අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රංශ රජ වාසල සඳහා බිහිවුනු බැලේ නර්තනය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 29, 2015

20150926-20150926-IMG_6887-3 copy

Sea Legs කණ්ඩායමේ ශෛලීය වූ බටහිර නැටුම් සම්ප්‍රදායේ මූලාරම්භය සිද්ධ වෙන්නේ 1500 දී පමණ ඉතාලියේ පුනරුදයත් සමඟයි. බැලේ යන වචනය හැදෙන්නේ නටන්න යන අර්ථයෙන් යුතු ඉතාලි වචනයෙන්. එය වෙස්මුහුණු දමාගෙන සහභාගී වෙන බාල් නැටුම් ගැන වූවකි. ඉතාලියේ රජ වාසල වැසියන්ගේ සතුට පිණිස පටන් ගත් බැලේ නර්තන සම්ප්‍රදාය ඉතාලියේ කැතරින් ඩ මෙඩිසි ප්‍රංශයේ දෙවැනි හෙන්රි රජු හා විවාහ වීමත් සමඟින් ප්‍රංශ රජ වාසලට ඇතුල් විය. වර්තමානයේ මෙන් ඕනෑම සමාජ තරාතිරමක අයෙකුට බැලේ නර්තන නරඹන්නට අවසරයක් ඒ ඈත අතීතයේ දී නොතිබුණි. රජ වාසල වැසියන් හා ආරාධිතයන් බැලේ නර්තනයක් නරඹා අවසානයේ දී එහි නැටුම්වලට ද එක්වූ බව කියැවේ.

ඒ නර්තන ශිල්පීන් වෙස්මුහුණු පමණක් නොව රංගනය පිණිස දිග ලිහිල් කලිසම්, විශාල හිස් ආවරණ සහ බ්‍රොකේඩ් විලාසිතා රටාවන් දැමූ රෙදි කෑලි ගණනාවකින් හැදෙන ‘කොස්ටියුම්’ පළඳින ලදි. ඒ වස්ත්‍ර අරුමෝසම් වූහ. සාමාන්‍ය ජනතාවට විලිවසා ගැනීමට පහසු මිලකට ඇඳුම් ගන්නට ලැබුණු කාර්මික විප්ලවය එවක හටගෙන නොතිබුණි. රජ වාසල වැසියන්ට හා ප්‍රභූන්ට පමණක් භුක්ති විඳින්නට ලැබුණු අපූරු ඇඳුම් පැළඳුම් විලාසිතාවන් වලින් නර්තන ශිල්පීන් වෙනස් වූයේ තවත් අරුමෝසම් වීමෙන් යැයි කිව හැකියි.

බැලේ නර්තන සම්ප්‍රදාය ද දිග හැරෙන්නේ ඒ ඇඳුම් විලාසිතා අනුව ගැලපෙන ලෙසටයි. බිම දිගේ පය ඇදී යන ආකාරයටත්, යාන්තමට උඩ පනින ආකාරයටත් එසේම දිගින් දිගට ඇවිදින හා සුකොමල ලෙසින් පැත්තකට හැරෙන ආකාරයටත් හැඩ ගැසී නැටුම් වර්ධනය වූහ. එසේම රජ වාසල ප්‍රභූන්ට ආචාර සමාචාර කිරීමේ සිරිත ද නැටුම් තුලට රිංගා ගති. අද නර්තන ශිල්පියා ප්‍රේක්ෂකයන් හමුවේ ආචාර කරන්නේ එදා රජ වාසල ප්‍රභූන්ට ස්තූති කරන ලද ආකාරයටයි.

නැටුම් පවත්වන්නට අනුග්‍රහය දිගින් දිගටම ලැබෙන්නේ ප්‍රභූන් වෙතිනි. ඒ නිසාම බොහෝ කල් ඉක්ම යනතෙක් ඒවා පිරිනැමුනේ ද ප්‍රභූන්ගේ රසවින්ඳනයට පමණකි. මූලාරම්භයේ පටන්ම නිර්මාණයක් බිහිකරන නර්තන ශිල්පියාට රාජ උදහස එල්ල නොවී තම කැමැත්ත පරිදි රංගන සංදර්ශනය සකසන්නට නිදහස් ඉඩකඩ ලැබුණ බවක් පෙනී යයි.

ඉතාලියෙන් හා ප්‍රංශයෙන් අනතුරුව බැලේ සම්ප්‍රදාය 1850 වෙද්දී රුසියාවට ඇතුල් වී තිබිණ. නැටුම් ලෝකයේ නිර්මාණාත්මක කේන්ද්‍රය වන්නට එවක දී රුසියාවට හැකියාව ලැබිණ. පොයින්ට් නැටුම් හෙවත් කකුල් පෙනෙන ලෙසින් හැඳගත් සායවල් සහිතව ඇඟිලි තුඩු වලින් ඉස්සී කරන නර්තනය කාන්තාවන්ට පමණක් සීමා වුණි. වැස්ලාව් නිජින්ස්කි නම් පිරිමි රුසියානු බැලේ නර්තන ශිල්පියා ඒ පොයින්ට් ක්‍රමයට අනුව නටන්නට හැකි වූවෙකි. නිජිස්න්කි අඳින ලද කොස්ටියුම්

විසිවැනි සියවස මුල් කාලයේ දී සර්ජේ ඩියාගිලෙව් (Serge Diaghilev) විසින් රුසියාවේ හැම පැත්තකින්ම ඉතාමත් ඉහළ දස්කම් පෑ නර්තන ශිල්පීන්, නර්තන නිර්මාණකරුවන්, සංගීතඥයන් හා ගායකයන්ව එකතු කර Ballet Russes නම් එකතුව ප්‍රංශයේ දී ආරම්භ කරන්නට සමත් විය. විප්ලවය හටගත් නිසා රුසියන් සමාජයට සිය රැඟුම් පෙන්වන්නට අසමත් වුවාට ඔවුන් යුරෝපය පුරාත්, උතුරු හා දකුණු ඇමෙරිකාවලටත් රැඟුම් ගෙනෙන්නට සමත් වූහ.

නිජිස්න්කිගේ රංගන දස්කම් නිසා හේ ඉතා ඉක්මණින් සුප්‍රසිද්ධ වූයේය. එසේම ඩියාගිලේව්ගේ ආදරවන්තයා වන්නට ද ඔහුට සිද්ධ වුනේ යැයි කියැවේ. ‘සිද්ධ වුනේ’ යැයි කීමට හේතුව පසුකාලයක දී නිජිස්න්කි ගැහැණියක් සමඟ විවාහ වීමයි. එසේම වයසට යද්දී, 20 වැනි සියවසේ විසූ ලොව ශ්‍රේෂ්ඨතම නර්තන ශිල්පියා යැයි සැලකෙන නිජිස්න්කිට මානසික රෝගාබාධ බොහොමයකින් පෙළෙන ලද්දෙක් බවට පත්විය.

1930 ගණන් වෙද්දී ඩියාගිලෙව්ගේ නැටුම් කණ්ඩායමෙන් සමුගෙන ඇමෙරිකාවේ නවතින්නට තීරණය කරන ලද නර්තන ශිල්පීන් කිහිප දෙනෙක් නිසා ඇමෙරිකාවේ බැලේ ජනප්‍රියත්වය වැඩියෙන් පැතිර යන ලදි. ජෝර්ජ් බැලන්චිනි එසේ ඇමෙරිකාවේ නැවතුනු සුප්‍රසිද්ධම නර්තන ශිල්පියා හැටියට සැලකෙයි. ‘නිව් යෝර්ක් සිටි බැලේ’ ආරම්භ කරන ලද්දේ ඔහු විසින්.

බැලේ සංදර්ශනයන් අද දක්වාම ඉතා දැකුම්කළු වේදිකා නිර්මාණවලින් යුතුයි. සංකීර්ණ ලෙසින් නිර්මාණය කරන ලද ගවුම් සහ ඇඟිලිවලින් ඉස්සී නටන්නට හැකි පොයින්ට් සපත්තු සහ අරුමෝසම් හිස් පළඳනා යනාදියෙන් බැලේ නර්තනයන් තවමත් රජ වාසල පරිසරය පිළිබිඹු කරයි.

‘නූතන’ නැටුම් සම්ප්‍රදාය බැලේ පදනම තුලින් බිහිවූවකි. එහි වස්ත්‍ර සරල වෙති. වේදිකා පසුබිම් අවම වෙති. දැඩි සේ හිරවුන වස්ත්‍ර අස්සේ හිර වී නොසිටින නිසාම නර්තන ශිල්පියා තුලින් ජවයෙන් පිරුණ කායික ශක්තිය විදහා දක්වන නැටුම් ඉදිරිපත් වෙන්නකි. ජනවාරියේ දී අපි ලංකාවට රැගෙන එන්නේ බැලේ ක්‍රමයෙන් වෙනස් මාර්ගයක ගිය ‘නූතන’ නැටුම් සම්ප්‍රදායට වැඩියෙන් සමීප වූ නර්තන රැඟුම්.

මේ සම්ප්‍රදාය බිහිකළ තැනැත්තිය වන මාර්තා ග්‍රැහැම් විසින්ම 1956 දී ලංකාවේ දී ඒ ශෛලීයෙන් රංගනයන් පවත්වා ඇත. ලංකා සවාරියේ දී ඇය ලත් අත්දැකීම් කළින් දවසක ලියූ මේ සටහනින් කියවන්නට පුළුවන්.

පින්තූරයේ දිස්වෙන්නේ ටිකිරි ශපීරෝ විසින් නිර්මාණය කරන ලද ‘මැජික් සූට්කේස්’ නැමති නර්තන කතන්දරයේ රංගන අවස්ථාවකි. ජිප්සි කාන්තාවක් සහ බඩු වෙළඳාමේ යන පිරිමියෙක් ඒ කතන්දරයේ ප්‍රධාන චරිත ගනිති. ගස්වැල් හා ගංගා නියෝජනය කරන්නේ ද නර්තන ශිල්පීන් විසිනි. විනෝදකාමී මාළු තුන්දෙනෙකුත් මේ කතාව තුල සිටිති. කොස්ටියුම් මෙයාකාරයෙන් නිර්මාණය කළ යුතු යැයි තීරණය කරන ලද්දේ කණ්ඩායමේ අධ්‍යක්ෂක වන ටිකිරි විසින්. මේ පින්තූරයේ ජිප්සි කාන්තාවගේ ගවුම වැනි ඒවායෙන් කිහිපයක් මැහුවේ මම.

නර්තනයෙන් ඉදිරිපත්වන වික්‍රමාන්විත කතන්දර රාශියක් රැගත් මේ සංදර්ශනය ප්‍රථම වතාවට වේදිකාවට එන්නේ ලංකාවේ ලයනල් වෙන්ඩ්ට් හි දර්ශනයක් හැටියටයි. එය යම් දිනයක ඇමෙරිකාවේ ජනප්‍රිය වුවොත් ඇමෙරිකන් අයටත් කළින් ලංකාවේ අපි එය දැක්කා යැයි කියන්නට ජනවාරි 16 දා සවස 7:30 ට ලයනල් වෙන්ඩ්ට් වෙත එන ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබෙනු ඇත!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: