අරුණි ශපීරෝ‍ වෙතින්

මගේ කාලය, මගේ ප්‍රාග්ධනය සහ මගේ ශ්‍රමය යෙදවිය යුත්තේ කෙසේදැයි තීරණය කරන මහාදැනුමැතියන්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 29, 2016

ජෝන් මේනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද පොදු න්‍යාය තුලින් කෙටි කාලීන ප්‍රතිලාභ වලින් ජනතාව රවටන්නට පාලකයන්ට සහ ඔවුන්ගේ ගැත්තන්ට ඉඩ ලැබිණ. දුක් කම්කටොළු දීර්ඝ කාලීනව විඳින්නට සිද්ධ වන අසරණ තත්වයකට ජනතාව ඇද දමන්නට හැකිවිය. යටත්විජිත යුගයෙන් ගැලවී ගත් රටවලට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් ජනතාවගේ ඉරණම තීන්දු කරන බලය පාලකයන් වෙතට නැවත බාර දෙන්නට හැකිවිය.

ජනතාව විසින් ජනතාව පාලනය කරගන්නා අව්‍යාජ ක්‍රමය* හඳුන්වා දුන්නේ ඇමෙරිකන් ආදී පීතෘවරුන් විසිනි. ආණ්ඩුවක් සතු මුදල් බලය සීමා කරත හැකි ක්‍රම සොයන්නට ඔවුන් වෙහෙස වූහ. මුදල් බලය යම් පිරිසකට ලැබීම යනු සියල්ලන්ගේම ඒකීය පුද්ගල අයිතීන් කප්පාදු කරන්නට හැකි මාර්ගයක් බව ඔවුන් අවබෝධ කරගෙන තිබුණි. ලුඩ්විග් වොන් මීසස් විසින් ලියන ලද ‘මුදල් සහ ණය පිළිබඳ න්‍යාය’ නම් පොතේ ඇමෙරිකන් ව්‍යවස්ථාව සහ අයිතීන්ගේ පනත හා සමාන වූ වැදගත්කමකින් මුදල් බලය ආණ්ඩුවට නොදීම සමාන කරයි.

එහෙත් 1930 ගණන්වල දී ජෝන් මේනාඩ් කේන්ස් සමඟ එකතු වූ ලෝකයේ ආණ්ඩු සියල්ලම පාහේ රන් මිනුම ඉවත් කරන්නට කටයුතු කළහ. ඇඟිලි ගැසීම් තුලින් කළින් කලට ඇදගෙන ආ ඇමෙරිකාවේ පැවති රන් මිනුම රිචඩ් නික්සන් 1971 දී මුළුමනින්ම අහෝසි කරන ලදි.

රන් මිනුම (gold standard) යනු රන් ප්‍රමාණයක් මත පදනම්ව ආර්ථිකයේ ඒකකයන් ගණනය කරන ප්‍රමිතියකින් හැදෙන මුල්‍ය ක්‍රමයකි. මුල්‍ය ක්‍රම ක්‍රියා කරන්නේ කෙසේදැයි යන්න, විශේෂයෙන්ම මහ බැංකු හා ඈඳී පවතින ඒවා, කේන්ස් විසින් දායද කරනු ලද්දා වූ ද, සාමාන්‍ය පුරවැසියාට ලේසියෙන් ලිහාගත නොහැකි මහා අවුලකි. මහ බැංකුකරුවන් සහ දේශපාලනඥයන් ගෙනෙන මැදිහත්වීම් තුලින් මුල්‍ය ක්‍රමයේ කළමනාකරණයේ වැරදි සිදු කරද්දී ලැබෙන ඵලවිපාක එහෙත් ජනතාවට ඉදිරිපත් කරන්නේ ‘වෙළඳපොල අසාර්ථකත්වය’ හැටියට හඳුන්වමිනි.

1929-1933 කාලයේ දී අත්විඳින ලද ආර්ථිකයේ මහා අවපාතය වෙළඳපොල අසාර්ථක වූ තත්වයක් හැටියට හැඳින්වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නයි. එහි දී සත්‍යයෙන් සිද්ධ වූයේ දේශපාලනමය ඇඟිලි ගැසීම් වලින් උත්පාදනය වූ අර්බූදය වෙළඳපොල ක්‍රියාකාරීත්වය නිසා ඊටත් වඩා දරුණු වීම වැළැක්වීමයි. පුද්ගලිකව ගත් තීරණ අසාර්ථක ප්‍රතිඵල ගෙනෙද්දී ඔවුන් ‘වෙළඳපොල අසාර්ථකත්වය’ පිට වරද පටවති.

අරමුණු කරගත් ප්‍රතිඵලයක් ලබාගන්නට ගිය වෑයමක් වැරදුන විට දී මිනිසෙක් කරන්නේ ඒ තමන් ගත් වෑයමේ වරද ඇත්තේ කොතැනදැයි සොයා බලා එය නිවැරදි කරගන්නා ආකාරය සොයා ගැනීමට උත්සාහ කිරීමයි. එසේ වෑයම් කරද්දී අරමුණු කරගත් ප්‍රතිඵලය ලබාගැනීමට හැකියාව ඇතිබව මිනිසා අවබෝධ කරගැනීම මිනිස් වර්ගයාගේ දියුණුවට හේතු විය.

නමුත් කේන්සියානු පොදු න්‍යායේ මායාවට හසු වී සිටින පුද්ගලයන්, මහ බැංකු සහ දේශපාලන මැදිහත්වීම් වලින් කරන ලද වැරදි ඉදිරියේ දී තව තවත් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ බලය තවත් වැඩිකර, තවත් කර්මාන්ත සහ ආයතන සංඛ්‍යාවක් ආණ්ඩුවේ බාරය යටතට ගත යුතු බවයි.

මහ බැංකු ක්‍රමය අසාර්ථක ලෙසින් ඉටුකළ ණය දීමේ ප්‍රතිපත්ති තව දුරටත් කරගෙන යාමට හූවර්ගේ ආණ්ඩුව 1932 දී දැඩි වැයක් දරා ප්‍රතිසංස්කරණ මුල්‍ය සමාගමක් දියත් කරන ලදි. රූසවෙල්ට් ආණ්ඩුව 1933 දී රටපුරා දියත් කරන ලද මැදිහත්වීම් රාශියක් ගෙනෙන ලදි. ඊට අමතරව ඇමෙරිකාවේ බැංකු සහ මුල්‍ය ක්‍රමය සහමුලින් වෙනස් කරන පනත් දෙකක් ගෙනෙන්නට රූසවෙල්ට් ආණ්ඩුව සමත් විය.

පළමුවැන්න, 1934 දී ගෙනෙන ලද රන් සංචිත පනත (Gold Reserve Act) ය. මේ පනතෙන් රටේ පුරවැසියන් පුද්ගලිකව අයිතිය කියන ලද රන් සියල්ල ඇමෙරිකන් රජයේ භාණ්ඩාගාරයට පවරා ගන්නට හැකියාව ලැබිණ. එනම් රටේ ජනාධිපතිවරයාට රටේ ව්‍යවස්ථාවෙන් නොදී තිබුණ බලයක් ලබාගන්නට ඒ පනතෙන් හැකියාව ලැබිණ. රන් මිල ගැන අගයක් තීන්දු කරන බලයක් ඔහු අතට ගත්තේය. එයින් ඩොලරය 60% කින් අඩු කරන්නට (devalue) ඔහු සමත්විය.

රටේ ව්‍යවස්ථාවෙන් කොංග්‍රසයට පවරා තිබුනේ ද රන් හෝ රිදී වල මුල්‍ය අගය මහත් සේ වෙනස් කරත හැකි බලයක් නොවේ. රන් මිනුම මත පදනම් වූ කාසි ක්‍රමය කිසිවෙක් අතින් උල්ලංඝණය නොවී ක්‍රියාත්මක වෙනවා දැයි නිරීක්ෂණයට පමණක් එතෙක් කාලයක් කොංග්‍රසයේ බලය සීමා වී තිබුණි. නිසියාකාරව භාවිතා වෙද්දී කොංග්‍රසයට හැකියාව ලැබුනේ රන් හා රිදී දෙකම නීත්‍යානුකූල ව්‍යවහාර අගයකින් යුතුව පවත්වා ගෙන යාමේ බලය පමණකි. නැත්නම් රන් හෝ රිදී දෙකෙන් එකක වැඩිවන වෙළඳපොල අගය අනුව අගයෙන් අඩු වූවෙන් කාසි නිමැවුමත් අනෙක වෙළඳ ද්‍රව්‍යයක් හැටියට වෙළඳපොලට එකතු වීමත් සිද්ධ වීම වළක්වන්නට හැකි බලයයි.

දෙවැන්න, 1935 දී ගෙනෙන ලද බැංකු පනත 1913 (Banking Act of 1935) දී සම්මත කරගත් මහ බැංකු පනතට (Federal Reserve Act) වඩා දැඩි සේ වෙනස් ලෙසකින් ලියන ලද්දක් විය. 1913 මහ බැංකු පනත ප්‍රාදේශීය වශයෙන් පැවතියකි. වොෂිංටන් අගනුවර පැවති මහ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට රටේ අනෙකුත් පැතිවල පැවති මහ බැංකු වල අයට වඩා වැඩි බලතල ලැබුනේ නැත. රාජ්‍ය භාණ්ඩාගාර සේවකයන් ලබාගත් වේතන හා සමාන වේතන හා සැලකිලි පමණක් එහි අධ්‍යක්ෂක මණ්ඩලයට ද සීමා විය. එහෙත් එවක දී ප්‍රාදේශීය මහ බැංකු සභාපතිවරුන් රටේ ප්‍රධාන සමාගම්වල ප්‍රධානීන් ලබන වේතන ලබන්නට සමත් වූහ. එහෙත් මහ බැංකුවේ රන් සංචිත හා ඈඳී තිබුන මුල්‍ය ක්‍රමය නිසා ඔවුන් සියල්ලන්ටම ණය දීමේ පිළිවෙත් වැඩි වෙනසකට ලක් කිරීමේ හැකියාව සීමා වී තිබිණ.

එහෙත් 1935 දී ගෙනෙන ලද බැංකු පනත රටේ මුල්‍ය පාලනය සහමුලින් වෙනස් කරන්නට සමත් විය. ඇමෙරිකාවේ මුදල් සියල්ලෙහිම පාලනය මුළුමනින්ම ‘ෆෙඩරල් විවෘත වෙළඳපොල කමිටුවට’ (FOMC) පවරන්නට එයින් හැකියාව ලැබිණ. FOMC හි තීරණ ගැනීමේ බලය 12 කට හිමිව තිබිණ. ඉතින් පුද්ගලයන් 12 ක මණ්ඩලයක් රටේ පවතින මුදල් ප්‍රමාණය කොතරම් විය යුතුදැයි තීරණය කරනවා නම් පවතින රන් මිනුම් ක්‍රමයේ වැදගත්කම නැති වී යයි. ආර්ථිකයේ පැවතිය යුතු මුදල් ප්‍රමාණය රන් මිනුමෙන් තීරණය වීම නැවතී එය තීරණය කිරීම මේ 12 දෙනා වෙත පැවරිණ.

රූසවෙල්ට් 1934 දී ගෙනා රන් සංචිත පනත රන් හා මුල්‍ය ක්‍රමය අතර බැඳීම් සහමුලින් අවසන් කරන්නට සමත් විය. 1934 ජනවාරි 31 වැනිදාට පසුව කිසිම පුද්ගලික නිවසක, බැංකුවක හෝ ව්‍යාපාර ආයතනයක සැලකිය යුතු රන් ප්‍රමාණයක් ළඟ තබා ගැනීම තහනම් විය. රන් කාසි වලින් ගණුදෙනු කිරීම තහනම් විය.

මුදලේ අගය පාලනය කරන්නාට, මුදල් වෙළඳපොල, පාරිභෝගික මිල ගණන්, ආයෝජන හැදියාවන්, තැන්පතු අගයන්, වේතන වැඩි කිරීම්, රැකියා දීමේ තීරණ, නිවාස ඉදිකිරීම් යනාදී සියල්ල පාලනයට හැකියාව ලැබේ. වර්තමානයේ දී මේ තීරණ සියල්ල ගැනීමේ බලය අතැතිව සිටින්නේ මහ බැංකුකරුවන් වෙතටයි. මේ අවිචාරී වූ, උද්ධච්ච ක්‍රමය මහ බැංකුකරුවන් අනෙකුත් සියල්ලන්ටම වඩා දැනුවත් වූවන් යැයි කළින් නිගමනය කරන්නකි. අපේ කාලය, අපේ ප්‍රාග්ධනය සහ අපේ ශ්‍රමය අපිට වඩා හොඳින් යෙදවිය හැකි ආකාරය තීරණය කරන්නට සමත් මහා මහාදැනුමතියෙක් ලෙසින් මහ බැංකු ප්‍රධානියා සැලකෙයි.

*බිත්තර කඩා ඔම්ලට් හැදුවේ නැති ප්‍රංශ විප්ලවය බලතණ්හාධිකයන් පිරිසකට මුළු මහත් ජනතාව පාලනයට ඉඩක් ලැබුණු හෙවත් ජනතා පාලනය නමින් වූ ව්‍යාජ ක්‍රමයයි.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: