අරුණි ශපීරෝ‍ වෙතින්

කේන්සියානු අර්ථ ශාස්ත්‍රය වෙනුවට “ඔස්ට්‍රියන් විකල්පය”

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 19, 2016

Keynesian-Wife-Spending-Herself-Out-of-Depression-300x226

ලුඩ්විග් වොන් මීසස්, ෆෙඩ්රික් ඒ. හයෙක් සහ තවත් අය ක්‍රමවත් ලෙසකින් පෙන්වා දෙන ලද මහා අවපාතයේ හේතු සහ පිළියම් පිළිබඳ විකල්පීය “ඔස්ට්‍රියන්” අර්ථාන්විතය කේන්ස් විසින් සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා පමණක් නොව එය ප්‍රතික්ෂේප ද කර දැමීය. ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන්ට අනුව, මුල්‍ය ප්‍රසාරණය සහ පොලී අනුපාතිකවලට ඇඟිලි ගැසීම් නිසා තැන්පතු සහ ආයෝජන අතර විරූපී අසමානතා පැතිර යාම සිද්ධ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රාග්ධනය නරක ආයෝජනවලට යෙදවීමත්, සම්පත් සහ ශ්‍රමය වැරදි මාර්ගවල යැවීමත් සිද්ධ විය. එහෙත් මෙය සිද්ධ වූයේ සාමාන්‍ය වශයෙන් ස්ථාවර වූ මිල මට්ටම් පැවති උද්ධමනයක් දකින්නට නොමැති වූ වාතාරවණයක් පැවති ඇමෙරිකාවේ දී ය.

කේන්ස්ගේ නව “සාර්ව ආර්ථික” නොහොත් “මැක්‍රොඉකොනොමික්ස්” පිළිවෙත කරන ලද්දේ ආර්ථිකය පුරා දකින්නට ලැබෙන -“සමස්ත ඉල්ලුම”, “සමස්ත සැපයුම”, නිපැයුම් සහ රැකියා නියුක්තිය “සම්පූර්ණයෙන්ම” සැලකීම- යනාදී වශයෙන් සාමාන්‍යයන් සහ සමස්තයන් ගැන සංඛ්‍යාන වෙත ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමයි. එයින් අව්‍යාජ “ක්ෂුද්‍ර ආර්ථික” නොහොත් “මයික්‍රොඉකොනොමික්” සබඳතා සියල්ල නොපෙනෙන ලෙසකින් සඟවන්නට හැකියි. එසේම විවිධ විෂම පුද්ගලයන් අතර ඉල්ලුම සහ සැපයුම තුලින් සිද්ධ වෙන අනේක වූ ගණුදෙනුවල දී දකින්නට තිබෙන සමායෝජනය සහ සමබරතාවය මහ බැංකුවල මුල්‍ය ප්‍රතිපත්ති නිසා වියවුල් කරන බවත් සඟවන්නට හැකියි.

1929-1930 දක්වා පැවති ආර්ථික සහ මුල්‍ය අර්බූදය වැඩි වර්ධනය වෙමින් තවත් ප්‍රථුල ලෙසින් පැතිර යන්නට පටන් ගනිද්දී, නිපැයුම් අඩු වී සහ විරැකියාව ඉහළ යද්දී, ආර්ථිකයේ බොහෝ අංශ තුල මිල ගණන් හා වේතන වෙනස් කිරීම්, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ සම්පත් යොදවන ආකාරය ඉල්ලුම සහ සැපයුම අනුව සමායෝජනය වන්නට නැවත ස්ථාපනය කිරීම මාර්ගයෙන් නැවත සමබරතාවයක් ගෙන එන්නට කටයුතු කළ යුතු යැයි ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් තරයේ කියා තිබුණි.

එහෙත් මහා අවපාතයෙන් ගොඩ එන්නට දුන් මෙම පැහැදිලි කිරීම සහ විසඳුම ජෝන් මේනාඩ් කේන්ස් විසින් අවබෝධ කරගැනීම ප්‍රතික්ෂේප කර විසඳුමක් හැටියට ද ප්‍රතික්ෂේප කරන ලද්දයි.

හිඟ වැය වියදම සහ සුවිශේෂ ව්‍යාපාර ඉලක්ක කරගත් දේශපාලනය

ඊට අමතරව, තුලිත අයවැය රීතිය අහකට දමද්දී තව දුරටත් ආණ්ඩුවේ වියදම් ගැන සලකන ක්‍රමයක් ඉතිරි නොවිණ. වැය ගෙවීම සඳහා බදුගෙවන්නා වෙතින් ඍජුව හා වහාම අයකරගැනීමෙන් ආණ්ඩුව නිදහස් වෙද්දී, සෑම සියළු සුවිශේෂී ව්‍යාපාරයකම යෙදෙන අයට දේශපාලනඥයන් වෙතින් තමන්ගේ උවමනා පිරිමසා ගැනීමට ඉල්ලන හැකියාව ලැබෙන බව ජේම්ස් බියුකැනන් සහ රිචඩ් ඊ. වාග්නර් යන අර්ථ ශාස්ත්‍රඥයන් ‘වැය හිඟයේ ප්‍රජාතන්ත්‍රවාදය’ (1977) තුලින් පෙන්වා දුන්හ. චන්ද එකතුවට සහ චන්ද වැඩ සඳහා මුදල් එකතුවට රිසි දේශපාලනඥයන් මේ විශේෂ වරප්‍රසාද සොයන පිරිසගේ කෑදරකම තෘප්තිමත් කරන්නට සතුටින් ඉදිරිපත් වෙති. මේ අවස්ථාවේ දී ම, තමනට කිසිත් වැයක් නොවී හෝ සිදුවන ඉතා අඩු වැයකින්, කිසිවක් ගන්නේ නැතිව සියල්ලන්ටම යමක් දෙන්නට පුළුවන් හැකියාව රජයකට ඇතැයි යන මුලාවට බදුගෙවන්නන් රැවටෙති.

මේ නිසා සමහර අවස්ථාවල දී බදු අඩුකරන පොරොන්දු පවා ගෙනෙමින්, සුවිශේෂී පිරිස් සඳහා වැඩියෙන් මුදල් වෙන්කරන්නට ඉදිරිපත්වීමේ හැකියාව සත්‍යයෙන්ම දේශපාලනඥයන්ට ලැබේ. අනාගත පරම්පරාවන්ට දැඩි ණය බරක් පටවමින් ආණ්ඩුව අයවැය පරතරය පියවයි. ඉදිරි වර්ෂයන් තුල දී එක්කෝ බදු තවත් වැඩි විය යුතුයි. නැත්නම් තමන් ගෙවිය යුතු ණය සඳහා මුදලේ අගය අඩුකරමින් මුදල් නෝට්ටු මුද්‍රණය වැඩිකරත යුතුයි. මේ සියල්ල කරනුයේ ‘ජාතියේ සමෘද්ධිය’ උත්පාදනය කරනු පිණිස කියායි. සුබසාධන රාජ්‍යයේ “සමාජයීය වශයෙන් අත්‍යාවශ්‍ය” වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම සඳහා කියායි.

මේ ගැන වර්තමානයේ දී සිත් කරදර කරගන්න එපා යැයි කේන්ස් අපට සහතික විය. මන්ද “අවසානයේ අපි ඔක්කොම මැරෙනවානේ,” යැයි ඔහු වරක් සුප්‍රසිද්ධ ලෙසින් කියන ලද්දේය. අපේ ගැටළුව නම් ප්‍රත්‍යක්ෂ ලෙසින් එන්න එන්නම අපි කරනුයේ කේන්ස්ගේ කෙටි කාලීන ප්‍රතිපත්තිවල දීර්ඝ කාලීන ඵලවිපාක විඳිමින් ජීවත්වීමයි.

නිදහස් වෙළඳපොල අර්ථ ශාස්ත්‍රඥයන්ගේ ප්‍රඥාව තව දුරටත් අත්විඳීම

කේන්ස්ට කළින් පැවති නිදහස් වෙළඳපොල අර්ථ ශාස්ත්‍රය මූලාරම්භ වූයේ මිනිසා සහ සමාජය ගැන වූ අන්තර්ඥාන දෙකකිනි. පළමුවැන්න නම් මිනිසා මිනිසෙක් කරවන අවිචලක ලක්ෂණයක් මිනිස් ස්වභාවයේ පවතින බවයි. සහයෝගීතාවයෙන්, සාමයෙන්, සහ සමෘද්ධියෙන් යුතු සමාජයක් උදෙසා ඒකීය පුද්ගලයන් අනිවාර්යෙන්ම ඒ ඒ අයගේ ස්ව-කැමැත්ත සොයා යෑමේ දී ඔවුනට පමණක් නොව සමාජයේ අනිකුත් අයටත් සුබදායක තත්වය සැකසෙන පරිදි මිනිසා තම සමාජ ආයතන වෙනස්කරගත යුතු බවයි.

ඒ නිසා ඔවුන් කියා සිටියේ පුද්ගලික දේපල, ස්වේච්ඡාවෙන් කරන ගණුදෙනු, සහ සාමකාමී, විවෘත තරඟය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. එවිට, ඇඩම් ස්මිත් සංක්ෂිප්තව පෙන්වා දුන් පරිදි, තම අරමුණ සොයා යෑමට ඒකීය පුද්ගලයාට නිදහසක් ඇති, එහෙත් අදිසි හස්තයක් විසින් මඟ පෙන්වන ලෙසකින්, තමන්ගේ ජීවිතය වැඩි දියුණු කරගනිද්දී සමාජයේ අනෙකුත් අයගේ කැමැත්තන් ද සපුරාලන මාර්ගයෙන්, මිනිසුන් ස්වභාවික නිදහසක් පවතින ක්‍රමයක ජීවත්වනු ඇත.

දෙවැන්න, කෙටි කාලීන යහපත් තත්වයන් සේ පෙනෙන දේවල් පමණකට අවධානය යොමු කරන සමාජයීය හෝ ආර්ථික ප්‍රතිපත්ති සඳහා රුචියක් පෙන්වීම ගැන කිසිම විනිශ්චයක් දීමට එය ප්‍රමාණවත් නොවේ. ඉල්ලුම සහ සැපයුම වෙතින් වෙනස් මඟක යද්දී නැත්නම් වෙළඳපොල අනුපිළිවෙලට ඕනෑම ආණ්ඩුවකින් මැදිහත්වීමක් සිද්ධ වෙද්දී වෙළඳපොල නීතිවලින් හැම විටම යම් නිශ්චිත ඵලවිපාක දීර්ඝ කාලීනව අත්දකින්නට ලැබේ. ඒ නිසා, ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥ ෆෙඩරික් බැස්ටියාට් අවධාරණය කර පරිදි, යම් රාජ්‍ය ප්‍රතිපත්තියකින් කෙටි කාලීනව ලැබෙන “දැකිය හැකි දේ” පමණක් තීරණය කරන්නට නොයා අපිට හැකි පමණින් “දැකිය නොහැකි දේ” ගැන ද, එනම් අපේ ක්‍රියාවන් සහ ප්‍රතිපත්ති නිසා ලැබෙන දීර්ඝ කාලීන ඵලවිපාක ද සලකා බැලීමට අප උත්සුක විය යුතුයි.

වහා ලැබෙන ඵලය බාරගැනීමට පෙර සලකා බැලීම වැඩියෙන් සුදුසු වීමේ හේතුව නම් ඒවා දිගින් දිගටම සිදුවෙද්දී සමාජයීය අර්බූදය හමුවේ කිසිත් නොකර නිකම් තිබෙන්නට හැරියාටත් වඩා බරපතල ලෙසකින්, ගෙනෙන ලද ප්‍රතිපත්තිය විසින් නිවාරණය කරන්නට අදහස් කරන ලද දෝෂය තවත් උග්‍ර කරවීමයි. අනාගතයේ විශේෂ අවස්ථා ගැන සම්පූර්ණ ලෙසකින් අනාවැකි කීමේ හැකියාව හැම විටම අපෙන් බැහැරව පැවතියාට, අර්ථ ශාස්ත්‍රයේ එක ප්‍රයෝජනයක් නම් අනාගතයේ ඇතිවිය හැකි නිෂ්පාදිත සමෝච්ච ගැන අපේක්ෂාවෙන් සිටින්නටත් වෙළඳපොල නීති තුලින් අනාගතය කෙසේවේදැයි ගැන ප්‍රමාණික වශයෙන් අවබෝධයක් ඇතිකරගැනීමටත් සහායවීමයි.

මහාචාර්ය රිචඩ් එබලින් විසින් ලියූ කේන්සියන් අර්ථ ශාස්ත්‍රයේ මෝඩකම් සහ දුර්මතයන් නමින් වූ සටහන ඉංග්‍රීසියෙන් මෙතැනින් කියැවිය හැකියි. මෙය එහි දෙවැනි කොටසයි.

තුන්වැනි හා අවසන් කොටස ඊ ළඟට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: