අරුණි ශපීරෝ‍ වෙතින්

වත්කම් වැඩිවෙන හැටි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 10, 2016

How an Economy Grows image 5 p7

1980 ගණන් හි දී, බදු විරෝධී ක්‍රියාකරුවෙක් වූ ද, දේශපාලන සිරකරුවෙක් වූ ද, නිදහස් වෙළඳපොල පණ්ඩිත පීටර් ෂිෆ්ගේ පියාණන් වූ ද, අර්වින් ෂිෆ්* අගනා කොමික් පොතක් ලිවීය. කොහොම ද ආර්ථිකයක් වර්ධනය වෙන්නේ සහ එය වර්ධනය නොවෙන්නේ ඇයි (How an Economy Grows and Why It Doesn’t) යන්න එහි සිරස්තලයයි. සරල කතන්දරයකින් ආර්ථික විද්‍යා සිද්ධාන්ත එයින් ඉගැන්වේ.

කොමික් පොත පටන් ගැනෙනුයේ දූපතක වාසය කරන ඒබල්, බේකර් සහ චාර්ලි යන වැසියන් මුහුදෙන් අල්ලා ගන්නා මාළු කමින් ජීවත් වෙන ආකාරය කියමිනි. මාළු අල්ලන්නට ඔවුනට උපකරණ කිසිත් නැත. ඒ නිසා ඔවුන්ට අත් දෙකෙන් මාළු අල්ලන්නට සිද්ධ වේ.

දිවයිනේ වැසියන්ට මාළු යනු පරිභෝජන භාණ්ඩයකි. එනම් ඍජු ඉලක්කයක් සපුරාගන්නට එනම් හාමතේ නොසිට බඩගින්නේ නිවාගන්නට හැකියාව ලැබෙන්නයි. කුසගිනි නිවාලන මාළු යනු පරිභෝජන භාණ්ඩයක් වෙන්නේ උන් මුහුදේ පිහිනන විට නොව අල්ලා ගත් පසුවයි. ඒ නිසා දූපතේ වැසියන් මාළු ඇල්ලීමේ නැත්නම් නිෂ්පාදනයේ යෙදිය යුතුයි. ඒ නිසා මුහුදේ පිහිනන ‘මාළු’ වෙනුවට “පිඟානක ඇති මාළු” යන අව්‍යාජ පරිභෝජන භාණ්ඩය නොහොත් නිෂ්පාදනය ඔවුන් විසින් නිෂ්පාදනය කරගත යුතුයි.

“පිඟානක ඇති මාළු” නිෂ්පාදනයට දූපත් වැසියන් නිෂ්පාදන සම්පත් නොහොත් නිෂ්පාදන සාධක භාවිතා කළ යුතුයි. පාවිච්චි කළ යුතු එක සාධකයක් නම් ඔවුන්ගේම ශ්‍රමයයි. මෙහි දී ශ්‍රමය යනු මාළු ඇල්ලීමේ ක්‍රියාවයි: ඇස් වලින් මාළුවා ඉන්නා තැන සොයාගෙන අත් වලින් උන්ව අල්ලා ගැනීමයි. ඔවුන් භාවිතා කළ යුතු අනෙක් සාධකය ඉඩම් නොහොත් ස්වභාවික සම්පත්ය. මෙහි දී එය “මුහුදේ ඉන්නා මාළු.” “මාළු අල්ලන ශ්‍රමය” + “මුහුදේ ඉන්න මාළු” = “පිඟානක ඇති මාළු.”

අත් දෙකෙන් පමණක් අල්ලද්දී, දූපත් වැසියන්ට නිෂ්පාදනය කළ හැකියාව ඇත්තේ එක දිනකට එක මාළුවෙක් පමණි. එය අඩු නිෂ්පාද්‍යතාවයකි.

ෂිෆ් ලියන විදියට, මෙවැනි අඩු නිෂ්පාද්‍යතාවයක් නිසා, “මෙය ජීවිතය පවත්වා ගැනීමයි, එයම පමණක් වූවකි.” තවත් විදියකින් කිව්වොත් එය දැඩි දරීද්‍රතාවයයි. දූපත් වැසියන්ට නිවාඩු ගන්නට වේලාවක් නැත. ඔවුන් රසවිඳින වෙනත් දෙයක් නිෂ්පාදනය කරන්නට වේලාවක් නැත. එමෙන්ම ඔවුන් දැඩි අනතුරුදායක තත්වයක ජීවත් වෙති. ලෙඩක් හැදුනොත්? අතක් පයක් කැඩුනොත්? එක සතියක හරියට මාළු අල්ලාගත නොහැකියාව යනු හාමතෙන් මිය යෑම විය හැකියි. එවැනි අඩු නිෂ්පාද්‍යතාවයක ජීවිතය ගෙවීම යනු කබලෙන් ලිපට වැටෙන අවදානමක නිතිපතා ජීවත්වීමයි.

ඩිස්නි කතන්දරයක රජ කුමාරියක් සේ, ඒබල් විසින් “මීට වඩා දෙයක්” ගැන සිහින මවයි. දුප්පත් බැවින් සිටීම ඔහුට එපා වී ඇත. ජීවන මට්ටම දියුණු කර ගැනීමට කුමන හෝ ක්‍රමයක් සොයා ගැනීමට ඔහුට උවමනායි. දැලක් හදාගෙන මාළු ඉක්මණින් අල්ලන්නට, එයින් නිෂ්පාද්‍යතාවය වැඩිකරගන්නට අදහසක් ඔහුට පහළ වේ.

දැල යනු තෙවැනි සාධකයයි: එය ප්‍රාග්ධන භාණ්ඩය හෙවත් නිෂ්පාදන සාධකයේ නිෂ්පාදනයයි. දැලක් හදන්නට ද සාධක අවශ්‍යයයි. ස්වභාවික සම්පත් (භූමිය), රිටක් සහ වැල් වැනි ද්‍රව්‍ය, සහ දැල හදන ශ්‍රමය. දැලක් හදන්නට දවසක් ගෙවෙයි.

එනම් දැල හදන දවසේ ඒබල්ට මාළු අල්ලන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. ඔහුගේ ශ්‍රමය හිඟ වූවකි. එය මාළු අල්ලන්නට සහ දැල හදන්නට එකම අවස්ථාවේ භාවිතා කළ නොහැකියි. ඒ නිසා එය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු වේ. එය එකකට යොදවන කල අනෙකට යොදවන්නට නොහැකියි.

ඒබල් මාළු අල්ලන්නේ නැත්නම්, එදින ඔහුට බඩගින්නේ ඉන්නට සිද්ධ වේ. දැලක් හදන්නට කැප කිරීමක් අවශ්‍යයයි: පරිභෝජනය කල්දැමීම.

වෙනස් නිෂ්පාදන ක්‍රම දෙකක් අතර තෝරාගැනීමක් කරන්නට ඒබල්ට සිද්ධ වේ. අතින් මාළු අල්ලනවා ද? නැත්නම් දැලෙන් මාළු අල්ලනවා ද? ඒවායේ වාසි අවාසි දෙකම ඔහු සලකා බැලිය යුතුයි.

අතින් මාළු ඇල්ලීමේ වාසිය එහි දී නිෂ්පාදන කාලය කෙටි වීමයි. ඔහු නිෂ්පාදනය පටන් ගනියි. එදිනම ටික වේලාවකට පසුව ඔහුට කන්නට ලැබේ. එහි අවාසිය අඩු නිෂ්පාද්‍යතාවයයි. එනම් ඒබල් නිතරම දරීද්‍රතාවයෙන් පෙළීමයි.

දැලෙන් මාළු ඇල්ලීමේ වාසිය වැඩි නිෂ්පාද්‍යතාවක් ලැබීමයි. කොමික් එකට අනුව එහි දී දිනකට මාළු දෙන්නෙක් අල්ලන්නට ලැබේ. මෙහි දී පැහැදිලි කිරීමේ පහසුවට අපි දැලෙන් මාළු අල්ලද්දී දිනකට මාළු තුන්දෙනෙක් අල්ලන්නට ලැබේ යැයි කියමු. දැලෙන් මාළු ඇල්ලීමේ අවාසිය නම් මුල දී නිෂ්පාදන කාලය දීර්ඝ වීමයි. දැල හදන්නට දවසක් වැය වේ. එය භාවිතයට තවත් දවසක් වැය වේ. ඉතින්, ඒබල් නිෂ්පාදනය පටන් ගත්තාට පසු ඔහුට කන්නට ලැබෙන්නේ දවස් දෙකක් පහුවුනාට පසුවයි.

මෙතැන දී ඒබල් සන්ධිස්ථානයක සිටියි. ප්‍රාථමික විදියටම ඔහුට ලැග සිටිය හැකියි. නැත්නම් ඊට ඉහළින් ඔහුට නැඟී සිටිය හැකියි. ආර්ථික ප්‍රාථමික බැවින් ඉහළට යෑම සරල තාක්ෂණය ලෙස සැලකේ. එහෙත්, අදහසක් තිබීම පමණින්, එය කරන්නේ කෙසේදැයි දත් පමණින්, දැලක් හදා ගැනීම යනු ඒබල්ට ක්ෂණිකව ලැබෙන, කිසිත් වැයක් නැති වාසියක් නොවේ. “අද එක මාළුවෙක්” සහ “අද මාළු තුනක්” අතරින් එකක් තෝරාගැනීම පමණක් වූවා නම් එය වැයක් නැති වූවකි. අනෙක් සියල්ල එක හා සමාන නම්, අඩු බවට වඩා වැඩි බව නිතැතින්ම හොඳ වූවකි. ඒත් අනෙක් සියල්ල එක හා සමානව නැත. කාලය ගැන වූ වෙනස මෙහි දී විශේෂයෙන් වැදගත්කමක් ගනියි. එය “වැඩියෙන් සහ අඩුවෙන්” ගැන නොවන්නකි. එය “වැඩියෙන් හා පසු කලක දී” යන්නට එරෙහිව “අඩුවෙන් හා ඉක්මණින්” වීමකි.

ඉතින් ඒබල් ගත යුතු තීරණය, “දැලෙන් මාළු අල්ලන” තාක්ෂණය භාවිතා කරනවා ද යනු එකක් ගන්නට තවෙකක් අත්හැරීමකි: මේ “හුවමාරුව” ඔහු මනසින් විමර්ශනය කරයි. අතින් මාළු ඇල්ලීමේ දී ලැබෙන “අඩුවෙන් සහ ඉක්මණින්” අත්හැර දමා ඔහු දැලෙන් මාළු අල්ලද්දී ලැබෙන “වැඩියෙන් සහ පසුව” යන්න තෝරා ගන්නවා ද?

මෙයට පිළිතුර තීරණය වෙන්නේ ඒබල් විසින් ඔහුගේ පුද්ගලික කාල වරණය නොහොත් සිය කාලයට දෙන වැඩි කැමැත්ත අනුවයි. ඔහුගේ ඉලක්කයට කොතරම් “ඉක්මණින්” යන්නට ඔහු කොතරම් වැදගත්කමක් දෙනවා ද මතයි. අයෙක් කාල වරණයට දෙන වැදගත්කම අනුව, කඩිනමක් නැත්තේ ද පරිභෝජනය කල්දැමීමට වැඩියෙන් සූදානම් අතර කඩිනමක් ඇත්තේ නම් පරිභෝජනය කල්දැමීමට අඩුවෙන් සූදානම් ය.

උදාහරණයක් හැටියට, කොමික් පොත දක්වන ආකාරයට, බේකර් හා චාර්ලි යන දෙදෙනාට දැල් හදන්නට වඩා කාල වරණය ඉතා ඉහළ වූවකි. අදට වඩා තුන් ගුණයක් හෙට කන්නට ලැබුණත් ඔවුන්ට අද නොකා සිටීම කළ නොහැකි තරම් දැඩි කැපවීමකි. සමහර විට දැලෙන් මාළු ඇල්ලීමෙන් පස් ගුණයක් මාළු ලැබේ නම් ඔවුන් ටික කාලයක් ඉවසීම ගැන හිතන්නට ඉඩ තිබේ. ඔවුන් කාලයට දක්වන වැදගත්කම සීමාරහිත ඉහළක නැත. නමුත් මෙහි දී එය මේ ප්‍රාග්ධන උත්සාහයේ යෙදෙන්නට තරම් ප්‍රමාණවත් නැතැයි ඔවුන් සලකති.

ඒත් ඒබල් විසින් කාලයට දෙන වැදගත්කම මෙහි දී අඩු නිසා, ඔහු පරිභෝජනය කල් දමා, ප්‍රාග්ධන භාණ්ඩය නිෂ්පාදනය කර, ඔහුගේ නිෂ්පාද්‍යතාවය වැඩි කරගන්නට කැමැත්තේය.

එපමණක් නොව, ඔහුගේ දැල භාවිතා කර මාළු අල්ලන ලද මුල් දිනයට පසු දිනයේ දී ඔහු අල්ලන ලද අමතර මාළු නිසා ඔහුට එදා දවසේම මාළු අල්ලන්නට සිද්ධ නොවේ. මන්ද ඔහු අල්ලාගත් මාළු වලින් ඒ දවස පුරාම යැපෙන්නට හැකියාව ඇත. ඒ නිසා, එදින ඔහුට තවත් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන්නට පුළුවනි. එයින් ඔහුගේ නිෂ්පාද්‍යතාවය තවත් ඉහළ යවා ගන්නට පුළුවනි. උදාහරණයක් හැටියට ඔහුට කැරට් වගා කරන්නට රේක්කයක් හදාගත හැකියි. කැරට් වගාවෙන් ලැබෙන අමතර ඵලදාවෙන් ඔහුට තවත් ප්‍රාග්ධනය එකතු කරගන්නට හැකියි. ඉතින් ඔහු තව තවත් නිෂ්පාද්‍යතාවය වැඩි කරගනිද්දී, ඔහුට නිවාඩු සඳහා සහ සුව පහසුව සඳහා වැඩියෙන් සම්පත් යොදවන්නට ද හැකියාව ලැබේ.

How an Economy Grows image 8 p19

ඉතිරි කිරීම් නිසා ලැබෙන ප්‍රාග්ධන භාණ්ඩ සහ එයින් වැඩිවෙන නිෂ්පාද්‍යතාවය යන මේ වර්ධන චක්‍රයේ වටයක් යන හැම අවස්ථාවක දී ම, ඔහුගේ ප්‍රාග්ධන කොටස සහ ජීවන මට්ටම වැඩිවෙන නිසා ඔහු තවත් ධනවත් වේ. ඒ හැම වටයක් පාසාම, ඔහු කබලෙන් ලිපට වැටෙන ගැට්ටෙන් අයින් වී, වැඩි ආරක්ෂාව සහ මානසික සහනය කරා යයි. එක සතියක නිෂ්පාදනය අයහපත්වීම යනු එවිට ඔහුට මහා විනාශයක් නොව සුළු කන්කරච්චලයක් පමණකි.

මේ වර්ධනයේ චක්‍රය යනු සංකීර්ණ වෙළඳපොල ආර්ථිකයක දී ජීවන මට්ටම ඉහළ යන ආකාරය ද පෙන්නුම් කරන්නයි.

ඉතින් දැන් ඇරඹෙන්නේ දූපතේ අනිත් අය විසින් ඒබල්ගේ නව ධනසම්පත් වලින් ඔහු කළ යුත්තේ කුමක්දැයි අදහස් ගෙනෙන්නට පටන් ගැනීමයි. එක මිනිසෙක් “බෙදාගන්න,” යැයි කියයි. ඉතිහාසය සහ ප්‍රාග්-ඵෛතිහාසික යුගය පුරා මිනිසා පෙළන ලද ද්වේශය මත පදනම් වූ සමානාත්මතා චින්තනයේ එක උදාහරණයක් මෙය බව මුරේ රොත්බාර්ඩ් මෙසේ පෙන්වා දුන්නේය:

ප්‍රාථමික සමාජය සැබැවින්ම සතුටින්, සහජීවනයෙන්, සැපවත් ලෙසින් කල්ගෙවූ සමාජයකට වඩා එකිනෙකා ගැන සැකයෙන්, වැඩියෙන් සාර්ථක වූ හෝ වැඩියෙන් වරප්‍රසාද ලැබුණු අය ගැන ද්වේශයෙන්, සැකයේ පැවැත්ම නිසාම ඇති වූ බියෙන්, ද්වේශයෙන් පිරී ඉතිරී කරකියාගත නොහැකි තරමට සාමාන්‍ය ආර්ථික දියුණුව දුර්වල තත්වයක පැවතිණ. ඊර්ෂ්‍යාව (Envy) නමින් ලියන ලද මෑත කාලීන වැදගත් කෘතියෙන් ජර්මන් සමාජවිද්‍යාඥ Helmut Schoeck මේ දුර්වල ඵලය දිගින් දිගට පැවතෙන ආකාරය අනේක අධ්‍යයන වලින් පෙන්වා දෙයි. මානවවේදී Clyde Kluckhohn නවාහෝ ස්වදේශීය වැසියන් අතර “පුද්ගලික සාර්ථකත්වය” හෝ “පුද්ගලික ජයග්‍රහණය” යන සංකල්පය නොතිබුණ බව පෙන්වා දෙයි. එවැනි ජයක් තිබුනා නම් ඉබේටම එය වැටෙන්නේ අනුන්ව සූරා කන ලදැයි කියාත්, සහ, ඒ නිසා, වැඩියෙන් සමෘද්ධිමත් නවාහෝ ස්වදේශීය වැසියා නිරන්තරයෙන් සමාජ පීඩනයට ලක් වී තම මුදල් අනුන්ට බෙදා දෙන්නට පෙළඹේ. Allan Holmberg සොයාගත්තේ බොලීවියාවේ සිරිඔනෝ ස්වදේශිකයන් තනියම ආහාර රාත්‍රියේ දී අනුභව කරන ලද බවයි. මන්ද දහවල් කාලයේ ඔහු අනුභවයේ යෙදුනේ නම් ඔහු කන හැටි බලාගෙන ඉන්නට ඊර්ෂ්‍යාවෙන් පිරුණ ද්වේශයෙන් යුතු පිරිසක් ඔහු වටා එකතු වේ.

අයෙක් වැඩියෙන් ඉතිරි කරන හැම අවස්ථාවක දී ම, ඔහුගේ “වැඩිපුර වත්කම” අත්හරින්නට යැයි පීඩනයක් ඇත්නම් එයින් සිද්ධ වෙන්නේ ඉතිරි කිරීම් අධෛර්ය කිරීමයි. ඉතිරි කිරීම් වලට ඉඩ නොමැති විට වර්ධනයේ චක්‍රයෙන් ඔවුන්ව පන්නා දැමේ. එයින් ඔවුන් වැටෙන්නේ හිඟමනට වැටෙන චක්‍රයටයි. මෙසේ සිද්ධ වෙන්නේ අඩුවෙන් ඉතිරි කිරීම නිසා ප්‍රාග්ධනය පරිභෝජනයට ගැනීමට මඟ පෑදීම නිසයි. ප්‍රාග්ධනය “පරිභෝජනය” යනු “දැල අනුභව කිරීම” යැයි අදහස් නොවේ. එයින් අදහස් වෙන්නේ පාවිච්චිය නිසා දැල යම් කලක දී දිරා යෑමයි. එය භාවිතයට සුදුසු ලෙසින් තබා ගන්නට නම් පරිභෝජනය කරත හැකි සම්පත් පරිභෝජනය නොකර දැල අලුත්වැඩියා කරන්නට හෝ ඒ වෙනුවට තවෙකක් හදන්නට යෙදවිය යුතුයි. අවශ්‍ය පමණින් ඉතිරි කිරීම් නොකරද්දී, ප්‍රාග්ධන භාණ්ඩ දුර්වල තත්වයකට පත්වේ. දැලේ හිල් හටගෙන මාළු ඒ තුලින් පීනා යන්නට පටන් ගනිති. එතැන දී මාළු අල්ලන්නාට අඩු නිෂ්පාද්‍යතාවයක් ලැබෙන නිසා අතින් මාළු ඇල්ලීමට යළි සිද්ධ වේ. නැවතත් ඔහු කබලේ ගැට්ටට පැමිණේ.

තවත් දූපත් වැසියෙක් ඒබල්ට මුගුරක් පෙන්නා “මේක කොහොම ද?” යැයි අසයි. ඔහු ඒබල්ගේ ඉතිරි කිරීම් මංකොල්ලයට ලැහැස්තියි. එවැනි කොල්ලකෑම් ඉතිහාසයේ සහ ප්‍රාග්-ඉතිහාසය පුරා මුළු මහත් ජනතාව දුප්පත්ව තබන ලදි. මංකොල්ලයට එන කල්ලි නිසා ඉතිරි කිරීම් අධෛර්මත් කරමින් වර්ධනයේ චක්‍රය කැඩෙන්නට හේතු විය. සමහර අවස්ථා වල දී මංකොල්ලකරුවන් වාසස්ථානය කරගෙන, ප්‍රොපගැන්ඩා මාර්ගයෙන් තමන් “ආණ්ඩුව” යැයි හඳුන්වා ගෙන, ඔවුන්ගේ මංකොල්ලය “බදුක්‍රමය” යැයි දැක්වූහ. වර්ධනයේ චක්‍රයට වැඩියෙන්ම විනාශකාරී වූයේ රාජ්‍ය මාර්ගයෙන් කරන “ගහනම” (proscription) නම් වූ මංකොල්ලයයි. පුරාතනයේ දී ඒකීය පුද්ගලයෙක් වත්කම් එකතු කරගන්නට සමත් වෙද්දී, එක තැනක දී සියල්ල සොරාගත හැකියාව ඇති නිසා ඔහු මංකොල්ලාකරුවන්ගේ සිත් ඇදගත්තෙකි. එවිට ආණ්ඩුව ඔහුගේ මුළු බුත්තිය පැහැර ගැනීම සඳහා ඔහුව සිරගත කරන්නට හෝ හිසගසා දමන්නට කුමක් හෝ කාරණාවක් සොයා ගන්නා ලදි. “නිදන් වස්තු” හාරන රැල්ලක් වැඩියෙන් දකින්නට ඇත්තේ කොල්ලකෑම් කරන ලද රජකුමාරවරු සිටි පැතිවලයි. සමානාත්මතාවයේ නාමයෙන් සහ “ප්‍රගතිශීලී බදු ක්‍රමයෙන්” නූතන ප්‍රජාතන්ත්‍රවාදයන් හි දී ද කොල්ලකෑම සිද්ධ වේ. ඔබ වැඩියෙන් ඉතිරි කරන්නේ ද, ඔබට වැඩියෙන් බදු පැනවේ. මෙය ද වර්ධනයේ චක්‍රයට විශේෂයෙන්ම පටහැනියි.

ඒබල්ගේ ධනවස්තු එකතු කිරීමේ හැදියාව “කෑදර” සහ නරක දැයි පුංචි කුරුල්ලෙක් අහද්දී, “එය නරක කාටදැයි?” ප්‍රඥාවන්ත බකමූණා අසයි. ඒබල්ට කන්න පුළුවන් මාළු සංඛ්‍යාව සීමිත වූවකි. ඔහුගේ දැල් වලින් ගතහැකි ප්‍රයෝජන සීමිතය. ඔහුගේ ලොකු හපන්කම වූ නිෂ්පාද්‍යතාවයෙන් උපරිමයෙන්ම ඵල නෙලා ගන්නට නම් ඔහු තමන් වාසය කරන සමාජයේ අනෙකුත් අය සමඟ තමන්ගේ නිෂ්පාදන වෙනත් භාණ්ඩ හා සේවා සඳහා හුවමාරු කරගත යුතුයි. ආයෝජන, ණය සහ වේතන වැනි හුවමාරු වලින් ඉතිරි නොකරන අයටත් මෙතෙක් නොලැබුණ ප්‍රාග්ධන භාණ්ඩ වලට අවස්ථාවක් පෑදේ. උදාහරණයක් හැටියට ඒබල් මාළු අල්ලන්නට තම දැල පොලියට දෙන්නේ නම්, කාලයට ඉහළ වැදගත්කමක් දුන් බේකර් හා චාර්ලි වැනි අයට තමන්ගේ නිෂ්පාද්‍යතාවය සහ ජීවන මට්ටම ඉහළ යවා ගන්නට ද හැකියාව එයින් ලැබේ. ඉතින් සියළු හුවමාරු යනු, එහි නිර්වචනය පරිදිම, කැමැත්තෙන් සිද්ධ වන එකිනෙකාට වාසිදායක ගණුදෙනු නිසා, ඉතිරි කරන්නා වැඩියෙන් ගණුදෙනු කරන්නේ නම් එවිට මහජනතාවට ඔහු වැඩියෙන් වාසියක් ලබාදෙන්නෙකි.

ඉතිරි කිරීම් සහ ප්‍රාග්ධනය සැමට පිහිට වෙන්නකි. ඉතිරි කරන්නාට සහ ප්‍රාග්ධනය ගොඩගසන්නාට පමණක් වාසි ලැබෙන්නක් නොවේ. වර්ධනයේ චක්‍රය සම්පූර්ණ සමාජය ඉහළ මටට්මකට ගෙන යයි. සමානාත්මවාදය සහ මංකොල්ලය ඉතිරි කිරීම් අධෛර්යමත් කරද්දී, එය සම්පූර්ණ සමාජයම පහළ මට්ටමක රඳවයි. එවිට දුකට පත්වෙන්නේ ඉතිරි කරන්නන් පමණක් නොවේ. ඉතිරි කරන්නා සමඟ හවුමාරු කරන්නට හැකි සියල්ලන්මයි.

ඉතිරි කිරීම්, ප්‍රාග්ධන එකතු කිරීම්, නිෂ්පාද්‍යතාවය සහ සාමකාමීව ධනය එකතු කිරීම් ගැන කිසිත් සැක සහිත වූ තත්වයක් නැත. පරණ කියමනක් යළිත් ලියන්නේ නම්, මාළු සහ මංකොල්ලයට එන අමුත්තන් වැඩි දවසක් නොගිහින් දුගන්ධයක් පතුරුවයි.

ලුඩ්විග් වොන් මීසස් මෙසේ ලීවිය:

වත්කම් නිෂ්පාදනයේ නොනැවතී කෙරෙන සෑම ඒකීය උත්සාහයක්ම පදනම් වනුයේ කළින් පරම්පරාවල මුලික කටයුතු සහ ඉතිරි කිරීම් මතයි. අපේ මුතුන් මිත්තන්ගේ ඉතිරි කිරීම් සහ ගොඩගසා ගත් ප්‍රාග්ධන භාණ්ඩ වල වාසනාවන්ත උරුමක්කාරයන් අපි වෙමු. ඒ සහායෙන් අද අපි වැඩ කරමු. විදුලිබලයෙන් වැඩ කරන යුගයේ දරුවන් වූ අපි, ප්‍රාථමික ධීවරයන් විසින් පාරු සහ දැල් හදන්නට, නොදන්නා අනාගතයක් වෙනුවෙන් ඔවුන්ගේ කාලයක් වැය කිරීමෙන් කරන ලද, මුල් ඉතිරිකිරීම්වල වාසි අදටත් භුක්ති විඳිමු. පාරු සහ දැල් යනාදී අතරමැදි නිෂ්පාදන වැඩගත නොහැකි සේ ජරාවට යද්දී අලුතින් හදන්නේ නැතිව මේ අතීත ධීවරයන්ගේ පුතුන් විසින් භාවිතා කර අවසන් කළේ නම්, එවිට ඔවුන් ප්‍රාග්ධනය පරිභෝජනය කරන ලද්දේ වෙයි. එවිට ඉතිරි කිරීම් සහ ප්‍රාග්ධන එකතු කිරීම නැවතත් අලුතින් පටන්ගත යුතුවේ. කළින් පරම්පරාවලට වඩා අපි හොඳින් ජීවත්වෙන්නේ ඔවුන් විසින් අපිට ප්‍රාග්ධන භාණ්ඩ එකතුකර දී ඇති නිසායි.

ඩෑන් සැන්චේස් ලියූ “ඉතිරි කිරීම් නිසා ආර්ථිකයක් වර්ධනය වෙන ආකාරය” ලිපියේ පරිවර්තනයයි.

*අර්වින් ෂිෆ් 2015 ඔක්තෝබර් 16 වැනිදා මිය ගියේය.

3 Responses

Subscribe to comments with RSS.

  1. Aruna DevendraA said, on මාර්තු 10, 2016 at 7:03 ප.ව.

    ආර්ථික විද්‍යාත්මකව ප්‍රාග්ධනය මූලික වූ සමාජ ක්‍රමය නිවැරදි වුවත් ඒ මත ගොඩනැගෙන බල අසමතුලිතය සෑම විමට පුද්ගලයින් අතර වෙනස්කම් හා අසමානතා ඇති කරයි. උදාහරණ ලෙස ඉහත ඒබල් ගොඩ නගන ප්‍රාග්ධනය ඔහුගේ කේවල් කිරීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි කරයි. ඕනෑම පුද්ගලයෙකුට ඒබල් වැනි ව්‍යවසායකයෙකු විය හැකි වුවත් තම තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා අනුව එකිනෙකාගේ බලය තීරණය වේ. මෙය සෑම විටම වෙනස් හා අසමතුලිත වේ. මෙම බල අසමතුලිය බොහෝ අනවරත අර්බුද (දෙකොන ඇවිලෙන) ඇති කර තිබේ. එම අර්බුද වලට පිලිගතහැකි විසදුම් මෙතෙක් ප්‍රාග්ධනය මූලික ආර්ථික ක්‍රමය තුල ගොඩනැගී නැති බව මගේ මතයයි.

    • arunishapiro said, on මාර්තු 15, 2016 at 7:56 පෙ.ව.

      Aruna DevendraA,

      මිනිසා යනු ස්වභාවයෙන්ම අසමතුලිත ලෙසින් උපන් සත්වයෙක්. ඒක පිළිනොගැනීම ස්වභාවික සත්‍ය්‍යක් ප්‍රතික්ෂේපයයි. එය නොපිළිගත් අය පුද්ගලයන් අතර වෙනස්කම් හා අසමානතා තුලිත කරන පොරොන්දු දීලා පාලන බලය අල්ලා ගත්ත. ඒත් කිසිත් කොමියුනිස්ට් හෝ සමාජවාදී ක්‍රමයකට (අද වෙනෙසියුලාව!) එය නොහැකි වූ බව ඔප්පු කර ඇත්තේ මෙතෙක් ලෝක ඉතිහාසයයි. එසේම ලෝක ඉතිහාසය විසින් යළි යළිත් ඔප්පු කර තියෙනවා, මානසික හා ශාරීරික අතින් දුර්වල වූ ද, ආර්ථික අතින් දුප්පත් වූ ද, සමාජ මට්ටමෙන් පහත් වූ ද පුද්ගලයාට වැඩියෙන්ම කේවල් කරන හැකියාව ලැබිලා තියෙන්නේ ප්‍රාග්ධනය මූලික, දේපල අයිතිය ආරක්ෂා වන ක්‍රමයේ දී බව.

      //ඕනෑම පුද්ගලයෙකුට ඒබල් වැනි ව්‍යවසායකයෙකු විය හැකි වුවත්// වැරදියි. හැමෝටම ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන්නට බැහැ වගේම, නර්තනයෙන් හෝ සංගීතයෙන් හෝ රංගනයෙන් හෝ චිත්‍ර ශිල්පයෙන් දස්කම් දක්වන්නට බැහැ වගේම ඕනෑම පුද්ගලයෙකුට දක්ෂ ව්‍යවසායෙකු වෙන්නටත් බැහැ. අදක්ෂ ව්‍යවසයාකයා යනු බංකොළොත් අයෙක්. පුද්ගල අයිතිය ආරක්ෂා වෙන ක්‍රමයක අදක්ෂ ව්‍යවසායකයාට වෙනත් රස්සාවක් සොයා ගන්නට සිද්ධ වෙනව.

      “අර්ථ ශාස්ත්‍රය කියන්නේ මිනිස් ජීවිතය සහ මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ දර්ශනය. එය හැමෝම ගැන වූවක්. හැම දෙයක්ම ගැන වූවක්. එය තමයි මිනිසාගේ මිනිස් පැවැත්මේ සහ ශිෂ්ටාචාරයේ සාරය.” -ලුඩ්විග් වොන් මීසස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: