අරුණි ශපීරෝ‍ වෙතින්

මුදලට වහලෙක් නොවීම

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 15, 2016

මුදල් ඉපැයීම යනු අසාධාරණ වූවක් ලෙසකින් දකින සමාජයක වුවද ජීවත්වන සෑම පුද්ගලයෙක්ම පාහේ ගණුදෙනු සඳහා මුදල් භාවිතා නොකරන දවසක් නැති තරම්. එකිනෙකාගේ උවමනාවන් පිරිමසා ගැනීම සඳහා මුදල් ගෙවමින් යෙදෙන්නේ කැමැත්තෙන් කරන ගණුදෙනුවල යැයි දකින්නට මුදල් ගැන හරියාකාර වැටහීමක් නැති අයට නොහැකියි. තමන් තෝරාගත් භාණ්ඩයක් හෝ සේවාවක් මුදල් ගෙවා ලබාගනිද්දී එයට ඉඩකඩ පාදා දුන් තැනැත්තා දිහා මේ අය බලන්නට හුරුවී සිටින්නේ තම පහසුව සලසා දුන්නෙක් හැටියට නොවේ. වෙළඳපොලක මිල තීරණය වෙන්නේ කෙසේදැයි නොදන්නාකමින් මේ අය මිල සහ මුදල් එකම දෙයක් යැයි වැරදි වූ වැටහීමකින් සිටිති.

මුදල් යහමින් ඇති අයෙක් දිහා අනුන්ගේ වස්තුව බලහත්කාරයෙන් උදුරා ගන්නා ලද්දෙක් ලෙසකින් බලන්නට මේ අය හුරුවී සිටිති. ඒ නිසා වෙළඳාමෙන් මුදල් යහමින් උපයාගෙන ඇති අයෙක් ඒ මුදල් උපයාගත්තේ වැඩි දෙනෙකුගේ උවමනා පිරිමැසූ නිසා බව නොදකිති.

මිල යනු පාරිභෝගිකයන් කැමැත්තෙන් යමක් ගන්නට අත්හරින මුදල සහ කැමැත්තෙන් නොගෙන සිටීම නිසා අත්නොහරින මුදල පිළිබඳව ඔවුන්ගේ තෝරාගැනීම හෙළිදරව් කරන අගයයි. මුදල් යනු හුවමාරුවේ දී අපගේ පහසුව සඳහා අපි භාවිතයට ගන්නා මාධ්‍යයයි. මිනිසුන් කැමැත්තෙන් කරන ගණුදෙනු තුලින් ශක්තිමත් මුදල් සමාජයේ පතුරුවන්නට ව්‍යවසායකයන් සමත්වෙති. එහෙත් ජනතාවගේ යහපත සලසන්නට කැපවී සිටිනවා යැයි කියන පාලකයන් භාවිතයේ පවතින මුදල් දුර්වල කරන්නට කටයුතු කරති. මුදල්වල අගය වෙනස් කරන්නට නීතිමය බලයක් ඔවුන් තමන් අතට පවරාගෙන ඇත.

ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තවත් ණයක් ඉල්ලන්නට සූදානම්වීම ගැන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව ලිපියක් පසුගිය දා පළකරන ලදි. 6% ක වාර්ෂික වර්ධනයක් පසුගිය දශකය පුරා දකින්නට තිබිය දී, සාමයේ ලාභ තවමත් භුක්ති විඳින විට, ලෝක තෙල් මිල පහළ බැසීම නිසා තෙල් ආනයන බරපැණ අඩු වී යද්දී, යනාදිය දක්වමින් රටේ නායකයන්ට ණය හිඟා කන්නට යන්නට සිද්ධ වී ඇත්තේ මන්දැයි එහි විමසන ලදි.

රුපියලේ අගය රැකගන්නට මහ බැංකුව විසින් ඩොලර් බිලියන දෙකක පමණ විදේශ විනිමය සංචිත ප්‍රමාණයක් වැය කරන ලදැයි ද එහි සඳහන්. බදු ක්‍රමයේ අඩුපාඩු ගැන කියමින් ඒ ලිපිය රටේ මහජන ණය* පියවීමට, (ශක්තිමත් මුදල් සමාජයේ බිහිකරන ව්‍යවසායකයන් වෙතින්) බදු වැඩියෙන් අයකරගන්නා පිළිවෙතකට පාක්ෂික බවක් දක්වයි.

ලංකාව තුල හා ලංකාව සමඟ වෙළඳ ගණුදෙනුවල නියැළෙන්නට කැමති සියළු පාර්ශවයන්ට ලංකාවේ පාලකයන් අනේක විධ බාධක පමුණුවා ඇති බව දකින්නට නොහැකියාව ඛේදනීය වූවකි. ලංකාවේ ව්‍යාපාරයක් අරඹන්නට පවා ඇති දුෂ්කරතාවය බොහෝ පිරිසකට හඳුනාගැනීමට නොහැකියාව අතිශයින්ම දුක්ඛිතය. මේ මැදිහත්වීම් තුලින් රටේ මුදල් වලට කරන අකරතැබ්බය, සියල්ලන් සඳහා සැලසුම් හදන්නට රුචි වූවන් නොදකිති. විදේශ ආයෝජකයන් තම ආයෝජන ගෙන ලංකාවට නොඑන්නේ රට තුල වෙළඳ ගණුදෙනුවල යෙදෙන්නට නිදහසක්, පහසුවක් හා තිර බවක් නොමැතිකම නිසයි. එන එන ආණ්ඩුවේ බලය සතු පාලකයන් හා එළඹෙන එකඟතාවයන් තුලින් විවිධ සහනාධාර සහ විශේෂ වරප්‍රසාද ලබමින් ව්‍යාපාර පටන් ගන්නා අය වෙතින් පමණක් රටක ආර්ථිකය සමෘද්ධිමත්වීම බලාපොරොත්තු විය හැකි යැයි සියල්ලන්ට ගහන සැලසුම් රුචි වූවන් තරයේ අදහති.

ශක්තිමත් මුදල් අගයක් ලැබෙන්නේ පාලකයන් විසින් මුදලේ අගයට කරන අන්ඩතේට්ටම් වලින් නොවේ. මුදල් වලින් කරන ගණුදෙනු වැඩිකරන්නට ව්‍යවසායකයන් සමත්වීමෙනි.

අපි අපේ දරුවන් තුල වර්ධනය කරන්නට වෑයම් කරන සද්ගුණයන් අපිට ශක්තිමත් මුදල් තුලින් ද දකින්නට හැකියි. අවංක (honest), විශ්වසනීය (trustworthy), සහ විශ්වාසයක් තබාගත හැකියාව (reliable) යන තුන ශක්තිමත් මුදල් තුලින් පෙනෙන ප්‍රධාන අංගයන් වෙති. විශ්වසනීය යනු යමක ආරක්ෂාව සැලසීමේ වගකීම රැකීමයි. හානියක් නොකිරීමයි. කරන්නට එපා කියූ දෙයක් දරුවෙක් නොකරන්නේ ද ඒ දරුවා විශ්වසනීය වූවෙකි. යමක් හැමවිටම අපි අපේක්ෂා කරන ආකාරයෙන් ඉෂ්ට කරන අයෙක් යනු තව දුරටත් එලෙසින්ම එසේ කරන බවට විශ්වාසයක් තබාගත හැකි අයෙකි. නොහොත් ‘රිලයබල්’ වූවෙකි. අපේ දරුවන් තුලින් අවංක, විශ්වසනීය සහ රිලයබල් බව බලාපොරොත්තු වෙන අපි මුදල් තුලින් ද මේ ලක්ෂණ බලාපොරොත්තු වෙමු.

වෙළඳපොල ගණුදෙනුකරුවන් හෙවත් පාරිභෝගිකයන් හා නිෂ්පාදකයන්, ආයෝජකයන් හා ව්‍යවසායකයන් යනාදීන් අතර අර්ථාන්විත ඒකකයක් ලෙසින් ශක්තිමත් මුදල් කටයුතු කරයි. ශක්තිමත් මුදල් ඇත්නම් ව්‍යවසායකයාට යථාර්ථවාදී සැලසුමක් නිර්මාණය කළ හැකියි. දැනුවත් තීරණ ගත හැකියි.

මුදල් තුල වූ ආර්ථික ක්‍රියාවලියට ඔබ්බෙන් යමින් ද, අපිට ශක්තිමත් මුදල් නිර්වචනය කළ හැකියි. නිදහස් සමාජයක් තුල යම් ආණ්ඩුවකට සිය බලය පෙන්වීමේ හැකියාවත් ශක්තිමත් මුදල් වලින් වළක්වාගත හැකියි.

ශක්තිමත් මුදල් සත්‍ය ආර්ථික ප්‍රතිඵල සහතික කරයි. නිදහස් වෙළඳපොල තුල පැවතිය යුතුම වූ සාධකයක් හැටියට මුදල්වල අවංකභාවය ආරක්ෂා කළ යුතුයි. එහෙත් අද ලොව සිද්ධ වෙන්නේ එය රජයේ ප්‍රතිපත්තිවල මෙවලමක් හැටියට භාවිතා වීමයි.

අසාර්ථක මුල්‍ය පිළිවෙත් වසන් කරන හෝ ඒවාට ඉඩදෙන මාධ්‍ය්‍යක් හැටියට භාවිතා කිරීමට ආණ්ඩුවලට ඇති හැකියාව ශක්තිමත් මුදල් නිසා නැති වී යයි. ශක්තිමත් මුදල් වගකීම් සහිත මුල්‍ය පිළිවෙත් දිරිගන්වයි.

ලංකාවට බිට්කොයින් වැනි (ක්‍රිප්ටොකරන්සි) මුදල් ගණුදෙනුවලට ඉඩදෙන්නට යන ප්‍රවෘත්තියක් ද කියවන්නට ලැබිණ. මෙහි නීති රෙගුලාසි රටේ පාලකයන් විසින් කොපමණ නිරවුල් ලෙසකින් රටවැසියන් වෙත ඉදිරිපත් කරාවි ද යන්න අනුව පමණක් නොව රට තුල කොතරම් නිදහස් ලෙසකින් ව්‍යවසායකයන්ට වෙළඳ ගණුදෙනුවල යෙදෙත හැකිද යන්නත් අනුව බිට්කොයින් ප්‍රාග්ධනය කරපින්නා ගත් ස්ටීවන් මැකාස්කිල් වැනි විදේශ ආයෝජකයන් ඇදී ඒමේ ඉඩ ප්‍රස්ථාව ලංකාවට ද උදාවනු ඇත. එහෙත් දිගින් දිගටම රටවැසියන්ට නිදහසේ කරන ගණුදෙනුවලට කිසිත් ඉඩක් නොලැබී, බිට්කොයින් ගිණුම් වලින් ව්‍යාපාරික ගණුදෙනුවල යෙදෙන්නට රජය තෝරාගන්නා කර්මාන්ත ක්ෂේත්‍රයන්ට පමණක් නැත්නම් සමහර ව්‍යවසායකයන්ට පමණක් දොර විවෘත වුවහොත්, ඒ ගෙනෙන සමහර ව්‍යාපාරිකයන්ට පමණක් බදු සහන හා විශේෂ වරප්‍රසාද ලැබුනොත්, නැවතත් රටේ ආර්ථිකයට කිසිත් වාසියක් එකතු නොවේ. එවිට එය පවතින අවුලට තවත් අවුලක් එකතු කිරීම පමණකි.

බහුතර පිරිසක් මුදල්වලට කඹුරන වහලුන් කර ඇත්තේ අර්ථය නොවිමසා මුදලට වහලෙක් වෙන්න එපා යැයි අනුන් කියන නිසා තමන් ද කියන අය විසිනි.

*මහජන ණය කිව්වාට ඒවා පාලකයන් විසින් ගන්නා ලද තීරණ වලින් මහජනතාව පිට පටවන ලද බරපැණ මිසක් මහජනතාව කැමැත්තෙන් තෝරාගත් ණය නොවේ.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: