ඇත.

රටක පවතින නීති නොකඩා, අනුන්ගේ අයිතීන් උල්ලංඝණය නොකරමින් ඒ ඒ මිනිසුන් විසින් කැමැත්තෙන් නියැළෙන කටයුතු වල වර්ධනයත්, ඒ නිසා සීඝ්‍රයෙන් පැතිර යන ව්‍යාපාරයන්හි වර්ධනයත්, එම නිසාම ‘පොකට් සයිස්’ නිෂ්පාදන වලින් සාක්කු මුදලින් පිරෙන කර්මාන්තයේ වර්ධනයත් රඳා පවතින්නේ ආණ්ඩුව ලවා මේ නිදහස් මිනිසුන්ගේ උත්සාහයන්ට බාධක මැදිහත්වීම් ගෙනෙන්නට ඉදිරිපත් වෙන අයගේ චර්යාව අනුවයි.

4 Responses

Subscribe to comments with RSS.

  1. විචාරක Wicharaka said, on දෙසැම්බර් 10, 2015 at 11:09 පෙ.ව.

    අනාගතයේදී සංග්‍රාමික වශයෙන් මේ පොකට් ඩ්‍රෝන් මහා භයානක සහ එමෙන්ම හිසරදයක් වීමට ගොඩක් ඉඩ තියනවා. නාන කාමරයට, නිදන කාමරයට, පවා එබී බැලියහැකි යානා දැනටමත් නිපදවා තිබෙනවා.

  2. wicharaka said, on දෙසැම්බර් 12, 2015 at 11:52 ප.ව.

    මීට පෙර මා කමෙන්ට් එකක් දැම්ම නමුත් එය පළවී නැහැ.

    ඩ්‍රෝන් තාක්ෂණය මෙලෙස වර්ධනය වන අතරම, සංග්‍රාමික කටයුතු සඳහා රහසිගතව එවැනි යානා සංවර්ධනය කිරීමේ විවිධ වැඩපිළිවෙල ලෝකය පුරාම සිදුවෙනවා. සමහරවිට අනාගතයේදී පුද්ගලයකුහේ පෞද්ගලිකත්වය ඉක්මවා යන මට්ටමේ ක්‍ෂුද්‍ර ඩ්‍රෝන් යානා අපේ නිවෙස් වල කවුළුවෙන් එබී බලන කාලයක් එන්නට පුළුවන්.

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2015 at 8:01 ප.ව.

      wicharaka,

      මා නිතර මෙහෙ එන්නේ නැහැ. ඒකයි කමෙන්ට් අනුමත කරන්න ප්‍රමාද.

      මේකත් තුවක්කු අයිතිය වගේමයි. වැරැද්ද ඩ්‍රෝන් වර්ධනය වීමේ නොවේ.

      රජයකට ඒවා අයුතු ලෙස යොදා ගැනීමට ඉඩ ලැබෙන්නේ කාගෙන් ද? නිදහස් මිනිසුන් කරන ගණුදෙනු මැද්දට පැනලා බදු අය කිරීම සාධාරණ යැයි කියන අය වෙතින්ම පමණයි. ඒක පැහැදිලි කර දුන්නත් පුද්ගල අයිතීන් ආරක්ෂා කර දී රාජ්‍ය බලතල අඩුකරන්න යැයි ඉල්ලා සිටින්න එකඟ වෙන්නෙ කීයෙන් කී දෙනා ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: