අරුණි ශපීරෝ‍ වෙතින්

මුදලේ අගය තීරණයට රජයට බලය ලැබුණු අන්දම

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 17, 2016

Keynes-on-Time-Magazine-Cover-228x300

වසර අසූවකට පෙර, 1936 පෙබරවාරි 4 වැනිදා, පසුගිය සියවසේ වැඩියෙන්ම බලපෑමක් කරන්නට සමත් වූ පොත් අතරින් එකක් ප්‍රකාශනය විය. එය බ්‍රිතාන්‍ය අර්ථ ශාස්ත්‍රඥ ජෝන් මේනාඩ් කේන්ස් විසින් රචිත ‘රැකියා, පොලී සහ මුදල් පිළිබඳ පොදු න්‍යාය’ නමින් විය. එය සමඟින් බිහිවූයේ අද කේන්සියන් අර්ථ ශාස්ත්‍රය නමින් හැඳින්වෙන්නයි.

එය එළිබැස දශකයක් ගෙවී යන්නටත් පෙර, ‘පොදු න්‍යායේ’ අදහස් අර්ථ ශාස්ත්‍ර වෘත්තීය ආක්‍රමණය කරන ලද බවක් පෙනිණ. ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්ති සඳහා එය මාර්ගෝපදේශකයක් බවට ද පත්විණ. එතරම් කෙටි කලකින් එතරම් පුළුල් සේ අදහස් පැතිර යැවීමටත් සහ මහජන ප්‍රතිපත්ති සඳහා දැඩි විනාශකාරී බලපෑමක් කරන්නටත් සමත් වී ඇත්තේ පොත් ස්වල්පයකි. කේන්ස් සමත් වූයේ ආණ්ඩු හැම විටකම කරන්නට කැමති වූ, එනම් අනුන්ගේ මුදල් වැයකිරීමට සහ සුවිශේෂී පිරිස් සඳහා විශේෂ වරප්‍රසාද වෙන් කිරීමට හැකියාව ලැබෙන තර්කයක් ඉදිරිපත් කරන්නටය.

නිදහස් වෙළඳපොල ආර්ථිකයක පැවැත්මට ආවශ්‍යක වූ සංස්ථායික අංග තුනක් නොසලකා හරින්නට මේ ක්‍රියාවලියේ දී කේන්ස් සහාය දෙන ලදි. ඒවා නම් රන් මිනුම, තුලිත රාජ්‍ය අයවැය, සහ විවෘත තරඟකාරී වෙළඳපොලයි. ඒ වෙනුවට කේන්ස් අපට දායාද කරන ලද්දේ නෝට්ටු මුදල් උද්ධමනය, (අයවැය) හිඟ වැය කරත හැකි රාජ්‍ය වියදම්, සහ වෙළඳපොල පුරා පැතිර යන සේ දේශපාලන මැදිහත්වීම් තවත් වැඩිකිරීමයි.

කේන්ස් හෝ කේන්සියානු විප්ලවය නොමැති වූවා නම් උද්ධමනය, හිඟ වැය කිරීම, සහ මැදිහත්වීම් සිදු නොවෙන්නට ඉඩ තිබුණා යැයි කීම අතිශයෝක්තියක් විය හැකියි. කේන්ස්ගේ පොත නිකුත්වෙන්නට පෙර දශක කිහිපයකට පෙර පවා දේශපාලනමය සහ සංකල්පවාදී වාතාවරණය හැරෙමින් පැවතියේ සමාජ සහ ආර්ථික කටයුතුවල දී රජය තවත් වැඩියෙන් ළංකර ගැනීම වෙතටයි. ඒ යුරෝපයේ සහ ඇමෙරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විද්වතුන් අතර වැඩියෙන් වර්ධනය වූ සාමූහික අදහස්වල බලපෑම් හේතුවෙනි.

කෙන්ස්ට පෙර: බුද්ධිමත් නිදහස් වෙළඳපොල ප්‍රතිපත්ති

පොදු න්‍යාය නිකුත් වෙන්නට පෙර සාමූහික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි අයට ආර්ථික චින්තනයේ ප්‍රධාන අංශය වටෙන් යන්නට සිද්ධ වී තිබිණ. එවක දී ද ආර්ථික චින්තනයේ ප්‍රධාන අංශය තර්ක කළේ වෙළඳපොලට රජය ඇඟිලි නොගසා සිටිය යුතු බවයි. රන් මත පදනම් වූ ස්ථායි ව්‍යවහාර මුදල් පවත්වා ගත යුතු බවයි. ආණ්ඩුවල බදු සහ වැය ප්‍රතිපත්ති හික්මීමකින් යුතුව ගෙන යාමයි. එසේ ක්‍රියා කිරීම හොඳම සාමාන්‍ය පිළිවෙත බවයි.

වෙළඳපොල සුමට ලෙසින් ක්‍රියාත්මක වීම රාජ්‍ය මැදිහත්වීම් නිසා වැළැක්වෙන බව 18 වැනි සහ 19 වැනි සියවස්හි නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටි අර්ථ ශාස්ත්‍ඥයන් විසින් අනූනයී ලෙසකින් පෙන්වා දී තිබුණි. ආර්ථික කටයුතු මෙහෙයවන හැකියාව හෝ දැනුම හෝ යන දෙකම ආණ්ඩුවට නැති බව ඔවුන් පැහැදිලිවම පෙන්වා දෙන්නට සමත් වී තිබිණ. ඉල්ලුමේ සහ සැපයුමේ තරඟකාරී බලය ජනතාවගේ ක්‍රියාවන් සම්බන්ධීකරණය කරද්දී සහ ඊට අත්‍යාවශ්‍ය වූ දිරිගැන්වීම් ලබාදෙන විට සහ ජනතාවගේ ජීවිත සහ දේපල ආරක්ෂාවට පමණක් සාමාන්‍යයෙන් ආණ්ඩුවක් සීමා වෙද්දී, නිදහස සහ සමෘද්ධිය හොඳින්ම තහවුරු වෙයි.

උගත් පාඩම්: රන් මිනුම සහ තුලිත අයවැය

19 වැනි සියවස මුල් කාලයේ දී පැවති නැපෝලියානු යුද්ධවල දී බොහෝ යුරෝපීය රටවල් උග්‍ර උද්ධමනයන් අත්විඳින ලද්දහ. ඒ යුද වැය සඳහා ආණ්ඩු විසින් නෝට්ටු මුදල් අච්චු ගහන්නට පටන් ගත් බැවිනි. මුල්‍ය තිරසාර බවක් පවත්වාගන්නට නම් රජයේ අත මුදල් නෝට්ටු අච්චු ගහන මුද්‍රණාලයෙන් අහක් කර තැබිය යුතු බව නිදහස් වෙළඳපොල අර්ථ ශාස්ත්‍රඥයන් උගත්හ. මෙය කළ හැකි හොඳම ක්‍රමය රටේ ව්‍යවහාර මුදල් රත්තරන් වැනි වෙළඳ ද්‍රව්‍යයකට ඈඳා තැබීමෙනි. රන් ඉල්ලුම අනුව ස්ථාවර විනියමය අනුපාතිකයට ඔවුන්ගේ නෝට්ටු නිකුත් කරන්නට බැංකුවලට නියම කිරීමෙනි. සසරණයේ පවතින බැංකු නෝට්ටු වැඩි කිරීම බැංකුවල අමතර රන් තැන්පතු ප්‍රමාණයට පමණක් සීමා කිරීමෙනි.

රාජ්‍ය වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමේ ක්‍රමයක් හැටියට හිඟ වැය කිරීම අනතුරුදායක බව ඔවුන් නිගමනය කළහ. රටවැසියන්ට පෙනෙන පරිදි බදු ඉහළ දමන්නේ නැතිව, අද ණයට ගෙන අද වියදම් කරන්නට, ණය ගෙවන්නට සිද්ධවෙන බදු වැය ඉහළ දැමීම හෙටට කල්දාන්නට, ආණ්ඩුවලට වියදම් කරත හැකියාව ඇතැයි පෙන්වන මායාවක් හුවා දක්වන්නට එයින් හැකියාව ලැබිණ.

නිදහස් වෙළඳපොල අර්ථ ශාස්ත්‍රඥයන් වාර්ෂික තුලිත අයවැය ඉල්ලා සිටියහ. එවිට රජයේ වියදම් වැය වඩා පැහැදිලි ලෙසින් සිය රටවැසියන්ට දකින්නට හැකියාව ලැබේ. යුද්ධයක් වැනි ජාතික අවදානමක් ඉදිරියේ දී, ආණ්ඩුවකට ණයක් ගන්නට සිද්ධ වුවහොත්, එවිට අර්බූදය නිමා වූ විට ආණ්ඩුවට ඉතිරිවෙන අතිරික්ත අයවැය තුලින් ණය ගෙවා දැමිය හැකියි.

වෙළඳපොල, වේතන හා ආණ්ඩු පිළිබඳ කේන්ස්ගේ චින්තනය

යහපත් සමාජයක් සඳහා අවශ්‍ය ප්‍රතිඵල ගෙනෙන ලද සත්‍ය ප්‍රතිපත්ති එවක නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටි අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වා දුන්හ. පරාජය කරන්නට හැකි තරමින් කේන්ස් සිය පොදු න්‍යාය පොතෙන් උත්සාහ කළේ ඒ ප්‍රතිපත්තීන් ය. වෙළඳපොල ආර්ථිකයක් නෛසර්ගික ලෙසින්ම අස්ථායී යැයි ඔහු තර්ක කළේය. අවිචාරී ආයෝජකයෙකුගේ ශුභවාදයට හෝ අශුභවාදයට අනුව ඒ මේ පැත්තට හැරෙන්නට විවෘත යැයි ද, ඒ නිසා නිමැවුම්, රැකියා සහ මිල ගණන් වල අවිනිශ්චිත වූ සහ දැඩි ඉහළ පහළ යාම් ප්‍රතිඵල ලෙසින් දකින්නට හැකිවේ යැයි ද ඔහු තර්ක කළේය.

දීර්ඝ කාලීන දැක්මකට හැකියාව ඇත්තේ සහ යථාර්ථවාදී ලෙසකින් ආර්ථිකය සමබර ලෙසකින් පවත්වාගෙන යාමට හැකියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් යැයි ඔහු විශ්වාස කළේය. අවපාතවල දී හිඟ වැය ගෙන යාමෙන් ආර්ථිකයට තල්ලුවක් දිය හැකි යැයි ද, උද්ධමනකාරී බුබ්බුලවල දී අතිරික්තයන්ගෙන් මැඬගත හැකි යැයි ද ඔහු කීය. ඒ නිසා ඔහු තුලිත අයවැය මතියට පහර දුනි. ඒ වෙනුවට ආණ්ඩුව විසින් “ව්‍යාපාර චක්‍රය” මතින් අයවැය තුලිත කළ යුතු යැයි කීවේය. අවපාත කාලයන් හි දී අයවැය හිඟයක් ඇති කිරීමෙන් සහ සම්පූර්ණ සේවා නියුක්තිය ඇති සහ ආර්ථික වර්ධනයන් ඇති කාලයන් හි දී අතිරික්තයන් ඇති කිරීමෙනි.

මේ වැඩේ කරන්නට නම් “ම්ලේච්ඡ පුරාණ වස්තුවක්” වූ රන් මිනුම විසින් ආණ්ඩුව අබ්බගාත කරවිය යුතු නැතැයි කේන්ස් කීවේය. ප්‍රඥාවන්ත දේශපාලනඥයන් යනු, තමන් වැනි අතිදක්ෂ අර්ථ ශාස්ත්‍රඥයන්ගේ මඟ පෙන්වීම අනුව මුදල් සැපයුම වැඩි කිරීමට, පොලී අනුපාතික මෙහෙයවීමට, සහ ව්‍යවහාර මුදල් ගණුදෙනුවල දී විදේශ විනිමය අනුපාතික වෙනස් කිරීමට හැකියාව තිබිය යුතු අය වීම අවශ්‍ය යැයි කේන්ස් කීවේය. මේ බලය ඔවුනට අවශ්‍ය වනුයේ මහජන කටයුතු ව්‍යාපෘති තුලින් මිනිසුන්ට රක්ෂාවන් දීමට සහ ආණ්ඩුව උනන්දු කරවන පුද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය වියදම් ලබාගැනීම සඳහායි. මුදල් සැපයුම රන් ප්‍රමාණයට සීමා කර තැබීම යනු මේවා කරන්නට නොහැකි බාධකයක් යැයි කේන්ස් තරයේම කියා සිටියේය.

වෙළඳපොල ආර්ථිකය සුමට ලෙසකින් පවත්වා ගෙන යාමට එයට නොහැකි යැයි පමණක් නොව වෙළඳපොලට ක්‍රියාත්මක වීමට ඉඩ දීම පවා නුසුදුසු වූවක් යැයි කේන්ස් විශ්වාස කළේය. ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම අනුව වෙළඳපොලට මිල ගණන් සහ වේතන තීරණය වීමට ඉඩදීම යනු සමාජය කෲර හා අසාධාරණ ‘ආර්ථික විසල් බලයකට’ ලක් කිරීමක් යැයි වරක් ඔහු කියා සිටියේය. ඒ වෙනුවට ඔහුට උවමනා වූයේ වේතන සහ මිල ගණන් දේශපාලනමය ලෙසින් “[සමාජ] පංති අතර ‘සාධාරණ’ සහ ‘යුක්ති සහගත’ වූ” පදනමක් යටතේ නියම කිරීමටයි.

විශාල ජනගහණයක් විරැකියාව අත්විඳිමින් සිටි මහා අවපාත වසර තුල දී, ශ්‍රමිකයන් තුල එතරම් වටිනාකමක් වෙළඳපොල නොදැකීම නිසා ඔවුන් රැකියා අවස්ථා අහිමි කරගනිමින් සිටිය දී පවා, වෘත්තීය සමිති විසින් පනවන ලද වේතන මට්ටම් දිහා බැලිය යුත්තේ නොකෙලෙසිය යුතු ලෙසකින් යැයි කේන්ස් තර්ක කළේය. ඒ වෙනුවට ආණ්ඩුව මුදල් අච්චු ගැසිය යුතුයි. හිඟ වැය දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. නැවතත් සේවකයන් බඳවා ගැනීමට සේවාදායකයන්ට ලාබ ලැබෙන සේ මිල ගණන් ඕනෑම මට්ටමකට ඉහළ දැමිය යුතුයි. තවත් විදියකින් කියතොත්, පමණට වැඩි වේතන ඉල්ලා සිටින ආක්‍රමණශීලී වෘත්තීය සමිති හමුවේ දී “පූර්ණ සේවා නියුක්තිය” සහතික කරන මාර්ගයක් ලෙසින් නිරන්තර මිල උද්ධමනය යොදාගත යුතු යැයි ඔහු කීවේය.

තවත් කොටසක් ඉක්මණින්.

එෆ්. ඒ. හයෙක්ගේ පශ්චාත් උපාධි සිසුවෙක් වූ ද, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැලේ ලොව ප්‍රථම සමුළුවට සහභාගී වූ අය අතරින් අයෙක් වූ ද, මහාචාර්ය රිචඩ් එබලින් මට මුණගැසෙන්නේ වසරකට පමණ පෙර ඩෙලවෙයාර් බැස්ටියාට් සංගමයේ හමුවක දී ය. ඔහු ලංකාවට එක් වතාවක් පැමිණ ඇත. මහාචාර්ය එබලින් විසින් ලියූ කේන්සියන් අර්ථ ශාස්ත්‍රයේ මෝඩකම් සහ දුර්මතයන් නමින් වූ සටහන ඉංග්‍රීසියෙන් මෙතැනින් කියැවිය හැකියි.

2 Responses

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: