අරුණි ශපීරෝ‍ වෙතින්

සමහර රටවල් ධනවත් ඇයි?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 5, 2016

රටක වාසය කරන ඒකීය පුද්ගලයාට ධනවත් වෙන්නට හැකි වාතාවරණයක් තිබීම නිසා රටක් ධනවත් වෙනව. දුප්පත්කම තමයි මනුෂ්‍යයාගේ ස්වභාවික තත්වය. යම් රටක් ධනවත් වුනේ කොහොම ද කියන එක ගැන වැඩියෙන් අවධානයක් දෙන අය අඩුයි.

වේගයෙන් ධනවත් වූ රටක් එසේ ධනවත් වූ කාල පරිච්ඡේදයක් දිහා බලද්දී එහි එවක විසූ ව්‍යවසායකයන්ට කොතරම් පහසුවෙන් ආර්ථික සමෘද්ධියක් ලබන්නට හැකියාව ලැබුණාදැයි දකින්න පුළුවන්. ඒ ව්‍යවසායකයන් රටේ ආර්ථිකය සියළු දෙනාගේම යහපත පිණිස කොතරම් වෙනසකට භාජනය කරල තියෙනව ද කියලත් දකින්න පුළුවන්. අනිත් පැත්තට ධනවත්ව සිටි රටක් දුප්පත් වෙච්ච කාල පරිච්ඡේදයක් සලකා බලද්දී එම රටේ ව්‍යවසායකයන්ට නිදහසේ වෙහෙසෙන්නට කොතරම් අසීරු වූවාදැයි දකින්නටත් ලැබෙනව.

රටක් ධනවත් වෙන්නෙ ඒ රටේ ව්‍යවසායකයන් ධනවත් වෙන්න සමත් වෙනවා නම් පමණයි. භාවිතයට නොගත් සම්පත් සහ ප්‍රතිඵල ගෙනෙන්නට යම් මගහැරුණු අවස්ථා තමන්ගෙ සමාජයේ ඇති බව දකින ව්‍යවසායකයා කියන්නේ ඒවායෙන් ආර්ථික ලාබ සොයන්න නිසි අවධානයකින් ඉන්න කෙනෙක්. ඔහු ඒ පිළිබඳව යම් අලුත් ක්‍රියාමාර්ගයකට පිවිසෙන්නේ නම් එයින් ඔහු වාසය කරන සමාජයටත් යහපතක් අත් වී ඔහු ද ලාබයක් උපයා ගන්නව.

ව්‍යවසායකයෙක්ගෙ අලුත් උත්සාහයක් කාටවත් ප්‍රයෝජනවත් නැත්නම් එයාගෙ බිස්නස් බංකොළොත්වෙනව. සමාජය හිටිය විදියටම දුප්පත් බැවින් ඉන්නව. අනෙක් පැත්තට රජයක් මැදිහත්වෙලා ව්‍යවසායකයාට ඍන ප්‍රතිඵල ගෙනෙන වැඩ කරද්දී ඒ ආර්ථිකයක් තිබුණ දුප්පත්කමටත් වඩා තවත් දුප්පත් වෙනව.

ලංකාව වගේ සමහර රටවල්වල ව්‍යාපාරයක් පටන් ගන්නට අවසරපත්‍රයක් ලබාගැනීමත් සෑහෙන සටනක්. ව්‍යාපාරය පටන් ගන්නට බැරිව වසර ගණනාවක් පෝරම පුරවමින් සිටින්නට සිද්ධ වීම නිසා ව්‍යවසායකයා ලාබ සොයන හැකියාව අහිමි කරගන්නව. ව්‍යවසායකයා ලාබ සොයන්නට අසමත්වෙනව කියන්නෙ සමාජයට ප්‍රයෝජනවත්කමක්, එසේම වටිනාකමක් එකතු වෙන්නෙ නැහැ කියන එක. ව්‍යවසායකයා ධනවත් නොවනවා කියන්නෙ රටක් ද ධනවත් වෙන්නෙ නැහැයි කියන එකමයි.

යම් රටක ඉපදිලා එහි දී සැලකිය යුතු ප්‍රාග්ධනයක් ගොඩනඟාගත්ත ව්‍යවසායකයෙක් ඒ රට හැරදා යන එක හේතුවක් අද මේ සටහනෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. වාසය කළ රටේ තව දුරටත් රැඳී ඉන්නවාට වඩා තම ප්‍රාග්ධනය වැඩිකරගන්න වෙනත් රටක දී පහසු හැකියාව ඇතැයි විශ්වාස කිරීම යනු මේ සලකා බලන හේතුව. ව්‍යවසායකයා යන රටේ සමාජයට එයාගෙ පැමිණීමත් සමඟ අලුත් ප්‍රයෝජනවත්කමක් එසේම වටිනාකමක් එකතු වෙනව. ඒ රටේ ප්‍රාග්ධනය වැඩිවෙලා එවිට ඒ රට ධනවත් වෙනව.

ආර්ථික අධ්‍යාපන පදනමේ වාර්ෂික එකතුවට පසුගිය සති අන්තයක දී මම සහභාගී වුණා. එය ලොව පැරණිතම වූ, නිදහස උදෙසා කැප වී වැඩ කරන අයගේ සංවිධානයක්. මේ බ්ලොග් එකේ දී නිතර පරිවර්තනය වෙන සටහන් ලියූ ලේඛකයන් කිහිප දෙනෙක් හමුවෙන්නත් එහි දී මට අවස්ථාව පෑදුණ. එහි දී හමුවෙච්ච අපූරු තරුණයෙක් තමයි ස්ටීවන් මැකාස්කිල්. මේ තරුණයා තමයි මුලින්ම බිට්කොයින්වලින් වටිනා ලෝහ හුවමාරුවට හැකියාව ලැබෙන අමාගි මෙටල්ස් ව්‍යාපාරය පටන් ගෙන තියෙන්නෙ.

ස්ටීවන්ගෙ යාළුවෙක් පටන් ගත්ත අන්තර්ජාල කඩය තමයි එසේ විපර්යාසයට ලක්වෙන්නෙ. යාළුවා විනෝදයට කාසි සහ අඩු වටිනාකම්වලින් යුතු ලෝහ එකතු කරන සහ විකුණන අයෙක්. විනෝදයට පටන් ගත්තු එකෙන් ලාබයක් උපයන බව දකින්නෙ යාළුවටට විශ්ව විද්‍යාලයේ ටියුෂන් බිල් ගෙවන්න හැකියාව ලැබෙද්දී. යාළුවා කඩේ දාලා වෙන දේවල් කරන්න යද්දී ස්ටීවන් මේකෙන් තව දේවල් කරන්න හැකියාව ඇති බව දැකලා යාළුවාගෙන් කඩේ මිලට ගන්නව.

ස්ටීවන් තමයි අමාගි මෙට්ල් කියන නම දාන්නෙ. අමාගි කියන්නෙ වසර හාරදහසක් පැරණි සුමේරියන් කුනිෆෝම් සංකේතයක්. එය තමයි නිදහස යන සංකල්පය නියෝජනය කරන්න මනුෂ්‍යන් අතර වූ පැරණිතම සඳහන.

ස්ටීවන් උසස් පෙළ හදාරන කාලේ එයාගෙ ගුරුවරයෙක් ආර්ථිකය සම්බන්ධ සරල සිද්ධාන්තයක් පැහැදිලි කරන්න අසමත්වෙලා තියනව. ස්ටීවන් කරන්නෙ අන්තර්ජාලයෙන් ඒ ගැන තව සොයා බලන එක. තමන්ගෙ දැනුම වර්ධනයට. එහි දී ස්ටීවන් හොයාගන්නව ආර්ථික අධ්‍යාපන පදනම. මුදල් කළමනාකරණයට පාසැලෙන් ලැබෙන දැනුම ප්‍රමාණවත් නොවෙද්දී අන්තර්ජාලයෙන් ඒ දැනුම එකතු කරගන්නට ස්ටීවන් සමත්වෙනව. බිට්කොයින් ගැනත්, ලිබටේරියන් සමාජයක් ගැනත් පාසැල් යන වයසේ සිටි ස්ටීවන් දැනගන්නව.

බිට්කොයින්වලින් ගෙවලා රත්තරන් රිදී වැනි වටිනා ලෝහ ගණුදෙනු කරන ලද වෙනත් ආයතනයක් මේ කාලයේ දී නරක නාමයකට ලක්වෙනව. රක්ෂණය කර තැපෑලෙන් යවන ලද්දක් නොලැබුණ බවට පැමිණිල්ලක් එද්දී ඒ පාරිභෝගික පැමිණිල්ල ගැන යමක් කිරීමට ප්‍රමාදවීමක් ගැනයි ඒ පැවතිච්ච නම් දැරූ ආයතනයට නරක නාමයක් වැටෙන්නෙ. හිමිහිට පටන් ගත්ත ස්ටීවන්ගෙ කොම්පැණියට බිට්කොයින්වලින් ගෙවලා වටිනා ලෝහ මිල දී ගන්න කැමති අය වේගයෙන් ඇදිල එනව. ටික දවසක් යද්දී මාසයකට බිට්කොයින් වලින් ලබන ආදායම ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකකට ආසන්න වෙනව.

ඩොලර්වලින් කරන ගණුදෙනුවලට වඩා වේගයෙන් බිට්කොයින්වලින් සිද්ධ වෙන ගණුදෙනු ප්‍රමාණය වැඩිවෙලා යෑම නිසා අලුතින් සේවකයන් බඳවාගන්නට පවා ඔහුට සිද්ධ වෙනව.

බිට්කොයින්වලින් ගෙවමින් සිද්ධ වෙන ගණුදෙනු වැඩිවෙද්දී දැන් එයාගෙ කොම්පැණියෙ දැන්වීම් සඳහා, වෙබ් අඩවියේ වර්ධනයට, රක්ෂණ කොම්පැණියේ ගෙවීම් යනාදී වියදම් සඳහාත් ඔහු බිට්කොයින් භාවිතය පටන් ගන්නව.

ඊයේ පෙරේදා එයා අමාගි මෙට්ල්ස් කොම්පැණිය විකුණව. දැන් ස්ටීවන් නවසීලන්තය බලා පිටත්වෙලා යන්න ලෑස්තියි. නවසීලන්තයේ මූලධන ලාබයට බද්දකුත් නැහැල්ලු! ස්ටීවන් කියන්නෙ මෑත කාලයේ දී නවසීලන්තයේ ආර්ථික රෙගුලාසි ලිහිල් කරල නිසා මිනිසා කරන්න කැමති ගණුදෙනුවලින් වැඩියෙන් ලාබ හොයන්න අවස්ථාව අද තියෙන්නෙ එහෙ බව. අතීතයක දී යුරෝපීය සංක්‍රමණිකයන් අලුත් ආදායම් අවස්ථා හොයාගෙන ඇමෙරිකා දේශයන් බලා ආව වගේ අද ඇමෙරිකන් අය මෙහෙ සොයන්න බැරි ආදායම් අවස්ථා පාදගන්න නවසීලන්තය බලා යනව. ස්ටීවන් යන්නෙ බිට්කොයින් නිසා බිහිවුන බ්ලොක්චේන් තාක්ෂණය තව වැඩි දියුණු කරලා එයින් ව්‍යාපාර අරඹන්න.

ධනවත් වෙන්නෙ රටක් නෙමෙයි පුද්ගලයායි. මිනිස්සු එකිනෙකා හා කැමැත්තෙන් කරන ගණුදෙනුවලින් යම් පුද්ගලයෙක් ධනය රැස්කරන්න සමත්වෙද්දී, යම් රටක ආණ්ඩුවේ රෙගුලාසි ඊට බාධක ගෙනෙනවා ද, ඒ රටවල් හැර දා යන ධනවත් පුද්ගලයන් නිසා රටේ ඉතිරි වෙන්නෙ වෙන කවුද ඉතින්, අකාර්යක්ෂම, සමාජයට ප්‍රයෝජනයක් ගෙන නොඑන, වටිනාකමක් එකතු නොකරන දුප්පත් අයයි.

බිට්කොයින් ගැන මෙහි ලියපු සටහන්වලින් පසුව කිහිප දෙනෙක් බිට්කොයින් උපයා ගැනීම ගැන ප්‍රශ්න ඇහැව්ව. බිට්කොයින් තියෙන ස්ටීවන් වගේ අය, ඒක දකින්නෙ ආයෝජනයක් හැටියට නෙමෙයි. මුදල් හැටියට. ඔවුන්ට ඕන බිට්කොයින් විදියට දීර්ඝ කාලයක් තියාගෙන ලාබයකට විකුණ ගන්න නෙමෙයි. දවසෙන් දවස ආණ්ඩුව ඇඟිලි ගහන මුදල් වෙනුවට වෙළඳපොල අනුව අගය තීරණය වෙන බිට්කොයින් මුදල් හැටියට භාවිතා කරන්නයි ඒ අයට ඕන. ඉතින් මුදල් දීලා ගන්නවා වගේම භාණ්ඩ හා සේවා ඒ අයට විකුණන අයට බිට්කොයින්වලින් ආදායම් උපයාගන්න අවස්ථාව පෑදිලා තියෙනව. ඔවුන්ගේ ඒ ගණුදෙනු සඳහා වෙළඳපොල අවස්ථා මුලින්ම පාදාගන්න අයත් ධන සම්පත් එකතු කරගන්න සමත්වෙනව.

2 Responses

Subscribe to comments with RSS.

  1. […] ගණුදෙනුවල යෙදෙත හැකිද යන්නත් අනුව බිට්කොයින් ප්‍රාග්ධනය කරපින්නා ගත් ස… වැනි විදේශ ආයෝජකයන් ඇදී ඒමේ ඉඩ […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: