අරුණි ශපීරෝ‍ වෙතින්

ශුන්‍යවාදයේ විද්වත් අයිඩියලොජිය -දුරාචාරවාදය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 23, 2016

The Economist Feb 20, 2016

කේන්ස් අභ්‍යූපගමනය කරන ලද්දෙන් නිදහස් වෙළඳපොල අර්ථ ශාස්ත්‍රඥයන්ගේ ප්‍රඥාව සහ අන්තර්ඥානය සලකා බැලීමට ඉඩ දීමක් නැති වී යයි. දැන් ලැබෙන වාසි සහ සතුට වෙතට නැඹුරු වූ අවධානයකින්, එනම් කෙටි කාලීන ඵලවිපාක පමණකට සිත් යොමු කරන කේන්සියානු දැක්ම දීර්ඝ කාලීන ඵලවිපාක මුළුමනින්ම පාහේ නොසලකා හැරීම සිදු කරයි.

කේන්ස්ගේ කෙටි කාලීන අර්ථ ශාස්ත්‍රය නිසා ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥ එෆ්. ඒ. හයෙක් 1941 දී මෙසේ කණගාටු විය:
“කෙටි කාලීන ප්‍රතිඵල ගැන පමණක් අවධානය යොමු කිරීම එන්න එන්නම වැඩිවෙද්දී … එය බරපතල හා අනතුරුදායක විද්වත් වැරැද්දක් හැටියට පමණක් නොව, අර්ථ ශාස්ත්‍රයේ ප්‍රධාන වගකීම පාවා දීමක් ලෙසින් සහ අපේ ශිෂ්ඨාචාරයට ගෙනෙන දරුණු තර්ජනයක් ලෙසින් ද සැලකීමෙන් බැහැර වන්නට මට නොහැකියි… වහාම ලැබෙන ඵලවිපාක ගැන සොයා බැලීම ප්‍රායෝගික මිනිසාට තබා, ඔහු කොහොමත් දකින්නේ වෙන කිසිත් නොව එය පමණක්ම නිසා, නුපුහුණු ඇසට බොහෝවිට නොපෙනෙන දීර්ඝ කාලීන ඵලවිපාක අධ්‍යයන කිරීමත් සහ ඒවායේ වැදගත්කම කියා පෑමත් අර්ථ ශාස්ත්‍රඥයන්ගේ වගතීම සහ වරප්‍රසාදය ලෙස අතීතයේ දී සැලකෙන ලදි…

“වානිජ්‍යවාදී රචකයන් සහ උපන් හපන්කම් ඇති ආධුනිකයන් කේන්ස් මහතාගේ දැක්ම අපේක්ෂාවෙන් සිටි බව ඔහු හඳුනාගැනීම පුදුමයක් නොවේ; මේ විෂයයට ප්‍රවේශ වීමේ දී මතුපිටින් ඇති ප්‍රපංච ගැන සැලකිලිමත්වීම හැම විටම එහි පළමු පියවර සේ සැලකිණ… ප්‍රතිපත්තියක් සම්පූර්ණයෙන්ම එහි කෙටි කාලීන සැලකීම් තුලින් මාර්ගෝපදේශයක් ලබාගත යුතු යැයි “අවසානයේ දී අපි ඔක්කොම මැරෙනවානේ,” යන්නෙන් අපිට කියා නැත්ද. මගේ බිය මේවා විශ්වාස කරනවුන්ට, “අපට පසු, ගංවතුර” යැයි සලකන අයට ඔවුන් සිතුවාට වඩා කළින් ඔවුන්ගේ කැමැත්ත ඉටුවෙන්නට ඉඩ තිබීම ගැනයි.”

ආචාර ධාර්මික ශුන්‍යවාදය පිළිබඳ කේන්ස්ගේ අයිඩියලොජිය

වෙළඳපොලේ මහත් විශාල ජනකායක් අතර සිද්ධ වෙන ආර්ථික ගණුදෙනු කළමනාකරණයට හා හැසිරවීමට ප්‍රතිපත්ති සකසන්නට කේන්ස් වැනි අයට අයිතියක් හෝ හැකියාවක් ලැබෙන්නේ මොන ආචාර ධාර්මික නැත්නම් මොන දාර්ශනික පදනමක් මත දැයි කෙන්ස් විශ්වාස කළා දැයි විමසීම සාධාරණ වූවකි. ඔහුගේ මරණයෙන් වසර 3 කට පසුව 1949 දී ප්‍රකාශනය කරන ලද “මතක සටහන් දෙකක්” හි කේන්ස් සිය ආචාර ධර්ම පදනම පැහැදිලි කරයි. 1938 දී ලියන ලද එක මතක සටහනක්, තරුණයෙක් හැටියට වයස විස්සේ දී විසිවැනි සියවසේ ප්‍රථම දශකයේ දී හෙතෙම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දී ඉගෙන ගන්නා සමයේ දී ඔහුගේ “මුල් විශ්වාස” හැදුනේ කෙසේදැයි විමසා බලයි.

ජී. ඊ. මුවර් දාර්ශනකියාගේ රචනා තුලින් ඔහු සහ කේම්බ්‍රිජ් හි තවත් බොහෝ තරුණ විද්වතුන් බලපෑමට පාත්‍රවී සිටියහ. මුවර්ගේ තර්කයෙන් බැහැරව, කේන්ස් විසින් මුවර්ගේ කෘති කියවා එළඹෙන ලද නිගමන සලකා බැලිය යුතුයි. කේන්ස් මෙසේ කීය:
“ඇත්ත වශයෙන්ම, අපේ මතිය, ඔහුගේ [මුවර්ගේ] ආගමේ ලොකුම වාසියක් නම් එය නිසා ආචාර ධර්ම අනවශ්‍ය වීමයි…අපේ සහ අනෙකුත් අයගේ ද, නමුත් ප්‍රධාන වශයෙන්ම අපේ, පවතින මානසික තත්වය හැරෙන්නට වෙනත් කිසිවක් වැදගත් නැත. මේ මානසික තත්වයන් ක්‍රියාවන් හෝ ජයග්‍රහණයන් හෝ ඵලවිපාක හා සම්බන්ධීයකින් යුතු නොවේ. බොහෝ දුරට “පෙරට” සහ “පසුවට” ඈඳී නැති, මේවා අකාලික වූ ද, කල්පනාකර බැලීමේ සහ එකමුතුකමේ ඇල්මෙන් යුතු තත්වයන් වෙති.”

මේ විදියට සලකා බැලීමේ දී, පාරම්පරික හෝ ප්‍රතිෂ්ඨාපිත ආචාර ධාර්මික හැදියාවන් හි කිසිත් වැදගත්කමක් නැත. කේන්ස් මෙසේ කීවේය:
“සාමාන්‍ය රීතීන්ට ගරු කිරීමට පුද්ගලික වශයෙන් බැඳී සිටින්නට වීම අපි සහමුලින් ප්‍රතික්ෂේප කර දැමුවෙමු. සෑම ඒකීය තත්වයක්ම එහි ඇති වාසි අනුව, ප්‍රඥාව සහ, අත්දැකීම් සහ සාර්ථකව කරගෙන යෑමට හැකි ස්ව-පාලනය අනුව විනිශ්චය කරන්නට අයිතියක් ඇතැයි කියා සිටියෙමු. අපේ භක්තියේ මෙය ඉතා වැදගත් කොටසකි. එය දැඩි සහ එදිරිවාදී ලෙසින් අප අල්ලාගෙන සිටිමු… චාරිතානුකූල ආචාර ධර්ම, වත් පිළිවෙත් සහ සාම්ප්‍රදායික ප්‍රඥාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලද්දෙමු. පදයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියතොත් අපි දුරාචාරවාදීන් වීමු… ආචාර ධාර්මික වගකීමක් අපි වෙත ඇතැයි අපි පිළිනොගත්තෙමු. සනාථ කරන්නට හෝ කීකරු වන්නට අවශ්‍ය අනුජානනයක් ඇතැයි පිළිනොගත්තෙමු. දිව්‍යලෝකය ඉදිරියේ අපි කියා සිටියේ අපේ ක්‍රියාව ගැන අපේම විනිශ්චයකරුවා වීමට අපිට හැකි බවයි.”

ඔහුත් ඔහු වැනි අනිත් අයත්, “මෙතැන් පටන් හොඳ කුමක්දැයි දැනගැනීමට හැකි පවිත්‍ර හා විශ්වාසය තබාගත හැකි සහජ හැඟීම් මොනවාදැයි තීරණය කරන තම තමන්ගේ මාර්ගයන්ට පිවිස සිටිනවා,” යැයි කේන්ස් දැක්වීය.

අනතුරුව මැදි-පනස් වියැති කාලයේ දී, 1938 හි දී කේන්ස් මෙසේ කියන ලදි; “මම දන්න තරමට, දැන් වෙනස් වෙන්න පරක්කු වැඩියි. මම දැනුත් දිගටමත් දුරාචාරවාදියෙක් ලෙසම සිටින්නෙමි.” එවැනි කිසිත් බැඳීම් නැති ආකාරයකින් හැසිරීමට හැකි සමාජ ක්‍රමය ගැන කේන්ස් කියා සිටියේ, “ශිෂ්ඨාචාරය යනු සුළු පිරිසකගේ පෞරුෂය සහ කැමැත්ත අනුව ගොඩනැඟුණ දැඩි අවදානම් සහිත තුනී තට්ටුවකි. එය පවත්වාගෙන යන්නේ දක්ෂ ලෙසින් පනවන ලද රීති හා සම්ප්‍රදායන් වංචා සහගත ලෙසින් ආරක්ෂා කරගැනීමෙනි.”

මෙයාකාරයෙන්, සමාජයීය කටයුතු ගැන ගන්නා තීරණ ගත යුත්තේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ “මානසික තත්වය” අනුව ස්වයං කේන්ද්‍රීය වූ පදනමකිනි. සම්ප්‍රදාය, චාරිත්‍ර, සදාචාර සංග්‍රහය, රීති, නැතහොත් වෙළඳපොලේ අත්දුටු දීර්ඝ කාලීන ඵලවිපාක සලකා බැලීම සහමුලින් බැහැරකට දැමීමෙනි. ඔවුන්ගේ නිවැරදිබව හෝ වැරදිබව විනිශ්චය කරද්දී එය “ජයග්‍රහණය සහ ඵලවිපාක” ගැන වූ ස්වාධීන ප්‍රමිතියක බැඳීමකින් යුතු නැත.

ඒ වෙනුවට සමාජයක් මඟ පෙන්වීම ලබාගත යුත්තේ “‘පෙරට’ හෝ ‘පසුවට’ කිසිලෙසකින් බැඳී නැති, අකාලිකව, කල්පනාකාරීව සහ එකමුතුව කරන ආවේගික තත්වයන් වලිනි.” තීරණ ගන්නා අය ඔවුන්ගේම ඒකීය වූ “යහපත සඳහා වූ සහජ දැනුම’ ඔවුන්ට සහ අනුන්ට යහපත ගෙන ඒම පිණිස සිය කොම්පාසුව නැත්නම් දිශා දර්ශකය ලෙසින් භාවිතා කරයි. එවැනි ක්‍රියා හෝ ඒවායේ ප්‍රතිඵල කිසිම සාමාන්‍ය මිනිසෙකුට විචාරන්නට ඉඩක් නොදිය යුතුයි. “දෙවියන් ඉදිරියේ,” කේන්ස් කීවේය, “අපි අපේ වැඩ කටයුතුවල අපේම විනිසුරුවරුන් යැයි කියා ගත්තෙමු.”

නාස්තිකවාදය නොහොත් ශුන්‍යවාදයේ එලීටිස්ට් දැක්මක් එසේ බිහිවිය. සමාජයේ අනෙක් අයට වඩා වැඩි ඉහළ මට්ටමකින් යුතු සාමාජිකයන් (එලීට්) යැයි ඔවුන් තමන්වම පත්කර ගත්හ. සම්ප්‍රදාය, චාරිත්‍ර හා නීතිය එසේ හැර දා ගිය ඔවුන් ඒ ගැන උනුන්ටම ප්‍රශංසා කරගත්හ.

මැදි-පනස් වියැතිව සිටි කේන්ස්ට අනුව ශිෂ්ඨාචාරය යනු සාමාන්‍ය මිනිසාගේ අවිචාර සහ මෘග ජවය මත අනතුරුදායක ලෙසින් පවතින තුනී තට්ටුවකි. එහි පැවැත්ම (පැවැත්මේ වටිනාකම කුමක් වුවත්) ඔහු වැනි “ඉතාමත් ස්වල්පයකගේ පෞරුෂය සහ කැමැත්ත” අනුව ස්වභාවයෙන්ම නිෂ්පාදනය වූවකි. එය පවත්වා ගැනෙන්නේ “දක්ෂ ලෙසින් ඉදිරිපත් කරන ලද රීති හා සම්මුති කපටි ලෙසින් ආරක්ෂාකර ගැනීමෙනි.”

සමාජයේ හැඩය හා වෙනස්වෙන ආකාරය පැවරිය යුත්තේ අකර්මන්‍ය මහා ජනතාවක් වෙතින් ඉහළින් කැපී පෙනෙන “තේරී පත් වූ” ටික දෙනා අතටයි. සමාජයක් හා එහි ඒකීය පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්හදා බැලීම්වලට ලක් කරමින් ඔවුන්ව කපටි හා දක්ෂ ලෙසින් මෙහෙයවමින් තමන් විසින් තමන්ව පත්කරගත් දාර්ශනික-රජ නොහොත් සමාජ ඉංජිනේරුවාගේ ‘උඩඟුකම’ මෙතැන දිස්වෙයි.

මහජන මතය හා මහජන ප්‍රතිපත්ති මෙහෙයවීමට සහ කළමනාකරණයට තමනට හැකියාවක් ඇතැයි කියා පෑ කේන්ස්ගේ උද්ධච්චකම සහ ආත්ම-විශ්වාසය 1946 දී ඔහුගේ මරණයට පෙර දකින්නට ලැබිණ. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ සැණින් කේන්ස් හා පැවති සංවාදයක් ෆෙඩ්රික් හයෙක් මතක් කරන ලදි.

ඔහුගේ අදහස් ඔහුගේම විද්වත් අනුගාමිකයන් විසින් අනතුරුදායක සහ නුසුදුසු මාර්ගයන් හි ගෙන යෑම ගැන කැක්කුමක් නැත්දැයි හයෙක් කේන්ස් වෙතින් විමසීය.

“එම පුද්ගලයන් හෑල්ලු කළ කියමනකින් අනතුරුව, තමන් ඉදිරිපත් කළ ඒ අදහස් එවක දැඩි සේ අවශ්‍ය වී තිබුණා යැයි කියමින් මාව (හයෙක්ව) සනසන්නට ඔහු (කේන්ස්) ඉදිරිපත් විය. ඒත් මා ඒ ගැන කළබල විය යුතු නැත; එම පුද්ගලයන් භයානක වුවහොත් ඔහු විසින් ඉතා ඉක්මණින් මේ මහජන මතය කණපිට පෙරලන බවට මට ඔහු ගැන විශ්වාසයක් තබාගත හැකි යැයි ද -අත වේගයෙන් හරවා පාමින් එය කළ හැකි වේගය ඔහු මට පෙන්වීය. එහෙත් ඊට මාස තුනකට පසුව ඔහු මිය ගියේය.”

කේන්ස්ගේ නිමාවූ හඬ තවදුරටත් දේශපාලනඥයන්ට ඇසේ

පොදු න්‍යායේ වඩාත්ම සුප්‍රසිද්ධ පරිච්ඡේදයක කේන්ස් මෙසේ කියන ලදි,
“අර්ථ ශාස්ත්‍රඥයන්ගේ සහ දාර්ශනිකයන්ගේ අදහස්, ඔවුන් නිවැරදි වෙද්දී වගේම ඔවුන් වැරදි වෙද්දී ද, සාමාන්‍යයෙන් පිළිගැනෙනවාට වඩා වැඩියෙන් ඉතා බලවත් වෙති. ඇත්ත වශයෙන්ම ලොව පාලනය වෙන්නේ වෙනකකින් නොවේ. විද්වත් බලපෑම් වලට යටත් නොවනවා යැයි සිතන ප්‍රායෝගික මිනිස්සු බොහෝවිට යම් යල්පැන ගිය අර්ථ ශාස්ත්‍රඥයෙකුගේ වහල්ලු වෙති. අධිකාරයෙන් වියරු වැටුන, නැති කටහඬවල් ඇහෙන මිනිස්සු, වසර ගණනාවකට පෙර සිටි ආචාර්යවරයෙක් කුරුටු ගෑ දේවල් වලින් ඔවුන්ගේ උන්මාදය ආසවනය කරගනිති.”

පොදු න්‍යායේ එළිදැක්මෙන් වසර 80 කට පසුව, වැඩපලේ යෙදෙන බොහෝ ප්‍රායෝගික මිනිස්සු සහ අධිකාරී බලයේ සිටින දේශපාලනඥයන් ද, යල්පැන ගිය අර්ථ ශාස්ත්‍රඥයන්ගේ සහ කුරුටුගෑමේ යෙදුන ආචාර්යවරුන්ගේ වහලුන් වී සිටිති. අපේ කාලයේ ඛේදවාචකය නම් දූෂිත ලෙසින් අල්ලන සියල්ල වැරදියට කළමනාකරණය කරගනිමින් ඒ නැති කටහඬවල් තුලින් ඔවුන්ට තවමත් ඇහෙන්නේ ජෝන් මේනාඩ් කේන්ස් වීමයි.

මහාචාර්ය එබලින් විසින් ලියූ කේන්සියන් අර්ථ ශාස්ත්‍රයේ මෝඩකම් සහ දුර්මතයන් නමින් වූ සටහන ඉංග්‍රීසියෙන් මෙතැනින් කියැවිය හැකියි. මේ එහි පරිවර්තනයේ තෙවැනි කොටසයි.

පින්තූරය The Economist සඟරාවෙනි. ඊට ඈඳා තිබුන ලිපියේ කේන්සියානු වැරදි දක්වා තිබුන ද ගෙනෙත යුතු යැයි කියන පිළියම් තව දුරටත් කේන්සියානු ආභාෂයකින්ම වූ ආකාරය දකින්නට හැකියි.

2 Responses

Subscribe to comments with RSS.

  1. Amila Chathuranga (@indika27) said, on පෙබරවාරි 23, 2016 at 11:39 පෙ.ව.

    බී බී සී වෙබ් අඩවියේ පසුගිය දිනක ඔස්ත්‍රේලියාවේ දුප්පත්ම ගම ගැන ආටිකල් එකක් ගියා.. ඒ ගමෙන් ලැබෙන ආදායමක් නැති නිසා ඒ ගමේ තැපැල් කන්තෝරුව ආන්ඩුවෙන් වහල දාලා..
    ඉන් පස්සෙ ගමේ මිනිස්සු ඒකට රජය සමග කතා කරල විශ්‍රාමිකයින් පිරිසක් සමග එකතු වෙලා ස්වේච්චා සේවකයින් වැඩකරන වියදම අඩු තැපැල් කන්තෝරුවක් ආයෙත් පටන් අරගෙන තියෙනවා..

    එතැනදී ගමේ ජනතාව අපේ රටේ අයට වඩා වෙනස්.. සෑමවිටම පාලකයින් සිටින්නේ අපව උවදුරු වලින් ආරක්ෂා කොට සුව නින්දේ සතපවාලීමටයැ.. කියන මතයේ නෙවෙයි ඒ ජනතාව ඉදලා තියෙන්නෙ..

    අපේ ජනතාවට පාලකයින් නැති පාලකයින් විසින් බොහෝ දේ තීරණය නොකරන වටපිටාවක් ගැන සිතන්නටත් අමාරුයි… කොයි තරං වසවර්ථි වුනත් බිල හැන්දැවට ඇවිත් පහර දෙනවා වුනත් ඒ මිනිහා සමගම බුදියාගන්නට සිදුවෙන අසරණ කාන්තාවක් වගේ අපේ අය පාලකයින් විවේචනය කරන ගමන් පාලකයින්ට සියල්ලම පවරා පසෙකට වෙනවා..

    • arunishapiro said, on පෙබරවාරි 25, 2016 at 3:47 ප.ව.

      Amila Chathuranga,

      ඒ ගැන කියවන්න කැමති අයට සබැඳිය මෙන්න. එතැන ශ්‍රමය විතරයි ඔවුන් තැපැල් කන්තෝරුව පවත්වාගෙන යෑමට දෙන්නෙ. ඒක ඔවුන්ට පුළුවන් වෙන්නෙ හැබැයි රජයේ සහනාධාර වලින් තැපැල් කන්තෝරු ක්‍රමය පැවැත්වෙන නිසයි. ඒ වගේම ඒ ගමේ විශ්‍රාමික හා සහනාධාර ලබන අඩු ආදායම් වලින් ජීවත්වන ඔවුන් සෙසු ඔස්ට්‍රේලියානු ගම්වල පවතින වෙළඳපොලේ තරඟකාරී ආදායම් උපයන්නට අවශ්‍ය නැති නිසා. ඒ කියන්නෙ, වෙනත් ඔස්ට්‍රේලියානු ගම්වල වැසියන් ගෙවන බදු වලින් මේ අයගේ පැවැත්ම ආරක්ෂා වෙන නිසා ඔවුන්ට ඒ ගමේ තැපැල් කන්තෝරුව පවත්වාගෙන යාම පිණිස ඔවුන්ගේ ශ්‍රමය නොමිලේ සපයන්නට පුළුවන් වෙලා තියනව.

      යටත්විජිත යුගයෙන් පස්සෙ ලංකාව කෙළින්ම යන්නෙ සමාජවාදී රාජ්‍ය ක්‍රමයකට. වම නැති කරන්න ප්‍රතිපත්ති හැදූ සේනානායකලා, ජයවර්ධනලා පවා බහුතරව නියැළුනේ රජයේ සැලසුම් වලින් ජනතාවට බෙදන ප්‍රතිපත්ති හදන්නයි. ඉතින් කොහොම ද තමන් ගැන තීරණ තමන්ට ගන්න පුළුවන් කියල ජනතාවක් හිතන්නෙ? එහෙම අයිතියක් ඉල්ලන්න කළින් එහෙම කරන්න පුළුවන් කියල හිතන අය ඉන්න එපායෑ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: