අරුණි ශපීරෝ‍ වෙතින්

පහසුව සහ මිල අතර දෙකෙන් එකක්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 29, 2016

IMG_1391

බහුතරයක් මගීන් ගුවන්යානයක අසුන් ගන්නේ ‘ඉකොනොමි’, ‘කෝච්’ නමින් වූ පංතියේය. ආසන අතර කකුල්වලට තව ඉඩ ඇත්නම් හොඳ යැයි බොහෝ පිරිසක් පතන අවස්ථාවක උසින් අඩුවීමේ එක වාසියක් ගැන මා වැනි අයෙකුට නම් සතුටු වෙන්නට හැකියි. ‘ගව පංතිය’ යැයි ද හැඳින්වෙන මෙහි ගමන් ගැනීම කිසිවෙකුටත් ප්‍රීතිජනක අවස්ථාවක් නොවේ. ඒත් බොහෝ දෙනෙකුට එය ගමන නොයනවාට වඩා නම් හොඳයි. මන්ද, එසේ ගමන් කිරීමට ලැබෙන්නේ නැත්නම් බොහෝ මගීන්ට ඇති සත්‍ය විකල්පය ගමන නොයා සිටීමයි.

ඇමෙරිකාවේ සිවිල් ගුවන්තරණ මණ්ඩලය විසින් දශක ගණනාවක් පුරා ඇමෙරිකන් ගුවන් ගමන් ටිකට් මිල රෙගුලාසිකරණය කරන ලදි. ගුවන් සමාගම්වලට එහි දී ලාභයක් උපයන්නට අසීරු විය. පුද්ගලික ව්‍යාපාරයක් ලාභ සොයන්නට අසමත් වෙද්දී එහි භාණ්ඩ හෝ සේවාවන්හි මිල ගණන් පහළ දමන ක්‍රම සොයා ගැනීමට ද අසීරු වෙති. ඒ නිසා මිල ගැන නොව එවක දී ගුවන් සමාගම් එකිනෙකා අතර තරඟයේ යෙදුනේ සේවය පිළිබඳ වූ තරඟයකිනි.

ව්‍යාපාර සඳහා ගුවන් ගමන් යන, රාජ්‍ය සේවා හෝ සම්මන්ත්‍රණ වැඩමුළු සඳහා නිතර යන මගීන්ට ගුවන් ගමන්වල දී විශේෂ දීමනා හා වරප්‍රසාද ලැබෙන වැඩ පිළිවෙත් බිහිවුණි. ව්‍යාපාර උදෙසා යන මගීන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වැය දරැවේ ඔවුන්ගේ ආයතනයයි. විනෝදයට ගමන් බිමන් නොයන අනෙක් මගීන්ගේ ද ගුවන් ප්‍රවේශ පත්‍රයේ වැය වෙනකෙක් විසිනි. ඒ අයට එදා වැඩි තදබදයක් නොමැතිව ගුවන් ගමන්වල යෙදෙන්නට අවස්ථාව ලැබී තිබිණ.

මහා විශාල භූමි ප්‍රමාණයක් සමන්විත ඇමෙරිකාවේ සාමාන්‍ය ආදායම් ලබන අයෙකුට ලොකු පවුලක් ඇත්නම් වාහනයකින් දිගු ගමනක් වුවත් යෑම ගුවන් ප්‍රවේශ පත්‍ර ගන්නවාට වඩා දරාගත හැකි වැයක් විය. අයෙක් ගුවන් ගමන් ගියේ ඉක්මණින් යම් ස්ථානයකට යා ගන්නට අවශ්‍ය වූ විට දී ය. අවමංගල්‍යයකට නැත්නම් එතෙර යන්නට උවමනා වූ විට දී ය.

ගුවන් සමාගම්වලට පනවා තිබි රෙගුලාසි කෙමෙන් ලිහිල්වීමත් සමඟ අඩු වැයෙන් යා හැකි ගුවන් සමාගම් බිහිවිය. මෙතෙක් නම් දැරෑ ගුවන් සමාගම්වලටත් මිල අනුව තරඟයේ යෙදෙන්නට සිද්ධ විණ. ගුවන් තොටුපොළවල් විනෝදයට ගමන් බිමන් යන මගීන් වෙතින් පිරී යන්නට පටන් ගති. අඩු ආදායම් ඇති අයටත් ගුවන් ගමනක් යෑමට හැකියාව පෑදිණ.

තම පොකැට්ටුවෙන් නොගෙවා ගමන් බිමන් යන කල්ලිය හැරෙන්නට අනෙක් අයවළුන් සියල්ලන්ම සතුටට පත් වූහ. ගෙදර සුවපහසුවට ඉන්නේ කෙසේද එයාකාරයෙන්ම ඇඳුම් හැඳ පැළඳගෙන, රබර් සෙරෙප්පු දාගෙන, අතදරුවන් හා නැපී බෑග් අරගෙන ගමන් යන අය හා සමඟ ඔවුන්ට ද ගමන් කරන්නට සිද්ධ විණ.

රෙගුලාසි ලිහිල් කිරීම නිසා ගුවන් සේවා කර්මාන්තය මුළුමනින් ගත්කළ මඳ ශුද්ධ ලාභයක් උපයන්නට සමත් වී තිබිණ. විවිධ මිල ගණන් සහ අඩු කකුල් ඉඩකඩ යටතේ පටන් ගත් යුගය තුල ඔවුන්ගේ ආදායම් ඉහළ යන්නට පටන් ගැනිණ. බොහෝ මගීන් ගමනේ පහසුව ගැන නොව ගමනට වැයවන මිල ගැන සොයා බලන බව ඔවුන්ට දැනගන්නට හැකියාව ද ලැබිණ. එය මෙතෙක් පැවති සාම්ප්‍රදායික ගුවන්සේවා කොම්පැණිවලට වාසිදායක නොවූ තත්වයකි.

ගුවන් මගීන්ගේ අයිතීන් ආරක්ෂාවට කියා බිහිවන සංවිධානයක් විසින් දැන් අවම වශයෙන් ගුවන් යානා ආසනයක තිබිය යුතු පළල සහ උස් පහත් ප්‍රමාණය ගැන රාජ්‍ය නියමිතයක් පනවා ගන්නට උත්සාහයක් අරඹා ඇත. මගීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය පරදුවට තැබෙනවා යැයි කියමින් ඔවුන් මේ රෙගුලාසිය ඉල්ලා සිටිති. ඔවුන්ට එකතුවන තවත් සංවිධානයක් වූ ‘එක්සත් සංචාරකයන්’ ද මේ ගැන සොයා බලන්න යැයි රජයෙන් ඉල්ලා සිටිති. ‘තම උදාරත්වයට නොහොබිනා වූ, අනාරක්ෂිත හා සෞඛ්‍යයට නුසුදුසු වූ ඉඩකඩක’ ඇයි මගියෙක් ගමන් කරන්නට කැමති යැයි මේ එක්සත් සංචාරකයන් සංවිධානයේ ක්‍රිස්ටෝපර් එලියට් විමසයි.

උදාරත්වයෙන් යුතු ගුවන් ගමන් යන්න බොහෝ ඇමෙරිකන් අයට වුවත් ඇහෙන්නේ අනවශ්‍ය වැදගත්කමකින් හුවා දක්වන්නක් හැටියටයි. ගුවන් යානාවක ඉඩකඩ සඳහා ‘මූලික මානුෂික අයිතියක්’ තිබිය යුතු යැයි කීම මට කැමති වේලාවක, මට කැමති තැනකට, ගුවන් ගමනක් යෑමට වෙන අයෙක් මිල ගෙවීමේ වගකීම බාරගත යුතු දැයි අර්ථ ගැන්වීම ද? රාත්‍රියේ දී යන ගමනක් නම් මට ඇඳක් ලැබීමටත් -හොඳ කොට්ටයක් ලැබීමටත් අයිතියක් ඇත් ද?

වෙන අයෙකුගේ ගුවන් යානයක ගමන් ගන්නා සෑම අවස්ථාවක දී ම පාහේ තම පුද්ගලික වූ තෝරාගැනීමක් නිසා තමා යන ගමනක් වුවත්, එහි දී ‘ඉඩකඩ සඳහා මූලික මානුෂික අයිතියක්’ ඇතැයි කීම යනු හරියට මම කැමති ඕනෑම දෙයකට මට අයිතියක් ඇතැයි කීමකි. දැන් ඇත්තේ එය වෙනකෙක් ලවා ගෙවන ක්‍රමයක් සොයා ගැනීම පමණකි.

ඉඩකඩ සොයන ගුවන් මගීන්ට අද ඒ සඳහා මුදලක් ගෙවා වැඩි ඉඩකඩ ලබාගත හැකියි. ව්‍යාපාරික පංතියේ සහ පළමු පංතියේ ආසන ‘ගව පංතියේ’ ආසනවලට වඩා ඉතා බෙහෙවින් මිල අධික වෙති. හදිසියක දී පිටවිය හැකි වූ ද, සාමාන්‍යයෙන් ඇතුල්වන පිටවන දොරටු අසල හෙවත් Exit පේලිවල සහ ගුවන්යානයේ කොටස් වෙන්කරන ස්ථානවල මුල් පේලි හි ද වැඩි ඉඩකඩ ඇති ආසන ගැනීමට මුදල් ගෙවා හැකියාව දැනටමත් ඇත. සමහර ගුවන් සේවා තුලින් කකුල්වලට වැඩි ඉඩකඩ ලැබෙන ‘ඉකොනොමි ප්ලස්’ යැයි ආසන කිහිපයක් ඉදිරිපත් කරති. නිතර ගමන් බිමන් යන ඒ ඒ ගුවන්සේවයේ ප්‍රතිලාභ පිළිවෙතකට බැඳී සිටින මගීන්ට ඉහළ පංතියකට නොමිලේ මාරැවිය හැකි අවස්ථාව වෙනුවට ව්‍යාපාරික පංතියේ ආසන පිරී නැත්නම් ඒවා වෙන්දේසියේ විකුණන මිලකට ලබාගත හැකි අවස්ථා ද ගුවන් සේවාවලින් ලැබේ.

නමුත් බහුතර මගීන් අමතර ඉඩකඩ සොයනවා වෙනුවට හොයන්නේ අඩු මිලට ගමන යා හැකි ගුවන් ප්‍රවේශ පත්‍රයකි.

ආරක්ෂාව සහ සෞඛ්‍යය යන සාධක ඉදිරිපත් කිරීම හිතක් පපුවක් නැති වෙළඳපොලට වඩා අගනේ යැයි අයෙක් හිතුවත් සාඩින් සේ පුරවා යෑම නිසා හටගත් අස්වාභාවික මරණ වසංගතයක් ගැන ගුවන්සේවාවලින් අහන්නට ලැබෙන්නේ නැත. 747 යානාවක අඩු පිරිසක් රැගෙන යෑමෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙනවා යැයි කියන්නේ ද, එහෙම නම් අපිට මගීන් සියල්ලන්ටම හෙල්මට් හැඳගෙන යා යුතු යැයි ද, තවත් එන්ජිමක් එකතු කළ යුතු යැයි ද, තවත් ගුවන් නියමුවෙක් යොදාගත යුතු යැයි ද, වැඩිපුර ගුවන් කැබින් සේවකයන් ගෙන යා යුතු යැයි ද යනාදී වශයෙන් හිතුමතයේ නියමයන් ගෙනෙත හැකියි. නමුත් ගැටළුව හැම විටම වැය සහ ප්‍රයෝජනය අතර ඇති හුවමාරැවකි.

සෑම ගුවන් සේවාවක්ම වැඩි ඉඩකඩින් යුතු ආසනවලින් පුරවන්නට නියමයක් ගෙනාවොත් හැම ගුවන් ගමනක් සඳහාම නැවතත් වැඩි මිලක් ගෙවන්නට මගීන්ට සිද්ධ වේ. මේ රෙගුලාසිය නිසා -අනියම් මාර්ගයෙන් මිල වැඩි කිරීම- තමන් විසින් ප්‍රවේශ පත් මිල නොගෙවන ධනවත් හා ව්‍යාපාරික මගීන්ට කරදරයක් නොවේ. ඔවුන් අඩුවෙන තදබදය ගැන සතුටට පත්වනු ඇත.

දුප්පතාගේ සහනය උදෙසා යැයි කියමින් ගෙනෙන බොහොමයක් රෙගුලාසි නිසා අවසානයේ දී කරදරයට පත්වෙන්නේ වැඩි ආදායම් නොමැති අයමයි.

Do Flyers Have a Basic Human Right to Fly First Class? The Trade-Off between Comfort and Cost නමින් Doug Bandow විසින් The Freeman වෙත ලියූ සටහන ඇසුරිනි.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: