අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස් ගණුදෙනු මැද්දට රජය රිංගන්නේ නැතිවිට

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 15, 2015

බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, හා ශූද්‍ර යනාදි කුලයන් හතරට පහළින් සිටින පස්වැනි කොටස දලිත්* නමින් හැඳින්වෙන පහත්ම පහත් කුලයේ ජන කණ්ඩායමයි. ඔවුන් ඉන්දියාවේ ජනගහණයෙන් හයෙන් එකක් පමණ වෙති. ඔවුනට නියැළෙන්නට හැකි වූයේ වැසිකිළි පිරිසිදු කිරීම, මළවුන් පුළුස්සා දැමීම හා මියගිය සතුන් ඉවත් කිරීම වැනි රක්ෂාවල පමණකි. එවැනි රැකියාවන්හි නිරත වීම යනු ඉක්මණින් ලෙඩ රෝග බෝවෙන හා ඉක්මණින් මරු කැඳවන්නකි. ඉහළ කුලවල අයට දලිත් කුලයේ අයව අතින් ඇල්ලීම පවා තහනම් වූ නිසා ඔවුන්ව ‘ඇල්ලීමට නුසුදුස්සන්’ යැයි ද නම් වූහ.

1947 දී ඉන්දියාව ස්වෛරී රාජ්‍යයක් වෙද්දී කුලය අනුව වෙනස් ආකාරයට සැලකීම ව්‍යවස්ථානුකූලව තහනම් කරන ලදි. එසේම රටේ ව්‍යවසාථාවෙන් දලිත් කුලයේ අයට ජනතා නියෝජිතයන් වීමට, රජයේ සේවයට, සහ සමහර අධ්‍යාපනික ආයතනවලට ඇතුල් වීම සඳහා සීමිත ස්ථාන සංඛ්‍යාවක් වෙන්කරන ලදි. මේ ඉඩකඩ පාදා දීම නිසා දේශපාලනයේ සහ රාජ්‍ය සේවයේ නියැළෙන ලද දලිත් කුලයේ ඉහල තලයකට නැඟගත් සුළු පිරිසක් බිහිවූහ. එහෙත් කුලය නිසා ඔවුනට වෙනස් ලෙසින් සැලකීම මහත් සේ රටපුරා පැතිර පැවතීම නැවතුනේ නැත. විශේෂයෙන්ම ගම්මානවල දී ඔවුන්ව කෲර සැලකිලිවලට පාත්‍ර වූහ.

පෙර ආත්මයේ කළ පව්කාර වැඩ නිසා මේ පුද්ගලයන් මෙසේ පහත් කුලයක ඉපදුන බව හින්දු දහමේ කර්මය යන සංකල්පයෙන් පහදන ලදි. මේ ජීවිතයේ විඳින දුක යනු පෙර පව් සඳහා ගෙවන වන්දියක් හැටියට දැකීම නිසා මේ අයගේ සමාජ තත්වයේ වෙනසක් කරන්නට හින්දු ධර්මය පිළිගත් බහුතර ජනතාවක් එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.

එහෙත් ඒ පහත්ම පහත් කුලයේ ජීවිතවල මහත් වෙනසක් ඇති කරන්නට සමත් වෙන්නේ 1991 ගණන්වල දී ගෙනෙන ලද ආර්ථික ප්‍රතිසංස්කරණයි. එතෙක් රටේ වැසී තිබුණ ආර්ථිකය විවෘත කරද්දීය. ඵෛතිහාසිකව ඔවුන් නියැළෙන ලද රක්ෂාවලින් ගැලවෙන්නට වැඩි වැඩියෙන් අවස්ථාව පෑදෙන්නට පටන් ගැනුණි. උත්තාර් ප්‍රදේශ් හි ගඩොලින් නිමැවූ ගෙවල් හිමි දලිත් සංඛ්‍යාව 38% කින් 94% ක් දක්වා වැඩි වී ඇති බව එක්එක් දිස්ත්‍රික්ක වාර්තාවක් පෙන්වයි. තමන්ගේම ව්‍යාපාරයන්හි නියැළෙන සංඛ්‍යාව 6% සිට 38% දක්වා ඉහළ ගිහින් ඇත. දලිත් කුලයේ ඉන්දියන් වානිජ සහ කර්මාන්ත මණ්ඩලය දැන් අඩම්බාරයෙන් පවසන්නේ ඔවුන්ගේ මිලියනපතිවරු සමාජික සංඛ්‍යාව තුන්දහසකට වඩා වැඩි වී ඇති බවටයි. කළින් දාසයන් වූ ජනතාවක් දැන් ඉහළ කුලයේ අයව සේවයට බඳවා ගන්නා බොස්ලා වෙන්නට සමත් වී සිටිති.

හරි කිෂාන් පිපාල් දලිත් කුලයේ අයෙකි. ඔහුට අනෙක් ළමුන් වෙතින් ඈත්ව වාඩිවෙන්නට යැයි ගුරුවරු අණ කරන ලදි. වේතන නොගෙවීම සහ ඉහළ කුලයේ අයගේ ළිං වලින් වතුර බීම හෝ ඔවුන් හා එකට අසුන් ගෙන ආහාර ගැනීම යනාදිය ඔහුට තහනම් විය. ලියන්නට කියවන්නට නොදත් සපත්තු මහන්නෙක් වූ තම පියා ලෙසින්ම සේවය කරනවාට වඩා වැඩි යමක් ඔහුට සිය ජීවිතයේ දී අපේක්ෂා කරන්නට නොතිබිණ. එහෙත් දැන් හෙතෙම රෝහලක්, සපත්තු කම්හලක්, වාහන වෙළඳසැලක් සහ ප්‍රකාශන ආයතනයක් ද අයිතිකරුවෙකි.

දලිත් ජනගහණයට නව වෘත්තීන්වලට පිවිසෙන්නට උපකාරී වූයේ රටක ආණ්ඩුවක් ඒ සඳහා නීතියක් සම්මත කරගැනීමෙන් නොවේ. ආර්ථිකය විවෘත කිරීමෙන් තරඟකාරී වෙළඳපොලට ඉඩදීමෙනි.

ඉන්දියාවේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා දශක ගණනාවක් යනතුරු ඔවුනට අත්පත් කරගත හැකි වූයේ 3.5% ක වාර්ෂික වර්ධනයක් පමණි. සියළු ආර්ථික කටයුතු සඳහා අවසර පත්‍ර ලබාගැනීමට සිද්ධ විය. ඉහළ කුලවල අය ඔවුන් අතර පවත්වා ගත් සබඳතාවලින් දලිත් අයව අයින් කර තබන්නට සමත් වූහ. එහෙත් 1991 දී ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනැවිත් ඒ නියාමනයන් අයින් කරද්දී, තරඟයට ඉඩ ලැබී වර්ධනය වේගවත් විය. තරඟය වැඩිවෙද්දී ඔහුගේ කුලයට වඩා සැපයුම්කරුවා කියන මිල වැදගත් වෙන්නට පටන් ගැනිණ. මෙයින් දලිත් ව්‍යවසායකයන්ට එතෙක් තිබි ඉහළ පංතියේ සාම්ප්‍රදායික ඒකාධිකාරයන් කඩා දමා නව අවස්ථා පාදා ගන්නට ඉඩකඩ පෑදුණි.

ජනතාව අතර සිද්ධ වෙන නිදහස් ගණුදෙනු මැද්දට රජය රිංගන්නේ නැතිවිට, හැම කටයුත්තක් සඳහාම ලැයිසන්, පර්මිට් හා ආණ්ඩුවේ සේවකයෙක් ලවා අනුමතයක් කරගන්නට අවශ්‍ය නොවී රජය ඈත්වීමේ දී, ශතක ගණනාවක් පුරා දුගී දුප්පත් බැවින් පෙළෙන ලද ජනකොට්ඨාශයකට පවා සමෘද්ධිය අත්පත් කරගත හැකි බව මෙයින් ඔප්පු වේ. එහෙත් දුගියා වෙනුවෙන් හඬනඟනවා යැයි කියන අය අතර සැබෑ දුප්පතුන්ගේ හඬ සැබෑවටම ඇහෙන්නේ කාටද?

Swaminathan S. Anklesaria Aiyar ලියන ලද Capitalism’s Assault on the Indian Caste System: How Economic Liberalization Spawned Low-Caste Dalit Millionaires සටහන ඇසුරිනි.

සංශෝධනය: මේ අයගේ කුලයේ නම දලිත් යැයි නිවැරදි විය යුතු බව පෙන්වා දුන්නාට හිතවත් උපුල් සර්ට බෙහෙවින් ස්තූතියි!

2 Responses

Subscribe to comments with RSS.

  1. මහේෂ් සමන්ත said, on දෙසැම්බර් 18, 2015 at 3:24 පෙ.ව.

    හැමදෙනාගෙම අදහස් මෙහි පලකරණවාද????

    • arunishapiro said, on දෙසැම්බර් 21, 2015 at 1:19 ප.ව.

      මහේෂ් සමන්ත,

      නැහැ. මේක මගේ තැන. මෙහි දැක්ම හා අරමුණ අනුව නොවන අදහස් පළ කරගන්න අවශ්‍ය අයට ඒ සඳහා වෙන අඩවියක් හොයාගන්න වෙනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: